නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නමෙ ආවරියෝ අත්ථි
සදිසො මෙ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං
නත්ථි මෙ පටිපුග්ගලෝ
කාරුණික වාසනාවන්ත පින්වතුනි,
මෙම ධර්ම දේශනාවෙන් මම බලාපොරොත්තු වන්නේ අපේ අමා මෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබදවත් උන්වහන්සේගේ උත්තරීතර බුදුගුණ පිළිබඳවත් කෙටියෙන් කරුණු කිහිපයක් පැහැදිලි කිරීමටයි. අප වැනි අයට අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ගුණ නිසි ආකාරව නොවැටහෙන ස්වභාවයක් ඇති බවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් වර්ණනා කර නිමකළ නොහැකි බවත් සත්‍යයකි. එහෙත් එවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට වැටහෙන අයුරින් හෝ සාකච්ඡා කිරීම බුදුගුණ භාවනාවකි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කව්ද යන පැනය අද පමණක් නොව අතීතයේ දීද පැන නැගි ප්‍රශ්නයකි. බුදුරදුන් යනු කිසියම් දිව්‍යමය සම්භවයක් ඇත්තෙක් ලෙසත්, ඒ නිසා උන්වහන්සේ පණිවිඩ කාරකයෙක්ද යන මතය සමහරු සාකච්ඡාවට බදුන් කර තිබෙනවා. එහෙත් උන්වහන්සේගේ දේශනාවට අනුව බුදු දහම යනු මනුෂ්‍යයෙක් වශයෙන් මනුෂ්‍යයෙක් විසින් දියුණු කළයුතු මානුෂීය ගුණ ධර්ම සංවර්ධනය තුළින් ලබාගත් තත්ත්වයක් ඒ හෙයින් කාගේ හෝ ශිෂ්‍යයෙක් ලෙස හෝ පණිවිඩකරුවෙක් ලෙස නොව මනුෂ්‍යත්වය තුළ සංවර්ධනය කරගත යුතු උතුම් බුද්ධිමය ශක්තිය දියුණු කරගත් උත්තමයෙක් ලෙස බුදුපියාණන් වහන්සේ හඳුන්වාදීම සුදුසු වේ.
උන් වහන්සේ පිළිබඳව අපට දැකගන්නට ලැබෙන හොදම අවස්ථාවක් තමයි බෝ මැඩ සිට ගයාවට ධර්ම දේශනා සඳහා වැඩි ගමන අතර මගදී හමුවූ උපක ආජීවක තෙම බුදුන් වහන්සේ සමග සිදුකළ සාකච්ඡාව .
ඔබ වහන්සේ ප්‍රසන්නයි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් පි‍්‍රයජනකයි. ඔබ වහන්සේ කිනම් ගුරුවරයෙක් පා සවනේ හැදෙන කෙනෙක්ද? කිනම් දහමක් අනුගමනය කරන්නේද? ඔහුගේ ප්‍රශ්නය වුණා. එම අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා.
-මට ගුරුවරයෙක් නැහැ
-මා හා සමාන වූවෙක් ඇත්තේ නැත
-දෙවියන් සහිත ලෝකයේ
මා ඉක්මවා යා හැකි පුද්ගලයෙක් නැත යනුවෙන් මේ හෙයින් උන්වහන්සේ අප්පටි පුද්ගල වේ. එනම් අසමාන පුද්ගලයෙක් බවයි. අපේ බුදුහාමුදුරුවන් ගැන සාකච්ඡා කරද්දී උන්වහන්සේ තුළ පැවති සුවිශේෂ ගුණ රාශියක් ධර්ම සාහිත්‍යය තුළ දක්නට ලැබේ. ඒ අතර වන සමහර ගුණයන් බුද්ධිය මනස හා සම්බන්ධ වන ගුණාංග සමහර ගුණාංග හදවත හා සම්බන්ධ දේවල්. හදවත හා සම්බන්ධ ගුණාංග සැලකෙන්නේ කරුණාව හා පදනම් වන ගුණාංග වශයෙන් උන්වහන්සේගේ මහා කරුණාව අන් සියලුම පුද්ගලයන්ගේ කරුණාවට වඩා උත්තරීතරයි.
උන්වහන්සේගේ මනා පුහුණුව නමින් හඳුන්වන බුද්ධිමය ශක්තිය හෙවත් ප්‍රඥාව සෙස්සන්ගේ පුහුණුවට වඩා සුවිශේෂ හෙයින් අපි එය මහා ප්‍රඥාව නමින් හදුන්වමු. එහෙයින් මහා කරුණා මහා ප්‍රඥා ගුණයෙන් උන්වහන්සේ සමන්විත වනවා.
උන්වහන්සේගේ ශාරීරික හා ආධ්‍යාත්මික ගුණයන් පිළිබඳව පරිශීලනයේදී අපට පැහැදිලි වන ගුණ දෙවර්ගයක් වේ. බුදුහාමුදුරුවන්ගේ අධි මානුෂික ලක්ෂණ වශයෙන් දැක්වෙන උන්වහන්සේ තුළ පැවති තෙසිස් පුරුෂ ලක්ෂණ, එමෙන්ම අසීති අනු ව්‍යඤජන මංගල ලක්ෂණ, භ්‍යමප්‍රභා මණ්ඩලය හඳුන්වන්න පුළුවනි. මෙහි අති මානුෂීය ලක්ෂණ උන්වහන්සේ තුළ පැවතියේද යන සාකච්ඡාවක් සමහරුන් විසින් සිදුකරනු අදත් දක්නට ලැබේ.
දීඝ නිකායේ හමුවන අම්බට්ට සූත්‍ර වැනි සූත්‍ර වල මෙම ලක්ෂණ පිළිබඳවත් ධර්ම සාහිත්‍යයෙන් කරුණු ලැබෙන අතර, එම කරුණු ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් අපට නැති බවක් පැහැදිලියි.
එදා පොක්ඛරසාති බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවූ මහා කීර්තිරාවය අසා, බුදුරජාණන් සොයා යාම සඳහා තමාගේ දක්ෂ ශිෂ්‍යයෙක් වූ අම්බට්ට මානවකයා පිටත් කළේය. අම්බට්ට බුදුරදුන් සොයා ගොස් උන්වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ පසු පස යමින් මේ මහා පුරිස ලක්ෂණ ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂාවක් කළේය. කුමක්ද? මෙසේ සොයා බැලීමට හේතුව අතීතයේ වේද ග්‍රන්ථවල මහා පුරිස ලක්ෂණ ගැන ලියවී තිබෙන බව දැන සිටි නිසයි. මෙසේ විමසුමක් කරන ලද්දේ.
මේ මහා පුරිස ලක්ෂණ නිසා එසේ තත්ව දෙකක් ලබනවා. ගිහිගෙයි විසුවොත් ඒ උත්තමයෝ චක්‍රවර්තී රාජ්‍ය ලබනවා. එසේ නැතිව පැවිද්දට පත් වුවහොත් ලොව්තුරා බුද්ධත්වයට පත් වන බව වේද ග්‍රන්ථවල සඳහන් හෙයිනි. බුදුරදුන් තුළ මහා පුරිස ලක්ෂණ අන්තර්ගතව ඇත්ද යන්න සොයා විමසුම් කළ මෙම අම්බට්ට මානවක තෙම අපේ බුදුහාමුදුරුවෝ තුළ පිහිටි දෙතිස් මහා පුරිස ලක්ෂණයන්ගෙන් බාහිර පෙනෙන ලක්ෂණ නම් වූ කිහිපයක් දැක හදුනාගත් නමුත් පහත ජිව්හා ලක්ෂණය හා කොසොහිතවත්‍ථගුයිහ ලක්ෂණය නම්වූ බාහිරව නොදකින ලක්ෂණ ද්වයයි දැක හදුනා ගන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. අම්බට්ට මානවකයාගේ යටි සිත තේරුම් ගත් බුදුරදුන් ඔහුට පේන්නට එම අභ්‍යන්තර දෙලක්‍ෂණ පිළිබඳව ඉද්ධාභිසංකාරයක් පැවැත්වු බව අම්බට්ට සූත්‍රයේ සඳහන් වේ.
බුදුන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කර කාලය, දීපය, දේශය, කුළය, මව් යන පංච මහා විලෝකනයන්ගෙන් අනතුරුව මිනිස්ලොව සුවිශේෂ පුද්ගලයෙක් වශයෙන් ඉපදුන බව ඉහත කී කරුණු පිරික්සීමේදි පැහැදිලිව දක්නට ලැබේ. ඒ හෙයින් කිසිවෙක් අදහස් කරනවා නම්, ප්‍රකාශ කරනවානම්, බුදුහාමුදුරුවෝ අප හා සමාන මනුෂ්‍යයෙක්ය යන්න එය නොසිතිය යුතු කල්පනාවක් බැව් පැහැදිලියි.
එකිනෙකට වෙනස් අයුරින් මෙලොව ඉපදෙන මිනිසුන් අතර, බෝධි සම්භාර ධර්මයන් පිරූ උත්තමයෙක් අතිශයින්ම අපට වඩා වෙනස් සුදුසුකම් වලින් හා ශාරීරික බුද්ධිමය ශක්තියෙන් යුක්ත වීම සත්‍යයකි.
අද අප අතර උන්වහන්සේගේ දේශනාවන් ඇත. එම ධර්මය දෙස බලන කළ පැහැදිලි වෙනවා. මෙම සමාජයේ පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ අවබෝධ නොකළ හැකි, දේශනා නොකළ හැකි බොහෝ කරුණු එහි අන්තර්ගත බව, ඒ හැම දෙයම හරහා බැලූවිට බුදුන් වහන්සේ යනු සුවිශේෂ අධි මානුෂීය තත්වයක් බැව් පැහැදිලි වෙනවා. එහෙත් මේ කාරණය වරදවා වටහා නොගත යුතුයි.
උන්වහන්සේ තුල මහා පෞරුෂීය ලක්‍ෂණ තිබූ බව පෙනේ. එමෙන්ම සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ උන්වහන්සේ තමන් වහන්සේ පැවිදිවුනේ ඇයි? ද යන්න පැහැදිලි කර ඇත.
මේ ගිහිගෙයි වාසය අතිශයින් බාධක සහිතයි. කෙලෙස් වැඩීමට ආකරයක්. පැවිද්ද ආකාශය වගේ මේ පැවිද්ද දැකල තමයි මාව පැවිද්දට පත්වුනේ කියා බුදුහාමුදුරුවෝ දේශනා කර ඇත. ඒ නිසා පැවිද්ද සඳහා සූදානම් වූයේ, පැවිද්ද සදහා ගිහි ගෙය හැරයාම සඳහා පෙළඹුණේ මේ සමාජයේ පවතින දුක නමැති යථාර්ථය අවබෝධ කරගෙන බව පැහැදිලියි. ඒ අනුව බුදුහාමුදුරුවෝ පිළිබඳව කල්පනා කළ යුතු වන්නේ මනුෂ්‍යයෙක් ලෙස ඉපදී, මනුෂ්‍යයෙක් ලෙස විදිය යුතු සැපවිඳ, එමෙන්ම ලඟා කරගත යුතු සුව පහසුකම් විඳ එහෙත් මේ ආශ්වාදය තුළ ඇති ආදිනවයන් මගින් දැකිය යුතු නිස්සරණයන් තේරුම් ගෙන ඉන් ඉදිරියට ගිය උත්තමයෙක් ලෙසය.
ඉහත අපි සාකච්ඡා කළේ බුදුහාමුදුරුවන්ගේ ශාරිරික ලක්‍ෂණ කිහිපයක් පිළිබඳවයි. උන්වහන්සේගේ වචනය ගතහොත් ඒ වචනය තුළ සුවිශේෂ වූ ලක්‍ෂණ ගණනාවක් ධර්මයේ පැහැදිලි කර තිබේ.
“බින්දු සුස්සරතා, සුසන්ඨාන ආදි ලක්‍ෂණයයන් උන්වහන්සේගේ අෂ්ටාංග සමුපේත ස්වරවල අන්තර්ගතව තිබෙනවා. බින්දු යනු වචනයේ වටකුර බව, උන්වහන්සේ දේශනා කරන ආකාරය හරි මිහිරියි. උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළ වචන සැමගේම හදවත දිනාගත් මිහිරි වචන වූ අතර මටට සුමට වචන හෙයින් එම වචන බින්දු නමින් හඳුන්වනු ලැබේ.
එසේම උන්වහන්සේ තුළ පැවති සුස්සර ගුණය වැදගත් වේ. සුස්සර යනු නියම ස්වර උච්චාරණය කරමින් කථා කිරීමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නියම වශයෙන් ස්වර හඳුනාගෙනය.
එසේම උන්වහන්සේගේ දේශනාවල ඇති ගාම්බීර බව, ගැඹුරු බව ඉතා විශේෂයි. සමහරුන් දන්නේ නැහැ තමන් කථා කල යුත්තේ කුමක්ද යන්න.
බුදුන්වහන්සේ කාලවාදී, භූතවාදි, අත්ථවාදි මේ කාලවාදි යනු අවශ්‍ය වේලාවට කථා කිරීම, මෙයට හොඳම නිදසුනක් තමයි දාරුචීර තාපසයාගේ කථාව, බුදුන්වහන්සේ පසුපස පැමිණ දාරුචීර තෙම පිණ්ඩපාත වඩිනකොටත් ධර්මය දේශනා කිරීමට ඉල්ලීම් කළේය. එවිට බුදුහාමුදුරුවෝ දේශනා කලේ “ අකාලො යං දාරුචිරීය පිණ්ඩාය පවිට්ඨම්හා “ දාරුචීර මෙය පිඩු පිණිස වේලාව බැවින් බණ කීමට සුදුසුවේලාව නොවේ යයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යලිත් යලිත් දාරුචීරය ඇවිටිලි කරන කල ඔහුට දෙසු බණ පදයෙන්ම ඔහු රහත් වෙනවා.
මම සම්මා සම්බුද්ධ යනුවෙන් හඳුනාගත යුතුයැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ සේක.
- හරියට නෙළු පියුමක් වැනිය. පියුම වතුර නොගැවී පිපී ඇත.
- ලෝකයා සමඟ නොගැටී නොඇලී කටයුතු කරන නිසා
- බුදුහාමුදුරුවන්ට බුද්ධ කියා කියති යැයි දේශනා කළහ.
ඒ බුදු වදනයි. අප මෙන් මනුෂ්‍යයෙක් ලෙස ඉපදී මනුෂ්‍යයෙක් ලෙස කටයුතු කොට මනුෂ්‍යයෙක් වශයෙන් යාම් ඊම් ආදි විහරණයන් සිදුකර, එහෙත් මනුෂ්‍යයෙක් තුළ පවතින සසර ගමනට හේතුවන ක්ලේශයන් දුරු කර සහ මුලින්ම ඉවත් කර දැමූ නිසා උන්වහන්සේ බුද්ධ නම් වේ. මෙම සමාජය තුළ ජීවත් වුණද සමාජයේ නොගැටි නොඇලී කටයුතු කළ උත්තමයෙකි. උන්වහන්සේ තුළ පැවති අධි මානුෂිය ගුණයන් පිළිබඳව සාකච්ඡා කිරීමට තව බොහෝ කරුණු ඇත.
සියලු වාසනා සහිත ක්ලේශයන් බුදුහාමුදුරුවෝ නැති කළ සේක. දුටු දේ දුටු දේ ලෙසත්, ඇසුණු සේ ඇසුණූ දේ ලෙසත් දැනුණු දේ දැණුනු දේ ලෙසත් කල්පනා කරන්න යනුවෙන් බුදුහාමුදුරුවෝ කෙටි ධර්මාවවාදයක් කොට වැඩම කළ සේක.ඉන් බුදුහාමුදුරුවෝ කාලවාදි බව පැහැදිලිවේ. එසේම උන්වහන්සේ තුළ පැවති ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ අත්ථවාදි බවයි. එනම් අනවශ්‍ය දේ දේශනා නොකොට අර්ථාන්විත දේ පමණක් දේශනා කිරීම.
එසේම හිතවාදි සිදුවු දේ පමණක් උන්වහන්සේ දේශනා කරන ලද අතර අභුතයක් දේශනා නොකළ සේක. සාකච්ඡාවට ගතයුතුදේ පමණක් සාකච්ඡා කළ සේක.
උන්වහන්සේගේ දේශනා සතර ආකාරයකි.
1.”එකංසබ්‍යකරණ 2.”විභජ්ජබ් ව්‍යාකරණ “ 3.”පටිපුච්චාව්‍යාකරණ “ 4.”ඨපනීය” යනුවෙනි.
බුද්ධ දේශනාවේ ඇති ස්වරය මිහිරි බව ගාම්භීර බව මෙන්ම තවත් වැදගත් ලක්ෂණයක් නම් නින්නාද ලක්ෂණයයි. උන්වහන්සේ නිරන්තරයෙන් ගීගුම් නඳින් දම් දෙසු සේක. උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණයට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසට අදහස් වූයේ උන්වහන්සේ තමන්ට දම් දෙසන ස්වභාවයක් බව සඳහන් වන්නේ මේ නිම්නාද ලක්ෂණය නිසයි. ඒ අනුව මනුෂ්‍ය ස්වරූපය ඉක්මවා ගිය තත්ත්වයන් දියුණු කළ උතුමෙක් වේ. මෙම කරුණු සනාථ වන තවත් අවස්ථාවක් නම් බුදුහාමුදුරුවන් හා ද්‍රෝණ බමුණා අතර ඇති වු සාකච්ඡාව පෙන්විය හැක.
බුද්ධානුස්සතිය වඩන කොට කෙනෙක්ට උන්වහන්සේ තම හදවත තුළ ජනිත කරගන්නට හැකියාව ඇත. පසු බිම තිබෙන පිළිමයකින් එයට උදව්වක් ලැබුණත් උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ තේරුම් අරගෙන බුදුරදුන් අප හදවතේ නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත්නම් නියම බුදුන් වැඩ ඉන්නේ එහිය. තුණුරුවන් කෙරෙහි අකලංක විශ්වාසයක් ඇති කර ගැනීමට බුද්ධාදි අටතැන පිළිබඳව සැක දුරු කළ යුතුයි. එවැන් සැක ඇති අයෙක් ශ්‍රද්ධාවන්තයෙක් නොවන බවත් මිත්‍යාදෘෂ්ටිකයෙක් වන බවත් පැහැදිලියි.
“රහසත් පව් නොකොට - කෙළෙසරයුනුත් දුරු කොට
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑමෙන් බොහෝ කලකට පසුවයි බුදු පිළිම ඉදිවුනේ. එයට හේතුව බුදුරදුන් වැනි සුවිශේෂ උත්තමයෙක් කෙසේද පිළිරුවකට නගන්නේ යන පැනය එදා ඇති වීමයි. ඒ නිසා බුදුරදුන් නියෝජනය කිරීම සඳහා සිරි පතුල යොදා ගත් බව පෙනේ. සාංචි ස්ථූපය, බෝධින් වහන්සේ, ධර්ම චක්‍රය, පද්මය මෙසේ යොදා ගත් සංකේත වේ.
පසුකලක බුද්ධියෙන් පිරිහෙන අයට බුදුරදුන් හදවතේ මවා ගන්නට උදව්වක් ලෙස බුදු පිළිම නෙළීම ඇරඹිණි. එහෙත් එම පිළිම තුළින් බුදුරදුන් තුළ පැවති මෙත්තාව, කරුණාව, උපේක්ෂාව වැනි ගුණයන් ඒ අයුරින්ම පිළිබිඹු කරන්නට කලාකරුවාට හැකියාවක් නොමැත. එහෙත් බුදු රුව ඉදිරියේදි ඒ උතුම් බුදු ගුණ මතු කර ගන්නට අපට හැකියාව ඇත්නම් සුගත ශ්‍රාවකයෙක් වශයෙන් බුදුරදුන් දැකීමට ඇති හොඳම ක්‍රමය එය වන බවයි. එවන් උත්තරීතර වූ දහමක් තුළින් අපට විමුක්තිය පසක් කර ගැනීමට මාර්ගය හෙළි කළ උන්වහන්සේ පිළිබඳව දැක්මක් ඇති කර ගැනීම බුදුරදුන් සරණ යාමයි. ධර්ම ශාන්තිය තුළ ඇතුළත් කරුණු හේතුකොට ගෙන උන් වහන්සේ මානුෂිකත්වය ඉක්ම වු ශාරීරික ලක්ෂණ වලින් හෙබි සුවිශේෂි උත්තමයෙක් යන්න ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේම උන්වහන්සේ අතිශය පවිත්‍ර වූ හදවතක් ඇත්තෙකි. “ කරුණා සීතල හදයන් “ කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමයෙකි. මහා කරුණාවෙන් යුතු උන්වහන්සේ ලෞකික ලෝකෝත්තර සියල්ල අවබෝධ කර ගත් ඤාණ සම්භාරයෙන් මහා ප්‍රඥාවෙන් යුතුවේ. මේ උතුම් ගුණ ධර්මයන් පිළිබඳව ඇති කර ගන්නා ප්‍රසාදය තුළින් හදවත පවිත්‍ර වන අතර එයින් උන් වහන්සේ කවුරුද යන වග අපට පැහැදිලි ව දැනගත හැකිවේ.
හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
බොරලැස්ගමුව පැපිලියාන
සුනේත්‍රාමහාදේවි පිරිවෙන් විහාරාධිපති හා පරිවේණාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ජුලි මස 25 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment