පසුගිය ඉල් අව අටවක පොහෝ දිනයේ පළවුණ ලිපියෙන් අප සාකච්ඡා කළේ වේළුනද නරකයේ පටන් ගීතග්ගි නරකය දක්වා නිරිසතුන් විඳින දුක්ගැහැට විමසා බැලීමටයි. අද දින ද තවත් එබඳු නරකයන් කිහිපයක් පිළිබඳ කෙටියෙන් විමසා බලමු.
ද්වේෂ සිතින් යුක්තව විහාර, චෛත්‍ය, බෝ මළු ආදිය ගොනුන් ලවා මළ – මුත්‍ර කරවීම හා වෙනත් ක්‍රම මගින් අපවිත්‍ර කළ අය ගෝමුතක්ක නම් නිරයේ ඉපිද දුඟද වෑහෙන ශරීරවලින් යුක්තව බොහෝ දුක් විඳිති. විහාර චෛත්‍යය ,බෝ මළු ආදියෙහි තමාම මළ මුත්‍ර කොට අන් අයට ඒවාට ඇතුල්වීම පිළිකුල් වන අයුරින් කටයුතු කළ අය හා ඉඳුල් කැළිකසළ දමා මළු පෙත්මන් අපවිත්‍ර කළ අය හා බුලත් කෙළ ගසා මළු අපවිත්‍ර කළ අය උපදින්නේ මුත්තකාරිසග්ගී නම් නිරයෙහිය. එහි උපදින නිරි සතුන් ගින්නෙන් දැවෙන අතර එයින් බේරීමට අසූවියෙහි හා මළ මුත්‍ර ගොඩවල ලගිති. සැඟවෙති. බෝමළු ,චෛත්‍යමළු, විහාරමළු ආදිය අපවිත්‍රව වල්වැසී තිබෙනු දැක . ඒවා පිරිසුදු කිරීමට සිත් නොවී සතුටු සිත් ඇතිවන අය මළ මුත්‍ර ආදියෙන් පිරුණූ දූසමලග්ගී නම් නරකයෙහි ඉපිද දුක් විඳිති. තමන්ගේ මව්පියන්ට, ගුරුවරුන්ට ,ආචාර්ය,උපාධ්‍යායවරුන්ට, වැඩිහිටියන්ට හා ගරු කළ යුතු අයට ගරු නොකොට, සත්කාර සම්මාන නොකොට කටයුතු කළ අය නිතර ගිනිදැල්වලින් වටවී පවතින අනුපට්ඨිතග්ගි නම් නරකයෙහි ඉපිද දුක්විඳී.
විහාරසන්තක කොට්ට,මෙට්ට ඇඳ ඇතිරිලි හා වෙනත් භික්ෂූන්ට කැප දේ පරිහරණය කළ ගිහියන් ගිනිබෝලයන්ගෙන් සැදුම්ලත් කුම්මග්ගී නම් නරකයෙහි ඉපිද ඒ ගිනිබෝල කමින් අපමණ දුක් විඳිති . අන් අයට බොරු චෝදනා නගා ඒ අය කරදරයට පත්කොට සතුටු වෙමින් ජීවත් වූ අය හාත්පසින් ගින්නෙන් වට වූ අභූතග්ගි නම් නිරයෙහි ඉපිද දුක් විඳිති. ලජ්ජා ස්ථාන නොවසා හැසිරෙන නිර්වස්ත්‍ර තවුසන් ද විපරීත දෘෂ්ටි ඇතිව ලජ්ජස්ථාන පෙන්වමින් හැසිරුණූ අයද උපදින්නේ විපරීතග්ගී නම් නිරයෙහිය. එහි ස්වභාවය නම් ඔවුන්ගේ ඒ ලජ්ජස්ථාන නිතර ගින්නෙන් දැවීමයි. රා,අරක්කු, ආදී මත්වතුර පානය කළ අය වාසිතග්ගි නම් නිරයෙහි උපදින අතර එහි උපදින නිරිසතුන්ගේ ආහාරය වන්නේ ගිනිදැල්ය. තේලග්ගී නම් නරකයෙහි උපදින්නේ ප්‍රතිමා චෛත්‍ය හා බෝධින් වහන්සේලා අභියස පහන් දල්වා එම ස්ථාන අපිරිසුදු කළ අයයි. තෙලින් යුක්ත ඒ නිරිසතුන්ගේ ශරීර නිතර ගින්නෙන් පිපිරී පිපිරී දැවෙයි.
සිල්වත් – ගුණවත් භික්ෂූන් දැක පිළිකුලෙන් හෝ ක්‍රෝධයෙන් කාරා කෙළ ගැසු අය එම සිල්වතුන්ගේ තුවාල ආදිය දැක කාරා කෙළගසා දැමූ අය නුට්ඨුභීතග්ගී නම් නරකයෙහි ඉපිද අප්‍රමාණ වූ ගින්නෙන් දැවෙමින් දුක්විඳිති. පාප සිතුවිලි ඇතිව ස්ත්‍රීන් කෙරෙහි කටයුතු කොට හඬා වැළපී මැරුණු අය උපදින්නේ විරභිතග්ගී නම් වූ ගින්නෙන් වට වූ නරකයෙහිය. පන්සල් විහාර බෝ මළු චෛත්‍ය මළු කිළුටු කළ අය හා අනුන් ලවා කිළුටු කර වූ අය උපදින්නේ සයනග්ගී නම් නිරයෙහිය. එහි ස්වභාවය නම් නිරිසතුන්ට ගිනිදැල් මත නිදාගැනීමට සිදුවීමයි. අන් අය සතු බඩුමුට්ටු සොරාගත් අය පරභණ්ඩහර නම් නරකයෙහි ඉපිද ගිනිදැල් කමින් අපමණ දුක්විඳිති.
එකිනෙකාට පරුෂ වචනයෙන් බැනගත් අය හා චණ්ඩාලවාදයෙන් නිගා කළ අය ඵරුසග්ගී නම් කටින් ගිනි පිටවන නරකයෙහි ඉපිද දුක් විඳිති. කම් සැපයෙහි ගිජුව එයින් මුලාවූවන් හා ගෙහිමියන් හැරගිය භාර්යාවන් කෙරෙහි සෙනහසින් හඬා වැළපෙන පුරුෂයන් විලාසග්ගි නම් හිසින් ගිනි පිටවන නරකයෙහි ඉපිද දුක්විඳිති. එකිනෙකා කෙරෙහි දැඩි ක්‍රෝධයෙන් කටයුතු කළ අය කොධග්ගී නම් නිරයෙහි ඉපිද ක්‍රෝධ ගින්නෙන් දැවෙමින් දුක්විඳිති. ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට, සිල්වතුන්ට ,ගුණවතුන්ට, දුගීමගී යාචකාදීන්ට කවටබස් දෙඩූ අය සිනා පිණිස බොරු කී අය හා පීඩාවට පත්කළ අය නිතර ගිනි පවතින භස්සාධිප්පාස නම් නිරයෙහි ඉපිද අනන්ත දුක් විඳිති. ගුණවතුන් හා සිල්වතුන් වෙහෙස වූ අය හා ඒ අය සමඟ අමනාප වූ අය ගණ වු ගිනි ඇති ඝටිතග්ගී නම් නිරයෙහි ඉපිද දැවෙමින් දුක් විඳිති.
දෙමාපියන් සතු දේපල ඉඩකඩම් ගහකොළ රන්රිදී මිළ මුදල් ආදිය රැගෙන ඔවුන්ට නොසලකා අලාභහානී කොට ගමින් නිවසින් නෙරපූ දරුවන් උපදින්නේ බුර බුරා ගිනිදැල් නගිමින් දවන උට්ඨාපිතග්ගී නම් නරකයෙහිය. තම ස්වාමිපුරුෂයාට නොසලකා කලට වේලාවට ආහාරපානාදිය නොදී සිටිය වුන්ද,අමනාපව නොසලකාහැරිය වුන්ද, දොස් පරොස්කීවෝද සත් දවස් ළිපේ අළු තිබිය දී අළු ඉවත් නොකොට බත් මාළු පිසුවන් ද අමනාපව ගෙය අපිරිසුදුව තිබෙද්දි එය නොසලකා මිනිසුන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළ ස්ත්‍රීන්ද දිලිසෙමින් උඩට එන ගිනි අඟුරු ඇති උද්ධනඡාරිකා නම් නරකයෙහි උපදිති. සිල්වත් මහණ බමුණන්ට වැඩිහිටියන්ට මග ඇහුරු අය ගිනිදැල් මැදින් ඇවිද යෑමට ඇති මංමාවත් ඇති පථනදායග්ගි නම් නිරයෙහි උපදිති. සිල්වත් උතුමන්ට නැති තැන දොස් කියමින් තැන තැන අපහාස කරමින් ඇවිදි අය ගිනිගෙන දැවෙන ශරීරයන්ගෙන් යුත් දිට්ඨානුතග්ගී නම් නිරයෙහි උපදිති.
සුප්පමූසලග්ගී නම් නරකයෙහි උපන් අය ගිනිගෙන දිලිසෙන මෝල්, කුළු, වට්ටි ගෙන තැන තැන කොටන්නාහ. පොලන්නාහ. එම ගින්නෙන් දැවෙන්නාහ.මහ හඬින් හඬ හඬා පැසෙති. මෙහි මෙසේ දුක්විඳින්නේ සහල් බත් බුලත් තැනින් තැන අනාදරයෙන් විසුරු අය,පැහැරගත් අය හා ස්වාමියාට නොදන්වා අන් සතු කළ භාර්යාවන් හා නොදන්වා විකුණා කෑවෝය. රත් වූ තෙලින් යුක්ත ශරීරයන් ඇති තෙලහත නරකයෙහි උපදින නිරි සතුන් පෙර භවයන්හි දෙමාපියන්ට සෙනහස නොකළා වූද ඇණුම් බැණුම් ආදි හරිහැර කළා වූද වෙති. යක්ඛග්ගී නම් වූ නරකය ගිනිගෙන දැවෙන නරකයන් වන අතර එහි උපන්නෝ යක්ෂයන් මෙන් ඔවුන්නොවුන් පිය කරවා ගනිති. මෙහි උපදින්නේ සිල්වතුන් හා ගුණවතුන් බිය ගන්වා ලෙඩ කළ අයයි.
බුදුන්, දහම්, සඟුන්, ගුරුන්, සිල්වතුන් ඉරසඳ, දෙමාපියන් සාක්ෂිකොට බොරු, කියා දිවුරු අය උපදින්නේ මුසග්ගි නම් නරකයෙහිය. නිතර එහි වසන නිරිසතුන්ගේ මුවින් ගිනිදැල් ශරීරය තුළට යෑම හා පිටවීම මෙහි ඇති ස්වභාවයයි. ආගමික වශයෙන් සිදුකරන පින්කම් ආදි විවිධ වැඩ කටයුතුවලින් අන් අය වැළැක්වූ අය, එබඳු දේ කරමියි කියා රට රවටා එයින් උපයාගෙන කෑවන් උපදින්නේ නිවාරිතග්ගී නම් වූ ගිනි අනුභව කරන නරකයෙහිය.
උරචක්‍රමාල නම් වූ නරකය වනාහි දකුණූ මුහුද අසල මුතුවැලි පන්තියක් මෙන් සතර වාසල් දොරින් යුත් ප්‍රාකාර පිරිවරා මහාමේරුවට දකුණු දිග පිහිටියේය. එය දුටුවන් සතුටු කරන මොනවට සැරසු අලංකාර නගරයක් බඳුය. මෙය දුටුවන්ට මමත් යමියි මමත් යමියි. කියා සිත් ඇතිවන්නේය. එසේ පිවිසෙන අයට එහි දී පළඳවන උරචක්‍රමාල නම් වූ පළඳනාවක් ඇත්තේය. එය ගෙළ ලූ සැනින් ඉබේම ක්‍රියාත්මක වී සියලු ශරීරය කැපී කුඹල් සකක් මෙන් කැරකැවෙමින් දෙපතුල් දක්වා වැටෙයි. මෙහි නිරිසතුන් හඬන හඬ අන්අයට ඇසෙන්නේ මිහිරි ගීතයක් ලෙසය. එම නිසා අන් අය ද අපටත් ඕනෑ අපටත් ඕනෑ යැයි පවසමින් එම උරචක්‍රමාලය ගෙන ඔවුන්ගේ ද ගෙල ලා ගනිති. එවිට පෙර සේම ඔවුන්ටද වෙයි. මෙයින් ගැලවීමක් නොමැත. මෙහි ඉපිද දුක් විඳින්නේ දෙමාපියන්ට තළාපෙළාගුටිබැට දී නොයෙක් ගැහැට හිරිහැර කොට දුක් දී පීඩාවට පත් කළ අයයි.
ශ්‍රමණතාප නම් නරකයෙහි උපදින්නේ බුදුසසුනෙහි පැවිදිව විනය ඉගෙන මහණදම් නොපිරුවෝය. මෙහි උපන් ශ්‍රමණ නිරිසතුන් ගිනිගත් පිදුරුගස් මෙන් දැවි දැවී අළුවෙති. මතුපිට පොරවා තිබෙන සිවුරු හා බඳපටි හා කරලා තිබෙන පාත්‍රය බුර බුරා ඇවිලෙන ගින්නෙන් දැවී අළු වෙයි. ඒ නිරිසත්තු ගිනි නිවා ගත නොහැකිව හඬ හඬා විලාප නඟ නඟා ඇතුළු ගබඩාවලට වදිති. එහිදී ඔවුන් තව තවත් දැවෙයි. ලද දෙයින් සතුටු නොවි ලාභාපේක්ෂාවෙන් කටයුතු කරමින් තුන්දොර අසංවරව කෙලෙස් කුණින් යුක්තව දුශ්ශීලව කටයුතු කරමින් සිල්වත් බව පෙන්වා අනුන් දෙන සිව්පසයෙන් යැපෙමින් මහණ දම් නොපුරා දිවා රෑ කෙළිදෙළෙන් ගතකළ එමෙන්ම ප්‍රතිපත්ති භාවනා මාත්‍රයක් හෝ නොකොට විසූ දර්ශනාදියෙන් කල් ගත කළ භික්ෂු, භික්ෂුණී , සාමණේර , සාමණේරී සික්ඛාමාතා යන මෙහි ඉපිද අනන්ත දුක් විඳිති.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment