Labels

Monday, June 22, 2015

ජීවන ගමනේ දුක පැහැදිලි කළ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය



කාමයන්ගේ ආදීනව වශයෙන් මිනිසුන් සොරකම් කොට, මංකොල්ලකෑම් සිදුකොට කාන්තාවනට බලහත්කාරකම් සිදුකොට රජයෙන් දෙතිස් වද බන්ධන වලට හසුවන්නේය. මෙය ද කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක. කාමයන් සොයා යන ගමනේදී පුද්ගලයා විසින් කායිකවත්, වාචසිකවත් , මානසිකවත් දුෂ්චරිත සිදුකොට මරණින් පසු සැප නොමැති දුක්සහිත නිරයෙහි උපදින්නේ ය.
අප මිනිසුන් වශයෙන් සමාජයේ ජීවත් වන විට බොහෝ අවශ්‍යතා සපුරා ගැනීමට සෑම පුද්ගලයෙකුට සිදුවනු ඇත. එකී අවශ්‍යතා සපුරා ගැනීමට ගනු ලබන උත්සාහය වරෙක සාර්ථක භාවයටත් වරෙක අසාර්ථක භාවයටත් පත් වන්නේ ය. තමා බලාපොරොත්තු වන ඉලක්කය කරා ගමන් ගන්නා තැනැත්තාට ඒ සඳහා තම ජීවිතයෙන් බොහෝ කැප කිරීමට සිදුවනු ඇත. අප නිතර වෙහෙසී ඇත්තේ ජීවිතයට එළඹෙන දේ ඔස්සේ ජීවිතය ආශ්වාදනය කිරීමටය. එහෙත් ජීවිතයට ලැබෙන සියල්ල අපට ආශ්වාදනය කර ගැනීමට හැකියාව නැත්තේය. සියල්ල තමා කැමැති ආකාරයට සිදු නොවන තැන ජීවිතයට ශෝකය, පසුතැවීම, දුක, දොම්නස නිරායාසයෙන්ම සම්බන්ධ වන්නේ ය. මෙකී ධර්මතාව පිළිබඳත් ඇතුළත් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැකි දෙසුමක් පිළිබඳ මෙම ලිපියෙන් වටහා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.
ජීවිතයේ ආශ්වාදනය සේම ආදීනවය හා නිස්සරණය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කරන ලද දෙසුමක් ලෙස මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය හැඳින්විය හැකිය. මෙම දේශනය තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට පැහැදිලි කිරීමට හේතු වූයේ අන්‍ය ආගමික ශ්‍රමණ පිරිසක විසින් අසන ලද පැනයකට පිළිතුරක් දීම සඳහාය . එසේම තථාගත දේශනයේ සහ අන්‍ය ශ්‍රමණ පිරිසගේ දේශනයේ ඇති වෙනස ද මෙමගින් පැහැදිලි කරගත හැකි ය.
තථාගතයන් වහන්සේ මෙහි දී කාමයන් ගැනත් රූපය ගැනත්, වේදනාව ගැනත් පැහැදිලි කළ සේක. මෙහිදී කාමයන්ගේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය, රූපයේ ආශ්වාදය ආදීනවය හා නිස්සරණය වේදනාවේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය යන කාරණා පිළිබඳ මෙමගින් මනාව විස්තර කොට ඇත. මේ කාරණා තුන පිළිබඳ දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකු හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක හැර වෙන කිසිවෙකුට පැහැදිළි කළ නොහැකි බව දත යුතු කරුණකි.

මුලින්ම කාමයන් පිළිබඳ පැහැදිළි කරන උන්වහන්සේ කාමයන්ගේ ආශ්වාදය කියන්නේ කුමක්දැයි පැහැදිලි කළ සේක. එනම් මහණෙනි කාම ගුණ 5 කි. ඇසෙන් බලන රූප නිසා බොහෝ ලස්සන පි‍්‍රය උපදවන ගතිය, සිත් ඇදගන්නා වූ ද කැමැත්ත වඩන ගතිය, රාගය උපදවන ගතිය ඇති වන්නේ ය. මේ ආකාරයට කණෙන් අහන ශබ්ද, නාසයෙන් ලබන ගන්ධ, දිවෙන් ලබන රස, කයෙන් විඳින පහස නිසාද මෙකී රාගය උපදින්නේ ය. සිතෙහි කැමැත්ත හා රාගය උපදවන ගතිය නිසා මෙම පහට කාම ගුණ යැයි හැඳින්වෙයි. මෙය කාමයන්ගේ ආශ්වාදය යැයි දැනගත යුතුය. එසේම තථාගතයන් වහන්සේ මෙම කාමයන්ගේ ආශ්වාදය මෙන්ම ආදීනවය ද විස්තර කළ සේක. කාමයන්ගේ ආදීනවය යනු කිසියම් පුද්ගලයෙකු කාමයන් සොයා යන ගමනේ දී තමා වෙත එම කාමයන් ගෙන්වා ගැනීමට නිකම්ම හැකියාව නැත්තේ ය. ඒ සඳහා ඔහු වෙහෙසිය යුතු ය. මුලින්ම ඔහු ධනය උපයාගත යුතු ය. ධනය නිකම් නොලැබෙන්නේ ය. ධනය සෙවීමට රැකියාවක් අවශ්‍ය වන්නේ ය. රැකියාවක් නිකම් නොලැබෙන්නේ ය. ඒ සඳහා ශිල්ප හැදෑරිය යුතුය. ශිල්ප ඉගැනීමට වෙහෙසිය යුතු ය. ජීවිතයේ වැඩි කාලයක් ශිල්ප ඉගැනීමට වෙහෙසුණ ඔහු අනතුරුව රැකියා සොයන්නේ ය. තමා සොයාගත් රැකියාව සමහර විට රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ විය හැකිය. එසේ නැත්නම් තමා විසින් කෙරෙන වෙළඳාමක් විය හැකි ය. තමා විසින් සිදු කරන රැකියාව ඉතා වෙහෙස වී කළ යුතු ය. ඔහු අව්වෙන් වැස්සෙන්, කුසගින්නෙන්, පිපාසයෙන් ලැබෙන පීඩා ඉවසමින් රැකියා කොට ධනය සෙවිය යුතු ය. මෙය වනාහී තමාට මේ ජීවිතයේම කාමයන් නිසා ලැබෙන ආදීනවය යැයි දැනගත යුතුය. මේ මහ දුක් ගොඩ සැකසුණේ කාමයන් නිසාම ය. කාම අවුලෙන්ම ය. එම නිසා කාමයන් නිසාම මෙම ආදීනවය ඇතිවන බව දැනගත යුතු ය. මෙහිදී අප දතයුතු කරුණක් ඇත. මෙම දේශනයෙන් තථාගතයන් වහන්සේ තම තමන්ගේ ජීවිතයෙහි උත්සාහය අත්හැර අලසව, කුසීතව විසීම අනුමත කිරීමක් දේශනා කොට නොමැත. මෙහි දී උන්වහන්සේ විසින් පහදා ඇත්තේ ජීවිතයෙහි අවබෝධ කළ යුතු කරුණක් මිස තම ජීවිතයෙහි සියලු කටයුතු අඩාල කිරීමේ පිළිවෙළක් නොවන බව දැනගත යුතු ය.
මේ ආකාරයට මහත් වූ වෙහෙස මහන්සි වී කටයුතු කරන තැනැත්තන්ට කිසියම් මොහොතක තමාගේ උත්සාහය අසාර්ථක වන්නට පිළිවන. එවිට ඔහු මා විසින් දරන ලද උත්සාහය වතුරේ ගියේ ය. මාගේ මහන්සිය අපගේ ගියේ ය යනුවෙන් විලාප නගයි. සෝක කරයි. හඬා වැළපෙයි. මේ සියල්ල ඇති වූයේ කාමයන්ගෙන් බවත් මෙය කාමයන්ගේ ආදීනවය යැයි දත යුතු ය. මේ ආකාරයට මහන්සි වන කෙනෙකුට තමා කරන ලද උත්සාහය ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ඇත. එවිට ඔහුගේ අතමිට සරු වෙයි. ධනවතෙක් වෙයි. පසුව තමා විසින් රැස්කරගත් ධනය පිළිබඳව මෙසේ සිතන්නට වෙයි. එනම් මා දුක්මහන්සි වී හරිහම්බකරගත් දේ ආණ්ඩුව ගනීද? සොර සතුරෝ ගනී ද? ගින්නට හෝ ජලයට හසුවේද? යැයි සිතයි. පසුව ඔහුගේ ධනය ආණ්ඩුව ගනියි. සොරු ගිනිත්, ගින්නට ජලයට හසුවී විනාශ වී යයි. එවිට ඔහු මාගේ ධනය විනාශ වී ගියේ ය. මාගේ වෙහෙස මහන්සිය වතුරේ ගියේ ය. වශයෙන් කියමින් විලාප නගයි. හඩා වැළපෙමින් පපුවේ අත් ගසාගෙන සිටියි. ක්ලාන්ත වී වැටෙයි. උන්මත්තකයෙකු වෙයි. මෙය වනාහි කාමයන්ගේ ආදීනවය යැයි දත යුතු ය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට කාමයන් නිසා රජවරු රජවරු සමග, සිටුවරු සිටුවරු සමග පූජකවරු පූජකවරු සමග මවුපියන් දරුවන් සමග, දරුවන් මවුපියන් සමග නෑ හිතමිතුරන් නෑ හිතමිතුරුන් සමගත් කෝලාහල කරගන්නා බව ය. ඔවුන් ආයුධ වලින්, ගල්මුල් වලින් පහර දී ගෙන මැරී වැටෙන බව දත යුතු ය. මේ සියල්ල කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිළි කළ සේක. කාමයන්ගේ ආදීනව වශයෙන් මිනිසුන් සොරකම් කොට, මංකොල්ලකෑම් සිදුකොට කාන්තාවනට බලහත්කාරකම් සිදුකොට රජයෙන් දෙතිස් වද බන්ධන වලට හසුවන්නේ්ය. මෙය ද කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක. කාමයන් සොයා යන ගමනේදී පුද්ගලයා විසින් කායිකවත්, වාචසිකවත් , මානසිකවත් දුෂ්චරිත සිදුකොට මරණින් පසු සැප නොමැති දුක්සහිත නිරයෙහි උපදින්නේ ය. මෙය කාමයන් හේතුකොට පරලොවදී තමාට විඳීමට සිදුවන ආදීනව යැයි දත යුතු ය. අප කාමයන්ගෙන් නිදහස් වීම යනු කාමයන් ගැන පවතින ආසාව දුරු කිරීම යැයි දත යුතුය. එනම් ඡන්ද දුරු කිරීම වන්නේ ය. එසේම කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙකී කාමයන්ගේ් ආශ්වාදය, ආශ්වාදව වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිදහස්වීම නිදහස්වීම වශයෙනුත් අවබෝධ නොකළේ නම් ඔවුන් කාමයන් ගැන තමන් අවබෝධ කරනවා කියා හෝ කාමයන් ගැන අන් අයට අවබෝධ කර දෙනවා කියා හෝ කිසියම් වැඩපිළිවෙළක් තුළින් කාමයන් ගැන අවබෝධ කරනවා කියන කාරණය සිදු වන දෙයක් නොවන බව දත යුතු ය.
මීළඟට රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් දැනගත යුතු ය. මෙහිදී තථාගතයන් වහන්සේ වයස අවුරුදු 15 - 16 සිටු කුමාරියක් හෝ රජ කුමාරියක් උපමා කොට වදාළ සේක. මෙහිදී මෙම වයස 15 - 16 අතර තරුණ කාන්තාව වැඩිය උසත් නැත. වැඩිය මිටිත් නැත. වැඩිය කෙට්ටුත් නැත. මහතත් නැත. ගොඩක් සුදුත් නැත. කළුත් නැත. තථාගතයන් වහන්සේ පැහැදිළි කරමින් මහණෙනි, ඇත්තටම ඇය හරිම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද? එවිට භික්ෂූන් වහන්සේ එසේය ස්වාමීනි යැයි පිළිවදන් දුන්නේ ය. මහණෙනි එසේ ලස්සන යැයිගන්නා ලද හැඟීම රූපයේ ආශ්වාසය යැයි දත යුතු ය. එසේ නම් රූපයේ ඇති ආදීනවයත් මේ තුළින්ම දත යුතු ය. කෙසේ ද යත් එම දැරිවි පසු කාලයක් වයස 80 ක් දක්වා ජීවත් වනවා නම් වසර 80 ට පසු ඇයගේ තත්ත්වය විමසා බැලීම සුදුසු ය. දැන් ඇය ජරා ජීර්ණ වී ඇත. කුදු ගැසී සම රැළි වැටී දත් ගැල වී ගොස් ඇත. ඇගේ ලස්සන කෙස් ගැල වී ඉදී ගොස් ඇත. ඇත්තෙන්ම ඇය දැන් මහා ලෙඩ ගොඩක්. මෙය රූපයේ ආදීනවය යැයි දත යුතු ය. මේ රූපයේ ආදීනවය කොතෙක් දැයි කියතොත් ඇයව ඔසවන්න වාඩිකරවන්න සතපන්න තවත් අයෙකු අවශ්‍ය වී ඇත. ඇය දැන් දුකට පත්වී තමන්ගේ මළ මුත්‍ර ගොඩේ වැතිරි ඇත. පසුව ඇය මරණයට පත්ව ඇත. පසුව මෙම කය නැමති රූපය ඔසවා ගොස් අමු සොහොනෙහි දමයි. අමු සොහොනෙහි දමන ලද මෙම කය ටිකෙන් ටික මහා අප්‍රසන්න ඕජාවක් සේ පෙනෙන්නේ ය. කය ඉදිමි දොරටු 9 කින් පිළිකුල් සහගත දේ වැගිරෙන්නේ ය. අනතුරුව එම පිළිකුල් මළකුණ අනුභවයට බලු කැනහිල් ගිජුලිහිණි පැමිණෙති. පණුවන්ගෙන් ගහණ මෙම ශරීරය දැන් මහා අසුභයකි. මහා පිළිකුළකි. ඇය තරුණ කළ මෙම ශරීරයට ආශා කළ තරුණයන් කිසිවෙක් මෙහි දැන් නැත. කිසිවෙක් එයට ළං නොවන්නේ ය. මෙය රූපයේ ආදීනවය යැයි දත යුත්තේ ය. මෙම නිස්සාරවත් රූපයේ නිස්සරණය යනු මෙහි ආදීනවයත් ආශ්වාදයත් අවබෝධ කොට රූපය කෙරෙහි පවතින ඡන්ද රාගය දුරු කිරීම බව දත යුත්තේ ය.
මීළඟට වේදනාවේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය දත යුතු ය. කිසියම් යෝගාවචරයකු හොඳින් භාවනාව දියුණු කර ගනියි. ඔහු විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ හා එකග්ගතා යුත් ප්‍රථම ධ්‍යානාංගයට පිවිසෙයි. එවිට ඔහු අනුන්ට හෝ තමන්ට පීඩා වන දේ ගැන නොසිතයි. ඔහු එම සැපයෙහිම වාසය කරයි. මෙය වේදනාවේ ආශ්වාදය යැයි දත යුතුය. එසේම මෙහි ආදීනව නම් මෙකී සියලු විඳීම් ස්ථාවර නොවීමය. එය විපරිනාමයට නැතහොත් වෙනස් වීමට ලක් වෙයි. මෙම වේදනාවේ ආදීනව එය යැයි දත යුතු ය. මෙම වේදනාවේ නිස්සරණය යනු සියලු සුඛ, දුක්ඛ, වේදනා අවබෝධ කොට සියලු ඇලීම්, ගැටීම්, දුරු කිරීමෙන් ලබන සුවය බව දත යුතුය. මෙය වේදනාවෙන් නිදහස් වීම යැයි දත යුතු බව, තථාගතයන් වහන්සේ පැහැදිලි කළහ.

තෙරුවන් සරණයි

තපෝවනයේ සුමේධ හිමි










බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

කාම ගින්නට පිදුරු නොදමනු නොදැවෙන්නට



මුළු ශ්‍රී ලංකා ද්වීපයටම ශාන්තිය, රැකවරණය, සැනසීම, ආලෝකය, ප්‍රඥව උදාවුණු උදාරතම දවස තමයි පොසොන් 
පොහොය දවස. ඒකට හේතුව භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් සමග අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයට වැඩමකොට වදාළේ අද වගේ පොසොන් පොහොය දවසක නිසා. ඒ ආකාරයෙන් ආලෝකමත්වී සසර දුක නිවාගනු පිණිස මං හෙළි පෙහෙළි වූ මේ ලක්‌ දෙරණට දැන් ඇතිවී තිබෙන තත්ත්වය අතිශය ශෝචනීය බව අපි කාටත් හොඳට වැටහෙනවා. විශේෂයෙන්ම කාමයේ ආදීනව කියල දෙන උතුම් සම්බුදු දහම තිබියදී කෙටිකාලීන ආශ්වාදයන් සඳහා අතිප්‍රබල කාම අපරාධ කරන අංක එකේ රටක්‌ බවට මේ රට දැන් පත්වෙලා ඉවරයි.

මේ වගේ දවසක අපි නැවතත් ඒ පිළිබඳව විග්‍රහ කරගෙන මේ තත්ත්වය වළක්‌වාගන්න කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම විවෘත ආර්ථිකයෙන් පසු ශ්‍රී ලංකාවට හැම දෙයක්‌ම, ඒ කියන්නෙ හොඳ නරක සියල්ලම විවෘත වූ නිසා පුද්ගලයාගේ මනස විකෘති කරන කාම චිත්‍රපට,සඟරා මෙන්ම මේ වනවිට අතීතයේ සිටි අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්‌ නොසිතන ආකාරයේ කාමයට සම්බනධ වෙබ් අඩවි ආදිය අන්තර්ජාලය ඔස්‌සේ ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක්‌ දන්නා කරුණු බවට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම අත් දුරකථන හරහා අපේ පාසල් වයසේ දරුවන්ගේ පවා මනස්‌ අද වනවිට දූෂණ තත්ත්වයට පත්වී තිබෙනවා.

එදා අපේ මිහිඳු සංස්‌කෘතිය තුළින් ඇති කළ බෞද්ධ සංස්‌කෘතිය තුළ හැදී වැඩුණු දරුවාට ලැබුණේ අප බෝසතාණන් වහන්සේගේ උතුම් චරිත කතා තුළින් ආදර්ශ ගැනීම. බෝසත්තුමාගේ උතුම් චරිතවත් බව. පංචශීල ප්‍රතිපදාව. ඒ වගේම වැරැදි කළ විට ඇති වන පලවිපාක. ඒ වුණත් අද අද උපදින 

දරුවන්ට ලැබෙන්නේ වැරැදි ආදර්ශ. වැරැදි පිළිවෙත්. ඒ අයට දකින්නට ලැබෙන්නෙම පංචකාමය. ඉන්ද්‍රිය පිනවීම. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි මාධ්‍යය හරහා ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ ඇතිකර තිබෙන බලපෑම වචනවලින් විස්‌තර කරන්න බැහැ. සමහර හොඳ දේවල් තිබුණත් කාමය පැත්තට ප්‍රබල මෙහෙයවීමක්‌ කර තිබෙනවා.

ගීතය තුළ කාමය, චිත්‍රපටය තුළ කාමය, ටෙලිනාට්‍ය තුළ කාමය, වෙළෙඳ දැන්වීම තුළ පවා කාමය. ඇත්ත වශයෙන්ම කාමය අවුස්‌සන වැඩපිළිවෙලක්‌ තමයි කොතන බැලුවත් තියෙන්නේ. පුද්ගලයා තුළ නැති කාමයක්‌ අවුස්‌සනවා. අත් දුරකථනවල දාගෙන තියෙන ගීතවලින් පවා මේ තත්ත්වය ඇතිකරනවා. මේ සමාජය ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වයට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ මීට වසර 2559 කට පෙර දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා පුද්ගලයාගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් පිරිහී වයස අවුරුදු දහය දක්‌වා පහළට බහිනවා කියල. දීඝ නිකායේ චක්‌කවත්තී සීහනාද සූත්‍රයේ තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒකට හේතුවෙන්නෙ අධර්ම රාගය හා විෂම ලෝභය බව උන්වහන්සේ දේශනා කරනවා. අද අපිට දකින්න ලැබෙන්නේ මේ තත්ත්වය. කාමය, රාගය, ලෝභය මාකර්ට්‌ කරල තියෙන්නේ. කාම අපරාධ ගැන ලියෑවිලා තියෙන පුවත්පත් විකුණා මුදල් හම්බකරන සමාජයක්‌. ඒ සිදුවීම් කියවා තිරිසන් රසයක්‌ ගන්න තරම් අධර්මිෂ්ට වූ සමාජයක්‌, පාපකාරී 

සමාජයක්‌ අද බිහිවී තිබෙනවා. ඒ වගේ සිදුවීම් නැවත නැවත කියවද්දි හොඳින් ඉන්න පුද්ගලයෝ පවා අපරාධවලට පෙළඹෙනවා. එවිට මේ වගේ අපරාධ පිළිබඳව අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ කර ඒවායින් මාර්කට්‌ එකක්‌ හදාගෙන මුදල් උපයන පාපතර පුද්ගලයන්ටත් බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න සිදුවෙනවා. අපි මස්‌, මාළු, උම්බලකඩ කෑවම සත්තු මැරෙනවා කියල ඒවායින් පරිස්‌සම් වෙනව සමහර මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයෝ ඉතාමත් දක්‌ෂ ලෙස අපරාධ විකුණා මුදල් රැස්‌කරනවා.

පින්වතුනි, අපිට පසුගිය කාලවල දිගටම අපරාධ පිට අපරාධ දකින්න, අහන්න ලැබෙනවා. කාම අපරාධ පිට අපරාධ දකින්න අහන්න ලැබෙනවා. ඒ අතර ඉතාමත් ශෝචනීය, ඉතාමත් දුක්‌මුසු තවත් එක්‌ සිදුවීමක්‌ අපගේ මේ පුණ්‍ය භූමියට අයත් එක කොටසක සිදුවුණා. ඒ තමයි පසුගියදා උතුරු ප්‍රදේශයේ කයිට්‌ස්‌ දූපතේ සිදුවුණු ඒ අහිංසක පාසල් මල් කැකුලේ අකාල වියෝව. තිරිසන්ගත, පාපතර,කාමයෙන් මත්වූ මෘග පිරිසක්‌ විසින් ඒ පාපකාරී ක්‍රියාව කළා. මේ වනවිට ඔවුන්ගෙන් බහුතරයක්‌ම අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. ඔවුන්ට නිසි දඬුවම් ලැබෙයි කියල අපි සියලු දෙනා බලාපොරොත්තු වුණත් අර අහිංසක දියණියගේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආපසු ලබාදෙන්න ඒ දඬුවම්වලට බැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව එකක්‌ පැහැදිලියි. ඒ අපරාධය කරන ලද පුද්ගලයාට මෙලොවදී පරලොවදී විපාක ලැබෙනවා. බොහෝ වෙලාවට අපායේ ඉපදී, පෙරේත ලෝකවල, තිරිසන් ලෝකවල ඉපදී අන්ත කටුක දුක්‌ පීඩා කල්ප ගණන් විඳින්න සිදුවෙනවා. 'කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනි සේ' කියන ලෝවැඩ සඟරාවෙ කවියෙනුත් මේක හොඳට පැහැදිලි වෙනවා.

අපි බලන්න ඕන ඒ දියණිය වගේ තවත් දියණියන්ට කාන්තාවන්ට මෙවැනි තත්ත්වයන් උදානොවන්න කටයුතු කරන්න. මේක අපි සියලු දෙනාගේම වගකීමක්‌. කාමය, නැති කාමය, නැති රාගය ඇවිස්‌සීම ගැන කතාකරන කොට, සමහර කාන්තාවන්ගේ අනවශ්‍ය 

මෝස්‌තරවලිනුත් විශාල බලපෑමක්‌ එල්ල කරන බව පේනවා. සමහරු කියයි ප්‍රජාතන්ත්‍රවාදය අනුව, ලිබරල්වාදය අනුව අපිට ඕන විදිහට අහක බලාගෙන යා යුතුයි කියල. රහතන් වහන්සේලාම සිටින, මාර්ගපලලාභීන් සිටින සමාජයකට නම් ඒ කතාව ගැළපෙනවා. අපේ අම්මල, චූටි ගෑනු දරුවන්ට පවා අන්දවන්නෙ නොගැළපෙන විදියට. අද චූටිම චූටි 

දරුවන්ගෙ සිට ඉතාම වයසක කාන්තාවන් දක්‌වාම මේ අපරාධය සිදුවෙනවා. ඉතිං අපි සමාජයක්‌ හැටියට මේ තත්ත්වය වළක්‌වා ගන්න කටයුතු කරන්න ඕන.

අප කාමයන් දුරු කරගෙන කටයුතු කළ යුතු ආකාරය සුත්ත නිපාතයට අයිති කාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් මනුෂ්‍යයෙක්‌ කාමයන් පිළිබඳව ඉතා ගිජුවෙනවා නම් ඒ කාමයන් තමයි කුඹුරු වතුපිටි, ගේ දොර, රන් රිදී, මිල-මුදල්, ගවයන් - අසුන් යාන-වාහන ආදිය ඒ වගේම දාස කම්කරු පුරුෂයන්. ඒ වගේම ස්‌ත්‍රීන්. ඒ වගේම ඥතීන්.

එහි ආදීනවය ගැන උන්වහන්සේ දේශනා කරනවා, දුර්වල වූ ක්‌ලේශයන් කාමයෙහි ගිජුවුණු මිනිසාට යටකොට දමනවා. නොයෙක්‌ කරදරවලින් පෙළනෙවා. ඒ නිසා සතර අපා දුකින් යුක්‌තව ඉපදෙන මැරෙන, සංසාර දුක ඔහුගේ පසු පස්‌සේ හඹා එනවා. ඒක හරියට වතුරෙ තිබෙනකොට බිඳිල ගිහින් තියෙන නැවට ජලය ඇතුල්වෙනවා වගේ. කාමයන්ගෙ ආදීනවය, නපුරු විපාක තමයි මේ. දැන් අර පාසල් දියණියක මුල් කරගෙන ක්‍රියාත්මක වූ ඒ කාමයේ ආදීනව අර පුද්ගලයන්ට මෙලොවදීත්, පරලොවදීත් එලව එලවා පහර දෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහියෙන් යුක්‌තව ඉඳගෙන කාමයන් දුරු කළ යුතුයි කියල. (තස්‌මා ඡන්තු සාදා සතොකාමානි පරිවඡ්ජයේ) බිඳිලා ගිය නැව ආපසු පිළිසකර කරගෙන ඒක ඇතුළෙ තිබුණු වතුර පිටතට දමා එතෙර වෙනව වගේ ඒ කාමයන් අත්හැර තෘෂ්ණාව නම් වූ මේ කෙලෙස්‌ සැඩපහර තරණය කරන්න ඕන කියල උන්වහන්සේ දේශනා කරනවා. (තේ පහාය තරේ ඕඝං නාවං සිත්වාව පාරඥාති). ඉතිං කාමයන්ගෙන් නිස්‌සරණයට, නැත්නම් 

නිදහස්‌වීමට පත්වෙන්න ඕන. සුත්ත නිපාතයේ මේ ගාථා රත්නය ඒ ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා.

'යෝ කාමේ පරිවච්ඡේති 

සප්පස්‌සේව පදාසිරෝ

සෝමං විසත්තකං ලෝකේ

සතෝ සමතිවත්තතී'ති'

මැරෙන්න කැමති නැති, ජීවත්වෙන්න කැමැති යම්කිසි කෙනෙක්‌ විෂඝෝර සර්පයකුගේ හිස අසලින් තමන්ගෙ පාදය වහාම ඉවත්කර ගන්නට වගේ පංච කාමයන් දුරුකරනවා නම් ඔහු සිහියෙන් යුක්‌තව ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාව ඉක්‌මවා යනවා යන්නයි ඒකේ අදහස. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරමින් අපරාධ ආදිය වැළැක්‌වීමට කටයුතු කරමින් පංචකාමයන් දුරු කර ගනිමින් සසර දුකින් නිදහස්‌වීමට අදිටන් කර ගනිමු.

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

2015 පොසොන් මස 02 වැනිදා අඟහරුවාදා බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින උපුටා ගැනිමකි

Sunday, June 21, 2015

දැහැමි දියුණුව




“දියුණුව” කියන වචනය බුදු දහමේ සාකච්ඡා කරන්න වෙන්නෙ “ධම්ම” කියන වචනයත් සමගයි. ඒ කියන්නේ ධාර්මික බව හැම අවස්ථාවකදීම අවශ්‍ය වන බවයි. කුමනාකාරයේ ක්‍රියාකාරකමක් සඳහා වුවත් එය අත්‍යවශ්‍ය වන බව මෙයින් පැහැදිලියි. අධ්‍යාපනයට වේවා, ආර්ථික වශයෙන් වේවා, සමාජමය වශයෙන් වේවා, ආගමික වශයෙන් වේවා මේ කුමන කරුණක් සඳහා වුවත් “ධම්ම” යන්න වැදගත් බව බුදුරදුන් පැහැදිලිව දේශනා කර වදාළා.
දියුණුවන පුද්ගලයා කැප විය යුතු ආකාරය මෙසේ විස්තර කර තිබෙනවා.

කායා බල පරිවිතා
බාහා බල පරිවිතා
සේධා වක්කිත්තා
ධම්මිකා ධම්ම ලද්දා 

 
එයින් පැහැදිලිව කියැවෙන්නේ තමන්ගේ කය ශරීරය වෙහෙසවමින් දහදිය වගුරවමින් හරි හම්බ කරන දේ නැත්නම් කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම කය වෙහෙස වූ පමණින් හෝ දහඩිය වැගිර වු පමණින් හෝ එය යහපත් වන්නේ නැහැ. එසේ නම් කෙලෙසද එය යහපත් වන්නේ.
‘ධම්මිකා ධම්ම ලද්දා... ‘ධාර්මික විය යුතුයි යන්නයි බුදු දහමේ දැක්වෙන්නේ. බුදුහිමියන් එය උපමාවකින් පැහැදිලි කර තිබෙනවා.
“සුජීවං අහිරිකේන කාක සුරේන ධංසිනා”
හරකාගේ හණ ගසා තිබෙන මස් කඩාගෙන කන,ලේ රසට ගිජුව එම වණය කන කපුටකු සේ හරි හම්බ කරන්න එපා. බුදුහිමියන් පෙන්වා දුන්නෙ එය දියුණුව නොවන බවයි.
ගොනා පිට වසා සිට උගේම තුවාලය හාරමින් ලේ පෙරෙද්දි ගවයාගේ එම තුවාලයේ මාංශ කඩාගෙන ලේ රසයට වහල් වූ කපුටකු සේ දියුණු වන්නට එපා. එම කපුටකු වගේ හම්බ කරන්න එපා. එය දියුණුව නෙමෙයි යනුවෙන් පෙන්වූවා. තමන්ටත් අන් අයටත් කරදරයක් නැති ක්‍රමවේදයක් පාවිච්චි කළ යුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ. තමන් දියුණු වන්නට තෝරාගෙන තිබෙන මාර්ගය ධාර්මික නම් එයින් තමන්ට හානි වන්නේ නැහැ. එමගින් ප්‍රතිලාභ ලබන අයටත් හානි වන්නට බැහැ. දියුණු වන පුද්ගලයකු තම මාර්ගයේ අඩිතාලම සකස් කර ගත යුත්තේ එය මුල් කර ගෙනයි.
ඔබ බත සපයන ගොවි මහතකු වන්නට පුළුවන්, එසේත් නැත්නම් වෙළෙඳාම් කරනු ලබන අයකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයකු වන්නට පුළුවන්. කාර්මික අංශයේ හෝ ස්වයං රැකියාවක නිරත අයකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් කලා අංශයේ නාට්‍ය රංගන හෝ මූර්ති වැනි දස්කමක් හරහා තමන්ගේ වෘත්තිය සපයා ගන්නකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් උස පැනීමෙන්, පිහිනීමෙන් මැරතන් තරග එසේත් නැත්නම් ක්‍රිකට් වැනි ක්‍රීඩාවකින් බයිසිකල් ධාවන සූරයකු හෝ වන්නට පුළුවන්. එසේත් නැත්නම් ඔබ හෝටලටයක ආහාර පිසින්නකු වන්නට පුළුවන්. වඩු කාර්මිකයකු වන්නට පුළුවන්.
මේ කුමන කර්මාන්තය කළත් තමන්ටත්, අනුන්ටත් එයින් කරදරයක් හිරිහැරයක් නොවන්නේ නම් පමණක් එය ධාර්මික වන බවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ. කාට හෝ එයින් හිරිහැරයක් වනවානම් එය ධාර්මික නොවන බවයි බුදු හිමියන් දේශනා කර වදාළේ.
කවුරුන් හෝ තමන් විසින් පෙර මහත් බාධක දුක් කම්කටොළු විද තම වෙළෙඳාම සකසා ගත් බව පවසනවා නම් එය ධාර්මිකව විය යුතු බවයි එයින් හැඟී යන්නේ, එසේ නොමැතිව යම් අයකු ‘මම විතරයි දන්නේ මම අද ඉන්න තත්ත්වයට ආවේ කොහොමද කියලා, මම අද ලොකු ව්‍යාපාරයක් කරන්නේ පුදුම දුක් විඳගෙන ආපු ගමනක් නිසයි. මම ඒ දවස්වල නීති විරෝධි මත් වතුර වික්කෙ මොන තරම් දුක් විඳ ගෙනද? කැලේ හංග ගෙන, පොලිසිය එනකොට හංගලා දුවනවා. පඳුරු අස්සෙ හැංගෙනවා . ගඟේ හංගනවා, අද ලොකු ලොකු වාහන ගත්තේ ඒ වගේ දුක් විඳල” යනුවෙන් පවසන්නේ නම් එය කිසිසේත්ම “ධම්ම” නැත්නම් යහපත් ගොන්නට අයත් වන්නේ නැහැ. නුසුදුසුයි එසේත් නැත්නම් නරකයි යනුවෙන් බුදු දහමේ දැක්වෙන සියල්ල කොයි ආකාරයෙන් සිදු කළත් තමන් කෙතරම් එය සාධාරණය කිරීමට උත්සාහ දැරුවත් එය කිසිසේත්ම සාධාරණය වන්නේ නැහැ.
බුදු හිමියන් අපට ඉගැන්වූයේ දියුණුව පිණිස නම්

උට්ඨාන සම්පදා
ආරක්ඛ සම්පදා
කල්‍යාණ මිත්තතා
සමජීවිකතා
යන ගුණ ධර්ම තිබිය යුතු බවයි.
උත්සාහය සමඟම එළඹ ගත් වීර්යයක් තිබිය යුතුයි. ‘මටත් අනන්‍යන්ටත් කරදර නොවීමට මම වගබලා ගන්නවා’. ‘යන්න නිරතුරුවම තම සිතෙහි කාවැදී තිබිය යුතු වනවා.
තමන් කවර රැකියාවක නිරත වූවත්, සුළු රැකියාවක නිරත වුවත් තමා සතුව උට්ඨාන සම්පදාව එළඹගත් වීර්යයක් තිබිය යුතු වනවා. උත්සාහයෙන් තොර දියුණුවක් ගැන සිතන්නට බැහැ. එසේම උත්සාහයත් සමඟ ආරක්ඛ සම්පදාවත් අප සතු විය යුතුයි. දියුණු වන පුද්ගලයා සෑම විටම ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. තමන් සතු දේ රැක ගැන්මට අපොහොසත් වුවහොත් දියුණුවක් ලබන්නට බැහැ.
එය කුඩා සිසුවාගේ සිටම පිහිටුවිය යුතු ගුණාංගයක්. ශිෂ්‍යත්ව විභාගය සමත් වු සිසුවා සා. පෙළ සමත්වීම දක්වා අධ්‍යාපනය රැක ගැනීමට සමත් විය යුතුයි. සා පෙළ සමත් සිසුවා උසස් පෙළ දක්වා තම අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට සමත් විය යුතුයි.අපට වෙළෙඳ සලක් ආරම්භ කරන්න අපහසු නැහැ. නමුත් එය පවත්වා ගැනීම අපහසුයි. එයයි ජයගත යුතු අභියෝගය වන්නේ, අහම්බෙන් අපට ලොතරැයි දිනුමක් ලැබෙනවා. විශාල උත්සාහයකින් තොරව ලැබුණත් එහි මුදල පවා ආරක්ෂා කර ගැනීමේ වගකීම අප සතු වනවා. ඇතැම් අයෙක් එය සුදුවක් ලෙස හදුන්වන්න පුළුවන්. නමුත් අපේ රටේ ලොතරැයි මඟින් විශාල සුබසාධනයක් සැලසෙන බව මතක තබා ගත යුතු වනවා.
එමෙන්ම ඔබට යම් ආකාරයකින් මැණික් වැනි ස්වභාවික සම්පතක් හිමිවීමට පුළුවන්. මේ සියල්ලම ඔබ ආරක්ෂා කර ගත යුතු වනවා.
ආරක්ෂාව සලසා ගැනීමට නම් ආවේලාවේ වීදි සංචාරය, මත් වතුර පානය, සුරාව සූදුවට යාම මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම සහ කාන්තාවක් නම් පුුරුෂයන් කෙරෙහි ලොල් වීමෙන් වැළැකීම මෙහිලා බෙහෙවින් වැදගත් වෙනවා. එමෙන්ම අලසභාවයෙන් තොරවීම් මේ ආරක්ෂාව පිණිස හේතු වනවා.
එසේ ආරක්ෂා කර ගැනීම පිණිස කල්‍යාණ මිත්‍ර ඇසුරත් හේතු වනවා. එමෙන්ම අප ජීවත් විය යුත්තේ සමජීවිකතා ගුණාංගය වඩමින්. ඒ සම්බන්ධ වැඩි විස්තර මීළඟ කලාපයෙන් කියවමු.


 ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි 








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 16 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Saturday, June 20, 2015

ඉවසීම පුරුදු කරමු

 


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දන්තං නයන්ති සමිතිං දන්තං රාජාහිරූහති
දන්තො සෙට්ඨො මනුස්සෙසු යොති වාක්‍යං තිතික්ඛති 

 

අද ධර්ම දේශනාවට මාතෘකා කළේ, ධම්ම පදයේ නාග වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටි අවස්ථාවක, ඇතිවූ සිද්ධියක් මූලික කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. කොසඹෑනුවර ප්‍රසිද්ධ ආරාම තුනක් තිබුණු බව පොත්පත්වල දැක්වෙනවා එනම්, පාවාරිකාරාමය, ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමයයි. බුදුරජාණන් වහන්සේ මේ අතරින් ඝෝෂිතාරාමයේ අවස්ථා කීපයකදී වැඩ සිටි බවත් සඳහන් වෙනවා. 

උන්වහන්සේ එහි වැඩ සිටි දිනෙක උදෑසන, උන්වහන්සේගේ නුවණැසට ගැටුනේ මාගන්දිය බමුණා හා එම බැමිණියයි. මේ දෙදෙනාට ධර්මාවබෝධය ලැබීමට තරම් මුහුකුරා ගිය කුසල ශක්තියක් ඇතිබව දැනගත් බුදුහාමුදුරුවන් වහන්සේ, උදෑසන පා සිවුරු ද ගෙන මාගන්දිය බමුණාගේ නිවසට වැඩම කළා. බමුණා ගෞරව සහිතව බුදු හාමුදුරුවන් පිළිගත්තා. ඒ අතර ඔහු මෙහෙම හිතනවා,” මගේ දුව තරුණයි, රූමත්, කිසි දෙයකින් අඩුවක් ඇත්තේ නැහැ. එකම අඩුවකට තිබුණේ ඇගේ රුවට ගැළපෙන තරුණයෙක් සොයා ගැනීමට නොහැකිවීමයි. ඒ අඩුව අද සම්පූර්ණ කර ගන්ට පුළුවනි. ඇගේ උරුම කාරයා නිවසටම ඇවිල්ලා සිටිනවා” මෙහෙම හිතලා හාමිනේට වහාම කථා කළා, දුව සරසාගෙන ඉදිරියට ගෙනෙත්නැයි ඉල්ලා සිටියා. හිතේ සතුට ඉහවහා ගිය බැමිණිය ද ඉක්මනින්ම දුව හැඩ වැඩ කොට සරසා ගෙනැවිත් බුදුහාමුදුරුවන් ඉදිරියට යොමු කළා. ඔවුන්ගේ අදහස වටහා ගත් බුදුරජාණන් වහන්සේ, ශරීරයේ අස්ථිර බවත් නිසරු බවත් ඔවුනට පැහැදිලි කර දෙමින්, විනාශයට යන රූපයක් ගැන හිතමින් අහංකාර වීම මෝඩ කමක් බවත් හේතු සහිතව පෙන්වා දුන්නා. ඒත් ඒ කිසිවක් තරුණ මාගන්දියාට නම් වැදගත් වුනේ නැහැ. තමාගේ රූපයට නින්දා කළේ යැයි සිතූ තරුණ මාගන්දියා, බුදුහාමුදුරුවන් කෙරෙහි ඇති කර ගත්තේ වෛරයක්.
මාගන්දියාගේ රූමත් බව නිසාම පසු කාලෙකදී උදේනි රජු, ඇයත් රජ බිසවක් ලෙස පත්කර ගත්තා. ඇය දැන් බුදුහාමුදුරුවන්ට එරෙහිව රාජ්‍යබලය යොදාගෙන තමන්ට කළ අපහාසයට බුදුහාමුදුරුවන්ගෙන් පළි ගන්ට හිතුවා. බුදුරජාණන් වහන්සේ ඝෝෂිතාරාමයේ වැඩ සිටින බව ඇයට දැනගන්ට ලැබුණා. උන්වහන්සේ නගරයෙන් පන්නා දැමීමට නොයෙක් ප්‍රයෝග යෙදුවා. නිවට මිනිස්සුන්ට අල්ලස්දීලා බුදුහාමුදුරුවන්ට නින්දා කළා. පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේලාට අභූත චෝදනා ඉදිරිපත්කරමින් පරිභව කළා. පන්සලේ ඉන්න බැරි තරමට හතර වටෙන්ම, දොස් නැගෙන්ට වුණා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පෙරැත්ත කර කර කියා හිටියා පන්සල අතහැරලා වෙනින් කොහාට හරි යමුයි කියලා. ඒකට උන්වහන්සේ කැමති වුණේ නැහැ. වෙනින් තැනකට ගියත් එතැනත් මෙහෙම දෙයක් සිදු වුණොත් මොකද කරන්නේයැයි ප්‍රශ්න කොට, යම් ආරංචියන් ලැබුණම එහි ඇත්ත නැත්ත සොයා නොබලා ආවේගශීලීව ක්‍රියා කිරීම සාමාන්‍ය ස්වභාවය බව වදාරා. මිනිස්සුන්ට සත්‍යය වැටහෙන කොට මේ තත්ත්වය මගහැෙර්යැයි පැවසුවා, එතෙක් ඉවසා සිටින ලෙස ඉල්ලා සිටියා. මේ සිදුවීම නිමිති කරගෙන තමයි මාතෘකා පාඨය ලෙස ඉදිරිපත් කළ ගාථාව දේශනා කළේ.
ගාථාවේ සාමාන්‍ය අදහස මෙහෙමයි. සෙනග ගැවසෙන තැනකට ගෙනියන්නේ හීලෑ කරන ලද අලි ඇතුන්, අසුන් පමණයි. රජතුමා පවා පිට උඩ නගින්නේ හීලෑ සතෙකුගේ පමණයි.මිනිසුන් අතරින් යම් පුද්ගලයෙකු ඉවසීම මනාව හුරු පුරුදු කරන ලද්දේනම් ඒ තැනැත්තාම ශ්‍රේෂ්ඨ වන බවයි. පින්වත, බුදුහාමුදුරුවන් වහන්සේ මනුස්සයෙකුට හීලෑවීමේ අගය පෙන්වාදීමට, මෙතෙනදී අපට දැනෙන හැඟෙන කදිම උපමාවක් යොදාගෙන තියෙනවා. හීලෑ නොවුනු සතුන්ට අපි බයයි ඔවුන් හඳුන් වන්නෙත් වන සතුන් කියලාමයි. වන සතුන්ට අපි බය මොනවා කරයිද කියලා හිතාගන්ට බැරිනිසයි. කවුරුත් කිට්ටු වෙන්නෙ නැහැ. ආදරය කරන්නෙත් නැහැ. වනයේ අලි ඇතුන් හීලෑ කරගන්ට මිනිස්සු ලොකු වෙහෙසක් ගන්නවා. කකුල්වලට මදු දාලා හිර කරනවා, පිට මැද්දෙන් කඹයක් දානවා. ඒ කරලා ගස් බඳිනවා.මුලින් කෑම නොදී ඉන්නවා, පස්සේ ටික ටික කන්ට දෙනවා. මෙහෙම ලොකු වෙහෙසක් දරලා සතාව හීලෑ කර ගන්නවා. හීලෑ සත්තු තමයි පාරවල් දිගේ ගෙනියන්නේ. සෙනග මැද්දට ගෙනියන්නේ, පෙරහරට සම්බන්ධ කරන්නේ. හීලෑ නිසාම ඔවුන්ගෙන් කරදරයක් හිරිහැරයක් නොවේය යන විශ්වාසය අප තුළ තියෙනවා. එපමණක් නොවෙයි පෙරහරේ යන ඇතා මොන තරම් ඉවසනවද?
කකුල් වලට දම්වැල් දාලා, ඇඳුමක් ඇඟේ දවටලා, පිට උඩ දෙතුන් දෙනෙක් නැගලා, ඒ විතරක්ද? වටෙන්ම බෙර ශබ්ද? කස පුපුරන හඬ, නැටුම් ගැයුම් වලින් නැගෙන ඝෝෂාව. අලි ඇතුන්ට මේවායින් වැඩක් නැහැ ඒවා කරදරයක් එපමණක්ද? පෙරහරේ ගෙනියන පන්දම් වලින් පෑගෙන ගිනි අඟුරු කකුල්වලට පෑගෙනවා. පෙරහරේ ගමන් කරන අලියා හෝ ඇතා මේ සියලු දේ ඉවසා දරාගෙන සංවරව පෙරහරේ ගමන් කරනවා. පින්වත, හීලෑ සතාටයි අපි ආදරේ. කිට්ටු වෙන්ට බයත් නැහැ. කරදරයක් විපතක් සිදු නොකරනවාය කියන විශ්වාසය තියෙනවා. මේ කාරණයම අරගෙන බුදුරජාණන්වහන්සේ, මිනිසාට වටිනාකමක් ලැබෙන්නේද හීලෑබව ඇති තරමට හා දරා ගැනීමේ හැකියාව ඇතිකර ගත් තරමට බව පෙන්වා දෙනවා.
පින්වත, මිනිසා හීලෑකර ගත යුත්තේ තමන්ගේ කය හා කට යන ඉන්ද්‍රියන් දෙකයි. බොරුව, කේලම, පරුෂ බස් දෙඩීම හා ප්‍රලාප දෙඩීම, කට වැරදි විදියට යොදා ගැනීම නිසා කෙරෙන කටයුතුයි. කට වරදවා පාවිච්චි කිරීම නිසා මිනිසා තමන්ටම විශාල හානියක් කරගන්නවා. අන් අයගෙ විශ්වාසය නැතිකර ගන්නවා, ගරුත්වය කෙලෙසා ගන්නවා, ඇතැම්විට නොයෙක් ආකාරයේ දඬුවමට ලක්වෙනවා, අකාලයේ ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වෙනවා. අන් අයට තලා පෙලා හිරිහැර කිරීම, මරණ තර්ජන කිරීම, ජීවිත නැතිකිරීම, ඒ වගේම අන්සතු දේ පැහැර ගැනීමත්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර වැනි දේවල්වලට මිනිස්සු පෙළඹෙනවා. මේ සියල්ල සිදුවන්නේ කයෙහි අසංවරකම නිසයි, කය හීලෑ නැති නිසයි. නිවසේ දෙමාපියන් අසීලාචාර වෙනකොට දරුවන් ජීවත්වෙන්නේ, බියෙන් තැතිගැන්මෙන්, ඔවුන්ගේ ආදරය සෙනෙහස ලැබෙන්නේ නැහැ. මව්පියන් ළඟට කිට්ටු වෙන්ට බයයි, ඒ අම්මට තාත්තට දරුවන්ගේ සැළකිල්ලකුත් නැහැ. හැමෝටම වටින කමක් ලැබෙන්නෙත් ජනතාවගේ ගෞරවය හා ආදරය ලැබෙන්නෙත් ඔවුන් සීලාචාර හා ඉවසීම හුරුකළ අය වුවොත් පමණයි. අපරාධ සමාජය තුළ සිදුවන්නේ ද අසීලාචාරකම හා ඉවසීමේ ගුණය හුරු නොකිරීම නිසයි.
ඉවසීම, ක්‍රෝධය නැති කරන ආයුධයයි. බලවතුන්ගේ ජීවිත සරසන ආභරණය ද ඉවසීමයි. හැමදෙනාටම අපා දොර වසන, සැනසිල්ලට මග කියාදෙන මාර්ගෝපදේශකයා ද ඉවසීමයි. ඔබත් අද අදම කල් නොදමා, සීලය හා ඉවසීම හුරු කරන්න. ඒ තුළින් දෙලොවම ඔබේ ජීවිතය ශක්තිමත් කර ගන්න.

 කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති,
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි







 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 16 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Friday, June 19, 2015

සම්මා සම්බුද්ධ ගුණ





නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෙ ආවරියෝ අත්ථි
සදිසො මෙ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං
නත්ථි මෙ පටිපුග්ගලෝ



කාරුණික වාසනාවන්ත පින්වතුනි,

මෙම ධර්ම දේශනාවෙන් මම බලාපොරොත්තු වන්නේ අපේ අමා මෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබදවත් උන්වහන්සේගේ උත්තරීතර බුදුගුණ පිළිබඳවත් කෙටියෙන් කරුණු කිහිපයක් පැහැදිලි කිරීමටයි. අප වැනි අයට අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ගුණ නිසි ආකාරව නොවැටහෙන ස්වභාවයක් ඇති බවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් වර්ණනා කර නිමකළ නොහැකි බවත් සත්‍යයකි. එහෙත් එවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට වැටහෙන අයුරින් හෝ සාකච්ඡා කිරීම බුදුගුණ භාවනාවකි.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කව්ද යන පැනය අද පමණක් නොව අතීතයේ දීද පැන නැගි ප්‍රශ්නයකි. බුදුරදුන් යනු කිසියම් දිව්‍යමය සම්භවයක් ඇත්තෙක් ලෙසත්, ඒ නිසා උන්වහන්සේ පණිවිඩ කාරකයෙක්ද යන මතය සමහරු සාකච්ඡාවට බදුන් කර තිබෙනවා. එහෙත් උන්වහන්සේගේ දේශනාවට අනුව බුදු දහම යනු මනුෂ්‍යයෙක් වශයෙන් මනුෂ්‍යයෙක් විසින් දියුණු කළයුතු මානුෂීය ගුණ ධර්ම සංවර්ධනය තුළින් ලබාගත් තත්ත්වයක් ඒ හෙයින් කාගේ හෝ ශිෂ්‍යයෙක් ලෙස හෝ පණිවිඩකරුවෙක් ලෙස නොව මනුෂ්‍යත්වය තුළ සංවර්ධනය කරගත යුතු උතුම් බුද්ධිමය ශක්තිය දියුණු කරගත් උත්තමයෙක් ලෙස බුදුපියාණන් වහන්සේ හඳුන්වාදීම සුදුසු වේ.
උන් වහන්සේ පිළිබඳව අපට දැකගන්නට ලැබෙන හොදම අවස්ථාවක් තමයි බෝ මැඩ සිට ගයාවට ධර්ම දේශනා සඳහා වැඩි ගමන අතර මගදී හමුවූ උපක ආජීවක තෙම බුදුන් වහන්සේ සමග සිදුකළ සාකච්ඡාව .
ඔබ වහන්සේ ප්‍රසන්නයි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් පි‍්‍රයජනකයි. ඔබ වහන්සේ කිනම් ගුරුවරයෙක් පා සවනේ හැදෙන කෙනෙක්ද? කිනම් දහමක් අනුගමනය කරන්නේද? ඔහුගේ ප්‍රශ්නය වුණා. එම අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
-මට ගුරුවරයෙක් නැහැ
-මා හා සමාන වූවෙක් ඇත්තේ නැත
-දෙවියන් සහිත ලෝකයේ
මා ඉක්මවා යා හැකි පුද්ගලයෙක් නැත යනුවෙන් මේ හෙයින් උන්වහන්සේ අප්පටි පුද්ගල වේ. එනම් අසමාන පුද්ගලයෙක් බවයි. අපේ බුදුහාමුදුරුවන් ගැන සාකච්ඡා කරද්දී උන්වහන්සේ තුළ පැවති සුවිශේෂ ගුණ රාශියක් ධර්ම සාහිත්‍යය තුළ දක්නට ලැබේ. ඒ අතර වන සමහර ගුණයන් බුද්ධිය මනස හා සම්බන්ධ වන ගුණාංග සමහර ගුණාංග හදවත හා සම්බන්ධ දේවල්. හදවත හා සම්බන්ධ ගුණාංග සැලකෙන්නේ කරුණාව හා පදනම් වන ගුණාංග වශයෙන් උන්වහන්සේගේ මහා කරුණාව අන් සියලුම පුද්ගලයන්ගේ කරුණාවට වඩා උත්තරීතරයි.
උන්වහන්සේගේ මනා පුහුණුව නමින් හඳුන්වන බුද්ධිමය ශක්තිය හෙවත් ප්‍රඥාව සෙස්සන්ගේ පුහුණුවට වඩා සුවිශේෂ හෙයින් අපි එය මහා ප්‍රඥාව නමින් හදුන්වමු. එහෙයින් මහා කරුණා මහා ප්‍රඥා ගුණයෙන් උන්වහන්සේ සමන්විත වනවා.
උන්වහන්සේගේ ශාරීරික හා ආධ්‍යාත්මික ගුණයන් පිළිබඳව පරිශීලනයේදී අපට පැහැදිලි වන ගුණ දෙවර්ගයක් වේ. බුදුහාමුදුරුවන්ගේ අධි මානුෂික ලක්ෂණ වශයෙන් දැක්වෙන උන්වහන්සේ තුළ පැවති තෙසිස් පුරුෂ ලක්ෂණ, එමෙන්ම අසීති අනු ව්‍යඤජන මංගල ලක්ෂණ, භ්‍යමප්‍රභා මණ්ඩලය හඳුන්වන්න පුළුවනි. මෙහි අති මානුෂීය ලක්ෂණ උන්වහන්සේ තුළ පැවතියේද යන සාකච්ඡාවක් සමහරුන් විසින් සිදුකරනු අදත් දක්නට ලැබේ.
දීඝ නිකායේ හමුවන අම්බට්ට සූත්‍ර වැනි සූත්‍ර වල මෙම ලක්ෂණ පිළිබඳවත් ධර්ම සාහිත්‍යයෙන් කරුණු ලැබෙන අතර, එම කරුණු ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් අපට නැති බවක් පැහැදිලියි.
එදා පොක්ඛරසාති බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවූ මහා කීර්තිරාවය අසා, බුදුරජාණන් සොයා යාම සඳහා තමාගේ දක්ෂ ශිෂ්‍යයෙක් වූ අම්බට්ට මානවකයා පිටත් කළේය. අම්බට්ට බුදුරදුන් සොයා ගොස් උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ පසු පස යමින් මේ මහා පුරිස ලක්ෂණ ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂාවක් කළේය. කුමක්ද? මෙසේ සොයා බැලීමට හේතුව අතීතයේ වේද ග්‍රන්ථවල මහා පුරිස ලක්ෂණ ගැන ලියවී තිබෙන බව දැන සිටි නිසයි. මෙසේ විමසුමක් කරන ලද්දේ.
මේ මහා පුරිස ලක්ෂණ නිසා එසේ තත්ව දෙකක් ලබනවා. ගිහිගෙයි විසුවොත් ඒ උත්තමයෝ චක්‍රවර්තී රාජ්‍ය ලබනවා. එසේ නැතිව පැවිද්දට පත් වුවහොත් ලොව්තුරා බුද්ධත්වයට පත් වන බව වේද ග්‍රන්ථවල සඳහන් හෙයිනි. බුදුරදුන් තුළ මහා පුරිස ලක්ෂණ අන්තර්ගතව ඇත්ද යන්න සොයා විමසුම් කළ මෙම අම්බට්ට මානවක තෙම අපේ බුදුහාමුදුරුවෝ තුළ පිහිටි දෙතිස් මහා පුරිස ලක්ෂණයන්ගෙන් බාහිර පෙනෙන ලක්ෂණ නම් වූ කිහිපයක් දැක හදුනාගත් නමුත් පහත ජිව්හා ලක්ෂණය හා කොසොහිතවත්‍ථගුයිහ ලක්ෂණය නම්වූ බාහිරව නොදකින ලක්ෂණ ද්වයයි දැක හදුනා ගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. අම්බට්ට මානවකයාගේ යටි සිත තේරුම් ගත් බුදුරදුන් ඔහුට පේන්නට එම අභ්‍යන්තර දෙලක්‍ෂණ පිළිබඳව ඉද්ධාභිසංකාරයක් පැවැත්වු බව අම්බට්ට සූත්‍රයේ සඳහන් වේ.
බුදුන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කර කාලය, දීපය, දේශය, කුළය, මව් යන පංච මහා විලෝකනයන්ගෙන් අනතුරුව මිනිස්ලොව සුවිශේෂ පුද්ගලයෙක් වශයෙන් ඉපදුන බව ඉහත කී කරුණු පිරික්සීමේදි පැහැදිලිව දක්නට ලැබේ. ඒ හෙයින් කිසිවෙක් අදහස් කරනවා නම්, ප්‍රකාශ කරනවානම්, බුදුහාමුදුරුවෝ අප හා සමාන මනුෂ්‍යයෙක්ය යන්න එය නොසිතිය යුතු කල්පනාවක් බැව් පැහැදිලියි.

එකිනෙකට වෙනස් අයුරින් මෙලොව ඉපදෙන මිනිසුන් අතර, බෝධි සම්භාර ධර්මයන් පිරූ උත්තමයෙක් අතිශයින්ම අපට වඩා වෙනස් සුදුසුකම් වලින් හා ශාරීරික බුද්ධිමය ශක්තියෙන් යුක්ත වීම සත්‍යයකි.
අද අප අතර උන්වහන්සේගේ දේශනාවන් ඇත. එම ධර්මය දෙස බලන කළ පැහැදිලි වෙනවා. මෙම සමාජයේ පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ අවබෝධ නොකළ හැකි, දේශනා නොකළ හැකි බොහෝ කරුණු එහි අන්තර්ගත බව, ඒ හැම දෙයම හරහා බැලූවිට බුදුන් වහන්සේ යනු සුවිශේෂ අධි මානුෂීය තත්වයක් බැව් පැහැදිලි වෙනවා. එහෙත් මේ කාරණය වරදවා වටහා නොගත යුතුයි.
උන්වහන්සේ තුල මහා පෞරුෂීය ලක්‍ෂණ තිබූ බව පෙනේ. එමෙන්ම සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ උන්වහන්සේ තමන් වහන්සේ පැවිදිවුනේ ඇයි? ද යන්න පැහැදිලි කර ඇත.
මේ ගිහිගෙයි වාසය අතිශයින් බාධක සහිතයි. කෙලෙස් වැඩීමට ආකරයක්. පැවිද්ද ආකාශය වගේ මේ පැවිද්ද දැකල තමයි මාව පැවිද්දට පත්වුනේ කියා බුදුහාමුදුරුවෝ දේශනා කර ඇත. ඒ නිසා පැවිද්ද සඳහා සූදානම් වූයේ, පැවිද්ද සදහා ගිහි ගෙය හැරයාම සඳහා පෙළඹුණේ මේ සමාජයේ පවතින දුක නමැති යථාර්ථය අවබෝධ කරගෙන බව පැහැදිලියි. ඒ අනුව බුදුහාමුදුරුවෝ පිළිබඳව කල්පනා කළ යුතු වන්නේ මනුෂ්‍යයෙක් ලෙස ඉපදී, මනුෂ්‍යයෙක් ලෙස විදිය යුතු සැපවිඳ, එමෙන්ම ලඟා කරගත යුතු සුව පහසුකම් විඳ එහෙත් මේ ආශ්වාදය තුළ ඇති ආදිනවයන් මගින් දැකිය යුතු නිස්සරණයන් තේරුම් ගෙන ඉන් ඉදිරියට ගිය උත්තමයෙක් ලෙසය.
ඉහත අපි සාකච්ඡා කළේ බුදුහාමුදුරුවන්ගේ ශාරිරික ලක්‍ෂණ කිහිපයක් පිළිබඳවයි. උන්වහන්සේගේ වචනය ගතහොත් ඒ වචනය තුළ සුවිශේෂ වූ ලක්‍ෂණ ගණනාවක් ධර්මයේ පැහැදිලි කර තිබේ.
“බින්දු සුස්සරතා, සුසන්ඨාන ආදි ලක්‍ෂණයයන් උන්වහන්සේගේ අෂ්ටාංග සමුපේත ස්වරවල අන්තර්ගතව තිබෙනවා. බින්දු යනු වචනයේ වටකුර බව, උන්වහන්සේ දේශනා කරන ආකාරය හරි මිහිරියි. උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළ වචන සැමගේම හදවත දිනාගත් මිහිරි වචන වූ අතර මටට සුමට වචන හෙයින් එම වචන බින්දු නමින් හඳුන්වනු ලැබේ.
එසේම උන්වහන්සේ තුළ පැවති සුස්සර ගුණය වැදගත් වේ. සුස්සර යනු නියම ස්වර උච්චාරණය කරමින් කථා කිරීමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නියම වශයෙන් ස්වර හඳුනාගෙනය.
එසේම උන්වහන්සේගේ දේශනාවල ඇති ගාම්බීර බව, ගැඹුරු බව ඉතා විශේෂයි. සමහරුන් දන්නේ නැහැ තමන් කථා කල යුත්තේ කුමක්ද යන්න.
බුදුන්වහන්සේ කාලවාදී, භූතවාදි, අත්ථවාදි මේ කාලවාදි යනු අවශ්‍ය වේලාවට කථා කිරීම, මෙයට හොඳම නිදසුනක් තමයි දාරුචීර තාපසයාගේ කථාව, බුදුන්වහන්සේ පසුපස පැමිණ දාරුචීර තෙම පිණ්ඩපාත වඩිනකොටත් ධර්මය දේශනා කිරීමට ඉල්ලීම් කළේය. එවිට බුදුහාමුදුරුවෝ දේශනා කලේ “ අකාලො යං දාරුචිරීය පිණ්ඩාය පවිට්ඨම්හා “ දාරුචීර මෙය පිඩු පිණිස වේලාව බැවින් බණ කීමට සුදුසුවේලාව නොවේ යයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යලිත් යලිත් දාරුචීරය ඇවිටිලි කරන කල ඔහුට දෙසු බණ පදයෙන්ම ඔහු රහත් වෙනවා.
මම සම්මා සම්බුද්ධ යනුවෙන් හඳුනාගත යුතුයැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ සේක.
- හරියට නෙළු පියුමක් වැනිය. පියුම වතුර නොගැවී පිපී ඇත.
- ලෝකයා සමඟ නොගැටී නොඇලී කටයුතු කරන නිසා
- බුදුහාමුදුරුවන්ට බුද්ධ කියා කියති යැයි දේශනා කළහ.
ඒ බුදු වදනයි. අප මෙන් මනුෂ්‍යයෙක් ලෙස ඉපදී මනුෂ්‍යයෙක් ලෙස කටයුතු කොට මනුෂ්‍යයෙක් වශයෙන් යාම් ඊම් ආදි විහරණයන් සිදුකර, එහෙත් මනුෂ්‍යයෙක් තුළ පවතින සසර ගමනට හේතුවන ක්ලේශයන් දුරු කර සහ මුලින්ම ඉවත් කර දැමූ නිසා උන්වහන්සේ බුද්ධ නම් වේ. මෙම සමාජය තුළ ජීවත් වුණද සමාජයේ නොගැටි නොඇලී කටයුතු කළ උත්තමයෙකි. උන්වහන්සේ තුළ පැවති අධි මානුෂිය ගුණයන් පිළිබඳව සාකච්ඡා කිරීමට තව බොහෝ කරුණු ඇත.
සියලු වාසනා සහිත ක්ලේශයන් බුදුහාමුදුරුවෝ නැති කළ සේක. දුටු දේ දුටු දේ ලෙසත්, ඇසුණු සේ ඇසුණූ දේ ලෙසත් දැනුණු දේ දැණුනු දේ ලෙසත් කල්පනා කරන්න යනුවෙන් බුදුහාමුදුරුවෝ කෙටි ධර්මාවවාදයක් කොට වැඩම කළ සේක.ඉන් බුදුහාමුදුරුවෝ කාලවාදි බව පැහැදිලිවේ. එසේම උන්වහන්සේ තුළ පැවති ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ අත්ථවාදි බවයි. එනම් අනවශ්‍ය දේ දේශනා නොකොට අර්ථාන්විත දේ පමණක් දේශනා කිරීම.
එසේම හිතවාදි සිදුවු දේ පමණක් උන්වහන්සේ දේශනා කරන ලද අතර අභුතයක් දේශනා නොකළ සේක. සාකච්ඡාවට ගතයුතුදේ පමණක් සාකච්ඡා කළ සේක.
උන්වහන්සේගේ දේශනා සතර ආකාරයකි.
1.”එකංසබ්‍යකරණ 2.”විභජ්ජබ් ව්‍යාකරණ “ 3.”පටිපුච්චාව්‍යාකරණ “ 4.”ඨපනීය” යනුවෙනි.
බුද්ධ දේශනාවේ ඇති ස්වරය මිහිරි බව ගාම්භීර බව මෙන්ම තවත් වැදගත් ලක්ෂණයක් නම් නින්නාද ලක්ෂණයයි. උන්වහන්සේ නිරන්තරයෙන් ගීගුම් නඳින් දම් දෙසු සේක. උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණයට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසට අදහස් වූයේ උන්වහන්සේ තමන්ට දම් දෙසන ස්වභාවයක් බව සඳහන් වන්නේ මේ නිම්නාද ලක්ෂණය නිසයි. ඒ අනුව මනුෂ්‍ය ස්වරූපය ඉක්මවා ගිය තත්ත්වයන් දියුණු කළ උතුමෙක් වේ. මෙම කරුණු සනාථ වන තවත් අවස්ථාවක් නම් බුදුහාමුදුරුවන් හා ද්‍රෝණ බමුණා අතර ඇති වු සාකච්ඡාව පෙන්විය හැක.
බුද්ධානුස්සතිය වඩන කොට කෙනෙක්ට උන්වහන්සේ තම හදවත තුළ ජනිත කරගන්නට හැකියාව ඇත. පසු බිම තිබෙන පිළිමයකින් එයට උදව්වක් ලැබුණත් උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ තේරුම් අරගෙන බුදුරදුන් අප හදවතේ නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත්නම් නියම බුදුන් වැඩ ඉන්නේ එහිය. තුණුරුවන් කෙරෙහි අකලංක විශ්වාසයක් ඇති කර ගැනීමට බුද්ධාදි අටතැන පිළිබඳව සැක දුරු කළ යුතුයි. එවැන් සැක ඇති අයෙක් ශ්‍රද්ධාවන්තයෙක් නොවන බවත් මිත්‍යාදෘෂ්ටිකයෙක් වන බවත් පැහැදිලියි.
“රහසත් පව් නොකොට - කෙළෙසරයුනුත් දුරු කොට
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑමෙන් බොහෝ කලකට පසුවයි බුදු පිළිම ඉදිවුනේ. එයට හේතුව බුදුරදුන් වැනි සුවිශේෂ උත්තමයෙක් කෙසේද පිළිරුවකට නගන්නේ යන පැනය එදා ඇති වීමයි. ඒ නිසා බුදුරදුන් නියෝජනය කිරීම සඳහා සිරි පතුල යොදා ගත් බව පෙනේ. සාංචි ස්ථූපය, බෝධින් වහන්සේ, ධර්ම චක්‍රය, පද්මය මෙසේ යොදා ගත් සංකේත වේ.
පසුකලක බුද්ධියෙන් පිරිහෙන අයට බුදුරදුන් හදවතේ මවා ගන්නට උදව්වක් ලෙස බුදු පිළිම නෙළීම ඇරඹිණි. එහෙත් එම පිළිම තුළින් බුදුරදුන් තුළ පැවති මෙත්තාව, කරුණාව, උපේක්ෂාව වැනි ගුණයන් ඒ අයුරින්ම පිළිබිඹු කරන්නට කලාකරුවාට හැකියාවක් නොමැත. එහෙත් බුදු රුව ඉදිරියේදි ඒ උතුම් බුදු ගුණ මතු කර ගන්නට අපට හැකියාව ඇත්නම් සුගත ශ්‍රාවකයෙක් වශයෙන් බුදුරදුන් දැකීමට ඇති හොඳම ක්‍රමය එය වන බවයි. එවන් උත්තරීතර වූ දහමක් තුළින් අපට විමුක්තිය පසක් කර ගැනීමට මාර්ගය හෙළි කළ උන්වහන්සේ පිළිබඳව දැක්මක් ඇති කර ගැනීම බුදුරදුන් සරණ යාමයි. ධර්ම ශාන්තිය තුළ ඇතුළත් කරුණු හේතුකොට ගෙන උන් වහන්සේ මානුෂිකත්වය ඉක්ම වු ශාරීරික ලක්ෂණ වලින් හෙබි සුවිශේෂි උත්තමයෙක් යන්න ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම උන්වහන්සේ අතිශය පවිත්‍ර වූ හදවතක් ඇත්තෙකි. “ කරුණා සීතල හදයන් “ කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමයෙකි. මහා කරුණාවෙන් යුතු උන්වහන්සේ ලෞකික ලෝකෝත්තර සියල්ල අවබෝධ කර ගත් ඤාණ සම්භාරයෙන් මහා ප්‍රඥාවෙන් යුතුවේ. මේ උතුම් ගුණ ධර්මයන් පිළිබඳව ඇති කර ගන්නා ප්‍රසාදය තුළින් හදවත පවිත්‍ර වන අතර එයින් උන් වහන්සේ කවුරුද යන වග අපට පැහැදිලි ව දැනගත හැකිවේ.

හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.

 බොරලැස්ගමුව පැපිලියාන
සුනේත්‍රාමහාදේවි පිරිවෙන් විහාරාධිපති හා පරිවේණාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ජුලි මස 25 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Thursday, June 18, 2015

තාරුණ්‍යය ගැන බුදුන් වහන්සේගේ ආකල්පය

 ෆ‍්‍රැන්සිස් ජේ. පයින්
පරිවර්තනය - නාරාවිල පැට්රික්

මේ ලිපිය Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද Youth and the Buddha ලිපියේ පරිවර්තනයකි. එය ෆ්‍රැන්සිස් ජේ. පයින් විසින් 1930 ජනවාරි 09 වැනි දා ලන්ඩන් තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහය යටතේ සසෙක්ස් ශාලාවේදී පවත්වන ලද දේශනයකි.



මේ සැඳෑ සමයේ ඔබ වැනි තරුණ තරුණියන් පිරිසක් රැස්ව සිටින්නේ සිය කැමැත්තෙන් ම බෞද්ධ තරුණ සංවිධානයක් පිහිටුවා ගන්නටයි. මම ඔබට මෙහිදී පබ්බජ්ජා සූත්‍රයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමි. බුදුන් වහන්සේ සිය ලෞකික සැප සම්පත් හැරපියා මහා ගවේෂණයකට සූදානම් වෙමින් සිටියහ. ඒ වන විට උන්වහන්සේ සිටියේ බිම්බිසාර රජුගේ අගනුවර වන රාජගෘහ ආසන්නයේ යි. පණිවිඩකරුවෝ මේ අරුම පුදුම අමුත්තා ගැන කියන්නට වහා දිව ආවෝ ය. ඉක්බිති රජ තෙමේ ද අමුත්තා හමුවන්නට ඉදිරියට ගියේ ය.

ඒ පුවත පබ්බජ්ජා සූත්‍රය සඳහන් කරන්නේ මෙසේයි. “මගධයේ රණදෙටු බිම්බිසාරයෝ අමුත්තා පිළිබඳ පුවත සැලවූ හණික සිය මංගල රථය පාණ්ඩය පර්වතය වෙත මෙහෙය වූහ. ඉක්බිති රියෙන් බැස, පාගමනින් ගොස් වාඩිවී ආචාර සමාචාර පවත්වා මෙසේ කීහ. ඔබ තවම ළාබාල ය, මුදු මොළොක් ය. නොඉක්මවන ලද තරුණ විය ඇත්තෙහි ය. සේනාවක් පෙරමුණෙහි සෙන්පති තනතුරු දරා වැජඹෙන්නට තරම් පෞර්ෂයෙන් හෙබි, උසස් පරපුරකින් පැවත එන රණ දෙටු ලකුණු පළ කරන්නෙහි ය. නායක පෙළක් අතර සියල්ලන්ගේ නායක වන්නට සුදුසු වන්නෙහි ය. ඔබට ඇති තරම් සැප සම්පත් සපයමි. ඒවා පරිහරණය කරනු මැනවි, කිනම් පරපුරකින් පැවත එන්නෙක් ද? කියනු මැනවි.” බුදුන් වහන්සේ නිතර ම තරුණ පිරිස් කෙරෙහි දයාලූ වූහ. උන්වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි ය, නිරවුල් ය, හරවත් ය, කීර්ති ප්‍රශංසාවට සුදුසු ය, තරුණ සිත් තුළ දිරි වඩන ශක්තියෙන් පිරුණේ ය. උන්වහන්සේ සිය ධර්මය දේශනා කරන්නට පටන් ගත් මුල් සමයේ සිදුවූවක් මම ඔබට කියමි. යස නමින් වූ එක්තරා තරුණයෙක් සිටියේ ය. ඔහු පුරුදුව සිටියේ බුදුන් වහන්සේ සත් වසරකට පෙර අත්හැර දමා පැමිණි සුඛෝපභෝගී ජීවිතයට සමාන වූ එකකට ය. එහෙත් ඔහු එහි කලකිරුණේ ය. එහි අනතුරු දුටුවේ ය, බුදුන් වහන්සේ සොයා පැමිණියේ ය. ඒ පාන්දර යාමයයි. බුදුන් වහන්සේ සිටි සේක් සක්මනේ යෙදී භාවනා කරමින් ලෝක ස්වභාවය මෙනෙහි කරමිනි. බුදුන් වහන්සේ කිසි විටෙකක් නිකරුණේ කාලය ගෙවා දමන්නාහු නොවෙත්. උන්වහන්සේගේ සිත සන්සුන් ය, පහන් ය, සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් පිරුණේ ය. උන්වහන්සේ ගෙවුයේ කෙටි නින්දක් පමණි. එහෙත් උන්වහන්සේ ඕනෑ ම විටෙක, ඕනෑ ම කෙනෙකුට ඇහුම්කන් දෙන්නට සූදානමින් සිටියෝ ය. උන්වහන්සේ දයාන්විත බසින් මෙසේ යස ඇමතූ සේක.
“යස නොකළකිරෙන්න, කළකිරෙන්නට තරම් යමක් මෙහි නැත. බිය වන්නට හෝ සැක සිතන්නට කිසිවක් මෙහි නොවේ. මෙහි එන්න, හිඳ ගන්න, මම ඔබට සත්‍යය දේශනා කරමි.”
ගත වූයේ සුළු මොහොතකි. යසගේ පවුලේ සාමාජිකයෝ ද, මිතුරෝ සතර දෙනෙක් ද, වැඩිමනත් පනස් දෙනෙක් ද පැමිණ සිටියෝ ය. ඔවුන්ගේ සිත් ලෞකික බැඳීම් වලින් මිදුණේ ය. ඔවුහු කෙලෙස් බරින් නිදහස් වූහ.
මෙසේ ලෝකයේ පස්වග මහණුන් ඇතුළුව රහත් හැට නමක් ඇති වූ බව පැරැණි ධර්ම ග්‍රන්ථය අපට කියයි. ඉක්බිති බුදුහු තමන්ගේ අමතක නොකළ හැකි දහම් පණිවිඩය පතුරුවා හරිනු පිණිස ඒ රහත් හැටනම පිටත් කර හැරියහ. උන්වහන්සේගේ අවවාදය මෙවැන්නකි.


“මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙවු. දෙනමක් එක මඟින් නොයවු. මුල, මැඳ, අග යන තුන් තැන්හි යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, හැම අතින් ම සම්පූර්ණ වූ ධර්මය දේශනා කරවු. පිරිසුදු ශ්‍රේෂ්ඨ චර්යාව ප්‍රකාශ කරවූ.”
මෙසේ ඒ ධර්මදූත ව්‍යාපාරය වසර දෙදහස් පන්සියයකට පෙර පටන් ගෙන නැඟෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත වූයේ ය. අද එය වඩාත් ශක්තිමත් සහ විශ්වසනීය ආකාරයෙන් එකී ධර්මය අසන සියලු දෙනා සුඛිත භාවයට පත් කරමින් පැතිර යයි.
තමන් සතු ඇඳුම් පැළඳුම් සොරා ගත් කාන්තාවක පසු පස හඹා ගිය තිහක් වූ භද්දවග්ගිය කුමාරවරුනට බුදුන් වහන්සේ දුන් අවවාදය ඔබට මතක ඇතැ යි සිතමි. “කුමාරවරුනි, තොප සිතන්නේ කුමක් ද? වඩා හොඳ වන්නේ තොප තිස් දෙනකු එක කාන්තාවක ආගිය අතක් සොයමින් ඇය පසු පස හඹා යෑම ද? නැතහොත් තමන් එක එකකු කරන්නේ කුමක් දැයි සිතා, සොයා බැලීම ද?”
බුදුන් වහන්සේගේ අවවාදයෙහි වැදගත්කම අවබෝධ කර ගත් භද්දවග්ගියයෝ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙතරම් ශ්‍රේෂ්ඨ වූවක් දැයි සතුටට පත් වූහ. තරුණ උපාලි ගෘහපතියා උන්වහන්සේ සොයා ආවේ වාද කොට උන්වහන්සේ පරදවන්නට ය. තරුණ සෝණ කුටිකණ්ණ අනතුරුදායක දුරක් ;ගවා උන්වහන්සේ හමු වන්නට ආවේ මුහුණ බලා සැනසෙන්නට සහ කටහඬ අසා මිහිර විඳ ගන්නට ය.
බුදුන් වහන්සේ කෙරෙහි සිත් ඇද ගන්නා සුළු කිසියම් රහසක් තිබෙන්නට ඇතැයි සිතේ. එනම් හණික තරුණ හදවත් (සිත්) වලට පිවිස ඒවා හඳුනා ගන්නට හැකිවීම සහ නිරන්තරයෙන් ඒවායේ විශිෂ්ට ශක්තිය තේරුම් ගන්නට හැකිවීම යි.
අපේ තරුණ වයස වනාහි අපේ පෞරුෂ්‍යය හෝ චරිතය හැඩ ගැසෙමින් තිබෙන අධිවේගී, තීරණාත්මක සමය යි. එය මරණ තුනක් ඇති මිනිසකුගේ පැණිකෑමක් වැන්නකි. මරණ තුනක් මැද පැණිකෑමෙන් වැළකිය හැකි නම්, මරණය වළක්වා ගත හැකිව තිබියදී, තව දුරටත් පැණියෙහි ගිජු වන්නාට තාරුණ්‍යයෙහි වටිනාකම තේරුම් ගත හැකි වේද? අපේ පුරුෂත්වයේ හෝ ස්ත්‍රීත්වයේ ඉරණම තීරණය වන්නේ ඔබ සියලු දෙනා විසින් දන්නා පරිදි අපේ තාරුණ්‍යය නම් වූ එළිපත්ත මතදී පියවර ඉදිරියට තබනවා ද, නැතහොත් ආපසු ගන්නවා ද යන නිගමනය අනුවයි. කම්ම නියාමයට අනුව අපේ කායික, වාචික හා මානසික ක්‍රියා අපේ පෞරුෂ්‍යය හැඩ ගැස්වීමේලා අපේ ජීවිතය කෙරෙහි කරන බලපෑම අත්‍යන්තයෙන් බලවත් ය. එබැවින් අප කෙතරම් කල් ඇතිව බුද්ධ දේශනාවට අනුව ජීවිතය දෙස බලන්නට හුරු පුරුදු විය යුතු දැයි සිතා බැලීම වැදගත් ය.
එහිලා ඔබට මංපෙත් දෙකක් විවෘතව ඇතැ යි සිතේ. එකක් නම්, අද බොහෝ දෙනෙකු කරන පරිදි සියලු ආකාර සංයමය ප්‍රතික්‍ෂේප කර විනෝදාස්වාද සැඬ පහරට පැන ඉවක් බවකින් තොරව ගසා ගෙන යෑම හෝ ඔබේ ජීවිතය ධාර්මික ශික්‍ෂණයට අනුව හැඩ ගස්වා ගැනී මයි. සැබවින් අප සියලු දෙනා ම වාගේ පළමු කී මංපෙතට යොමු වීමට කෙතරම් සූදානමින් සිටිමු දැයි මම දනිමි. ඒ අතර පසු කී මංපෙතට යොමුවී එය අනුගමනය කිරීමට තරම් සුදුසු බව තහවුරු කිරීමට සෑහෙන ප්‍රබල සාක්කි තිබිය යුතු බව මම දනිමි. ඒ අනුව මට හිතෙන හැටියට නම් බුදුදහම එහිලා පැහැදිලි ලෙස ඉදිරිපත් කළ හැකි එක ම මංපෙත බව පෙනේ. දෙවියන් වහන්සේට ආදරය වන සේකැයි යම් කිසිවකු අපට කියන්නට පුළුවන. එහෙත් අවාසානාවකට මෙන් ඒ සිද්ධාන්තයේ සත්‍යතාව පිළිබඳ සැකය දිනෙන් දින වඩවඩාත් බලවත් වෙමින් පවතින බව පෙනේ. කෙසේ වෙතත් මට පැහැදිලිව පෙනෙන සත්‍යයක් ඇත. ඒ අනුව නූතන තරුණයා කුසලතා පූර්ණ ය, විද්‍යාත්මක ය, විමර්ශනශීලී ය. ඔහුගේ ජීවන ශෛලිය එකී ගුණාත්මක බැවින් සන්නද්ධව සිටී. එහිලා යන්තම් සැකයක් හෝ නැත. දැඩි පරීක්‍ෂණයකට භාජනය කිරීමට හැකි තරමට වූවත් සුදුසුකම් ඔහුට ඇත.
බුදුන් වහන්සේ තමන් විසූ සමයේත් තාරුණ්‍යයේ යථා ස්වභාවය අද අප දකින්නා සේම පැහැදිලිව දුටහ. කෙනෙකු සිතන පරිදි සිටින්නේ සර්ව බලධර එක ම දෙවි කෙනෙකු හෝ බොහෝ දෙවිවරුන් විය හැකි ය. පැවැත්මේ පාලන ශක්තිය ආදරය වන්නට හෝ නොවන්නට පුළුවන. එහෙත් සියලු සිද්ධාන්ත නිෂ්ක්‍රිය කරන එක් ප්‍රකට සාධකයක් ඇත.
එනම් සනාතන “දුක” පිළිබඳ සාධකයයි. කිසිවකුටත් එසේ නොවෙති යි හෝ එහි පැවැත්මක් නැතැ යි කිය නොහැකි ය. එබැවින් බුදුන් වහන්සේ යහ චරියාව හෙවත් කුසල පාක්‍ෂික පැවැත්ම සඳහා සිත් කාවදින දිරි ගැන්වීමක් කරති. එනම් දුක නිෂ්ක්‍රීය කරනු පිණිස සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න යනු යි. ලෞකික ආස්වාදයෙහි හිස්බව හෙවත් ශූන්‍යත්වය ගැන සඳහන් කරමින් බර්න්ස් කවියා මෙසේ කියයි. “ආස්වාදයෝ වනාහි රත් පැහැති පොපිමල් වැන්න. පොපිමල තලා පොඩි කළ විට සුන්දරත්වය පලා යෙයි. ගංගා ජලය මත පතිත හිමකැටි මොහොතක් සුදෝ සුදුවට දිස්ව සදහට දියවී යන සේ ය.” තෘෂ්ණාවේ අසීමිත නිදහස විසින් හුදෙක් ක්ෂණිකව ජනිත ශ්‍රාන්තිය (තෙහෙට්ටුව) සහ අනාගත සුඛතාව සහ සන්තුෂ්ටිය පිණිස වූ වුවමනාව යන මේ සියල්ල ධර්මයෙහි හැසිරෙන්නට අප දිරි ගන්වයි. එබැවින් ඉගෙන ගන්න, උගන්වන්න, පිරිවහන්න, ධර්මයෙහි හැසිරෙන්න.
ඔබ ස්ත්‍රී සහ පුරුෂ විසින් වෙනස් වූවත්, තාරුණ්‍යයේ ගුණයක් ලෙස තමන් ස්ථාවර සහ සත්‍යවාදී යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාරුණ්‍යයේ ස්වභාවයට ආවේණික හිතුවක්කාරකමින් සත්‍යය නොපිළිගන්නටත් පෙළඹෙන්නට පුළුවන. එසේ වූවත් ඔබ ඉවසිලිමත් වූ පමණට ඔබට යථාර්ථය තේරුම් ගන්නට බැරිකමක් නැත.
අවිද්‍යාත්මක පසුබිමක් තුළ ඔබට සැනසීමක් ලැබිය හැකි නොවේ. කිසි විටෙකත් ඔබ වැරැදි ක්‍රියාවක් කළහොත් එයට සමාවක් ලැබිය නොහැකි ය. ඇත්තට ම හැම ආගමකින් ම ඔබට ඒත්තු ගන්වන විශිෂ්ටතම අවබෝධය වන්නේ, යමකු වරදක් නිවැරැදි යැයි පිළිගන්වන්නට පොළඹවන කල්හි, ඊට වඩා වරදේ වැරැදි ස්වභාවය වැරැදි ලෙස තේරුම් ගන්වන්නට දරන උත්සාහය නිෂ්ක්‍රීය කිරීම යි. යම් සේ ඔබ බුදුන් වහන්සේගේ ශික්‍ෂණ ක්‍රමය හෝ ප්‍රත්‍යක්‍ෂ අවබෝධය ගැන සිතතොත්, ඔබේ ජීවිතය කෙතරම් සම්මානනීය බවට පත් කර ගත හැකි දැයි සිතන්න.
ඒ අනුව ඔබට පළමුවෙන් ම කරුණාන්විත විය හැකි ය. එවන් ආදර්ශයෙන් හෝ ජීවිතයෙන් තොරවූ කල්හි ඔබේ ආදරය හා අනුකම්පාව ඔබ මඟ හැර යනු ඇත. ඔබ කරුණාන්විත හා දයාන්විත වූ කල්හි මිත්‍රශීලී වනු ඇත. එවිට ඔබ උපකාරක ද, සානුකම්පික ද, අවංක ද, සත්‍යවාදී ද, ගුණවත් ද, ස්ථාවර ද වනු ඇත. එවිට ඔබ ඔබේ උතුම්වූ ධර්මයට ගෞරවයක් වන්නෙහි ය, ඔබේ ගුරුවරයාට (බුදුන් වහන්සේට) සම්මානයක් වන්නෙහි ය.

එකල්හි සමාජ ජීවිතය කෙරෙහි ඔබේ බලපෑම කෙසේ විය හැකි ද? දැන් අපි ;මසේ සිතමු. ඔබ මවුපියන් බවට පත් කල්හි ඔබේ සුරතල් දරු පැටවු සතුටින් ඔබ හමුවන්නට දිව එන්නෝ ය. ඔබේ සැමියා හෝ බිරියහෝ පිට ගොස් ආපසු එන විට ඔබ නැවත දැක ගන්නට පුලපුලා බලා සිටිනු නිසැක ය. ඔබේ නිවහනෙහි සාමය, සමඟිය, සුව පහසුව හා සොම්නස විසින් එය පාලනය කරනු ඇත. එවිට සියල්ලෝ ආශිර්වාද ලද්දෝ වන්නෝ ය. වැඩපොළේදී, කාර්යාලයේදී හෝ කඩාපොළේ දී ඔබ විශ්වසනීයයෙක් ද, ගරු කටයුත්තෙක් ද වන්නෙහි ය. ඇයි ද යත්, ඔබ අවංක ද, සාධාරණ ද, සත්‍යවාදී ද වන හෙයිනි.
ඔබේ දේශපාලන ජීවිතයේ දී, යම් විටක මාතෘභූමිය අසාධාරණයට හා කෘරත්වයට නැඹුරු වූ, කල්හි, ඔබේ අවබෝධ ඥාණයෙන් හා ත්‍යාගශීලීත්වයේ මහිමයෙන් ඉන් වැළකී සිටීමේ පිළිවෙතින් දායකත්වය සපයන්නට ඔබට පුළුවන. එපමණක් නොව ඕනෑ ම විටක, බහුගුණ ශක්තියෙන්, සාධාරණත්වය, අනුකම්පාව, ස්වාධීනත්වය හා සාමය වෙනුවෙන් ඕනෑ ම සදාචාර සම්පන්න ව්‍යාපාරයකට එකඟ විය හැකි ය. රාජ්‍යයක ජනතාව ඒකීභූත වී ඇත්තේ විවිධ පුරවැසි සමූහයකිනි. ඒ පුරවැසි සමූහය අතර ජාති, කුල, ආගම් පමණක් නොව දැන උගත්කම්, ඇති නැතිකම් හෝ නැතිබැරිකම් ආදිය විෂයයෙහි විසමතා තිබෙන්නටත්, හැකි ය. යහගුණ සම්පන්න ස්ත්‍රී පුරුෂ කුලකයකින් සාමකාමී රටක් නිර්මාණය වන්නට පුළුවන. සාධාරණත්වය, ස්වාධීනත්වය හා අනුකම්පාව විෂයයෙහි නිර්භීත වූ බුද්ධ විනය විසින් මෙහෙයවන ලද ටික දෙනෙකුගෙන් වූවත් අපි සංවිධානය වෙමු නම්, අපට කෙතරම් ගෞරවනීය මාතෘභූමියක් ලබා ගත හැකි ද? එකල්හි නැතිබැරි මිනිසුන්ගේ, ලෙඩුන්ගේ, විකලාංගිකයන්ගේ සහ දුකින් පෙළෙන්නන්ගේ අෙඳා්නා හඬක් කවර දාවත් නොඇසෙනු ඇත. ඔබට ඔබේ බල්ලාට, බළලාට, බැටළුවාට, ගවයාට, අශ්වයාට, වර්ණවත් කුරුල්ලාට සහ සුරතලුන් ලෙස සිටින රන්වන් පියාපතින් යුත් සියොතුනට සහනය සලසා සතුටින් සිටින්නට ඉඩ සලසා දිය හැකි ය.
ඔබට විඳින්නට සිදුව ඇති දුක වනාහි දේවියන් වහන්සේගේ කැමැත්ත හෝ සොබාදහමෙහි නීතිය වෙති යි හෝ, ඔබට යහපත් වන්නට හැකි වන්නේ වෙනත් කාගේ හෝ පුණ්‍ය මහිමයෙන් පමණි යි සිතා යාතිකා කරමින් කිසිවකුගේ පිහිට පතන්නට ඔබට නොහැකි ය. එහෙත් ඒ වෙනුවට ඔබට කිසියම් දුකක් විඳින්නට සිදු වී තිබේ නම්, ඒ අනෙකක් නිසා නොව ඔබේ අකුසල පාක්‍ෂික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස බව ඔබට හඳුනා ගත හැකි ය. එසේ නම් ඔබ විසින් කළ යුත්තේ ඔබේ වැරැදි නිවැරැදි කර ගැනීම යි. එවිට ඔබ ඔබේ වගකීම පිළිබඳ හැඟීම තහවුරු වීමෙන් ශක්තිමත් වනු ඇත.
අපි එංගලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ දෛනිකව දර්ශනය (ගැඹුරු චින්තනය) වෙත ළඟාවෙමින් සිටිමු. මුල පටන් ම අපට මෙවන් දර්ශනයක් උගන්වන ලද එක ම ගුරුවරයාගේ පණිවිඩය ප්‍රකාශයට පත් කරන්නට අද ඔබට එක්රැස් වන්නට ලැබීම ඔබට හිමිවුනු කෙතරම් ගෞරවනීය වරප්‍රසාදයක් ද? ඔබ වනාහි තමාට තමා මිස අන් ගුරුවරයකු නැති ගුරුවරයාගේ (බුදුන් වහන්සේගේ) ශිෂ්‍යයන් බව ලොවට හඬගා කියන්නට ඔබට හැකි ය. ප්‍රඥාව, දයාව සහ පරිත්‍යාගය යන සියල්ලෙන් පරිපූර්ණ ඒ මහා ගුරුවරයාගේ උපදේශය ආරක්‍ෂා කර පවත්වාගෙන යන්නට උත්සාහ දරනු මැනවි.
අධෛර්ය නොවන්න. සාමූහිකව බැඳී සිටින්න. ඇයි ද, යත්, සමඟිය ශක්තිය වේ. ඒ ශක්තියෙන් ඔබට විජයග්‍රහණය අත්පත් වනු ඇත.

 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ජුලි මස 25 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Wednesday, June 17, 2015

දහම් පණිවුඩය ලැබිය යුතුමය




දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම තුළ ගැටලු මතුවන බවයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීමෙන් තොරව නිවන ලැබීමට නොහැකි වන අතරම නිවන් දැකීමෙන් තොරව සංසාර දුක අවසන් කළ නොහැකි බව අප වටහා ගත යුතුය. අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරා අවබෝධ කොට මුළු මහත් ලෝක සත්ත්වයා සංසාර සාගරයෙන් මුදාලනු පිණිස දේශනා කළා වූ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළයුතු ප්‍රතිපත්ති හා පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියකින් සමන්විතව පවතී. බුදුපියාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය භාවනානුයෝගී මුනිවරයන් වහන්සේලාට පමණක් සීමා නොවුණ සුදු වස්ත්‍ර අඳින කසී සළු සුවඳ විලවුන් දරන අඹුදරුවන් පෝෂණය කරන ගිහි පිරිසට අදාළ වන කරුණු කාරණා සූත්‍ර දේශනා තුළ අඩංගුව පවතී.
බුදුපියාණන් වහන්සේ මංගල සූත්‍රයේදී දේශනා කරන ලද මංගල කරුණු තිස් අට තුළ පවතින සාර භෞමික ලක්ෂණ නිසාම එහි අඩංගු කරුණු කාරණා ප්‍රායෝගික වශයෙන් බෞද්ධ ජනයාට පමණක් නොව ලෝකයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකුට තම තමාගේ ජීවිතයට සමීප කර ගත හැකි වන අතර දේශනා කරන ලද එම මංගල කාරණා මිනිසාගේ මෙලොව පරලොව හිත සුව පිණිස දියුණුව පිණිසම පවතී.
පාසල් යන දරුවන්ගේ දියුණුවට, වැඩිහිටියන්ගේ දියුණුවට, පවුල් සංස්ථාවේ දියුණුවට ආයතනික දියුණුවට, සමාජයේ ආර්ථික, සමාජාත්මක, සදාචාරාත්මක අධ්‍යාත්මික දියුණුවට අදාළ වන ඉගැන්වීම් මෙම සූත්‍රවල සඳහන් වන අතර එම සූත්‍ර ධර්ම උදේට, හවසට පිරිත් වශයෙන් සජ්ඣායනා කරමින් සිටිනවාට වඩා එය ප්‍රායෝගික ජීවිතයට භාවිතයට ගත යුත්තේ කුමන ආකාරයෙන් ද? යන වග අප විමසා බලා අවධාරණය කර ගත යුතු ය. වසර දෙදහස් පන්සියයකට පෙර දේශනා කරන ලද මෙම ධර්මය හොඳ ආර්ථිකයක් ඇති පී‍්‍රතිමත් පවුලකට එහි වටිනාකම කෙතරම්ද? යන්න වග වර්තමානය වන විට විදේශිකයන් පවා වටහා ගනිමින් සිටී.

ගිහි පින්වතුන්ලා මේ තරම් කාලයක් තුළ දී දාන මාන පිරිනමමින් සිල් සමාදන් වෙමින්, වෙහෙර විහාර පන්සල් ඉදිකර පූජා කරමින් ද දරුවන් දහම් පාසල් යවමින්ද, තමා ද දහම් පාසල් ගොස් ඇති අයකු වශයෙන් ද තමා කෙතරම් දුරට බෞද්ධයකුද? තමා තුළ කෙතරම් ශ්‍රද්ධාව පවතිනවාද යන්න මංගල කාරණාවලට අනුව සිතා බැලිය යුතුය. මංගල කාරණාවලට අනුව තමා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් නොමැති නම් නැවත වතාවක් ආපසු තම පවුල් සංස්ථාව තුළට හැරී ගෙදර පිරිසට කරුණාව, මෛත්‍රීය, දයාව පතුරවමින් තමාට ද ආදරය කරුණාව දක්වමින් බෞද්ධයකු වීමේ මූලික අඩිතාලම නිවස තුළින්ම ගොඩනගා ගත යුතු ය.

“අසේව නාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයා නං
ඒතං මංගල මුත්තමං”

බුදුපියාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා දේශනා කරනු ලැබුවේද? බුද්ධ ශාසනය පන්දහසක කාලයක් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසා බවයි.
වර්තමාන සමාජය තුළ ජීවත් වන දරුවන් හදාවඩා ගැනීමේ දී ඒ පිළිබඳව විශාල වගකීමක් දෙමව්පියන්ට පැවරී ඇත. මෙම සමාජය තුළ නිවැරදිව ගුණ යහපත් දරුවකු තැනීමේ දී සමාජීය වශයෙන් ගැටලු රාශියකට දෙමව්පියන් මුහුණ දෙමින් සිටී. ඇසුරට ගත යුතු ඇසුරට නොගත යුතු පුද්ගලයන් පිළිබඳව බුදුදහමට අනුව කෙසේද? යන්න දෙමව්පියන් විසින් දරුවන් දැනුවත් කළ යුතු ය. හැම විටම බුදුදහම සාර භෞමික ලක්ෂණ තුළින් හෙබි දහමක් බව දරුවන්ට වටහා දිය යුතු ය. සෑම අවස්ථාවකදීම වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගෞරවය දක්වමින් සියලුම කරුණු කාරණාවලදී වැඩිහිටියන්ගේ උපදෙස් විමසා කටයුතු කළ යුතු බව දෙමව්පියෝ විසින් දරුවා දැනුවත් කළ යුතු ය. රුපියල් එක්දහස් පන්සියයක් වැනි මුදලකට තමා දසමසක් කුස දරා සිටි තම මෑණියන් මරා දමන ලද පුතකු පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය. එහිදී සිතිය යුතුව ඇත්තේ අප බලාපොරොත්තු වන ආකාරයට ධර්මය ඇසිය යුතුම පිරිසට දහම් පණිවුඩය ලැබෙනවාද? නැද්ද? යන්න වගය. එය දේශකයාණන් වහන්සේලාද සිතිය යුතු ය. හැමදාමත් ධර්මය අසන සැම විටම ධර්මය පිළිපදින පිරිසම ධර්මානුකූල වීම තුළින්ම පමණක් අපගේ සමාජීය පරිසරය ධාර්මික කරගත නොහැකිය. එවිට “පතිරූප දේස වාසෝච” යන්න යහපත් පරිසරයක ජීවත්වීමේ වාසනාව උදානොවේ. ගමේ ගොඩේ කඩේ පිලේ පිරිස විවිධ වෙළෙඳාම් කරන පිරිස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පිරිසට වුවද ධර්මය ශ්‍රවණය වෙනවාද? නැද්ද? යන්න ගැටලුවකි. විශ්වවිද්‍යාල ගුරුවරු, ඉන්ජිනේරුවරු, වෛද්‍යවරුන් මහ පාරවල් තුළ රණ්ඩු දබර ඇති කරගත්තේ නැත. එනිසා ධර්මය අවශ්‍යව ඇති පිරිසට ලැබෙනවාද? එම පිරිස සඳහා ඔවුන්ගේ භාෂාවෙන් ආමන්ත්‍රණය වෙනවාද, යන්න ගැටලුවකි. අපරාධයකට යොමු විය හැකි පරිසරයක පීඩනයෙන් ජීවත්වන පිරිසට වර්තමාන සමාජය තුළ ප්‍රායෝගිකව ධර්මය අවශ්‍යව පවතී. බුදුපියාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදීම තුළින් බලනු ලැබුවේ එම දවස තුළ කවුරුන් හෝ අසරණ පුද්ගලයකුට පිහිට විය හැකිද? යන්න. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන් බුදුපියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනු ලැබුවේද බොහෝ දෙනාගේ හිතසුව පිණිස අස්සක් මුල්ලක් නොහැරම ධර්මය ප්‍රචාරය විය යුතු බැවිණි.
බුදුදහම ශරීරයටම කා වැදුණු ගුණ යහපත් සදාචාර සම්පන්න පිරිසක් අප රට තුළ ජීවත් වූයේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දානය තුළින් මෙම කරුණු කාරණා තේරුම් කර දීම තුළිනි. දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම තුළ ගැටලු මතුවන බවයි. සමහර නිවෙස්වල සේවනය නොකළ යුතු බාල දූ දරුවන්ද ජීවත් වන වග ඇතැම් ප්‍රවෘත්ති තුළින් අපට දැක ගත හැකියි. අනුන්ට ගරු නොකරන, අනුන්ගේ අදහස් පිළිබඳව තැකීමක් නොකරන, වරදකදී සමාවක් අයැදීමට අකැමැති, යම් උපකාරයකදී ‘ස්තුතියි’ යන වචනය කීමට පවා නොපෙළඹෙන අදහස් ඇති දරුවන් සේවනය කිරීමේ දී ඔවුන් නිවැරැදි මාර්ගයට ප්‍රවේශ කරගැනීමට උත්සාහ කළ යුතු සේම ඔවුන් ඇසුරුකිරීමේ දී ඔවුන්ගේ ගොඩට නොවැටිය යුතු ය. එනිසා දරුවන් මිත්‍රයන් ඇසුරු කිරීමේ දී දෙමව්පියන් සොයා බැලිය යුතු ය. අසේවනාච බාලානං පේස්බුක් තුළ බොහෝ දුරට සිදුවේ. වර්තමාන සමාජය තුළ පුද්ගලයා හඳුනාගැනීමට වසර ගණනක් ගත වුවද එය අපොහොසත් වන්නේ නම්, එය අසීරු කාර්යයක් නම් මේ පරිසරය තුළ දරුවන් අසරණව ගොදුරු බවට පත්වන බව වගකිව යුතු දෙමව්පියන් විසින් වටහා ගත යුතු ය. මංගල සූත්‍රය වැනි වටිනා සූත්‍රයක් ළඟ තබාගෙන උදේට හවසට කියමින් සිටිනවාට වඩා දෙමව්පියන් විසින් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු යි. එය වටහා ගත නොහැකි නම් ඊට අදාළ පිරිස් ශාසනය තුළ හා වෙනම හඳුනාගත හැකියි.
බාලයාගේ ලක්ෂණය ලෙස හඳුනාගත හැක්කේ පිරිසුදු බව අඩුකම අනුන්ගේ තොරතුරු සොයමින් විමසමින් ඕපාදූප සොයමින් කතා කළ අදහස් පවා එක දෙක කර ප්‍රකාශ කරමින්, කුමන පුද්ගලයකුගේ හෝ අගුණක් කියෙවෙනවා නම්, එය වැඩිදියුණු කිරීමට එයට පොහොර දමමින් කතා කරන පුද්ගලයෙකි.
“ඉමිනා පුඤ්ඤ කම්මේන” ගාථාවේ දේශනා කරනු ලබන්නේ “සතං සමාගමෝ හෝතු” මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා. නිවන් දක්නා ජාති දක්වා මට අසද්පුරුෂයන් ආශ්‍රය කිරීමට නොලැබේවා. සද්පුරුෂයන් ආශ්‍රය කිරීමට ලැබේවා යන්න බුදු දහමේ පදනමයි.
“අසේවනාච බාලානං පණ්ඩිතාන්ංච සේවනා” යනුවෙන් මංගල කාරණාවක් ලෙස දේශනා කොට ඇත්තේ කුමන හේතුවක් නිසාද? යන්න කල්පනා කර බැලිය යුතුය. පණ්ඩිතයන් යන අදහස තුළ පණ්ඩිත බව, බුද්ධිමත්කම, උගත්කම, පණ්ඩිතභාවය, බහුශ්‍රැතභාවය ආදී වශයෙන් විවිධාකාරයෙන් පැහැදිලි කරනු ලැබුවද, මෙම කාරණා එකින් එක වෙනස් ස්වරූපයක් ගනු ලබයි. පණ්ඩිතයා යනු බොහෝ දේ කටපාඩම් ඇති පුද්ගලයාය. බුද්ධිමතා යනු අලුත් ක්‍රමයට හිතන, පතන පුද්ගලයාය. බහුශ්‍රැතභාවය යනු බොහෝ ඇසු පිරූ තැන් ඇති පුද්ගලයාය. ආදී වශයෙනි.
ඇතැම්විට නූගත් පුද්ගලයන් සැප සම්පත් විඳිමින් සිටිනවා සමාජයේත් පන්සලේත් ගරු සැලකිලි කරමින් මුල් තැන ලැබෙන්නේ ඒ පිරිසටය. අසනීපයකදී බෙහෙතක් ලබා දෙන්න අවබෝධයක් තිබෙන, රට තොට සිදුවීම් පිළිබඳ අවබෝධයෙන් සිටින බණ දහම් හොඳින් දන්නා, පණ්ඩිත පිරිසක් ගමේ ජීවත් වූවත් ඔවුන් පොල්අතු සෙවිලි කරන ලද කුඩා පැල්පත්වල ජීවත්වන නිසාම ඔවුන්ට මෙම සමාජයේ පිළිගැනීමක් නැතිවී ඇතැයි සිතිය හැකිය. ලෝකෝපකාරයෙන් සසදාවතෙන්, අමාවතුරෙන්, බුත්සරණෙන්, කව් සිළුමිණ, දම්පියා ගැටපද, ජාතික කතා පොතේ අඩංගු බණ දහම් කරුණු කාරණා පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති ඕනෑම උපදේශයක් දිය හැකි එවැනි පුද්ගලයන් ඇසුරට ගත යුතු පණ්ඩිතයන් බව හඳුනාගත යුතු ය. ඔවුන් විභාග සහතික නැතිවූවාට ඔවුන්ට යාන වාහන සුපිරි නවාතැන් නැතුවාට ඔවුන් පස්පව්වලින් වැළකී නිවැරදි ජීවිතයක් ගත කරන මනසින් පොහොසත් පිරිසක් වෙයි. පොහොසත්කම මැනිය යුත්තේ මිල මුදලින් හෝ විභාග සහතික වලින් නොව යම් පුද්ගලයකුට උපදේශයක් දිය හැකි මට්ටමක ජීවත් වනවා නම්, එය පණ්ඩිතයාගේ ලක්ෂණයකි.
පණ්ඩිතයන් ආශ්‍රය කිරීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ ගුරුහරුකම් උපදෙස් ලබාගෙන දැනුම උකහා ගත යුතු ය. දෙමාපියන් විසින් දරුවන් යොමුකළ යුත්තේ එවැනි පණ්ඩිතයන් ඇසුරු කිරීමටය. මාගේ ධර්මය උගතුන්ට මිස නූගතුන්ට නොවන බව බුදුපියාණන් වහන්සේද වදාරා ඇත. බෞද්ධයා යනු බුද්ධිමත් පුද්ගලයාය. බුදුපියාණන් වහන්සේ පවා දැන උගත් බුද්ධිමත් පිරිස අගය කර ඇත. පණ්ඩිතයන් ඇසුරු කිරීම තුළින් ආලෝකමත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව දෙමව්පියන් විසින් දරුවන්ට අවධාරණය කළ යුතු ය.


දිවුලපිටිය බලගල්ල 
සරස්වතී පිරිවෙන් විහාරවාසී 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
බාහිර කථිකාචාර්ය ආචාර්ය 
හිඳගල ඤාණාධාර හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 16 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Monday, June 15, 2015

මිනිසා දෙවියන් ඉක්මවන හැටි




මිනිසා දෙවියන්ට වඩා උසස් වන තැන් මේ ලේඛකයා මේ ලිපියෙන් පෙන්වා දෙයි.



‘මිනිසා’ යන වචනය පාලි ‘මනුස්ස’ ශබ්දයෙන් ආවකි. මනුරජුගේ දරු පරපුරෙන් පැවත එන නිසා මනුස්ස නම් වේ යැ යි නිරුක්ති දක්වා ඇත. මිනිසා පිළිබඳ ව ත්‍රිපිටකයේ අටුවාවල හා ටීකාවල ද විශේෂයෙන් සඳහන් කර ඇත. මිනිසා තව්තිසා ආදි දෙව්ලොව දෙවියන්ට ද, උතුරුකුරු දිවයිනේ වැසියන්ට ද වඩා උසස් බව දීඝ නිකායේ ටීකාවේත් සාරත්ථදීපනී නම් විනය ටීකාවේත් සඳහන් ව තිබේ.
එසේ දෙවියන්ට වඩා මිනිසා උසස් වන්නේ නිෂ්පාදනය, ශූරභාවය, සිහිය, බඹසර විසීමේ හැකියාව හා එයට යෝග්‍ය වීම, ගුණ රැස් කිරීමේ සිත් ඇති බව යන උසස් කරුණුවලින් හා ගතිගුණවලින් බව ද එම ලේඛන විග්‍රහ කර දක්වයි. මිනිසාගේ උසස් බව පළට කිරීමේ දී මුල්තැන ගන්නේ නිෂ්පාදනය යි. අනෙක් සියලු සතුන්ට වඩා මිනිසා නිෂ්පාදන කාර්යයේ දී ඉදිරියෙන් සිටී (මිනිසා හැරුණු විට සත්ත්වයකු හැටියට මී මැස්සා ද නිෂ්පාදනයක යෙදෙයි). බොහෝ සත්තු අනුන්ගේ නිෂ්පාදනවලින් යැපෙනවා විනා නිෂ්පාදනයක් නො කරති. නිෂ්පාදනයක් කරන්නේ මිනිසා ය.

මිනිසා කුමක් නිෂ්පාදනය කරයි ද?

බෞද්ධ සංකල්පයට අනුව මිනිසා පින් නිෂ්පාදනය කරයි. දෙවිවරුන්ට පින් නිෂ්පාදනය කිරීම අසීරු ය. දෙවිවරු තමන් කළ පෙර පින්වලින් යැපෙන අතර අනුන් කළ පින් අනුමෝදන් වෙති. මිනිසා පින් නිෂ්පාදනය කරන අතර දෙවියන්ට ද, භූතයන්ට ද අනුමෝදන් කරයි. පින් නිෂ්පාදනයේ දී ඉදිරියෙන් ම සිටින්නේ මිනිසා ය. ඒ නිසා මිනිසා දෙවියන්ට වඩා උසස් ය.
දෙවිවරු පහළ වෙති; චුත වෙති. ඉදිරියට යන පරපුරක් නැත. මිනිසා එසේ නො වේ. බොහෝ මිනිස්සු පරපුරක් නිෂ්පාදනය කරති. මිනිසා මිනිසාට අවශ්‍ය වන දේ නිෂ්පාදනය කරමින් සමාජයට සේවය කරති. අහස්යානා, ගුවන්විදුලි, රූපවාහිනී ආදිය නිෂ්පාදනය කළ මිනිසා ඒවා සමාජයට දායාද කර ඇත. දෙවියන්ට එවැන්නක් කළ නොහැකි යි. එවැනි සමාජ සේවය අතින් ද මිනිසා දෙවියන්ට වඩා උසස් ය.
මිනිසා සතු ව ශූර බව, දක්ෂතාව, වීර්යය පවතී. දෙවියන් අතර ඒ ගතිගුණ නැත. බෝසතාණන් මිනිසකු වශයෙන් වීර්ය පාරමිතාව පිරුවත් දෙවියන් අතර කිසිවකුටත් එය කළ නොහැකි ය. සිහිය යනුවෙන් අදහස් කැරෙන්නේ යෝනිසෝමනසිකාරය යි; සම්මාසතිය යි. යෝනිසෝමනසිකාරයෙන් දහම් අවබෝධ කරගැනීමේ භාවනා කිරීමේ, ධ්‍යාන උපදවාගැනීමේ ශක්තිය පවතින්නේ මිනිසා තුළ යි. වෙනත් එක් සත්ත්වයකු තුළ වත් එවැනි ශාක්‍යතාවක් නැත.
බඹසර විසීමේ හැකියාව ඇත්තේ මිනිසාට ය. බඹසර හැසිරීම යනු පඤ්චකාම සම්පත්තිය විඳීමට අවස්ථාව, වයස, කාලය, පහසුකම්, තිබිය දී පස්කම් සැප නොවිඳ විසීම ය. පැවිදි වීම, තවුස්දම් රැකීම, ගිහිගෙයින් වෙන් වීම එයට අදාළ යි. එය සිදු කළ හැක්කේ මිනිසකුට පමණි. බඹසර විසීම යන්න අර්ථ සමූහයක් නිෂ්පාදනය කරයි. බඹසර යන්නෙන්, වතාවත් කිරීම, නොපමාව පන්සිල් රැකීම, ලිංගික කටයුතුවලින් වැළකීම, තවුස්දම් පිරීමේ උත්සාහය යන අර්ථ ලැබේ. බුදුවරයකු හමුවෙහි ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බව ලබන භික්‍ෂුවකට බුදුරදුන් අමතන්නේ “එව මහණ, බඹසර හැසිරෙව” යනුවෙනි. එහි බඹසර යන වචනයේ මේ සියලු තේරුම් ගැබ් ව තිබේ. පේතවත්‍ථුවේ එන අංකුර පේත වස්තුවෙහි බඹසර යන වචනය යෙදී ඇත්තේ වතාවත් කිරීමේ අරුතිනි. වතාවත් නොකරන තැනැත්තා සිල් පුරන්නේ නැති බව සාමණේර බණ දහම් පොත කියා දෙයි.
භික්ෂූන් කළ යුතු රැකිය යුතු වත් සමූහයක් චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධක නම් පරිච්ඡේදයෙහි සඳහන් වේ. ජාතක පොතේ තිත්තර ජාතකයේ බඹසර හැසිරීම යන්නෙන් අදහස් කර ඇත්තේ පන්සිල් රැකීම යි. මජ්ඣිම නිකායේ සඳහන් සල්ලේඛ සූත්‍රයේ බඹසර හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ මෛථුන විරතිය යි; සංසර්ගයෙන් වෙන් වීම යි. ජාතක පොතේ මහා ධර්මපාල ජාතකයේ බඹසර හැසිරීම යනුවෙන් අදහස් කර ඇත්තේ ස්වදාර සන්තෝෂය යි; අන් සතු බිරියන් කරා නොගොස්, තම බිරියගෙන් පමණක් ලබන සන්තෝෂය යි.
ලෝමහංස ජාතකයේ යොදා ඇති බඹසර හැසිරීම වීර්යය සඳහා යෙදේ. නිමි ජාතකයේ ද බඹසර හැසිරීම ඇතුළත් වේ. එතැන අදහස් කැරෙන්නේ අෂ්ටාංග උපෝසථ බ්‍රහ්මචරියාව යි. දීඝ නිකායේ සඳහන් මහා ගෝවින්ද සූත්‍රයේ බඹසර හැසිරීම යන්න ඇතුළත් කර ඇත්තේ ආර්ය මාර්ග දැක්වීම සඳහා යි. ලෝමහංස සූත්‍රයේ සඳහන් බඹසර හැසිරීම යන්නෙන් තවුස්දම් පිරීමේ උත්සාහය මතු කර දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක්වීම සඳහා ද බඹසර හැසිරීම ඇතුළත් කර තිබේ. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ බුද්ධාදීන්ගේ ශ්‍රේෂ්ඨ චර්යාව දැක්වීම සඳහා බඹසර හැසිරීම යන්න යොදාගෙන ඇත.
මේ අනුව බඹසර හැසිරීම, බඹසර හැසිරීමට උත්සාහ ගැනීම මිනිසාට ආවේණික වූ ද, මිනිසා විසින් කළ යුතු වූ ද කාර්යයක් විනා දෙවියන් සතු කාර්යයක් නො වේ. අසීමිත ලෙස පස්කම් සුව විඳීමේ නියැලි දෙවිවරුන්ට බඹසර හැසිරීම ගැන අවධානය යොමු කිරීමට අවස්ථාවක් නැත. ඉහත විස්තරවලට අනුකූල ව බඹසර හැසිරීමට පුළුවන්කමක් ද නැත.
ගුණ රැස් කිරීමේ සිත් ඇති වීම මිනිසාට පමණක් ඇති ධර්මතාවකි. යෝනිසෝමනසිකාරයෙන් සම්මා සතියෙන් යුතු මිනිසා ම ගුණ රැස් කිරීමෙහි යෙදේ. ගුණ රැස් කිරීම යනු දස කුසල් කිරීම, ඊර්ෂ්‍යාවෙන් මාන්නයෙන් ගුණමකු බවින් දැඩි තණ්හාවෙන් මිදීම හා සත්පුරුෂ ධර්මයන්හි යෙදීම යි. මේවා සියල්ල කළ හැකි වන්නේ මිනිසාට විනා දෙවියන්ට නො වේ.
සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයට අනුව යහපත් පැවිදි ජීවිත ගත කරන භික්ෂූන්ට මෙන් ම ධර්මානුකූල ව ජීවත් වෙමින් යහපත් සේ අඹු දරුවන් පෝෂණය කරන ගිහියන්ට ද ශක්‍රයා උදේ සවස නමස්කාර කරන බව දැක්වේ. මිනිසාට වඳින්න පුදන්න යුතුකම් ඉටු කරන්න දෙමවුපියෝ සිටිති. දෙවියන්ට එවැන්නෙක් නැත. මේ නිසා දෙමවුපියන්ට සලකන, යුතුකම් ඉටු කරන මනුස්සයන්ට ශක්‍රයාගේ ද වැඳුම්-පිදුම් හිමි වේ. අඳ දෙමවුපියන්ට සලකන ගුත්තිල මරණයෙන් බේරාගෙන විවිධ ජයග්‍රහණ ලබා දුන්නේත්, සාම කුමරු මරණයෙන් බේරාගත්තේත් ශක්‍රයා විසිනි.
මේ හැම කරුණකින් ම පැහැදිලි වන්නේ මිනිසා දෙවියන්ට වඩා උසස් බව යි.


පණ්ඩිත ශාස්ත්‍රවේදි
විජිතනන්ද සරත්චන්ද්‍ර


2014 පෙබරවාරි නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි