Labels

Monday, December 21, 2015

ගැඹුරු විලේ ගැඹුර එලෙසම දැකීම


යම් කෙනෙක් උත්තමය භාවයට යන්නට අතිපාරිශුද්ධභාවය සමීපකර ගන්නට සිත සංවර කර ගන්නටනම් පවිවේකි සැපය මෙන්ම සිත ගත නිවීයන සද්ධර්ම කාරණාවක්, බුද්ධ දේශනාවක් සිතට ගැනීමට වටිනවා. ඒ සඳහා සුන්දර පරිසරය මෙන්ම නිසොල්මන් වන ලැහැබ උපකාර වෙනවා.


අපේ සිතට තථාගත ධර්මය එකතු කර ගැනීමෙන් සිත විශුද්ධභාවයට පත්කර ගන්න අවස්ථාව ලැබෙනවා. සිත අපිරිසුදු නම් සිතින්, කයින්, වචනයෙන් ක්‍රියාත්මක කරන සියලුම ක්‍රියාවන් අපිරිසුදු වෙනවා. යම් කෙනෙකුගේ සිත, කය, වචනය සංවරනම් උත්තමභාවයට යාමට මාර්ගය සැකසෙනවා.

යම් කෙනෙක් උත්තම භාවයට යන්නට අතිපාරිශුද්ධභාවය සමීපකර ගන්නට සිත සංවර කර ගන්නටනම් පවිවේකි සැපය මෙන්ම සිත ගත නිවීයන සද්ධර්ම කාරණාවක්, බුද්ධ දේශනාවක් සිතට ගැනීමට වටිනවා. ඒ සඳහා සුන්දර පරිසරය මෙන්ම නිසොල්මන් වන ලැහැබ උපකාර වෙනවා.

දිනක් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් පිරිසක් සමඟ චාරිකාවේ වැඩම කළා. වනාන්තරය මැදින් තිබුණ පාරක ගමන යෙදී තිබුණේ. ඒ වනය ඉතාම සුන්දරයි. හරිතවර්ණයි. මල් පිපිලා බොහොම ලස්සනයි.

බුදුරජාණන් වහන්සේ ගමන අවසානයේදී අසනවා මහණෙනි, මේ චාරිකාවේ දී වනයේ ලස්සන වගේම එහි තිබූ විල් ආදිය දුටුවා ද? එසේය ස්වාමිනි, මාළුන් ආදී විවිධ ජලජ ජීවින් වසන විල් මෙන්ම ජලය පිරුණු, මල් පිරුණු විල් අප දුටුවා. මහණෙනි, ඒ සියලුම විල් එක සමානද? නැත ස්වාමිනි, ඒ විල් එක එක ප්‍රමාණයෙන් යුක්තයි. මහණෙනි, මේ විල් වර්ග සියල්ලම කොතරම් තිබුණත් ඒ විල් වර්ග සියල්ලම එකතු කරලා ප්‍රධාන විල් හතරකට බෙදන්න පුළුවන්.
පළමු විලේ ස්වභාවය ටිකක් ඈත සිට බලන විට ගැඹුරු නැහැ. නමුත් ගැඹුරු ලෙස පෙනෙනවා.
දෙවැනි විල ඇත්තටම ගැඹුරුයි. නමුත් ඈත සිට බලනවිට ගැඹුරු බව පෙනෙන්නේ නැහැ. ගැඹුරු විල නො ගැඹුරු ලෙසයි පෙනෙන්නේ.

තුන්වැනි විල ගැඹුරු නැහැ. ගැඹුරු බව බොරුවට පෙන්වන්නෙත් නැහැ. නො ගැඹුරු බව නො ගැඹුරු ලෙසම දර්ශනය වෙනවා.

හතරවැනි විල ගැඹුරුයි. සුන්දරව මල් පිපිලා තිබෙනවා. විවිධ ජලජ සත්ත්වයන් ජීවත්වෙනවා. ලස්සන ගැඹුරු මේ විල ඈතටත්, ළඟටත් එහි ගැඹුරුබවත්, එහි ඇතුළත පෙනෙනවා. ගැඹුරු විල ගැඹුරු ලෙසම පෙනෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ සමාජයේ සිටින මිනිසුන් සියලුම දෙනා මේ විල් හතරට උපමා කරන්න පුළුවන්. සමහර අය පළමු විල වගේ. කිසිම ගැඹුරක් ජීවිතය තුළ දකින්නේ නැහැ. ආටෝප සාටෝප බොහෝමයි. ලස්සනට කථාබහ කළාට, ලස්සනට විවිධ දේ කළාට ඇතුළත කිසිදු පාරිශුද්ධභාවයක්, ගැඹුරක්, දාර්ශනිකභාවයක් නැහැ. ඒ නො ගැඹුරු විල ගැඹුරු ලෙස පෙන්වන සමාජයේ සිටින මිනිසුන් කොටසක්. ඔවුන්ගේ කතාව විතරයි ආධ්‍යාත්මික ගමනක් නැහැ.

දෙවැනි විල ඇත්තටම ගැඹුරුයි. නමුත් ගැඹුරුබව පෙනෙන්නේ නැහැ. අපේ සමාජයේ සිටිනවා හඬ නඟා නොකිවුවාට සූත්‍ර ධර්ම ගැඹුරින් හදාරන ගැඹුරින් සිත සමාධිගත කරන සිත ධ්‍යාන තලවල පිහිටුවන පිරිස. නමුත් ඒ බව එළියට පෙන්වන්නේ නැහැ. එය තමන් තනිවම යන ගමනක්.

තුන්වැනි විලේ ස්වභාවය නො ගැඹුරු විල නො ගැඹුරු ලෙසම පෙනෙනවා. සමහර මිනිසුන් ඉන්නවා මේ වගේ. ජීවිතයේ කිසිදු ගැඹුරක් නැහැ. ආධ්‍යාත්මික බලවත්භාවයක් ධර්ම ඤාණයක් ඇත්තේ නැහැ. එවැනි වැටහීමක් නැතිබව ගැඹුරක් නැතිබව කථාවෙන්, ක්‍රියාවෙන් තේරෙනවා. ඒ අයගේ බාහිරත් ඇතුළත් හිස්. ඒ හිස් බව හොඳින් පෙනෙනවා. නො ගැඹුර විල නො ගැඹුර ලෙසම පෙනෙනවා වගේ.

හතරවැනි විලේ ස්වභාවය සිටින මිනිසුන් සමාජයේ ඉන්නවා. සිත සමාධිමත් කරගෙන උත්තමභාවය නිවන් මඟ සොයාගෙන විමුක්ති රසය විඳින, ධාර්මික පිරිසුදුබව විඳින පිරිස. මේ පුද්ගලයන්ගේ ඇතුළතත්, බාහිරත් පිරිසුදුයි. සසර බිය දන්නා නිසා ගැඹුරු අධ්‍යාත්මිකභාවයකින් ජීවිතය සුවපත් කරනවා. එවැනි අයගේ කථාවත් ධාර්මිකයි. අභ්‍යන්තරය පාරිශුද්ධභාවයෙන් යුක්තයි. "යථාවාදි තථාකාරි" කරන දේම කියනවා. කියන දේම කරනවා. ධර්මයට ආධ්‍යාත්මික ගමනට හානිවන කිසිදු දෙයක් කරන්නේ නැහැ. එවැනි අය සුවඳ මල් පිපුණු පිරිසුදු වතුර තිබෙන විවිධ මත්ස්‍යයන් සිටින ලස්සන පැහැදිලි ජලය තිබෙන ගැඹුරු විලක් ගැඹුරු ලෙසම පෙනෙනවා වගේ මේ සමාජයේ හැම දෙයටම වඩා බබළන්න පටන් ගන්නවා. ඔවුන් උත්තමභාවයට ගමන් කරනවා. මේ උත්තමභාවය ලබාගන්නට කරුණු කිහිපයක් ශාස්තෘන්වහන්සේ පහදා දෙනවා.

පළමු කරුණ දස්සනානුස්සරිය යි. ඒ යමක් දැකීමෙන්, දර්ශනයෙන් උත්තමභාවයට ගමන් කිරීම. අපේ ඇසට මේ ලෝකයේ තිබෙන කොතරම් දේ පෙනෙනවාද? කැමැති නැති රූපයක් දුටුවිට ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය ආදිය ඇතිවෙනවා. රාගය, ද්වේෂය, මෝහය වඩන දේ දුටුවිට මේ උත්තමභාවයට යන්නට බැහැ. එවැනි දේ දැකීමෙන් ඇස මුදාගත යුතුයි. මේ ඇසට හොඳ දේ දර්ශනය කරනවානම් එතැනදී උත්තම භාවයට යන්නට මාර්ගය සැකසෙනවා. ඔබ සිතන්න ක්‍රෝධ සිතිවිල්ලකින් ඔබේ සිත වැසි ගියා කියා. ඒ අවස්ථාවේදී මුහුණ අවලස්සන වෙනවා. ශරීරය වෙව්ලනවා. අටුවා කතාවල එවැනි අවස්ථාවක උපමාවක් කියැවෙනවා. ඒ තමා අශ්වයන් රෑනක් දූවිලි සහිත පොළොවක එකතැනක දඟලනවා, පොරකනවා. මේ මහා දූවිල්ල ඇවිස්සුන නිසා අපට එහා මෙහා පෙනෙන්නේ නැහැ. ඒ වගේ තමා ක්‍රෝධය, වෛරය නිසා අපේ සිතේ ජීවිතයේ වටිනාකම නැතිවෙලා උත්තමභාවයෙන් පහළට වැටෙනවා. නමුත් එවැනි නපුරු භයානක සිතිවිලි ආ විට බුදුගුණ සිහිකිරීම, මෛත්‍රිය වැඩීම ආදියෙන් කලබලකාරීභාව යටපත් වෙලා සිත සුවපත් කරගත හැකියි. එය දස්සනානුස්සරිය යි.

සවනානුත්තරිය දෙවැනි කාරණය යි. බුදුබණ අහන ඔබ සැබැවින්ම උත්තමභාවයට යනවා. තථාගතයන් වහන්සේ වදාළ දේශනා හැම එකකම මතුවන්නේ ධර්ම රසය හරහා විමුක්ති රසය යි. එය ජීවිත අවබෝධය ලබාදෙනවා. ශාන්තියක් ලබා දෙනවා. ඝෝර මරු සසර තරණය කළ හැක්කේ හොඳ දේ ඇසීම තුළිනුයි. එනිසා සද්ධර්මය ශ්‍රවණය තුළින් සවනානුත්තරිය ලැබෙනවා.
ඊළඟ කාරණය ලාභානුත්තරිය. ලාභ ලැබුණොත් උත්තමභාවයට පත්වෙනවා. නිවසක් තනාගැනීම, වාහනයක් ගැනීම, මිල මුදල් එකතුකර ගැනීම ලාභයක් කියා යම් කෙනෙක් සිතයි. භෞතික වශයෙන් ඒවා ලාභ ලෙස පෙනුණත් එය අලාභයක්. ලාභ අතරට ආර්ය ධනය වන ශ්‍රද්ධා, වීර්ය, හිරි, ඔතප්, ප්‍රඥා ආදී ධනයනුයි ධර්මය අගයන්නේ.
සික්ඛානුත්තරිය කියන්නේ ශික්ෂණයට පත්වීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. අපේ සිත මහා මුහුද වගේ. මුහුදේ මහා රැළි ඇතිවන්නේ සුළඟ නිසා. හතර වටින් හමන සුළඟ නිසා මුහුද නිරන්තරයෙන් ඝෝෂාකාරීයි. ඒ වගේ සුළං රැළි පහක් නිසා අපේ සිත කැළඹෙනවා. මේ කැළඹීමෙන් සිත රැකීමට සික්ඛානුත්තරිය හෙවත් ශික්ෂණය උපකාරි වෙනවා.

චාරියානුත්තරිය කීවේ උවටැන් කිරීමයි. තුණුරුවන්ට, අම්මාට, තාත්තාට සැලකීම, වැඩිහිටියන්ට, ගිලනුන්ට සැලකීම තුළින් උත්තමභාවයට යනවා. ඒ තුළින් චාරියානුත්තරිය සම්පූර්ණ වෙනවා.

අනුස්සතානුත්තරිය ඊළඟ කාරණාවයි. දවසේ කරපු කියපු දේ නින්දට යන්නට පෙර කල්පනා කළයුතු වෙනවා. දවසේ වැඩිපුර සිදුවූ දේ හොඳ දෙයක්ද? නරක දෙයක්ද? කියා සිහි කරන්න. වැඩිපුර පාපීදේ සිදුවුවානම් ඒ අරමුණු අතහරින්න. හොඳ දේ මෙනෙහි කරන්න. එවිට ජීවිතය උත්තමභාවයට යනවා.

මෙවැනි ක්‍රම වේදයකින් ධර්මය හරහා නිවන් මගට යොමු නොවුණොත් අප මහා ප්‍රපාතයකට වැටෙන්නට පුළුවන්. එනිසා මේ ලැබුණ මිනිස් ජීවිතය ආධ්‍යාත්මිකව පෝෂණය කරමින් ඔබගේ ජීවිතය උත්තමභාවයට ගෙන යන්නට සැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා



කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 

ඇත්කඳුරේ සුමනසාර හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 18 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment