“දියුණුව” කියන වචනය බුදු දහමේ සාකච්ඡා කරන්න වෙන්නෙ “ධම්ම” කියන වචනයත් සමගයි. ඒ කියන්නේ ධාර්මික බව හැම අවස්ථාවකදීම අවශ්‍ය වන බවයි. කුමනාකාරයේ ක්‍රියාකාරකමක් සඳහා වුවත් එය අත්‍යවශ්‍ය වන බව මෙයින් පැහැදිලියි. අධ්‍යාපනයට වේවා, ආර්ථික වශයෙන් වේවා, සමාජමය වශයෙන් වේවා, ආගමික වශයෙන් වේවා මේ කුමන කරුණක් සඳහා වුවත් “ධම්ම” යන්න වැදගත් බව බුදුරදුන් පැහැදිලිව දේශනා කර වදාළා.
දියුණුවන පුද්ගලයා කැප විය යුතු ආකාරය මෙසේ විස්තර කර තිබෙනවා.
කායා බල පරිවිතා
බාහා බල පරිවිතා
සේධා වක්කිත්තා
ධම්මිකා ධම්ම ලද්දා
එයින් පැහැදිලිව කියැවෙන්නේ තමන්ගේ කය ශරීරය වෙහෙසවමින් දහදිය වගුරවමින් හරි හම්බ කරන දේ නැත්නම් කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම කය වෙහෙස වූ පමණින් හෝ දහඩිය වැගිර වු පමණින් හෝ එය යහපත් වන්නේ නැහැ. එසේ නම් කෙලෙසද එය යහපත් වන්නේ.
‘ධම්මිකා ධම්ම ලද්දා... ‘ධාර්මික විය යුතුයි යන්නයි බුදු දහමේ දැක්වෙන්නේ. බුදුහිමියන් එය උපමාවකින් පැහැදිලි කර තිබෙනවා.
“සුජීවං අහිරිකේන කාක සුරේන ධංසිනා”
හරකාගේ හණ ගසා තිබෙන මස් කඩාගෙන කන,ලේ රසට ගිජුව එම වණය කන කපුටකු සේ හරි හම්බ කරන්න එපා. බුදුහිමියන් පෙන්වා දුන්නෙ එය දියුණුව නොවන බවයි.
ගොනා පිට වසා සිට උගේම තුවාලය හාරමින් ලේ පෙරෙද්දි ගවයාගේ එම තුවාලයේ මාංශ කඩාගෙන ලේ රසයට වහල් වූ කපුටකු සේ දියුණු වන්නට එපා. එම කපුටකු වගේ හම්බ කරන්න එපා. එය දියුණුව නෙමෙයි යනුවෙන් පෙන්වූවා. තමන්ටත් අන් අයටත් කරදරයක් නැති ක්‍රමවේදයක් පාවිච්චි කළ යුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ. තමන් දියුණු වන්නට තෝරාගෙන තිබෙන මාර්ගය ධාර්මික නම් එයින් තමන්ට හානි වන්නේ නැහැ. එමගින් ප්‍රතිලාභ ලබන අයටත් හානි වන්නට බැහැ. දියුණු වන පුද්ගලයකු තම මාර්ගයේ අඩිතාලම සකස් කර ගත යුත්තේ එය මුල් කර ගෙනයි.
ඔබ බත සපයන ගොවි මහතකු වන්නට පුළුවන්, එසේත් නැත්නම් වෙළෙඳාම් කරනු ලබන අයකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයකු වන්නට පුළුවන්. කාර්මික අංශයේ හෝ ස්වයං රැකියාවක නිරත අයකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් කලා අංශයේ නාට්‍ය රංගන හෝ මූර්ති වැනි දස්කමක් හරහා තමන්ගේ වෘත්තිය සපයා ගන්නකු වන්නට පුළුවන්. එසේත් නැත්නම් උස පැනීමෙන්, පිහිනීමෙන් මැරතන් තරග එසේත් නැත්නම් ක්‍රිකට් වැනි ක්‍රීඩාවකින් බයිසිකල් ධාවන සූරයකු හෝ වන්නට පුළුවන්. එසේත් නැත්නම් ඔබ හෝටලටයක ආහාර පිසින්නකු වන්නට පුළුවන්. වඩු කාර්මිකයකු වන්නට පුළුවන්.
මේ කුමන කර්මාන්තය කළත් තමන්ටත්, අනුන්ටත් එයින් කරදරයක් හිරිහැරයක් නොවන්නේ නම් පමණක් එය ධාර්මික වන බවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ. කාට හෝ එයින් හිරිහැරයක් වනවානම් එය ධාර්මික නොවන බවයි බුදු හිමියන් දේශනා කර වදාළේ.
කවුරුන් හෝ තමන් විසින් පෙර මහත් බාධක දුක් කම්කටොළු විද තම වෙළෙඳාම සකසා ගත් බව පවසනවා නම් එය ධාර්මිකව විය යුතු බවයි එයින් හැඟී යන්නේ, එසේ නොමැතිව යම් අයකු ‘මම විතරයි දන්නේ මම අද ඉන්න තත්ත්වයට ආවේ කොහොමද කියලා, මම අද ලොකු ව්‍යාපාරයක් කරන්නේ පුදුම දුක් විඳගෙන ආපු ගමනක් නිසයි. මම ඒ දවස්වල නීති විරෝධි මත් වතුර වික්කෙ මොන තරම් දුක් විඳ ගෙනද? කැලේ හංග ගෙන, පොලිසිය එනකොට හංගලා දුවනවා. පඳුරු අස්සෙ හැංගෙනවා . ගඟේ හංගනවා, අද ලොකු ලොකු වාහන ගත්තේ ඒ වගේ දුක් විඳල” යනුවෙන් පවසන්නේ නම් එය කිසිසේත්ම “ධම්ම” නැත්නම් යහපත් ගොන්නට අයත් වන්නේ නැහැ. නුසුදුසුයි එසේත් නැත්නම් නරකයි යනුවෙන් බුදු දහමේ දැක්වෙන සියල්ල කොයි ආකාරයෙන් සිදු කළත් තමන් කෙතරම් එය සාධාරණය කිරීමට උත්සාහ දැරුවත් එය කිසිසේත්ම සාධාරණය වන්නේ නැහැ.
බුදු හිමියන් අපට ඉගැන්වූයේ දියුණුව පිණිස නම්
උට්ඨාන සම්පදා
ආරක්ඛ සම්පදා
කල්‍යාණ මිත්තතා
සමජීවිකතා යන ගුණ ධර්ම තිබිය යුතු බවයි.
උත්සාහය සමඟම එළඹ ගත් වීර්යයක් තිබිය යුතුයි. ‘මටත් අනන්‍යන්ටත් කරදර නොවීමට මම වගබලා ගන්නවා’. ‘යන්න නිරතුරුවම තම සිතෙහි කාවැදී තිබිය යුතු වනවා.
තමන් කවර රැකියාවක නිරත වූවත්, සුළු රැකියාවක නිරත වුවත් තමා සතුව උට්ඨාන සම්පදාව එළඹගත් වීර්යයක් තිබිය යුතු වනවා. උත්සාහයෙන් තොර දියුණුවක් ගැන සිතන්නට බැහැ. එසේම උත්සාහයත් සමඟ ආරක්ඛ සම්පදාවත් අප සතු විය යුතුයි. දියුණු වන පුද්ගලයා සෑම විටම ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. තමන් සතු දේ රැක ගැන්මට අපොහොසත් වුවහොත් දියුණුවක් ලබන්නට බැහැ.
එය කුඩා සිසුවාගේ සිටම පිහිටුවිය යුතු ගුණාංගයක්. ශිෂ්‍යත්ව විභාගය සමත් වු සිසුවා සා. පෙළ සමත්වීම දක්වා අධ්‍යාපනය රැක ගැනීමට සමත් විය යුතුයි. සා පෙළ සමත් සිසුවා උසස් පෙළ දක්වා තම අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට සමත් විය යුතුයි.අපට වෙළෙඳ සලක් ආරම්භ කරන්න අපහසු නැහැ. නමුත් එය පවත්වා ගැනීම අපහසුයි. එයයි ජයගත යුතු අභියෝගය වන්නේ, අහම්බෙන් අපට ලොතරැයි දිනුමක් ලැබෙනවා. විශාල උත්සාහයකින් තොරව ලැබුණත් එහි මුදල පවා ආරක්ෂා කර ගැනීමේ වගකීම අප සතු වනවා. ඇතැම් අයෙක් එය සුදුවක් ලෙස හදුන්වන්න පුළුවන්. නමුත් අපේ රටේ ලොතරැයි මඟින් විශාල සුබසාධනයක් සැලසෙන බව මතක තබා ගත යුතු වනවා.
එමෙන්ම ඔබට යම් ආකාරයකින් මැණික් වැනි ස්වභාවික සම්පතක් හිමිවීමට පුළුවන්. මේ සියල්ලම ඔබ ආරක්ෂා කර ගත යුතු වනවා.
ආරක්ෂාව සලසා ගැනීමට නම් ආවේලාවේ වීදි සංචාරය, මත් වතුර පානය, සුරාව සූදුවට යාම මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම සහ කාන්තාවක් නම් පුුරුෂයන් කෙරෙහි ලොල් වීමෙන් වැළැකීම මෙහිලා බෙහෙවින් වැදගත් වෙනවා. එමෙන්ම අලසභාවයෙන් තොරවීම් මේ ආරක්ෂාව පිණිස හේතු වනවා.
එසේ ආරක්ෂා කර ගැනීම පිණිස කල්‍යාණ මිත්‍ර ඇසුරත් හේතු වනවා. එමෙන්ම අප ජීවත් විය යුත්තේ සමජීවිකතා ගුණාංගය වඩමින්. ඒ සම්බන්ධ වැඩි විස්තර මීළඟ කලාපයෙන් කියවමු.
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 16
වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment