නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දන්තං නයන්ති සමිතිං දන්තං රාජාහිරූහති
දන්තො සෙට්ඨො මනුස්සෙසු යොති වාක්‍යං තිතික්ඛති
අද ධර්ම දේශනාවට මාතෘකා කළේ, ධම්ම පදයේ නාග වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටි අවස්ථාවක, ඇතිවූ සිද්ධියක් මූලික කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. කොසඹෑනුවර ප්‍රසිද්ධ ආරාම තුනක් තිබුණු බව පොත්පත්වල දැක්වෙනවා එනම්, පාවාරිකාරාමය, ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමයයි. බුදුරජාණන් වහන්සේ මේ අතරින් ඝෝෂිතාරාමයේ අවස්ථා කීපයකදී වැඩ සිටි බවත් සඳහන් වෙනවා.
උන්වහන්සේ එහි වැඩ සිටි දිනෙක උදෑසන, උන්වහන්සේගේ නුවණැසට ගැටුනේ මාගන්දිය බමුණා හා එම බැමිණියයි. මේ දෙදෙනාට ධර්මාවබෝධය ලැබීමට තරම් මුහුකුරා ගිය කුසල ශක්තියක් ඇතිබව දැනගත් බුදුහාමුදුරුවන් වහන්සේ, උදෑසන පා සිවුරු ද ගෙන මාගන්දිය බමුණාගේ නිවසට වැඩම කළා. බමුණා ගෞරව සහිතව බුදු හාමුදුරුවන් පිළිගත්තා. ඒ අතර ඔහු මෙහෙම හිතනවා,” මගේ දුව තරුණයි, රූමත්, කිසි දෙයකින් අඩුවක් ඇත්තේ නැහැ. එකම අඩුවකට තිබුණේ ඇගේ රුවට ගැළපෙන තරුණයෙක් සොයා ගැනීමට නොහැකිවීමයි. ඒ අඩුව අද සම්පූර්ණ කර ගන්ට පුළුවනි. ඇගේ උරුම කාරයා නිවසටම ඇවිල්ලා සිටිනවා” මෙහෙම හිතලා හාමිනේට වහාම කථා කළා, දුව සරසාගෙන ඉදිරියට ගෙනෙත්නැයි ඉල්ලා සිටියා. හිතේ සතුට ඉහවහා ගිය බැමිණිය ද ඉක්මනින්ම දුව හැඩ වැඩ කොට සරසා ගෙනැවිත් බුදුහාමුදුරුවන් ඉදිරියට යොමු කළා. ඔවුන්ගේ අදහස වටහා ගත් බුදුරජාණන් වහන්සේ, ශරීරයේ අස්ථිර බවත් නිසරු බවත් ඔවුනට පැහැදිලි කර දෙමින්, විනාශයට යන රූපයක් ගැන හිතමින් අහංකාර වීම මෝඩ කමක් බවත් හේතු සහිතව පෙන්වා දුන්නා. ඒත් ඒ කිසිවක් තරුණ මාගන්දියාට නම් වැදගත් වුනේ නැහැ. තමාගේ රූපයට නින්දා කළේ යැයි සිතූ තරුණ මාගන්දියා, බුදුහාමුදුරුවන් කෙරෙහි ඇති කර ගත්තේ වෛරයක්.
මාගන්දියාගේ රූමත් බව නිසාම පසු කාලෙකදී උදේනි රජු, ඇයත් රජ බිසවක් ලෙස පත්කර ගත්තා. ඇය දැන් බුදුහාමුදුරුවන්ට එරෙහිව රාජ්‍යබලය යොදාගෙන තමන්ට කළ අපහාසයට බුදුහාමුදුරුවන්ගෙන් පළි ගන්ට හිතුවා. බුදුරජාණන් වහන්සේ ඝෝෂිතාරාමයේ වැඩ සිටින බව ඇයට දැනගන්ට ලැබුණා. උන්වහන්සේ නගරයෙන් පන්නා දැමීමට නොයෙක් ප්‍රයෝග යෙදුවා. නිවට මිනිස්සුන්ට අල්ලස්දීලා බුදුහාමුදුරුවන්ට නින්දා කළා. පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේලාට අභූත චෝදනා ඉදිරිපත්කරමින් පරිභව කළා. පන්සලේ ඉන්න බැරි තරමට හතර වටෙන්ම, දොස් නැගෙන්ට වුණා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පෙරැත්ත කර කර කියා හිටියා පන්සල අතහැරලා වෙනින් කොහාට හරි යමුයි කියලා. ඒකට උන්වහන්සේ කැමති වුණේ නැහැ. වෙනින් තැනකට ගියත් එතැනත් මෙහෙම දෙයක් සිදු වුණොත් මොකද කරන්නේයැයි ප්‍රශ්න කොට, යම් ආරංචියන් ලැබුණම එහි ඇත්ත නැත්ත සොයා නොබලා ආවේගශීලීව ක්‍රියා කිරීම සාමාන්‍ය ස්වභාවය බව වදාරා. මිනිස්සුන්ට සත්‍යය වැටහෙන කොට මේ තත්ත්වය මගහැෙර්යැයි පැවසුවා, එතෙක් ඉවසා සිටින ලෙස ඉල්ලා සිටියා. මේ සිදුවීම නිමිති කරගෙන තමයි මාතෘකා පාඨය ලෙස ඉදිරිපත් කළ ගාථාව දේශනා කළේ.
ගාථාවේ සාමාන්‍ය අදහස මෙහෙමයි. සෙනග ගැවසෙන තැනකට ගෙනියන්නේ හීලෑ කරන ලද අලි ඇතුන්, අසුන් පමණයි. රජතුමා පවා පිට උඩ නගින්නේ හීලෑ සතෙකුගේ පමණයි.මිනිසුන් අතරින් යම් පුද්ගලයෙකු ඉවසීම මනාව හුරු පුරුදු කරන ලද්දේනම් ඒ තැනැත්තාම ශ්‍රේෂ්ඨ වන බවයි. පින්වත, බුදුහාමුදුරුවන් වහන්සේ මනුස්සයෙකුට හීලෑවීමේ අගය පෙන්වාදීමට, මෙතෙනදී අපට දැනෙන හැඟෙන කදිම උපමාවක් යොදාගෙන තියෙනවා. හීලෑ නොවුනු සතුන්ට අපි බයයි ඔවුන් හඳුන් වන්නෙත් වන සතුන් කියලාමයි. වන සතුන්ට අපි බය මොනවා කරයිද කියලා හිතාගන්ට බැරිනිසයි. කවුරුත් කිට්ටු වෙන්නෙ නැහැ. ආදරය කරන්නෙත් නැහැ. වනයේ අලි ඇතුන් හීලෑ කරගන්ට මිනිස්සු ලොකු වෙහෙසක් ගන්නවා. කකුල්වලට මදු දාලා හිර කරනවා, පිට මැද්දෙන් කඹයක් දානවා. ඒ කරලා ගස් බඳිනවා.මුලින් කෑම නොදී ඉන්නවා, පස්සේ ටික ටික කන්ට දෙනවා. මෙහෙම ලොකු වෙහෙසක් දරලා සතාව හීලෑ කර ගන්නවා. හීලෑ සත්තු තමයි පාරවල් දිගේ ගෙනියන්නේ. සෙනග මැද්දට ගෙනියන්නේ, පෙරහරට සම්බන්ධ කරන්නේ. හීලෑ නිසාම ඔවුන්ගෙන් කරදරයක් හිරිහැරයක් නොවේය යන විශ්වාසය අප තුළ තියෙනවා. එපමණක් නොවෙයි පෙරහරේ යන ඇතා මොන තරම් ඉවසනවද?
කකුල් වලට දම්වැල් දාලා, ඇඳුමක් ඇඟේ දවටලා, පිට උඩ දෙතුන් දෙනෙක් නැගලා, ඒ විතරක්ද? වටෙන්ම බෙර ශබ්ද? කස පුපුරන හඬ, නැටුම් ගැයුම් වලින් නැගෙන ඝෝෂාව. අලි ඇතුන්ට මේවායින් වැඩක් නැහැ ඒවා කරදරයක් එපමණක්ද? පෙරහරේ ගෙනියන පන්දම් වලින් පෑගෙන ගිනි අඟුරු කකුල්වලට පෑගෙනවා. පෙරහරේ ගමන් කරන අලියා හෝ ඇතා මේ සියලු දේ ඉවසා දරාගෙන සංවරව පෙරහරේ ගමන් කරනවා. පින්වත, හීලෑ සතාටයි අපි ආදරේ. කිට්ටු වෙන්ට බයත් නැහැ. කරදරයක් විපතක් සිදු නොකරනවාය කියන විශ්වාසය තියෙනවා. මේ කාරණයම අරගෙන බුදුරජාණන්වහන්සේ, මිනිසාට වටිනාකමක් ලැබෙන්නේද හීලෑබව ඇති තරමට හා දරා ගැනීමේ හැකියාව ඇතිකර ගත් තරමට බව පෙන්වා දෙනවා.
පින්වත, මිනිසා හීලෑකර ගත යුත්තේ තමන්ගේ කය හා කට යන ඉන්ද්‍රියන් දෙකයි. බොරුව, කේලම, පරුෂ බස් දෙඩීම හා ප්‍රලාප දෙඩීම, කට වැරදි විදියට යොදා ගැනීම නිසා කෙරෙන කටයුතුයි. කට වරදවා පාවිච්චි කිරීම නිසා මිනිසා තමන්ටම විශාල හානියක් කරගන්නවා. අන් අයගෙ විශ්වාසය නැතිකර ගන්නවා, ගරුත්වය කෙලෙසා ගන්නවා, ඇතැම්විට නොයෙක් ආකාරයේ දඬුවමට ලක්වෙනවා, අකාලයේ ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වෙනවා. අන් අයට තලා පෙලා හිරිහැර කිරීම, මරණ තර්ජන කිරීම, ජීවිත නැතිකිරීම, ඒ වගේම අන්සතු දේ පැහැර ගැනීමත්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර වැනි දේවල්වලට මිනිස්සු පෙළඹෙනවා. මේ සියල්ල සිදුවන්නේ කයෙහි අසංවරකම නිසයි, කය හීලෑ නැති නිසයි. නිවසේ දෙමාපියන් අසීලාචාර වෙනකොට දරුවන් ජීවත්වෙන්නේ, බියෙන් තැතිගැන්මෙන්, ඔවුන්ගේ ආදරය සෙනෙහස ලැබෙන්නේ නැහැ. මව්පියන් ළඟට කිට්ටු වෙන්ට බයයි, ඒ අම්මට තාත්තට දරුවන්ගේ සැළකිල්ලකුත් නැහැ. හැමෝටම වටින කමක් ලැබෙන්නෙත් ජනතාවගේ ගෞරවය හා ආදරය ලැබෙන්නෙත් ඔවුන් සීලාචාර හා ඉවසීම හුරුකළ අය වුවොත් පමණයි. අපරාධ සමාජය තුළ සිදුවන්නේ ද අසීලාචාරකම හා ඉවසීමේ ගුණය හුරු නොකිරීම නිසයි.
ඉවසීම, ක්‍රෝධය නැති කරන ආයුධයයි. බලවතුන්ගේ ජීවිත සරසන ආභරණය ද ඉවසීමයි. හැමදෙනාටම අපා දොර වසන, සැනසිල්ලට මග කියාදෙන මාර්ගෝපදේශකයා ද ඉවසීමයි. ඔබත් අද අදම කල් නොදමා, සීලය හා ඉවසීම හුරු කරන්න. ඒ තුළින් දෙලොවම ඔබේ ජීවිතය ශක්තිමත් කර ගන්න.
කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති,
ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 16
වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment