Labels

Monday, June 22, 2015

කාම ගින්නට පිදුරු නොදමනු නොදැවෙන්නට



මුළු ශ්‍රී ලංකා ද්වීපයටම ශාන්තිය, රැකවරණය, සැනසීම, ආලෝකය, ප්‍රඥව උදාවුණු උදාරතම දවස තමයි පොසොන් 
පොහොය දවස. ඒකට හේතුව භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් සමග අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයට වැඩමකොට වදාළේ අද වගේ පොසොන් පොහොය දවසක නිසා. ඒ ආකාරයෙන් ආලෝකමත්වී සසර දුක නිවාගනු පිණිස මං හෙළි පෙහෙළි වූ මේ ලක්‌ දෙරණට දැන් ඇතිවී තිබෙන තත්ත්වය අතිශය ශෝචනීය බව අපි කාටත් හොඳට වැටහෙනවා. විශේෂයෙන්ම කාමයේ ආදීනව කියල දෙන උතුම් සම්බුදු දහම තිබියදී කෙටිකාලීන ආශ්වාදයන් සඳහා අතිප්‍රබල කාම අපරාධ කරන අංක එකේ රටක්‌ බවට මේ රට දැන් පත්වෙලා ඉවරයි.

මේ වගේ දවසක අපි නැවතත් ඒ පිළිබඳව විග්‍රහ කරගෙන මේ තත්ත්වය වළක්‌වාගන්න කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම විවෘත ආර්ථිකයෙන් පසු ශ්‍රී ලංකාවට හැම දෙයක්‌ම, ඒ කියන්නෙ හොඳ නරක සියල්ලම විවෘත වූ නිසා පුද්ගලයාගේ මනස විකෘති කරන කාම චිත්‍රපට,සඟරා මෙන්ම මේ වනවිට අතීතයේ සිටි අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්‌ නොසිතන ආකාරයේ කාමයට සම්බනධ වෙබ් අඩවි ආදිය අන්තර්ජාලය ඔස්‌සේ ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක්‌ දන්නා කරුණු බවට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම අත් දුරකථන හරහා අපේ පාසල් වයසේ දරුවන්ගේ පවා මනස්‌ අද වනවිට දූෂණ තත්ත්වයට පත්වී තිබෙනවා.

එදා අපේ මිහිඳු සංස්‌කෘතිය තුළින් ඇති කළ බෞද්ධ සංස්‌කෘතිය තුළ හැදී වැඩුණු දරුවාට ලැබුණේ අප බෝසතාණන් වහන්සේගේ උතුම් චරිත කතා තුළින් ආදර්ශ ගැනීම. බෝසත්තුමාගේ උතුම් චරිතවත් බව. පංචශීල ප්‍රතිපදාව. ඒ වගේම වැරැදි කළ විට ඇති වන පලවිපාක. ඒ වුණත් අද අද උපදින 

දරුවන්ට ලැබෙන්නේ වැරැදි ආදර්ශ. වැරැදි පිළිවෙත්. ඒ අයට දකින්නට ලැබෙන්නෙම පංචකාමය. ඉන්ද්‍රිය පිනවීම. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි මාධ්‍යය හරහා ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ ඇතිකර තිබෙන බලපෑම වචනවලින් විස්‌තර කරන්න බැහැ. සමහර හොඳ දේවල් තිබුණත් කාමය පැත්තට ප්‍රබල මෙහෙයවීමක්‌ කර තිබෙනවා.

ගීතය තුළ කාමය, චිත්‍රපටය තුළ කාමය, ටෙලිනාට්‍ය තුළ කාමය, වෙළෙඳ දැන්වීම තුළ පවා කාමය. ඇත්ත වශයෙන්ම කාමය අවුස්‌සන වැඩපිළිවෙලක්‌ තමයි කොතන බැලුවත් තියෙන්නේ. පුද්ගලයා තුළ නැති කාමයක්‌ අවුස්‌සනවා. අත් දුරකථනවල දාගෙන තියෙන ගීතවලින් පවා මේ තත්ත්වය ඇතිකරනවා. මේ සමාජය ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වයට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ මීට වසර 2559 කට පෙර දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා පුද්ගලයාගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් පිරිහී වයස අවුරුදු දහය දක්‌වා පහළට බහිනවා කියල. දීඝ නිකායේ චක්‌කවත්තී සීහනාද සූත්‍රයේ තමයි මේක දකින්න ලැබෙන්නේ. ඒකට හේතුවෙන්නෙ අධර්ම රාගය හා විෂම ලෝභය බව උන්වහන්සේ දේශනා කරනවා. අද අපිට දකින්න ලැබෙන්නේ මේ තත්ත්වය. කාමය, රාගය, ලෝභය මාකර්ට්‌ කරල තියෙන්නේ. කාම අපරාධ ගැන ලියෑවිලා තියෙන පුවත්පත් විකුණා මුදල් හම්බකරන සමාජයක්‌. ඒ සිදුවීම් කියවා තිරිසන් රසයක්‌ ගන්න තරම් අධර්මිෂ්ට වූ සමාජයක්‌, පාපකාරී 

සමාජයක්‌ අද බිහිවී තිබෙනවා. ඒ වගේ සිදුවීම් නැවත නැවත කියවද්දි හොඳින් ඉන්න පුද්ගලයෝ පවා අපරාධවලට පෙළඹෙනවා. එවිට මේ වගේ අපරාධ පිළිබඳව අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධ කර ඒවායින් මාර්කට්‌ එකක්‌ හදාගෙන මුදල් උපයන පාපතර පුද්ගලයන්ටත් බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න සිදුවෙනවා. අපි මස්‌, මාළු, උම්බලකඩ කෑවම සත්තු මැරෙනවා කියල ඒවායින් පරිස්‌සම් වෙනව සමහර මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයෝ ඉතාමත් දක්‌ෂ ලෙස අපරාධ විකුණා මුදල් රැස්‌කරනවා.

පින්වතුනි, අපිට පසුගිය කාලවල දිගටම අපරාධ පිට අපරාධ දකින්න, අහන්න ලැබෙනවා. කාම අපරාධ පිට අපරාධ දකින්න අහන්න ලැබෙනවා. ඒ අතර ඉතාමත් ශෝචනීය, ඉතාමත් දුක්‌මුසු තවත් එක්‌ සිදුවීමක්‌ අපගේ මේ පුණ්‍ය භූමියට අයත් එක කොටසක සිදුවුණා. ඒ තමයි පසුගියදා උතුරු ප්‍රදේශයේ කයිට්‌ස්‌ දූපතේ සිදුවුණු ඒ අහිංසක පාසල් මල් කැකුලේ අකාල වියෝව. තිරිසන්ගත, පාපතර,කාමයෙන් මත්වූ මෘග පිරිසක්‌ විසින් ඒ පාපකාරී ක්‍රියාව කළා. මේ වනවිට ඔවුන්ගෙන් බහුතරයක්‌ම අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. ඔවුන්ට නිසි දඬුවම් ලැබෙයි කියල අපි සියලු දෙනා බලාපොරොත්තු වුණත් අර අහිංසක දියණියගේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආපසු ලබාදෙන්න ඒ දඬුවම්වලට බැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව එකක්‌ පැහැදිලියි. ඒ අපරාධය කරන ලද පුද්ගලයාට මෙලොවදී පරලොවදී විපාක ලැබෙනවා. බොහෝ වෙලාවට අපායේ ඉපදී, පෙරේත ලෝකවල, තිරිසන් ලෝකවල ඉපදී අන්ත කටුක දුක්‌ පීඩා කල්ප ගණන් විඳින්න සිදුවෙනවා. 'කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනි සේ' කියන ලෝවැඩ සඟරාවෙ කවියෙනුත් මේක හොඳට පැහැදිලි වෙනවා.

අපි බලන්න ඕන ඒ දියණිය වගේ තවත් දියණියන්ට කාන්තාවන්ට මෙවැනි තත්ත්වයන් උදානොවන්න කටයුතු කරන්න. මේක අපි සියලු දෙනාගේම වගකීමක්‌. කාමය, නැති කාමය, නැති රාගය ඇවිස්‌සීම ගැන කතාකරන කොට, සමහර කාන්තාවන්ගේ අනවශ්‍ය 

මෝස්‌තරවලිනුත් විශාල බලපෑමක්‌ එල්ල කරන බව පේනවා. සමහරු කියයි ප්‍රජාතන්ත්‍රවාදය අනුව, ලිබරල්වාදය අනුව අපිට ඕන විදිහට අහක බලාගෙන යා යුතුයි කියල. රහතන් වහන්සේලාම සිටින, මාර්ගපලලාභීන් සිටින සමාජයකට නම් ඒ කතාව ගැළපෙනවා. අපේ අම්මල, චූටි ගෑනු දරුවන්ට පවා අන්දවන්නෙ නොගැළපෙන විදියට. අද චූටිම චූටි 

දරුවන්ගෙ සිට ඉතාම වයසක කාන්තාවන් දක්‌වාම මේ අපරාධය සිදුවෙනවා. ඉතිං අපි සමාජයක්‌ හැටියට මේ තත්ත්වය වළක්‌වා ගන්න කටයුතු කරන්න ඕන.

අප කාමයන් දුරු කරගෙන කටයුතු කළ යුතු ආකාරය සුත්ත නිපාතයට අයිති කාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් මනුෂ්‍යයෙක්‌ කාමයන් පිළිබඳව ඉතා ගිජුවෙනවා නම් ඒ කාමයන් තමයි කුඹුරු වතුපිටි, ගේ දොර, රන් රිදී, මිල-මුදල්, ගවයන් - අසුන් යාන-වාහන ආදිය ඒ වගේම දාස කම්කරු පුරුෂයන්. ඒ වගේම ස්‌ත්‍රීන්. ඒ වගේම ඥතීන්.

එහි ආදීනවය ගැන උන්වහන්සේ දේශනා කරනවා, දුර්වල වූ ක්‌ලේශයන් කාමයෙහි ගිජුවුණු මිනිසාට යටකොට දමනවා. නොයෙක්‌ කරදරවලින් පෙළනෙවා. ඒ නිසා සතර අපා දුකින් යුක්‌තව ඉපදෙන මැරෙන, සංසාර දුක ඔහුගේ පසු පස්‌සේ හඹා එනවා. ඒක හරියට වතුරෙ තිබෙනකොට බිඳිල ගිහින් තියෙන නැවට ජලය ඇතුල්වෙනවා වගේ. කාමයන්ගෙ ආදීනවය, නපුරු විපාක තමයි මේ. දැන් අර පාසල් දියණියක මුල් කරගෙන ක්‍රියාත්මක වූ ඒ කාමයේ ආදීනව අර පුද්ගලයන්ට මෙලොවදීත්, පරලොවදීත් එලව එලවා පහර දෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහියෙන් යුක්‌තව ඉඳගෙන කාමයන් දුරු කළ යුතුයි කියල. (තස්‌මා ඡන්තු සාදා සතොකාමානි පරිවඡ්ජයේ) බිඳිලා ගිය නැව ආපසු පිළිසකර කරගෙන ඒක ඇතුළෙ තිබුණු වතුර පිටතට දමා එතෙර වෙනව වගේ ඒ කාමයන් අත්හැර තෘෂ්ණාව නම් වූ මේ කෙලෙස්‌ සැඩපහර තරණය කරන්න ඕන කියල උන්වහන්සේ දේශනා කරනවා. (තේ පහාය තරේ ඕඝං නාවං සිත්වාව පාරඥාති). ඉතිං කාමයන්ගෙන් නිස්‌සරණයට, නැත්නම් 

නිදහස්‌වීමට පත්වෙන්න ඕන. සුත්ත නිපාතයේ මේ ගාථා රත්නය ඒ ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා.

'යෝ කාමේ පරිවච්ඡේති 

සප්පස්‌සේව පදාසිරෝ

සෝමං විසත්තකං ලෝකේ

සතෝ සමතිවත්තතී'ති'

මැරෙන්න කැමති නැති, ජීවත්වෙන්න කැමැති යම්කිසි කෙනෙක්‌ විෂඝෝර සර්පයකුගේ හිස අසලින් තමන්ගෙ පාදය වහාම ඉවත්කර ගන්නට වගේ පංච කාමයන් දුරුකරනවා නම් ඔහු සිහියෙන් යුක්‌තව ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාව ඉක්‌මවා යනවා යන්නයි ඒකේ අදහස. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරමින් අපරාධ ආදිය වැළැක්‌වීමට කටයුතු කරමින් පංචකාමයන් දුරු කර ගනිමින් සසර දුකින් නිදහස්‌වීමට අදිටන් කර ගනිමු.

පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

2015 පොසොන් මස 02 වැනිදා අඟහරුවාදා බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින උපුටා ගැනිමකි

No comments:

Post a Comment