යහ පාලනය වූ කලී දැහැමිව කටයුතු කිරීමයි. දැහැමිව කටයුතු කිරීම යනු 'සත්‍යයේ පිහිටා' ක්‍රියාකිරීමයි. අපි මෙය 'ධාර්මික රාජ්‍යය' නමින් හඳුන්වමු. දැහැමි යහ පාලනයක් බිහි කිරීමට තනි එක් පුද්ගලයකුට පමණක් පුළුවන් කමක් නැත. ඒ සඳහා ප්‍රධාන පුරවැසියා වන රජු හෝ ජනපති, අගමැති මැති ඇමැතිවරුන් දේශපාලන නායකවරුන්, රජයේ නිලධාරීන් මෙන්ම සිවිල් පුරවැසියන් යන සියලු දෙනා විසින්ම සත්‍යයේ පිහිටා ක්‍රියා කළ යුතුය
යම් කලෙක ජනනායකයා (රටේ රජතුමා) යහ පාලනයෙන් තොරව, සත්‍යයේ නොපිහිටා, අධාර්මිෂ්ඨව ක්‍රියා කරත් නම්, රජයේ නිලතල දරන මැති ඇමැති ආදි ප්‍රධාන නිලධරයෝ අයුක්‌තියෙන් ,අසාධාරණයෙන්, වංචාවෙන්, දූෂණයෙන් අධාර්මිෂ්ඨව කටයුතු කරති. බ්‍රාහ්මණ ගෘහපතියෝ, නියම්ගම් වැසියෝ , ජනපද වැසියෝ (විවිධ ජාතිකයෝ) අධාර්මික වෙති. මෙසේ රටේ ප්‍රධානීන් හා ජනතාව අධාර්මික වූ විට සඳ - හිරු දෙදෙනාගේ උරණවීම විෂම වෙති. සඳ - හිරු දෙදෙනා විෂම වූ විට පහන් තරු, නැකත් තරුද විෂම වෙති. ඉන් පසු රැ, දවල්, දින, සති, මාස, තුල වර්ෂ වල වෙනස් කම් ඇති වෙති. තු සංවත්සර විෂම වූ විට සුළඟ දැඩිව හෝ මඳව හෝ විෂම ආකාරයෙන් හමයි. ඒ නිසා දෙවියෝ කෝප වෙති. දෙවියන් කෝප වූ විට මනා ලෙස වැසි නොවසිත්. සුදුසු කලට නොවසින විට ගොවිතැන් බත් ආදිය විෂම වේ. විෂමව පැසුණු භෝගයන් අනුභව කරන මිනිස්‌සු, ආයූෂ අඩු, අවලස්‌සන, දුර්වල, බොහෝ ලෙඩ රෝග ඇත්තෝ වෙති. ඔවුහු වැඩි කලක් ජීවත් වන්නෝ නොවෙති. අල්පායුෂ්කව මිය යති. මෙයින් ප්‍රකාශ වන්නේ රටත්, ජාතියත්, ජනතාවත්, පරිසරයත් පිරිහෙන විනාශ වන ආකාරයයි.
රටක් සමෘද්ධි වීමට ප්‍රධාන හේතුව වන්නේ, රටේ නායකයා (රජු) දැහැමි වූ යහ පාලකයෙකු වීමයී. රටේ නායකයා දැහැමි යහ පාලකයෙකු වූ විට රාජ්‍ය නිලධරයෝ, බ්‍රාහ්මණ ගෘහපතියෝ, නියම්ගම් වැසියෝ, විවිධ ජාතිකයෝ යන රටේ සියලුම ජනතාව ධාර්මික වෙති. සඳ, හිරු, නැකත්, තරු, රැ, දවල්, දින, සති, මාස, තුල වර්ෂ සමව පවතී. සුළි සුළං ආදී විෂම අනියම් ආකාරයෙන් වාතයෝ නොහමති. වාතය සමව හමන කල්හි දෙවියෝ සතුටු වෙති. දෙවියන් සතුටු වීම නිසා සුදුසු කලට වැසි වසිති. එවිට ගොවිතැන් බත් ආදි භෝගයෝ සුදුසු කලට පැසෙත්. සමව පැසෙන භෝග අනුභව කරන ජනතාව බොහෝ ආයුෂ ඇති වර්ණවත් ශක්‌තිමත් නිරෝගි පිරීසක් වෙති. මෙයින් අනාවරණය වන්නේ රටත් ජනතාවත් සමෘද්ධිමත් වීමේ හේතුවයි. (අධම්මික සූත්‍රය)
රටේ නායකයා දැහැමි යහ පාලකයෙක් වීමෙන් රටටත්, ජනතාවටත් සැලසෙන්නේ මහත් යහපතකි. ශක්‌තියකි. පරමාදර්ශ රාජ්‍ය පාලකයකු විසින් අනුගමනය කළ යුතු යහ පාලනයේ මූල ධර්ම සමූහයක් මෙන්ම යහපත් ධාර්මික නායකයා කෙබඳු කෙනෙකු විය යුතුද යන්න තථාගතයන් වහන්සේ විසින් විවරණය කර ඇත. එසේම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ප්‍රතිපත්ති රාශියක්‌ද පෙන්නුම් කොට තිබේ.
දසසක්‌විති වත්
01) රාජ්‍ය නායකයා විසින් ධර්මයේ පිහිටා ධර්මයට ගරු කරමින්, ධර්මානුකූලව ජීවත්වන ගමන් ස්‌වකීය භාර්යාව ඇතුළු දරුවන්ද ධර්මයට නැඔුරු කළ යුතුය. (අනෙතා ජනස්‌මිං)
02) රාජ්‍ය බල සේනාවද (යුද හමුදාව) ධර්මයට යොමු කරමින් ඔවුන්ට දැහැමි ආරක්‍ෂාව දිය යුතුය. (බාල කායෙසු)
03) තමන්ගේ රාජ්‍යයෙහි සිටින යටත් පාලකයන් ධර්මයේ පිහිටුවා ඔවුන්ට දැහැමින් රැකවරණය සැලසිය යුතුය. (ඛත්තියෙසු)
04) රාජ්‍ය පාලනයෙහි යෙදී සිටින ජනතාවටද (අනුයුත්තෙසු)
05) එසේම විවිධ ජනකොටස් වලටද (බ්‍රාහමණ ගහපතිකෙසු)
06) නියම්ගම් ජනපද වාසින්ටද (නෙගම ජනපදෙසු)
07) සියලු ආගමික නායකයන්ටද, ධාර්මික ආරක්‍ෂාව ලබාදිය යුතුය
08) සිවුපාවුන් සහ කුරුල්ලන් යන තිරිසන් ගත සතුන්ගේ ජීවිත මෙන්ම ගහකොළ ගංගා ඇළදොළ යන පරිසරයද රැක ගත යුතුය
09) සිය රටෙහි කිසිම අයහපත් අධර්මිෂ්ඨ ක්‍රියාවකටත් ඉඩ නොදී, රටේ ජීවත්වන දුප්පතුන්ට දිලිඳු බව නැති කිරීමට අවශ්‍ය ධනය දිය යුතුය
10) ඉවසීමෙන් යුතු ශාන්ත සත් පුරුෂ ආගමික නායක උතුමන් වෙත ගොස් හොඳ - නරක , වරද - නිවරද , යුක්‌තිය - අයුක්‌තිය, සාධාරණය - අසාධාරණය , ධර්මය - අධර්මය , සත්‍ය - අසත්‍ය විමසා දැනගෙන අයහපත් දේ බැහැර කොට යහපතේ පිහිටා රාජ්‍ය පාලනය කළ යුතුය.මේ කරුණු දහය 'දස සක්‌විති වත්' නමින් හඳුන්වනු ලැබේ. සංක්‍ෂිප්තව ගොනු කොට ගත් කල්හි විග්‍රහ වන්නේ කරුණු සතරකි.
1. නීති ගරුකව දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම.
2. මහජන ආරක්‍ෂාව සැලසීම.
3. ආර්ථිකය නගා සිටුවීම.
4. බුද්ධිමතුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම.
මෙම මූලික කරුණු ලෝකයේ කවර රටක වුවද පාලකයන් විසින් අවබෝධ කර ගත යුතුය. එසේම අනුගමනය කළ යුතුය. මේ යහ පාලනයේ මූලධර්මයන් යන්තමින් හෝ කිසියම් නායකයෙකු විසින් ක්‍රියාත්මක නොකෙරේ නම්, ඔහු පාලනය කරන රටත් ජනතාවත් සදාචාරාත්මකව හා ආර්ථිකව පිරිහීමට පත් වේ. මෙහිදී රට වැසියන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ඉතාම වැදගත් කරුණක් වන්නේ දරිද්‍රතාව (දිළිඳුකම) නැති කිරීම සඳහා ක්‍රියා කිරීමයි.
ඒ සඳහා රටේ ධනය සමසේ බෙදී යා යුතුය. එසේ නොවී එක්‌තරා බලවත් පිරිසක් පමණක් ධනය භුක්‌ති විඳිත් නම් රටේ දුප්පත්කම වැඩි දියුණු වේ. දුප්පත්කම හේතුවෙන් සොරකම් කිරීමට පෙළඹේ. ඒ නිසා හිංසා, අවිආයුධ පරිහරණය කිරීම, සත්ව මිනිස් ඝාතන ආදී භයානක ක්‍රියාවන් වැඩි වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අනුපිළිවෙලින් ප්‍රාණඝාතය, බොරු කීම (මුසා වාදය) , ඔවුනොවුන් භේද කිරීම සඳහා කේලාම් කීම (පිසුණු වචනය) , වැරදිකාම සෙවනයෙහි යෙදීම (කාමමිථ්‍යාචාරය),අනුන්ට නරක නපුරු අසභ්‍ය වචනයෙන් බැණ වැදීම (පරුෂ වචනය) අනුන්ගෙ වැරදි අඩුපාඩු දූර්වල කම් ගැන කතා කිරීම (සම්ඵප්පලාපය), අධික තණ්‌හාව (අභිධ්‍යාව), වෛරය පළිගැනීSම (ව්‍යාපාදය),වැරදිs මොඩ තින්දු තිරණ ගැනීම (මිථ්‍යාදෘෂ්ටිය), යන නොමිනිස් ගුණ වර්ධනය වේ. මෙසේ නොමිනිස් ගුණ දියුණු වීමත් සමග මා පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ආගමික නායකයන්ට නොසලකන සමාජයක් ඇති වේ. ඉන්පසු මේ මගේ මවය, පියාය, දියණිය යන අදහස් වලින් බැහැරව තිරිසනුන් මෙන් ,අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් ක්‍රියා කරති. දැඩි ලෝභයත් අධික කෝපයත් නිසා ඔවුනොවුන් ඇන කොටාගෙන මහත් වූ විනාශයට පත් වෙති. මෙයින් පැහැදිලි වන්නේ දැහැමි පාලනයක් පවත්වා ගැනීම සඳහා ධර්මයට මුල් තැන දිය යුතු බවත්, අධාර්මිකත්වය ඇති වීමට දුප්පත්කම බලපාන බවත්ය.
(චක්‌කවත්ති සීහනාද සූත්‍රය)
රටක් සුත මුදිත වීමට දැහැමි රාජ්‍ය පාලනයක් සඳහාත් තවත් අවශ්‍ය මූල ධර්ම කොටසකි, දස රාජ ධර්ම. මේ කරුණු ලෝකයෙහි සියලු නායකයන් විසින් පිළිපැදිය යුතුය. එවිට රටත්, ජනතාවත් ධාර්මික වෙති. යහපත් වෙති. ජනතාව නායකයන් දේවත්වයෙහිලා සලකා ගරු කරති. නායකයෝ තම ප්‍රජාව සිය දරුවන් කොට සලකති.
දස රාජ ධර්ම -
01) දානය - දානය යන වචනයෙන් අර්ථවත් වන්නේ දීම යනුයි. අප සාමාන්‍යයෙන් අදහස් කරන දෙය දානය නොවේ. මෙහිදී අදහස් කරන්නේ පාලකයා ධනයට මසුරෙකු නොවිය යුතු බවයි. රට වැසියාගේ සුබ සාධන කටයුතු සඳහා ධනය දිය යුතුය. දීමට ප්‍රිය විය යුතුය
02) සීලය - කය, වචනය සංයමයකින් පවත්වා ගත යුතුය. අනුන්ගේ ජීවිත විනාශ කිරීම. රාජ්‍ය දේපළ මෙන්ම අන්සතු වස්‌තූන් බලයෙන් අයිති කර ගැනීSම. වැරදි ලෙස කම්සැප විඳීම. බොරු වහසි බස් දෙඩීම, මත් වතුර, මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම. යන දුසිරිත්වලින් වැළකිය යුතුය. වෙසෙසින්ම පාලකයා සදාචාරයට ගරු කරමින් පංච සීලය ආරක්‍ෂා කරන සංවර කෙනෙකු විය යුතුය
03) පරිච්චාගය - රට වැසියාගේ අභිවෘද්ධිය පිණිස සෑම කැපවීමක්‌ම කළ යුතුය.මහ ජනයාගේa යහපත පිණිස ජීවිතය වුවද පරිත්‍යාග කිරීමට රටේ නායකයා සූදානම්ව සිටිය යුතුය.එසේම තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය ජනතාව වෙනුවෙන් යොමු කළ යුතුය
04) අඡ්ජවය - දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් බොරු පොරොන්දු නොදී, රට වැසියන් නොරවටන අවංක අව්‍යාජ අදහස් ඇති කෙනෙකු විය යුතුය. සියලූ දෙනාගේ යහපත පිsණිස තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා Rජුව ක්‍රියා කළ යුතුය
05) මඡ්ජවය - ජනතාව කෙරෙහි මෘදු මොළොක් ගුණ ඇති, රටවැසියාට හදවතින් ආදරය කරන පුද්ගලයෙකු විය යුතුය. හිතේ තද ගති ඇති සැඩ පරුෂ ගති ඇති කෙනෙකු නොවිය යුතුය
06) තප - අධිකාමභෝගිකයෙකු නොවී චාම්, සරල, අල්පේච්ඡ ජී¨විතයකA ගත කරන කෙනෙකු විය යුතුය
07) අක්‍රෝධය - රට වැසියන් කෙරෙහි ක්‍රෝධ නොකළ යුතුය. එසේම වෛරයෙන් තොර විය යුතුය. කිසිවෙකුගේ සතුරෙකුද නොවිය යුතුය
08) අවිහිංසාව - කිසිවෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, විපත්තියක් නොකළ යුතුය. ලේ නොතැවුරුණු දෑතින් යුක්‌ත වුවෙකු විය යුතුය. සාමයට සමගියකට කැමති පුද්ගලයෙකු විය යුතුය
09) ඛන්තිය - කෝප වීමෙන් තොරව සියලු අභියෝග ඉදිරියේ දුර්වල කෙනෙකු නොවිය යුතුය
10) අවිරෝධය- රට වැසියන්ගේ සාධාරණ අදහස් - උදහස් වලට විරුද්ධ නොවී මහජන මතයට ගරු කළ යුතුය.දේශපාලන භූමිකාවේදී දෙවන පාක්‍ෂිකයන් දේශපාලන විරුද්ධ කාරයන් වශයෙන් නොසැළකිය යුතුය
(මහා හංස ජාතකය, ජාතක අටුවාව)
රටක් පිරීහිමට පත් නොවී දියුණුව පවත්වා ගැනීමට අවශ්‍ය තවත් මූලධර්ම කොටසකි. සප්ත අපරිහානීය ධර්ම මෙම පිළිවෙත 'පොරණ වඡ්ජි ධම්ම'යනුවෙන් හඳුනAවන ලදි. බුද්ධ කාලීන සමාජයේ ආදර්ශවත් සමූහාණ්‌ඩු රාජ්‍යයක් වශයෙන් පැවති වඡ්ජි ජනපදය ක්‍රියාත්මක වූ රාජ්‍ය ප්‍රතිපත්ති සමූහයකි. මෙහි හත්දහස් හත්සිය හතක් (7707) රජවරු රාජ්‍ය කටයුතුවල යෙදී සිටියහ. එහි තිබුණු තවත් වැදගත් දෙයක් නම්, ව්‍යවස්‌ථා, විධායක, අධිකරණ යන ප්‍රධාන රාජ්‍යමය කටයුතු ස්‌වාධීන මණ්‌ඩලයක් සතුව තිබීමයි. ජනතාවගේ කැමැත්ත අනුව අවංක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පැවතුණි. එය තථාගතයන් වහන්සේගේ පැසසුමටද ලක් වූහ.
සප්ත අපරිහානිය ධර්ම -
නිතර නිතර රැස්‌වී ප්‍රශ්න සාකච්ඡාකිරීම
සමගියෙන් රැස්‌වී, සමගිව කටයුතු කොට, සමගිව විසිර යැම
නොපැනවූ නීතී නොපැනවීම, පැන වූ නීතී කඩ නොකොට අනුගමනය කිරීම
වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිගැනීම, පිළිපැදීම
විවාහක, අවිවාහක කාන්තා පක්‍ෂය ආරක්‍ෂා කිරීම
රාජ්‍යය ඇතුළත - පිටත පිහිටි ආගමික ස්‌ථාන පුද බිම් ආරක්‍ෂා කිරීම
සියලු ආගමික පූජ්‍ය - පූජක පක්‍ෂයට සැලකීම, ආරක්‍ෂා කර ගැනීම
(මහා පරිනිබ්බාන සූත්‍රය)
මේ කරුණු ටික කෙටියෙන් සාකච්ජාවට භාජන කළ විට නිතර රැස්‌වීම, සමගිව විසිර යැම යන කරුණු හේතුවෙන්, රටේ පවතින දැවෙන බොහෝ ප්‍රශ්න ගැටලුවලට කඩිනමින් විසඳුම් ගැනීSමට හැකි වනු ඇත. එපමණක්‌ද නොවේ. නායකයා විසින් ගනු ලබන තිරණ පොදු තීරණ බවට පත් වේ. එවිට නායකයන් අතර වාද, විවාද වලට තුඩු දෙන දේවල් මතු නොවේ. එහෙයින් රටේ සමගිය තහවුරු වේ.
මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ, පෙර නොපැන වූ නීතී රීතී නොපැන වීමත්, පැන වූ නීතී ආරක්‍ෂා කිරීමත් පිළිබඳවය. රටක නීතී සිතන විට වෙනස් වන ආකාරයෙන් නොපැන විය යුතුය. නීතී පැන වීමේදී ඉතාම කල්පනාකාරීව, බුද්ධිමත්ව කළ යුතුය. අපේ වත්මන් දේශපාලනය අනුව අලුතින් පත්වන රජයයන් බොහෝ විට ඔවුන්ට ගැළපෙන ආකාරයෙන් නීතී රීතී සම්පාදනය කිරීමටත්, පවතින නීතී රීතී වෙනස් කිරීමටත් ක්‍රියා කරති. ඒ තුළින් සිදුවන්නේ නීතීයක් නැති රටක් බවට පත් වීමය. මේ ගැන පාලකයන් සැලකිලිමත් විය යුතුය. රටේ නායකයන් විසින් ඊළගට කළ යුතු කාර්යය වන්නේ, උගත් බුද්ධිමත් වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගෙ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් දී ඒවා පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමයි. නායකයන් බුද්ධිමතුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන්, අන්තනෝමතික අදහස්‌වලට පමණක් ඉඩදී කටයුතු නොකරති. තනී තීරණ ගැනීම නිසා පැන නැඟෙන අර්බුදකාරී තත්වයන්ද ඇති නොවේ. අපරිහානීය ධර්ම තුළ 5, 6, 7 යන කරුණුවලින් කාන්තා පක්‍ෂයේ, පූජනීය භූමිවල, ආගමික නායකයන්ගේ ආරක්‍ෂාව පිළිබද සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරති.
මේ කරුණු අනුව යහ පාලනය යනු කුමක් දැයි පැහැදිලි වේ. හුදෙක් එය වචන මාත්‍රයක් නොවේ. පාලක - පාලිත යන දෙපාර්ශවය විසින්ම ප්‍රායෝගිකව හා ආධ්‍යාත්මිකව අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහන් කරුණු ක්‍රියාවට නැංවීමෙන් සමෘද්ධිමත් රටක් නිර්මාණය වේ. එසේම රටත් ජනතාවත් ආර්ථික හා භෞතික වශයෙන් දියුණු වේ. නායකයා මනා පෞරුෂයකින් හා ප්‍රබුද්ධ මනසකින් යුත් යහ පාලකයෙක් බවට පත් වේ. එවිට ප්‍රජාව සාමයෙන්, සමගියෙන්, සතුටින් ජීවත් වේ.
'රාජා න සාධු අනිසම්මකාරී'
නොවිමසා ක්‍රියා කරන්නා වූ පාලකයා යහ පාලකයෙක් නොවේ.
(රථලට්‌ඨ ජාතකය)
රණාල, බටේවල අමාදම් අරණවාසී
පූජ්‍ය වැල්ලම්පිටියෙ විනයවංශ හිමි
2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment