අපගේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාශ්වරයි. බාහිරෙන් එන අකුසල් සිතිවිලි ප්‍රභාශ්වර සිත අපිරිසුදු කරනවා. නමුත් පිරිසුදු අචල සිතක් තිබීමෙන් බුදුබණ පදයක් දරා ගන්න වාසනාවක් ඇති වෙනවා. බුදු බණපද සිතට ගත් විට ජීවිතය නිවෙනවා. සිත නිවෙනවා. ඒ වගේ කායික ක්‍රියාව ඉතාමත් නිවැරැදි වෙනවා.
මේ සඳහා පුංචි බණ කතාවක් කියා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ වැඩවසන කාලයේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් භාවනා කරන්නට එක් වන ලැහැබක ගල් ගුහාවක් තෝරා ගත්තා. භාවනාවෙන් සිත දියුණු කරනවිට එක්තරා සිය ගණනින් සිටින කුරුළු රංචුවක් ඒ ස්ථානයට පැමිණියා.කුරුල්ලන් ඉතාමත් ශබ්ධ ලෙස ඝෝෂා කළා. භාවනාව වඩන, සිත හදාගන්න චිත්ත අභ්‍යාස කරන මේ ගල්ලෙන අසල විශාල ඝෝෂාකාරීබවක් ගත්තා. රාත්‍රියේ දීත් ඒ කුරුළු ශබ්ද ඒ ආකාරයෙන්ම තිබුණා. ස්වාමින් වහන්සේ හිතනවා මේ කරදරය හැමදාම තිබෙන එකක් නැහැ. ඉක්මණින් මේ කුරුල්ලන් වෙන තැනකට පියඹා යාවි කියා. නමුත් දවස් කීපයක්, සති කීපයක් ගියා. කුරුල්ලන් එතැනමයි. මහා ඝෝෂාවත් එලෙසම පැවතියා. ස්වාමින් වහන්සේ කල්පනා කළා කුරුල්ලන්ට විපතක් නොවන ආකාරයට නිවුන මනසකින් කොහොමද විසඳුමක් සොයන්නේ කියා.
උන්වහන්සේ උපායක් ලෙස පළමු යාමයේ ගල්ලෙනෙන් එළියට ඇවිත් කුරුල්ලන්ට මහ හඬින් කියනවා කුරුල්ලනේ, මට වුවමනාවක් සඳහා පිහාටු සිය ගණනක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඔබ සෑම කෙනෙක්ම මට පිහාටුව පිහාටුව බැගින් ගෙනත් දෙන්න. මට ඒ උදව්ව අවශ්‍යමයි කියා දැනුම් දුන්නා. පිහාටු ඉල්ලනවා ඇසුන ගමන් ඒ කුරුල්ලන් තැති ගත්තා. භයවුණා. අප කැමැතිම දේ මේ පිහාටුයි. මේ ශ්‍රමණයා අප කැමැතිම දේ ඉල්ලනවා කියා භයවුණා. ටිකක් නිහඬ වුණා. ඒ ස්වාමින් වහන්සේ මැදියම් රැයෙහිදීත් ගල් ගුහාවෙන් එළියට බැහැලා පෙර පරිදිම හඬ නඟා පිහාටු අවශ්‍ය බව කියා සිටියා. ඒ අවස්ථාවේදීත් කුරුල්ලන් බියෙන් තැති ගත්තා. ඇයි අප කැමැතිම දේ ඉල්ලන්නේ කියා විමතියට පත් වුණා. එළිවෙන යාමයෙත් මේ ස්වාමින් වහන්සේ ගල් ගුහාවෙන් එළියට බැහැලා පෙර පරිදිම තමන් වහන්සේට පිහාටුව බැගින් අවශ්‍ය බව කියා සිටියා. කුරුළු රෑන හොඳටම භය වුනා.මෙතැන අපට ඉන්න බැහැ. අප කැමැතිම දේයි
මුන්වහන්සේ ඉල්ලන්නේ කියා ගල් ගුහාව ඇති පරිසරයෙන් වෙනත් ප්‍රදේශයකට ඉගිලිලා ගියා. මේ කථාව සුත්ත නිපාතයේ පරායනා වර්ගයට අයත් සූත්‍රයකයි සඳහන් වන්නේ. භාවනා වඩන ස්වාමින් වහන්සේ නමක් තමන්ට පාරිසරිකව ඇති වූ කුරුල්ලන්ගේ ප්‍රශ්නය විසඳ ගත් ආකාරය බලන්න. ගල්මුල්වලින් නොගහ, කුරුල්ලන්ට කරදරයක් කරන්නේ නැතිව, ප්‍රශ්නය විසඳා ගත්තේ කොහොමද? ඒ යම්කිසි කෙනෙකුගෙන් තමන් කැමැතිම දේ ඉල්ලු විට ඒ අය අප අතහරිනවා.
ඔබත් මෙය අත්දැකලා ඇති. තමන්ගේ හොඳම මිතුරාගෙන් ඔහු කැමැතිම දෙයක් ටික දවසකට ඉල්ලා සිටින්න. බොහෝ විට ඒ මිතුරුකම එතැනින්ම අහෝසි වෙන්න පුළුවන්. ඒ ඔහු කැමැතිම දේ ඔබ ඉල්ලපු නිසා. කෙනෙක් කැමැතිම දේ ඉල්ලීම අප හා අමනාප වෙන්නත් හේතුවක් වෙනවා. භාවනායෝගි හිමියන් කුරුළු රෑන ඉවත්කර ගැනීමට යෙදුවේ ඒ උපක්‍රමය යි. කුරුල්ලන් පිහාටුවලට හරි කැමැතියි. පිහාටු ඉල්ලු නිසා ස්ථානය අතහැර ගියා. මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස අප සිතුවත් මනෝවිද්‍යාත්මක පදනමක් මෙතැන තිබෙනවා. උන්වහන්සේ ප්‍රඥානුසාරිවයි තමන් භාවනා කරන ස්ථානය රැකගත්තේ.
ප්‍රඥාවට තිබෙන්නේ ලොකු බලයක්. මේ ලෝකයේ බලවත් ආලෝකය ප්‍රඥාවයි. අප සිත දියුණු කර ගැනීමෙන් ඒ මෝදු කර ගන්නා ප්‍රඥාව ඕනෑම දෙයක් නිරාකරණය කර ගන්න භාවිතා කරන්න පුළුවන්. අටුවාවේ කෙනෙකුට ජීවත්වෙන්න අවශ්‍ය බලවර්ග අටක් ගැන කියවෙනවා.
1. පුංචි දරුවාගේ ලොකු බලය තමා ඇඬිම. ඔහු සෑම අවශ්‍යතාවයක්ම දැනුම් දෙන්නේ ඇඬිමෙන්. සියලුම දෙනාම මේ ඇඬිමෙන් ඒ දරුවා යටකර ගන්නවා.
2) කාන්තාවන්ගේ බලය කේන්තියට පත්වීම. සමහර කාන්තාවන් තමාට යමක් අවශ්‍ය වුනාම, වැරදුනාම, අකැමැති දේ සිදුවෙන විට ක්‍රෝධයට පත්වෙනවා. ක්‍රෝධය තුළින් ඇය ගෙදර අය යටකර ගන්නවා.
3) සොරුන්ගේ බලය ආයුධයි. ඒ ආයුධ පෙන්වා මිනිසුන් බය කරනවා. මංකොල්ල කනවා.
4) රජ කෙනකුගේ බලය ඉසුරුමත් භාවයයි. රජ කෙනෙකු සිටියාට වැඩක් නැහැ රට සමෘද්ධි නැත්නම්. බාහිර මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පොහොසක් මිනිසුන් යම් රටක සිටිනවා නම් ඒ රටේ රජුගේ බලය ඒකයි.
5). බාලයාගේ (මෝඩයාගේ) බලය නිතරම කලකෝලාහල කර ගැනීමයි. කොහේ ගියත් අනවශ්‍ය කෝලාහලයක පැටලීම බාලයාගේ බලයයි.
6). පණ්ඩිතයාගේ බලය අවබෝධයට පත්වීම, යමක් තේරුම් ගැනීම, ගැටළුවකට විසඳුම් සෙවීමයි, ඔහු ඉවසීම පුරුදුකළ කෙනෙක්. වේගයෙන් ක්‍රියාත්මක වීමක් ඔහු තුළ නැහැ.
7). බහුශ්‍රැතයන්ගේ බලය නුවණින් සලකා බැලීම . හොඳ සවිමත් භාවයෙන් බලනවා. විය යුත්ත නොවිය යුත්ත, ප්‍රශ්නය, ප්‍රශ්නය හට ගන්නා හැටි, ප්‍රශ්නයක් විසඳීම, ඒ ප්‍රශ්නය විසඳන මාර්ගය කල්පනා කරනවා.
8) ශ්‍රමණ බ්‍රාහ්මණයාට තිබෙන බලයයි ඉවසීමයි.
අවබෝධයට පත්වීම, නුවණින් විමසා බැලීම සහ ඉවසීම කියන කරුණු තුන අතිශයින්ම වැදගත් වෙනවා.
ඒ නිසා ළදරුවාගේ බලය හැඬිමයි, කාන්තාවගේ බලය කෝපයයි, සොරුන්ගේ බලය ආයුධයි, රජුන්ගේ බලය ඉසුරුමත්භාවයයි, මෝඩයාගේ බලය කලහළ කිරීමයි. නමුත් ඒ බල වලට වඩා වටින්නේ පණ්ඩිතයාගේ බලය අවබෝධයයි, බහුශ්‍රැත අයගේ බලය නුවණින් විමසීමයි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බලය ඉවසීම කියන බලයන්. මේ නිසා ඔබගේ ජීවිතයේදී එන ගැටළුවකදී කලබල නොවී හොඳින් ඉවසීමෙන් අවබෝධයෙන් ඒ දෙස බලන්න පුළුවන්නම් නුවණින් විමසා බලන්න පුළුවන්නම් එයයි හුරුකර ගත යුත්තේ. එවිට ඔබත් වටිනාම අර්ථවත්ම බලය, ආලෝකමත් බලය ජීවිතයට ලබාගත්තා වෙනවා. එයට සීලය හැදියාව, සද්පුරුෂකම අවශ්‍ය වෙනවා.
පොතපතේ සඳහන් වෙනවා සඳුන් බොහෝම සීතලයි. හැබැයි සඳුන් වලට වඩා සඳඑළිය සීතලයි. සඳුන්, සඳඑළිය කියන මේ සීතලට වඩා සද්පුරුෂයන්ගේ, නුවණින් කල්පනා කරන අය සමඟ, ඉවසන අය සමඟ එකතුවීමෙන් පුදුමකාර සිසිලසක් ලබාදෙනවා. ඔබගේ නිවසේ සමහර පොඩි දෙයටත් ඔබ කෙතරම් කෑ ගසනවාද? කෝපවෙනවාද? ඇනුම් බැනුම් ඇතිවෙනවාද? පහර දෙනවාද? නමුත් යමක් දෙස ඇයි මෙහෙම වුණේ කියා දැක්ම ඇතිකර ගන්න පුළුවන්නම් අවබෝධය ලබාගන්න පුළුවන්නම් ඒක බලයයි. මෙසේ කළ විට ගැටුම සංසිදෙනවා කියා කල්පනා කරන්න පුළුවන්නම් ගැටුම් ලෙහෙසියෙන් නිරාකරණය කරගන්න පුළුවන්.
ධර්මය හැදෑරීමෙන් පමණයි මේ සියලු දේ අපට ලැබෙන්නේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රඥා වර්ග තුනයි.
1) ඇසූ ධර්ම කරුණු ප්‍රශ්නයකදී ආදේශ කිරීම,
2) ඇසු ධර්ම කරුණු ආදේශ කරගෙන මෙහෙම කළොත් මෙහෙම විපාක ලැබෙනවා.මෙහෙම කළොත් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් කියා තීරණයට එනවා.
3) ඇසූ ධර්ම කරුණු තුළින් දැනුවත් වෙලා, තීරණය තුළින් නුවණින් විමසා ප්‍රශ්නය අයින් කරනවා. ප්‍රශ්නය ඇති වූ හේතුව සොයා හේතුව ඉවත් කරනවා. මේ ආකාරයට ධර්මය තුළින් මේ ප්‍රඥාවන් ලබාගෙන අපට කටයුතු කරන්න පුළුවන්නම් ප්‍රශ්නය ඇති වූ තැනම විසඳා ගන්න අවස්ථාව ලැබෙනවා. සිත සුවපත් කරගෙන සුන්දර ජීවිතයක් ගත කරන්න අවශ්‍ය භාග්‍යය ලැබෙනවා.
ධර්මය හරහා දහම් රසය, විමුක්ති සුවය ස්පර්ෂ කරන්න පුළුවන් වන්නේ සසරේ පින තිබෙන පණ්ඩිතයාට පමණයි. නුවණැතිව කල්පනා කරන්නා මොහොතින් ධර්මය අවබෝධ කර ගන්නවා. ඒ වගේම ධර්මය අධර්මය හොඳින් දැන ගන්නවා.
කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment