“දිට්ඨි” යන පාලි වචනය “දැකීම” දුටු දෙය යන අර්ථයෙහි යෙදේ. “උපාදාන” යනු දැඩිව අල්ලා ගැනීමයි. හෙවත් දෘඪ ග්‍රහණයයි. මෙම වචන දෙකෙහි සරල අර්ථය එසේ වුවද එහි පදගතාර්ථය ඉක්මවා ගිය පුළුල් දාර්ශනික අර්ථයක්ද දක්නට ලැබේ.
දිට්ඨි ශබ්දය කල්පනාව, මතවාදය විරුද්ධ ඉගැන්වීම, විශ්වාසය, ඇදහීම, න්‍යාය, ඥානය යනාදී අර්ථ සමූහයක් නියෝජනය කරයි. මෙවන් අර්ථ සමූහයක් දිට්ඨි ශබ්දයට ලැබී ඇත්තේ මිනිස් චින්තනයේ සංකීර්ණතාව හා ඒ මත ගොඩනැගී ඇති ඥාන සම්භාරය දිට්ඨි යන වචනය තුළ අන්තර්ගත වී ඇති හෙයිනි. සමස්තයක් ලෙස ගත් කළ එයින් අදහස් කෙරෙන්නේ මිනිස් ආධ්‍යාත්මය සමඟ බැඳී පවතින පෘථුල ඥාන සම්භාරයයි.උපාදාන යන වචනයද සරල අර්ථය ඉක්මවා ගිය පුළුල් අර්ථයක් හඟවන්නකි. එනම් දෘෂ්ටිගතික බැඳීමයි. හෙවත් අවියෝජනීය මානසික වහල් භාවයයි. මෙම වචන දෙකෙහි යෙදී ඇති අර්ථයට අනුව සත්‍යාවබෝධයට ප්‍රතිපක්ෂ වූ මිත්‍යාදෘෂ්ඨීන්හි එල්බගෙන සිටීම දිට්ඨි උපාදාන යනුවෙන් හඳුනා ගත හැකිය
බුදුදහම මිථ්‍යා විශ්වාස හා පිළිගැනීම් දැඩිව ප්‍රතික්ෂේප කරයි. එය මිථ්‍යාවෙන් වෙන් වූ සම්‍යග් දර්ශන මාර්ගයකි. සියලුම සීමා මායිම්, වැටකඩොලු බාධක ඉවත දමා නිදහස් මනසින් සත්‍යය දැකීමට මග සැලසූ ප්‍රායෝගික ඥානමාර්ගයක් වූ බුද්ධ දේශනාව මනසට ප්‍රධානත්වය දුන් ආගමික දර්ශනයකි. එය දෘෂ්ටියකට හසුනොවන සම්මා දිට්ඨියෙන් සුපෝෂිත වූවකි.
“දිට්ඨි” යන වචනය බොහෝවිට භාවිතා වී ඇත්තේ වැරදි දෘෂ්ටිය හෙවත් මතවාදය යන අර්ථය ගෙනදීම සඳහායි. ත්‍රිපිටකාගත සූත්‍ර සාහිත්‍යයෙන් ඒබව පැහැදිලිව පෙනේ. බුදුන් වහන්සේ පහළ වූ යුගයේ භාරතීය සමාජය දෘෂ්ටිවාද 62 ක් අතර දෝලනය වෙමින් පැවැති බව බ්‍රහ්මජාල සූත්‍රය අනාවරණය කරයි. සත්‍යය හෙවත් යථාර්ථය කුමක්දැයි සෙවීමට විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් හා විවිධ වෘත චර්යා අනුගමනය කළ භාරතීය සමාජයට අන්තවාදී සහ ආදානග්‍රාහි කිසිදු වැඩ පිළිවෙළකින් සත්‍යාවබෝධ කළ නොහැකි බව අවධාරණය කළ බුදුන් වහන්සේ විවෘත මනසකින් යුතුව සත්වයා සහ ලෝකය පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට අවශ්‍ය. මාර්ගය පැහැදිලිව අනාවරණය කළහ. උන්වහන්සේ අනුගමනය කළ මධ්‍යම ප්‍රතිපදාව සත්‍යාවබෝධය සදහා නිර්දිෂ්ට ඍජුම මාර්ගයයි. එකල භාරතීය සමාජයෙහි පැවැති බොහෝ ආගමික ඉගැන්වීම් හුදු සංකල්ප පමණක් වශයෙන් පැවැති අතර ඔවුන් අනුගමනය කළ අන්තවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් බුදුසමය හමුවේ එම ඉගැන්වීම් අර්ථ ශූන්‍යත්වයට පත් වූහ. මොවුන් අතුරෙහි සාර්ථක විමුක්ති ගවේෂකයා ලෙස ගෞතම බුදුන් වහන්සේ ඇති තතු යථා පරිදි නුවණින් දැන, දැක ලොවට හෙළි කළහ. එබැවින් එම ඉගැන්වීම් සමුදාය සම්මා දිට්ඨිය පදනම්කරගත් ඥාන මාර්ගයක් ලෙස ප්‍රකට විය.
යමක පවතින ස්වභාවය වෙනස්ව දැකීම හා විග්‍රහ කිරීමත් ඇති දෙයක් නැති හැටියට දැකීමත් නැති දෙයක් ඇති හැටියට දැකීමත් වැරදි දැකීමකි. හෙවත් මිථ්‍යා දෘෂ්ඨියකි. ඒ අනුව සත්ව පුද්ගල ආත්ම වශයෙන් පංචස්කන්ධය දැකීම වැරදිය. එහි ඇත්තේ නාම රූප පමණි. ඇති දේ ඇති ලෙස දැකීමත් නැති දේ නැති හැටියට දැකීමත් සම්මා දිට්ඨියයි. එය නිවැරදි දැකීමකි. මෙසේ වැරදි ආකල්ප හා විශ්වාසයන් කෙරෙහි අහේතුකව හා පදනම් විරහිතව එල්බ ගැනීම සත්‍යාවබෝධයට බාධාවක් ලෙස දකින බුදුසමය මානසික වහල්භාවයෙන් මිදිය යුතුය යන්න දැඩිව අවධාරණය කර ඇත. ඒ සඳහා බුදුන් වහන්සේ වදාළ ක්‍රමවේදය සිත දමනය කර ආත්ම ගවේෂණයෙහි යෙදීමයි.
‘අත්තානං ගවේසෙය්‍යාථ
සචිත්ත මනුරක්ඛථ”
සචිත්ත මනුරක්ඛථ”
එවිට තමාටම තම මනසින් හා නුවණින් හරි වැරදි වටහාගත හැකි වනු ඇත.
විවිධ ආගමික, දේශපාලනික හා සාමාජික පිළිගැනීම් ඒකාන්ත හා නිශ්චිත ඉගැන්වීම් ලෙස දැකීම හා පිළිගැනීම සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයකි. එය ශාස්තෘවරයාගේ හෝ චින්තකයාගේ බසට වහල් වීමෙන් අනුගමනය කරන්නේ නම් එය වැරදි දෘෂ්ටියකට හසුවීමකි.
බුදුන් වහන්සේ තමන් වහන්සේ වදාළ ධර්මය “ඒහි පස්සිකො” යන ගුණයෙන් යුක්ත ඉගැන්වීමක් ලෙස දක්වා ඇත්තේ ශ්‍රාවකයාට පරීක්ෂා කර බලා විමතියෙන් හා සැකයෙන් තොරව අනුගමනය කළයුතු ඉගැන්වීමක් හෙයිනි. එය විශ්වාසයෙන් පමණක් අනුගමනය කළ නොහැකි ප්‍රායෝගික වූ ධර්ම මාර්ගයකි. ඒ සඳහා විවෘත මනසක් අවැසිමය. වරක් බුදුන් වහන්සේ කාලාම වැසියන්ට දේශනා කළේද විශ්වාසයෙන්, කටකතාවෙන්,ආගමික ග්‍රන්ථවල අන්තර්ගත වී ඇති පමණින් හෝ ශාස්තෘවරයා ගෞරවණීය කෙනෙක් ආදි වශයෙන් සලකා සත්‍යය නිගමනය නොකළ යුතු බවයි. “ඉදමේව සච්චං මෝඝ මඤ්ඤං” මෙයම සත්‍යය අන් සියල්ල හිස්වූ මෝඩ ප්‍රලාපය යනුවෙන් අන්‍යාගමික නායකයන් පැමිණ ප්‍රකාශ කරද්දී කාලාමයන්ගේ විමතියට පත්වීම සාධාරණ බව සනාථ කළ බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගන්න යැයි, කිසිවිටෙකත් ප්‍රකාශ නොකළහ. යහපත් යැයි හැඟේ නම් පමණක් පිළිගන්න යැයි සිහිපත් කළ බුදුරදුන් ඔවුන්ගේ මානසික නිදහස උල්ලංඝනය නොකළහ.
පටිච්චසමුප්පාද දේශනාවේ සඳහන් වන පරිදි මිනිස් සිත දැඩි දෘෂ්ටීන්ට යොමුවන ක්ෂේත්‍ර හතරකි. කාමුපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය හා අත්තවාදුපාදානයයි. මෙහිලා ඉහත සඳහන් ප්‍රස්තුතයට අදාළව දිට්ඨි උපාදානය පිළිබඳ සාකච්ඡා කෙරේ.
මිනිස් සිත් තුළ විවිධ විශ්වාස මතවාද හා පිළිගැනීම් කිඳා බැසගෙන පැවතීම ප්‍රකට කරුණකි. ඇතැම්විට ඔවුන් දරන මතය හරි ද වැරදි ද යන කාරණයට වඩා තම තමන් කාලයක් පිළිගත් හා විශ්වාස කළ දේ එලෙසම දැරීමට ඇබ්බැහිකමක් දැක්වීම ඇතැම් චරිතවල පැහැදිළිව දැකගත හැකි ස්වභාවයකි. ඇතැම්හු හරි වැරදි කුමක්දැයි වටහාගත්තද එල්බගත් දෘෂ්ටීන්ගෙන් වෙන්වීමට දැඩි අකමැත්තක් දක්වති. උපාදාන යනුවෙන් අදහස් කරන්නේ එවන් එල්බගත් මතවාදයන්ගෙන් වෙන් විය නොහැකි ලෙස බැඳී සිටීමයි.
ගසක් පැළයක් ලෙස වැඩෙන කාලයේ දුර්වලකොට උඳුරා දැමිය හැකිය. එහෙත් එය වර්ධනය වී මුල් වැඩි මුදුන්මුලද තහවුරුව ඇති විට උදුරා දැමීම පහසු නොවේ. දිට්ඨි උපාදානයද එබඳු මුල්බැස ගැනීමකි.
සිත් තුළ කාලයක් පැළපදියම් වී පවතින අදහස් මිථ්‍යා විශ්වාස මුලිනුපුටා දැමීමද අතිශය දුෂ්කරය. එහෙත් යථාර්ථය දැකීමට මිථ්‍යාවෙන් වෙන්වීම ඇවැසිමය. ධම්මසංගනී ප්‍රකරණයෙහි සඳහන් වන පරිදි මිනිස් සිත් තුළ මුල් බැසගෙන පවතින ප්‍රධාන මිථ්‍යා දෘෂ්ටි 10 ක් ඇත.
ඒවානම්
1. දීමෙහි ඵල නැත.
2. මහදන් පැවැත්වීම පල නැත.
3. ප්‍රතිග්‍රාහක ආගන්තුක ආවාහ විවාහාදියෙහිදී දෙන දානය ඵල නැත. 4. දශ කුසල් සහ දශ අකුසල් වලින් ඵල නැත.
5. පරලොව අයට මෙලොවක් නැත.
6.මෙලොව වූවන්ට පරලොවක් නැත.
7. මවට කරන හොඳ නරකින් ඵල නැත.
8.පියාට කරන හොඳ නරකින් ඵල නැත.
9.නැවත නැවත මැරි මැරී උපදනා සත්වයෙක් නැත
10. මෙලොව පරලොව දැනගෙන ප්‍රකාශ කළ හැකි කෙනෙක් නැත.
මෙබඳු මිථ්‍යාවන් පඤ්චස්කන්ධය සැපවත් කිරීම පදනම් කොටගත් තෘෂ්ණා සහගත ආකල්පමත ගොඩනැගෙන මිථ්‍යා චේතනාවන් ලෙස සැලකිය හැකිය. මෙබඳු අදහස් දරන්නෝ තම මතයට විරුද්ධ වූ හරි හෝ වැරදි සියලු මතයන් හෙළා දකිති. ඒ වෙනුවෙන් වාද කරති. අර්බුදයට එළඹෙති. ඇතැම්හු තම මතය වෙනුවෙන් ජීවිතයද පුදති. මෙම ස්වභාවය ඔවුන් බැසගත් දෘෂ්ටිය කෙරෙහි ඇති ආදානග්‍රාහීත්වය ප්‍රකට කරයි.
දීඝ නිකායේ සඳහන් වන පාඨාසි රාජඤ්ඤ සූත්‍රය ද මෙවන් දෘෂ්ටිගතිකයෙකුගේ ආදානග්‍රාහී මානසිකත්වය ප්‍රදර්ශනය කරන රසවත් පුවතකි. එක් ගමක මිනිසුන් සියලු දෙනා ආහාර සොයා ගැනීමට අපහසු හෙයින් එගමින් පිට ප්‍රදේශයකට ගියහ. එගම වැසි තරුණයෝ දෙදෙනෙක්ද මෙසේ පිටත්වූහ. එක් ස්ථානයකදී හණ මිටියක් දැක ඒ හණ මිටි දෙකක් කරබාගෙන ඉදිරියට යන දෙදෙනාගෙන් එක් අයෙක් හණ වැහැරී දැක හණමිටි බිම දමා හණ වැහැරී ගත්තේය. අනෙකා හණ මිටියම කර තබාගෙන ගියේය. පිළිවෙළින් හණ ගෝනි, හණ රෙදි, කොමු වැහැරි, කොමු පිළී, කපු පිළි , යකඩ,තඹ, ඊයම්, රිදී , රත්තරන් යන ද්‍රව්‍ය ලැබුණද හණ මිටිය කර තබාගත් පුද්ගලයා එයම කර තබාගෙන, අනෙකා රත්තරන් ගත්තේය. පසුව ඔහු එයින් තම අඹු දරුවන් සමඟ සතුටින් කල්ගෙවූ අතර අනෙකා දුකට පත්විය. මේ කතා පුවත වදාළ බුදුන් වහන්සේ පායාසි රාජඤ්ඤට වදාළේ මෙලොව පරලොව විශ්වාස නොකරන, පින් පව් විශ්වාස නොකරන ඔබද හණමිටි ගත් තැනැත්තා මෙන් දුකට පත් වෙන බවයි. මෙනිසා බුදුසමය අවධාරණය කරන්නේ දෘෂ්ටිගතික භාවයෙන් මිදී සම්‍යග් දර්ශන මාර්ගයට පැමිණෙන ලෙසයි. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන
“දිට්ඨිංච අනූපගම්ම
සීලවා දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගෙධං
න හි ජාතු ගබ්භ සෙය්‍යං
පුනරෙතීති”
සීලවා දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගෙධං
න හි ජාතු ගබ්භ සෙය්‍යං
පුනරෙතීති”
නැවත නූපදින, දුක් සමූහය බිඳ හෙළුද තත්වයට පත්වීම සඳහා , සීලයෙන් සුචරිත අයෙකු බවට පත්ව, කාමයන්ගෙන් මිදී සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත දර්ශනයෙන් කටයුතු කළ යුතු බවයි.
වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනේ
ආචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
බාහිර කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි
බාහිර කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment