Labels

Monday, June 22, 2015

ජීවන ගමනේ දුක පැහැදිලි කළ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය



කාමයන්ගේ ආදීනව වශයෙන් මිනිසුන් සොරකම් කොට, මංකොල්ලකෑම් සිදුකොට කාන්තාවනට බලහත්කාරකම් සිදුකොට රජයෙන් දෙතිස් වද බන්ධන වලට හසුවන්නේය. මෙය ද කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක. කාමයන් සොයා යන ගමනේදී පුද්ගලයා විසින් කායිකවත්, වාචසිකවත් , මානසිකවත් දුෂ්චරිත සිදුකොට මරණින් පසු සැප නොමැති දුක්සහිත නිරයෙහි උපදින්නේ ය.
අප මිනිසුන් වශයෙන් සමාජයේ ජීවත් වන විට බොහෝ අවශ්‍යතා සපුරා ගැනීමට සෑම පුද්ගලයෙකුට සිදුවනු ඇත. එකී අවශ්‍යතා සපුරා ගැනීමට ගනු ලබන උත්සාහය වරෙක සාර්ථක භාවයටත් වරෙක අසාර්ථක භාවයටත් පත් වන්නේ ය. තමා බලාපොරොත්තු වන ඉලක්කය කරා ගමන් ගන්නා තැනැත්තාට ඒ සඳහා තම ජීවිතයෙන් බොහෝ කැප කිරීමට සිදුවනු ඇත. අප නිතර වෙහෙසී ඇත්තේ ජීවිතයට එළඹෙන දේ ඔස්සේ ජීවිතය ආශ්වාදනය කිරීමටය. එහෙත් ජීවිතයට ලැබෙන සියල්ල අපට ආශ්වාදනය කර ගැනීමට හැකියාව නැත්තේය. සියල්ල තමා කැමැති ආකාරයට සිදු නොවන තැන ජීවිතයට ශෝකය, පසුතැවීම, දුක, දොම්නස නිරායාසයෙන්ම සම්බන්ධ වන්නේ ය. මෙකී ධර්මතාව පිළිබඳත් ඇතුළත් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැකි දෙසුමක් පිළිබඳ මෙම ලිපියෙන් වටහා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.
ජීවිතයේ ආශ්වාදනය සේම ආදීනවය හා නිස්සරණය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කරන ලද දෙසුමක් ලෙස මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය හැඳින්විය හැකිය. මෙම දේශනය තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට පැහැදිලි කිරීමට හේතු වූයේ අන්‍ය ආගමික ශ්‍රමණ පිරිසක විසින් අසන ලද පැනයකට පිළිතුරක් දීම සඳහාය . එසේම තථාගත දේශනයේ සහ අන්‍ය ශ්‍රමණ පිරිසගේ දේශනයේ ඇති වෙනස ද මෙමගින් පැහැදිලි කරගත හැකි ය.
තථාගතයන් වහන්සේ මෙහි දී කාමයන් ගැනත් රූපය ගැනත්, වේදනාව ගැනත් පැහැදිලි කළ සේක. මෙහිදී කාමයන්ගේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය, රූපයේ ආශ්වාදය ආදීනවය හා නිස්සරණය වේදනාවේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය යන කාරණා පිළිබඳ මෙමගින් මනාව විස්තර කොට ඇත. මේ කාරණා තුන පිළිබඳ දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකු හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක හැර වෙන කිසිවෙකුට පැහැදිළි කළ නොහැකි බව දත යුතු කරුණකි.

මුලින්ම කාමයන් පිළිබඳ පැහැදිළි කරන උන්වහන්සේ කාමයන්ගේ ආශ්වාදය කියන්නේ කුමක්දැයි පැහැදිලි කළ සේක. එනම් මහණෙනි කාම ගුණ 5 කි. ඇසෙන් බලන රූප නිසා බොහෝ ලස්සන පි‍්‍රය උපදවන ගතිය, සිත් ඇදගන්නා වූ ද කැමැත්ත වඩන ගතිය, රාගය උපදවන ගතිය ඇති වන්නේ ය. මේ ආකාරයට කණෙන් අහන ශබ්ද, නාසයෙන් ලබන ගන්ධ, දිවෙන් ලබන රස, කයෙන් විඳින පහස නිසාද මෙකී රාගය උපදින්නේ ය. සිතෙහි කැමැත්ත හා රාගය උපදවන ගතිය නිසා මෙම පහට කාම ගුණ යැයි හැඳින්වෙයි. මෙය කාමයන්ගේ ආශ්වාදය යැයි දැනගත යුතුය. එසේම තථාගතයන් වහන්සේ මෙම කාමයන්ගේ ආශ්වාදය මෙන්ම ආදීනවය ද විස්තර කළ සේක. කාමයන්ගේ ආදීනවය යනු කිසියම් පුද්ගලයෙකු කාමයන් සොයා යන ගමනේ දී තමා වෙත එම කාමයන් ගෙන්වා ගැනීමට නිකම්ම හැකියාව නැත්තේ ය. ඒ සඳහා ඔහු වෙහෙසිය යුතු ය. මුලින්ම ඔහු ධනය උපයාගත යුතු ය. ධනය නිකම් නොලැබෙන්නේ ය. ධනය සෙවීමට රැකියාවක් අවශ්‍ය වන්නේ ය. රැකියාවක් නිකම් නොලැබෙන්නේ ය. ඒ සඳහා ශිල්ප හැදෑරිය යුතුය. ශිල්ප ඉගැනීමට වෙහෙසිය යුතු ය. ජීවිතයේ වැඩි කාලයක් ශිල්ප ඉගැනීමට වෙහෙසුණ ඔහු අනතුරුව රැකියා සොයන්නේ ය. තමා සොයාගත් රැකියාව සමහර විට රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ විය හැකිය. එසේ නැත්නම් තමා විසින් කෙරෙන වෙළඳාමක් විය හැකි ය. තමා විසින් සිදු කරන රැකියාව ඉතා වෙහෙස වී කළ යුතු ය. ඔහු අව්වෙන් වැස්සෙන්, කුසගින්නෙන්, පිපාසයෙන් ලැබෙන පීඩා ඉවසමින් රැකියා කොට ධනය සෙවිය යුතු ය. මෙය වනාහී තමාට මේ ජීවිතයේම කාමයන් නිසා ලැබෙන ආදීනවය යැයි දැනගත යුතුය. මේ මහ දුක් ගොඩ සැකසුණේ කාමයන් නිසාම ය. කාම අවුලෙන්ම ය. එම නිසා කාමයන් නිසාම මෙම ආදීනවය ඇතිවන බව දැනගත යුතු ය. මෙහිදී අප දතයුතු කරුණක් ඇත. මෙම දේශනයෙන් තථාගතයන් වහන්සේ තම තමන්ගේ ජීවිතයෙහි උත්සාහය අත්හැර අලසව, කුසීතව විසීම අනුමත කිරීමක් දේශනා කොට නොමැත. මෙහි දී උන්වහන්සේ විසින් පහදා ඇත්තේ ජීවිතයෙහි අවබෝධ කළ යුතු කරුණක් මිස තම ජීවිතයෙහි සියලු කටයුතු අඩාල කිරීමේ පිළිවෙළක් නොවන බව දැනගත යුතු ය.
මේ ආකාරයට මහත් වූ වෙහෙස මහන්සි වී කටයුතු කරන තැනැත්තන්ට කිසියම් මොහොතක තමාගේ උත්සාහය අසාර්ථක වන්නට පිළිවන. එවිට ඔහු මා විසින් දරන ලද උත්සාහය වතුරේ ගියේ ය. මාගේ මහන්සිය අපගේ ගියේ ය යනුවෙන් විලාප නගයි. සෝක කරයි. හඬා වැළපෙයි. මේ සියල්ල ඇති වූයේ කාමයන්ගෙන් බවත් මෙය කාමයන්ගේ ආදීනවය යැයි දත යුතු ය. මේ ආකාරයට මහන්සි වන කෙනෙකුට තමා කරන ලද උත්සාහය ප්‍රතිඵල ගෙන දෙන අවස්ථා ඇත. එවිට ඔහුගේ අතමිට සරු වෙයි. ධනවතෙක් වෙයි. පසුව තමා විසින් රැස්කරගත් ධනය පිළිබඳව මෙසේ සිතන්නට වෙයි. එනම් මා දුක්මහන්සි වී හරිහම්බකරගත් දේ ආණ්ඩුව ගනීද? සොර සතුරෝ ගනී ද? ගින්නට හෝ ජලයට හසුවේද? යැයි සිතයි. පසුව ඔහුගේ ධනය ආණ්ඩුව ගනියි. සොරු ගිනිත්, ගින්නට ජලයට හසුවී විනාශ වී යයි. එවිට ඔහු මාගේ ධනය විනාශ වී ගියේ ය. මාගේ වෙහෙස මහන්සිය වතුරේ ගියේ ය. වශයෙන් කියමින් විලාප නගයි. හඩා වැළපෙමින් පපුවේ අත් ගසාගෙන සිටියි. ක්ලාන්ත වී වැටෙයි. උන්මත්තකයෙකු වෙයි. මෙය වනාහි කාමයන්ගේ ආදීනවය යැයි දත යුතු ය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට කාමයන් නිසා රජවරු රජවරු සමග, සිටුවරු සිටුවරු සමග පූජකවරු පූජකවරු සමග මවුපියන් දරුවන් සමග, දරුවන් මවුපියන් සමග නෑ හිතමිතුරන් නෑ හිතමිතුරුන් සමගත් කෝලාහල කරගන්නා බව ය. ඔවුන් ආයුධ වලින්, ගල්මුල් වලින් පහර දී ගෙන මැරී වැටෙන බව දත යුතු ය. මේ සියල්ල කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිළි කළ සේක. කාමයන්ගේ ආදීනව වශයෙන් මිනිසුන් සොරකම් කොට, මංකොල්ලකෑම් සිදුකොට කාන්තාවනට බලහත්කාරකම් සිදුකොට රජයෙන් දෙතිස් වද බන්ධන වලට හසුවන්නේ්ය. මෙය ද කාමයන්ගේ ආදීනව යැයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක. කාමයන් සොයා යන ගමනේදී පුද්ගලයා විසින් කායිකවත්, වාචසිකවත් , මානසිකවත් දුෂ්චරිත සිදුකොට මරණින් පසු සැප නොමැති දුක්සහිත නිරයෙහි උපදින්නේ ය. මෙය කාමයන් හේතුකොට පරලොවදී තමාට විඳීමට සිදුවන ආදීනව යැයි දත යුතු ය. අප කාමයන්ගෙන් නිදහස් වීම යනු කාමයන් ගැන පවතින ආසාව දුරු කිරීම යැයි දත යුතුය. එනම් ඡන්ද දුරු කිරීම වන්නේ ය. එසේම කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙකී කාමයන්ගේ් ආශ්වාදය, ආශ්වාදව වශයෙනුත්, ආදීනවය, ආදීනවය වශයෙනුත්, නිදහස්වීම නිදහස්වීම වශයෙනුත් අවබෝධ නොකළේ නම් ඔවුන් කාමයන් ගැන තමන් අවබෝධ කරනවා කියා හෝ කාමයන් ගැන අන් අයට අවබෝධ කර දෙනවා කියා හෝ කිසියම් වැඩපිළිවෙළක් තුළින් කාමයන් ගැන අවබෝධ කරනවා කියන කාරණය සිදු වන දෙයක් නොවන බව දත යුතු ය.
මීළඟට රූපයේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් දැනගත යුතු ය. මෙහිදී තථාගතයන් වහන්සේ වයස අවුරුදු 15 - 16 සිටු කුමාරියක් හෝ රජ කුමාරියක් උපමා කොට වදාළ සේක. මෙහිදී මෙම වයස 15 - 16 අතර තරුණ කාන්තාව වැඩිය උසත් නැත. වැඩිය මිටිත් නැත. වැඩිය කෙට්ටුත් නැත. මහතත් නැත. ගොඩක් සුදුත් නැත. කළුත් නැත. තථාගතයන් වහන්සේ පැහැදිළි කරමින් මහණෙනි, ඇත්තටම ඇය හරිම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද? එවිට භික්ෂූන් වහන්සේ එසේය ස්වාමීනි යැයි පිළිවදන් දුන්නේ ය. මහණෙනි එසේ ලස්සන යැයිගන්නා ලද හැඟීම රූපයේ ආශ්වාසය යැයි දත යුතු ය. එසේ නම් රූපයේ ඇති ආදීනවයත් මේ තුළින්ම දත යුතු ය. කෙසේ ද යත් එම දැරිවි පසු කාලයක් වයස 80 ක් දක්වා ජීවත් වනවා නම් වසර 80 ට පසු ඇයගේ තත්ත්වය විමසා බැලීම සුදුසු ය. දැන් ඇය ජරා ජීර්ණ වී ඇත. කුදු ගැසී සම රැළි වැටී දත් ගැල වී ගොස් ඇත. ඇගේ ලස්සන කෙස් ගැල වී ඉදී ගොස් ඇත. ඇත්තෙන්ම ඇය දැන් මහා ලෙඩ ගොඩක්. මෙය රූපයේ ආදීනවය යැයි දත යුතු ය. මේ රූපයේ ආදීනවය කොතෙක් දැයි කියතොත් ඇයව ඔසවන්න වාඩිකරවන්න සතපන්න තවත් අයෙකු අවශ්‍ය වී ඇත. ඇය දැන් දුකට පත්වී තමන්ගේ මළ මුත්‍ර ගොඩේ වැතිරි ඇත. පසුව ඇය මරණයට පත්ව ඇත. පසුව මෙම කය නැමති රූපය ඔසවා ගොස් අමු සොහොනෙහි දමයි. අමු සොහොනෙහි දමන ලද මෙම කය ටිකෙන් ටික මහා අප්‍රසන්න ඕජාවක් සේ පෙනෙන්නේ ය. කය ඉදිමි දොරටු 9 කින් පිළිකුල් සහගත දේ වැගිරෙන්නේ ය. අනතුරුව එම පිළිකුල් මළකුණ අනුභවයට බලු කැනහිල් ගිජුලිහිණි පැමිණෙති. පණුවන්ගෙන් ගහණ මෙම ශරීරය දැන් මහා අසුභයකි. මහා පිළිකුළකි. ඇය තරුණ කළ මෙම ශරීරයට ආශා කළ තරුණයන් කිසිවෙක් මෙහි දැන් නැත. කිසිවෙක් එයට ළං නොවන්නේ ය. මෙය රූපයේ ආදීනවය යැයි දත යුත්තේ ය. මෙම නිස්සාරවත් රූපයේ නිස්සරණය යනු මෙහි ආදීනවයත් ආශ්වාදයත් අවබෝධ කොට රූපය කෙරෙහි පවතින ඡන්ද රාගය දුරු කිරීම බව දත යුත්තේ ය.
මීළඟට වේදනාවේ ආශ්වාදය, ආදීනවය හා නිස්සරණය දත යුතු ය. කිසියම් යෝගාවචරයකු හොඳින් භාවනාව දියුණු කර ගනියි. ඔහු විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ හා එකග්ගතා යුත් ප්‍රථම ධ්‍යානාංගයට පිවිසෙයි. එවිට ඔහු අනුන්ට හෝ තමන්ට පීඩා වන දේ ගැන නොසිතයි. ඔහු එම සැපයෙහිම වාසය කරයි. මෙය වේදනාවේ ආශ්වාදය යැයි දත යුතුය. එසේම මෙහි ආදීනව නම් මෙකී සියලු විඳීම් ස්ථාවර නොවීමය. එය විපරිනාමයට නැතහොත් වෙනස් වීමට ලක් වෙයි. මෙම වේදනාවේ ආදීනව එය යැයි දත යුතු ය. මෙම වේදනාවේ නිස්සරණය යනු සියලු සුඛ, දුක්ඛ, වේදනා අවබෝධ කොට සියලු ඇලීම්, ගැටීම්, දුරු කිරීමෙන් ලබන සුවය බව දත යුතුය. මෙය වේදනාවෙන් නිදහස් වීම යැයි දත යුතු බව, තථාගතයන් වහන්සේ පැහැදිලි කළහ.

තෙරුවන් සරණයි

තපෝවනයේ සුමේධ හිමි










බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment