බුදු දහමට අනුව සැපය ලාභයයි. සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ පිරිස් ප්‍රාර්ථනා කරනුයේ මේ තත්ත්වයයි. මොන ඉන්ද්‍රිය මෙහෙයවා ක්‍රියා කළ ද සැප හෝ දුක දැනෙනුයේ මනසටයි. සැපය ලැබීමට භෞතික සම්පත් මෙන් ම සිතිවිලි කළමනාකරණය කරගැනීම අත්‍යාවශ්‍ය වේ.
ඒ සඳහා බොහෝ ඉගැන්වීම් බුදු දහම දේශනා කරයි. බෞද්ධයෙකුගේ පරම සැපය සදාකාලික සැපය නිවන වන අතර ඊට මෙහා ධාර්මික සීමාවන් තුළ ලැබෙන සැපය බුදු දහම අනුමත කරයි. මෙහි දී ධාර්මික යනු මිනිසාට මෙන් ම ස්වභාව දහමට හානි නොකර ලබන විවිධ ලාභයන්ය.
භෞතික සම්පත් කළමනාකරණයේ දී සැපය ලැබීම පිළිබඳ විශේෂයෙන් අණන සූත්‍රය සුවිශේෂී වේ. තමාට ලැබෙන, උපයන දේ තනිවම භුක්තිවිඳීම නුසුදුසුය. එය ස්මරණය කළ හැකි තත්ත්වයක් නොවේ. එසේ මතක් කළ ද ඇතිවනුයේ කලකිරීමකි. සම්පත් ලැබෙනුයේ තමා විසින් ම පරිභෝජනය කර අවසන් කිරීමට හෝ ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව අල්ලා ගැනීමට නොවේ. එසේ අල්ලා ගැනීම නිසා (සුඛයක්) සැපයක් නැත. මේ ලෝක වශයෙන් සංසාරිකව ලැබිය යුතු සැප හතරක් අණන සූත්‍රයේ දී දක්වයි. එම සැපයන් ලැබීමට නම් ලැබෙන සම්පත් මෙන්ම සිතිවිලි කළමනාකරණය කළ යුතුය.
එම සැප හතර මෙසේය.
1. අත්ථි සුඛ
2. භෝග සුඛ
3. අණන සුඛ
4. අනවජ්ජ සුඛ
2. භෝග සුඛ
3. අණන සුඛ
4. අනවජ්ජ සුඛ
යම් ආර්ථික සාමාජීක ශක්තියක් ඇතැයි ඇතිවන සතුට අත්ථි සුඛයයි. තම ජීවිත පැවැත්ම සඳහා අවශ්‍ය කරන මූලික සාධක සම්පූර්ණවීම කෙනෙකුට අතනොපා ආත්ම ගෞරවය සහිත ජීවිතයක් ලැබීම සියල්ලෝම අපේක්ෂා කරති. ධර්මයෙහි මෙම ලාභය හඳුන්වන්නේ භව සමුදය ලෙසයි. උප උපන් ආත්මභාවයන් තුළ (භවය) සමෘද්ධිමත්ව ශක්ති සම්පන්නව කටයුතු කිරීම අවශ්‍යය. එසේ ශක්තියක් නොමැති නම් අනෙක් සියලු කාරණා ඇනහිටී.
බෞද්ධයෙකුගේ අවසාන ප්‍රාර්ථනාව වූ නිවන ලැබීමට හෙවත් භවනිරෝධයට පත්වීම සඳහා ද භවසමුදය අවශ්‍යය. මෙහි දී විශේෂයෙන් අත්ථි සුඛය ලෙස දක්වන්නේ භව භෝග සම්පත්ය. එය අහසින් එක පාර කඩාවැටෙන්නක් නොව සකසාගත යුක්තකි. ශක්තිය, හැකියාව යනු ක්‍රම ක්‍රමයෙන් සකසාගත යුත්තකි. එසේ ම වැය කිරීමේදී පවා ක්‍රමවත් විය යුතුය. එසේ නොමැති විට අත්ථි සුඛය ලද නොහැකිය. භෞතික සම්පත් මනාව කළමනාකරණය කිරීම තුළ ඉහත දක්වන ලද සැපය අත්පත් කර ගැනීම පහසුය.
සැප අතර වඩා වැදගත් වන්නේ භෝග සුඛයයි. තමන් සතු දෑ බෙදා හදා ගනිමින් භුක්ති විඳීම නිසා ඇතිවන තෘප්තිය භෝග සුඛයයි. බොහෝ පිරිසකට මෙම සතුට ඇත්තේ නැත. මිල මුදල් භව භෝග සම්පත් ඇති බොහෝ දෙනෙකු තමා සැපවත්වීමට උත්සාහ කරනවා මිස අනුන් සැපවත් කිරීමට කටයුතු නොකරයි. එසේ ම තමාට ලැබුණ දේට වඩා නොලැබුණ දේ පිළිබඳ ශෝක ඇතිකර ගනී. තමා ලද දේ තමන් නිවැරදිව පරිභෝජනය කරන ගමන් ම දෙමාපියන්, දරුවන්, බිරිඳ, ඥාති, හිතවත්, මියගිය ඥාතීන් සේම අයබදු සඳහා වෙන් කළ යුතුය. තමාගෙන් පරිසරය, සතා සිව්පාවාට විය යුතු කාර්යය නොපිරිහෙළා ඉටුකළ යුතුය. අනුන්ගෙන් තමාට ලැබිය යුතු සම්පත් පිළිබඳව නොව තමාගෙන් බාහිර පාර්ශ්වවලට ඉටුවිය යුතු කාරණාවන් මනාව සිදුකළ යුතුය. මෙම කාරණාවන් පිළිබඳව සිහිපත් කර සොම්නසක් ඇතිවන්නේ නම් එය භෝග සුඛයයි. වංචාව නාස්තිය තුළින් සාහසික තාවකාලික සතුටක් ඇතිවිය හැකිය. නමුත් සදාකාලික දුකක් අත්වීම සාමාන්‍ය වේ. එවන් පිරිස් මිය යන්නේ ද සිහි- මුළාවෙන් යුතුවය. එවිට භෝග සුඛයක් ඇතිවන්නේ කෙසේ ද?
මොනයම් කාරණාවක් නිසා හෝ කිසිදු පාර්ශ්වයකට මෙන් ම සමස්ත ලෝකයට ණයකාරයෙකු නොවේ නම් ඒ තුළ ඇතිවන්නේ සැපයයි. බුදු දහම අණන සුඛය ලෙස විස්තර කරනුයේ මෙම තත්ත්වයයි. හැදූ වැඩූ දෙමාපියන්ට මෙන් උපන්බිමට, ජාතියට, ආගමට, ගහකොළට, සතා සිව්පාවට තමා ණය කාරයෙක් නොවේ නම් එය සැපයකි. සරලව පවසතොත් කට බඩ නිසා හෝ වෙනයම් අවශ්‍යතාවයක් නිසා ලෝකයට ණයකාරයෙකු නොවේ නම් එතන පවතිනුයේ අණන සුඛයයි. සියල්ලන්ටම එම ගුණය ඇතිවන්නේ නැත. මෙහි දී අනවජ්ජ සුඛය ලෙස විස්තර වන්නේ කර්මය, කර්ම ඵල විශ්වාස කිරීම මත යහපත් ක්‍රියාකාරකම් සිදුකිරීමයි. නරකින් ඉවත්ව ඉතා නිවැරදි ජීවන පැවැත්මක් සකසා ගැනීම නිසා යමෙකු සතුටු වන්නේ නම් එය සැපයකි. ඒ සඳහා බාහිර මෙන්ම ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් යහපත් විය යුතුය. කෙසේ හෝ කොහොම හෝ ජීවත්වෙනවාට වඩා නිවැරදි ලෙස ජීවත්වීම වැදගත්ය. එම තෘප්තිය ධර්මයෙහි හඳුන්වන්නේ අනවජ්ජ සුඛය ලෙසයි.
සැපය රඳා පවතිනුයේ හුදෙක් ම බාහිර ක්‍රියාකාරකම් මත නොවේ. බාහිර වස්තු හෝ ක්‍රියාකාරකම් මනසින් කළමනාකරණය කර ගැනීම මතය. සැපය තුරන්වීමට බලපාන ප්‍රධාන හේතුව සිතුවිලි නිවැරදිව කළමනාකරණය කරගැනීමට නොහැකිවීමයි. මේ බව විශේෂයෙන් නොයෙකුත් අවස්ථාවන්හිදී බුදුරදුන් අවධාරණය කළහ. සැපය ඇතිකර ගැනීමට හා එම සැපය නැතිවන අයුරු ධම්මපදයේ සුඛ වග්ගයේ දී අවධාරණය කෙරේ. පුද්ගලයා තුළ පවතින කෙලෙස් හෙවත් අයහපත් සිතුවිලි සැපය නැතිවීමට හේතුවේ. කෙලෙස් නිසා රෝගී වන ඇතැමුන් අතර එසේ නොවීමට හැකිනම් එය සැපයකි. වෛරයෙන් පිළිතුරු දෙන සමාජයට මෛත්‍රීයෙන් කටයුතු කළ හැකිනම් එකට එක කරන මිනිසුත් අතර එසේ නොකර සිටිය හැකි නම් එය සැපයකි. එකිනෙකා පරදා ජයග්‍රහණ අත්පත් කර ගන්නට සූදානම් සමාජ වටපිටාවක එසේ නොකර සිටිය හැකි නම් එය සැපයකි. සැපය නැතිවන මූලිකම අකුසලය ලෝභය හෙවත් ආශාවයි. මන්දයත් ලෝකයේ සම්පත් සීමිතය. ඇතැම්විට නැතිවී යාමේ අවදානම වැඩිය. බොහෝ ආත්මාර්ථකාමීන් ඒ පිළිබඳ සැලකිල්ල යොමු නොකරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. මෙසේ පවතින සීමිත සම්පත් බෙදාගැනීමට යාමේ දී ගැටුම් ඇතිවීම ස්වාභාවිකය. මිනිසුන්ගේ ආශාවන් බලාපොරොත්තු අසීමිත බැවින් සීමිත සම්පත්, අසීමිත ආශාවන් සහිත මිනිසුන් අතර බෙදීයාමේ දී ගැටලු හිත් අමනාපකම් ඇතැම්විට මරණය ප්‍රචණ්ඩත්වය කරා තල්ලු වී යා හැකිය.
මිනිසා තුළ පවතින මෙම ස්වභාවය අත්තදණ්ඩ සූත්‍රයේදී බුදුරදුන් උපමාවක් මඟින් මෙසේ පැහැදිලි කරයි. ජලය සිඳුණු වළක සිටින මාළු එකිනෙකා පරයමින් දඟලන්නේ කෙසේ හෝ සීමිත වතුර ටික තුළ තම ප්‍රාණය රැකගැනීම සඳහායි. මිනිස් ලෝකයේ මිනිසා ද එසේමය. ස්වභාදහමට හානිකරන්නේත්, බොරු කේලාම් කියන්නේත් කෙසේ හෝ තම භෞතික දියුණුව සලසා ගැනීම සඳහාය. එසේ නොකර සිටිය හැකිනම් තාවකාලික අලාභ ඇතිවූවද දීර්ඝකාලීන සැපය ඇතිවේ. එකිනෙකා පරදා ජයග්‍රහණ සොයන මිනිසුන් අතර එසේ නොවී උපේක්ෂාවෙන් සිටිය හැකිනම් එය සැපයකි. එකිනෙකා පරයමින් අධිකව මහන්සිවී අනවශ්‍ය සම්පත් ගොඩගසා නොගෙන අවශ්‍යතාවේ සීමාව හා පරිභෝජන රටාව තේරුම්ගන්නේ නම් එය සැපතකි.
බොහෝ ගැටලු ප්‍රශ්න පැන නඟින්නේ පුද්ගලයා තුළ පවතින කය වචනයන්හි සීමාව හඳුනානොගැනීම තුළය. සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේදී බුදුරදුන් දේශනා කරනුයේ ද සීලයෙහි පිහිටා චිත්ත සමාධිය නිර්මාණය කරගෙන ප්‍රඥාව ඇතිකර ගැනීම තුළ ප්‍රශ්න ගැටලු පැනනොනඟින බවයි. මෙහි දී සීලය ලෙස දක්වනුයේ කය වචනයන්හි සංවරයයි. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට සීමා තිබිය යුතුය සියල්ල තමාටය, තමන්ට හිමිවිය යුතුය. තමා විසින් ම භුක්ති විඳිය යුතුය ලෙස කල්පනා කරමින් කටයුතු කිරීම බොහෝ ගැටලු ප්‍රශ්න පැනනැඟීමට හේතුවකි. සිතුවිලි මෙන් ම සම්පත් ද නිසි අයුරින් කළමනාකරණය වීම තුළ සැපය නිතැතින්ම නිර්මාණය වේ.
අතීතය පිළිබඳ ශෝක කිරීම හෝ අනාගතය පිළිබඳ අසීමාන්තික බලාපොරොත්තු නිර්මාණය කරගැනීම අනවශ්‍ය. මහපොළොවේ යථාර්ථය තේරුම් ගැනීම අතිශය වැදගත්ය. එසේ ම වර්තමානයේ නිවැරදිව ජීවත්වීම වැදගත්ය. එවිට කායික පැහැපත් බව මෙන් ම අනවශ්‍ය ලෙස සම්පත් අපතේ යාමක් සිදුනොවේ. තමන් වහන්සේගේ හම මෙතරම් පැහැපත් වූයේ අතීතය පිළිබඳ ශෝක නොකිරීමත්, නොපැමිණි අනාගතය පිළිබඳ අසීමාන්තික බලාපොරොත්තු නොවීමත්, වර්තමානයේ හොඳින් ජීවත්වීම නිසා බව බුදුරදුන් දේශනා කළේ එහෙයිනි. ප්‍රිය වස්තු වැඩිවෙන්න වැඩිවෙන්න ඇතිවන්නේ දුකකි. එහෙයින් හැකිතාක් දුරට ජීවිතය සරල හෙවත් අල්පකෘත්‍යයන් ඇත්තෙක් විය යුතුය. සියල්ල බදාගෙන පරිභෝග කරනවා වෙනුවට බෙදාගැනීමට හුරුවිය යුතුය. ලද දෙයින් සතුටුව අරපිරිමැස්මෙන් යුතු ජීවිතයක් සකසාගත යුතුය. බන්ධුල මල්ලිකාව බිමට වැටුණු එළඟිතෙල් බිංදු කිහිපය ගනු ලබන්නේ ලෝභකමකට නොවේ. ආනන්ද හිමියන්ට එතුමිය පවසන්නේ එය අරපිරිමැස්මට බවත්ය. ජීවිතයේ සෑම ක්‍රියාවක් ම වඩාත් නිවැරදි වේ නම් එතැන පවතිනුයේ සැපයකි. සතුටකි. සියල්ලෝම වෙර දරනුයේ මෙම තත්ත්වය ඇති කර ගැනීම සඳහාය.
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 18 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment