Labels

Monday, June 15, 2015

මිනිසා දෙවියන් ඉක්මවන හැටි




මිනිසා දෙවියන්ට වඩා උසස් වන තැන් මේ ලේඛකයා මේ ලිපියෙන් පෙන්වා දෙයි.



මිනිසායන වචනය පාලි මනුස්සශබ්දයෙන් ආවකි. මනුරජුගේ දරු පරපුරෙන් පැවත එන නිසා මනුස්ස නම් වේ යැ යි නිරුක්ති දක්වා ඇත. මිනිසා පිළිබඳ ව ත්‍රිපිටකයේ අටුවාවල හා ටීකාවල ද විශේෂයෙන් සඳහන් කර ඇත. මිනිසා තව්තිසා ආදි දෙව්ලොව දෙවියන්ට ද, උතුරුකුරු දිවයිනේ වැසියන්ට ද වඩා උසස් බව දීඝ නිකායේ ටීකාවේත් සාරත්ථදීපනී නම් විනය ටීකාවේත් සඳහන් ව තිබේ.
එසේ දෙවියන්ට වඩා මිනිසා උසස් වන්නේ නිෂ්පාදනය, ශූරභාවය, සිහිය, බඹසර විසීමේ හැකියාව හා එයට යෝග්‍ය වීම, ගුණ රැස් කිරීමේ සිත් ඇති බව යන උසස් කරුණුවලින් හා ගතිගුණවලින් බව ද එම ලේඛන විග්‍රහ කර දක්වයි. මිනිසාගේ උසස් බව පළට කිරීමේ දී මුල්තැන ගන්නේ නිෂ්පාදනය යි. අනෙක් සියලු සතුන්ට වඩා මිනිසා නිෂ්පාදන කාර්යයේ දී ඉදිරියෙන් සිටී (මිනිසා හැරුණු විට සත්ත්වයකු හැටියට මී මැස්සා ද නිෂ්පාදනයක යෙදෙයි). බොහෝ සත්තු අනුන්ගේ නිෂ්පාදනවලින් යැපෙනවා විනා නිෂ්පාදනයක් නො කරති. නිෂ්පාදනයක් කරන්නේ මිනිසා ය.

මිනිසා කුමක් නිෂ්පාදනය කරයි ද?

බෞද්ධ සංකල්පයට අනුව මිනිසා පින් නිෂ්පාදනය කරයි. දෙවිවරුන්ට පින් නිෂ්පාදනය කිරීම අසීරු ය. දෙවිවරු තමන් කළ පෙර පින්වලින් යැපෙන අතර අනුන් කළ පින් අනුමෝදන් වෙති. මිනිසා පින් නිෂ්පාදනය කරන අතර දෙවියන්ට ද, භූතයන්ට ද අනුමෝදන් කරයි. පින් නිෂ්පාදනයේ දී ඉදිරියෙන් ම සිටින්නේ මිනිසා ය. ඒ නිසා මිනිසා දෙවියන්ට වඩා උසස් ය.
දෙවිවරු පහළ වෙති; චුත වෙති. ඉදිරියට යන පරපුරක් නැත. මිනිසා එසේ නො වේ. බොහෝ මිනිස්සු පරපුරක් නිෂ්පාදනය කරති. මිනිසා මිනිසාට අවශ්‍ය වන දේ නිෂ්පාදනය කරමින් සමාජයට සේවය කරති. අහස්යානා, ගුවන්විදුලි, රූපවාහිනී ආදිය නිෂ්පාදනය කළ මිනිසා ඒවා සමාජයට දායාද කර ඇත. දෙවියන්ට එවැන්නක් කළ නොහැකි යි. එවැනි සමාජ සේවය අතින් ද මිනිසා දෙවියන්ට වඩා උසස් ය.
මිනිසා සතු ව ශූර බව, දක්ෂතාව, වීර්යය පවතී. දෙවියන් අතර ඒ ගතිගුණ නැත. බෝසතාණන් මිනිසකු වශයෙන් වීර්ය පාරමිතාව පිරුවත් දෙවියන් අතර කිසිවකුටත් එය කළ නොහැකි ය. සිහිය යනුවෙන් අදහස් කැරෙන්නේ යෝනිසෝමනසිකාරය යි; සම්මාසතිය යි. යෝනිසෝමනසිකාරයෙන් දහම් අවබෝධ කරගැනීමේ භාවනා කිරීමේ, ධ්‍යාන උපදවාගැනීමේ ශක්තිය පවතින්නේ මිනිසා තුළ යි. වෙනත් එක් සත්ත්වයකු තුළ වත් එවැනි ශාක්‍යතාවක් නැත.
බඹසර විසීමේ හැකියාව ඇත්තේ මිනිසාට ය. බඹසර හැසිරීම යනු පඤ්චකාම සම්පත්තිය විඳීමට අවස්ථාව, වයස, කාලය, පහසුකම්, තිබිය දී පස්කම් සැප නොවිඳ විසීම ය. පැවිදි වීම, තවුස්දම් රැකීම, ගිහිගෙයින් වෙන් වීම එයට අදාළ යි. එය සිදු කළ හැක්කේ මිනිසකුට පමණි. බඹසර විසීම යන්න අර්ථ සමූහයක් නිෂ්පාදනය කරයි. බඹසර යන්නෙන්, වතාවත් කිරීම, නොපමාව පන්සිල් රැකීම, ලිංගික කටයුතුවලින් වැළකීම, තවුස්දම් පිරීමේ උත්සාහය යන අර්ථ ලැබේ. බුදුවරයකු හමුවෙහි ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බව ලබන භික්‍ෂුවකට බුදුරදුන් අමතන්නේ එව මහණ, බඹසර හැසිරෙවයනුවෙනි. එහි බඹසර යන වචනයේ මේ සියලු තේරුම් ගැබ් ව තිබේ. පේතවත්‍ථුවේ එන අංකුර පේත වස්තුවෙහි බඹසර යන වචනය යෙදී ඇත්තේ වතාවත් කිරීමේ අරුතිනි. වතාවත් නොකරන තැනැත්තා සිල් පුරන්නේ නැති බව සාමණේර බණ දහම් පොත කියා දෙයි.
භික්ෂූන් කළ යුතු රැකිය යුතු වත් සමූහයක් චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධක නම් පරිච්ඡේදයෙහි සඳහන් වේ. ජාතක පොතේ තිත්තර ජාතකයේ බඹසර හැසිරීම යන්නෙන් අදහස් කර ඇත්තේ පන්සිල් රැකීම යි. මජ්ඣිම නිකායේ සඳහන් සල්ලේඛ සූත්‍රයේ බඹසර හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ මෛථුන විරතිය යි; සංසර්ගයෙන් වෙන් වීම යි. ජාතක පොතේ මහා ධර්මපාල ජාතකයේ බඹසර හැසිරීම යනුවෙන් අදහස් කර ඇත්තේ ස්වදාර සන්තෝෂය යි; අන් සතු බිරියන් කරා නොගොස්, තම බිරියගෙන් පමණක් ලබන සන්තෝෂය යි.
ලෝමහංස ජාතකයේ යොදා ඇති බඹසර හැසිරීම වීර්යය සඳහා යෙදේ. නිමි ජාතකයේ ද බඹසර හැසිරීම ඇතුළත් වේ. එතැන අදහස් කැරෙන්නේ අෂ්ටාංග උපෝසථ බ්‍රහ්මචරියාව යි. දීඝ නිකායේ සඳහන් මහා ගෝවින්ද සූත්‍රයේ බඹසර හැසිරීම යන්න ඇතුළත් කර ඇත්තේ ආර්ය මාර්ග දැක්වීම සඳහා යි. ලෝමහංස සූත්‍රයේ සඳහන් බඹසර හැසිරීම යන්නෙන් තවුස්දම් පිරීමේ උත්සාහය මතු කර දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක්වීම සඳහා ද බඹසර හැසිරීම ඇතුළත් කර තිබේ. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ බුද්ධාදීන්ගේ ශ්‍රේෂ්ඨ චර්යාව දැක්වීම සඳහා බඹසර හැසිරීම යන්න යොදාගෙන ඇත.
මේ අනුව බඹසර හැසිරීම, බඹසර හැසිරීමට උත්සාහ ගැනීම මිනිසාට ආවේණික වූ ද, මිනිසා විසින් කළ යුතු වූ ද කාර්යයක් විනා දෙවියන් සතු කාර්යයක් නො වේ. අසීමිත ලෙස පස්කම් සුව විඳීමේ නියැලි දෙවිවරුන්ට බඹසර හැසිරීම ගැන අවධානය යොමු කිරීමට අවස්ථාවක් නැත. ඉහත විස්තරවලට අනුකූල ව බඹසර හැසිරීමට පුළුවන්කමක් ද නැත.
ගුණ රැස් කිරීමේ සිත් ඇති වීම මිනිසාට පමණක් ඇති ධර්මතාවකි. යෝනිසෝමනසිකාරයෙන් සම්මා සතියෙන් යුතු මිනිසා ම ගුණ රැස් කිරීමෙහි යෙදේ. ගුණ රැස් කිරීම යනු දස කුසල් කිරීම, ඊර්ෂ්‍යාවෙන් මාන්නයෙන් ගුණමකු බවින් දැඩි තණ්හාවෙන් මිදීම හා සත්පුරුෂ ධර්මයන්හි යෙදීම යි. මේවා සියල්ල කළ හැකි වන්නේ මිනිසාට විනා දෙවියන්ට නො වේ.
සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයට අනුව යහපත් පැවිදි ජීවිත ගත කරන භික්ෂූන්ට මෙන් ම ධර්මානුකූල ව ජීවත් වෙමින් යහපත් සේ අඹු දරුවන් පෝෂණය කරන ගිහියන්ට ද ශක්‍රයා උදේ සවස නමස්කාර කරන බව දැක්වේ. මිනිසාට වඳින්න පුදන්න යුතුකම් ඉටු කරන්න දෙමවුපියෝ සිටිති. දෙවියන්ට එවැන්නෙක් නැත. මේ නිසා දෙමවුපියන්ට සලකන, යුතුකම් ඉටු කරන මනුස්සයන්ට ශක්‍රයාගේ ද වැඳුම්-පිදුම් හිමි වේ. අඳ දෙමවුපියන්ට සලකන ගුත්තිල මරණයෙන් බේරාගෙන විවිධ ජයග්‍රහණ ලබා දුන්නේත්, සාම කුමරු මරණයෙන් බේරාගත්තේත් ශක්‍රයා විසිනි.
මේ හැම කරුණකින් ම පැහැදිලි වන්නේ මිනිසා දෙවියන්ට වඩා උසස් බව යි.


පණ්ඩිත ශාස්ත්‍රවේදි
විජිතනන්ද සරත්චන්ද්‍ර


2014 පෙබරවාරි නමස්කාර  පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment