නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතො හෝති කාමෙසුමිච්ඡාචාරා පටිවිරතොහෝති මුසාවාදා පටිවිරතො හෝති සුරාමෙරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති.’
‘කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතො හෝති කාමෙසුමිච්ඡාචාරා පටිවිරතොහෝති මුසාවාදා පටිවිරතො හෝති සුරාමෙරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති.’
පින්වත්නි,
පුද්ගලයන්ගේ එකතුවකි සමාජය. පුද්ගලයා ජීවත් වන්නේ සාමුහිකවයි. එහෙයින් ඔහු එම සමාජයේ සාමාජිකයන්ගේ හිත සුව පිණිස ක්‍රියා කළ යුතුය. සමාජයේ උන්නතියට නිසි දේ කිරීම පුද්ගලයා සතු කාර්යයි. අවට සමාජය දෙස ශුභ ආකල්පයකින් බලන පුද්ගලයාට සමාජයේ ඉදිරිගමනට බොහෝ දේ කළ හැකි ය. තමා හා අවට සිටින සියලු දෙනාට කාරුණිකවීම මෙහිදී වැදගත් වෙයි.
“මම බොහෝ කල් ජීවත් වෙන්න කැමැත්තෙමි. දුකට අකැමැත්තෙමි. සැපෙන් ජීවත්වෙන්න කැමැත්තෙමි. එසේ සැප කැමති මගේ ජීවිතය යම්කිසිවෙකු තොර කෙරේනම් එය මට අපි‍්‍රයය. අමිහිරිය. මා මෙන්ම අන්‍යයෝ ද ජීවත් වීමට කැමැත්තෝ ය. දුකට අකැමැතිය. ඒ නිසා මා අන්‍යන්ගේද ජීවිතය තොර නොකළ යුතු ය.”
වේලුද්වාර සූත්‍රයෙන් ඉදිරිපත් කරන මෙම අත්තූපනායික ධර්ම අනුව යමින් පුද්ගලයා සමාජය විෂයෙහි හිතානුකම්පිත විය යුතු ය. මෙලොව උපන් සියල්ලන්ටම නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇත. එබැවින් පුද්ගලයා තමා අවට ජීවත්වන්නන්ගේ ජීවිතය සුරැකිය යුතු ය. සෑම මිනිසෙකුටම මිනිසෙකු වශයෙන් ජීවත්වීමට ඇති අයිතිය බුදුසමය පිළිගන්නා අතර ඔහුගේ එම අයිතිය මැඩීමට තවත් කෙනෙකුට අවසර නැත. මෙහිදී සමානාත්මතා මූලධර්ම අනුව යමින් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් රැකදිය යුතුය. එක් එක් පුද්ගලයෙකු සතු පෞද්ගලික ආරක්ෂාවේ එකතුව සමාජයේ ආරක්ෂාව වශයෙන් ප්‍රකට වේ. පුද්ගලයාගේ ආරක්ෂාව රැකෙමින් ජීවත්වීමේ පිළිවෙත බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී පෙන්වා දුන් සේක.
‘කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතො හෝති කාමෙසුමිච්ඡාචාරා පටිවිරතොහෝති මුසාවාදා පටිවිරතො හෝති සුරාමෙරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති.’
මෙම දේශනාව අනුව තමා අවට සිටින සාමාජිකයන්ගේ කුදුමහත් අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට පියවර ගතයුත්තේ තම අයිතීන්ද ආරක්ෂාකර ගනිමිනි. පුද්ගලයා ඒකත්වය කොට සමාජය ෂඩ් දිශාවක් වශයෙන් ගෙන පුද්ගලයාගෙන් ඒ ඒ දිශාවන්ට ඉටුවිය යුතු යුතුකම් ලැයිස්තුවක් සිඟාලෝවාද සූත්‍රයෙන් පෙන්වයි. එයින් බෞද්ධ ගිහි ජීවිතයේ නැතහොත් සමාජ ජීවිතයේ කමණීය ස්වරූපය නිරූපණය කරයි. දිසා නමස්කාරයෙන් ඔවුනොවුන්ට කෙරෙන යුතුකම් රාශියක් පෙන්වා දී ඇත. පුද්ගලයා සමාජයේ විවිධ චරිත නිරූපණය කරයි. එහෙයින් ගිහි සමාජයේ ඉදිරිගමනට මහත් මඟ පෙන්වීමක් මෙම දිශා නමස්කාරයෙන් ඉදිරිපත් කර දෙයි. පුද්ගලාන්තර අන්‍යෝන්‍ය පදනම මෛත්‍රිය හා දයානුකම්පාව තුළින් ඉගැන්වේ. තමාගෙන් යැපෙන කිට්ටුවරයන් කෙරෙහි සිය යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමෙන් පුද්ගල අයිතීන් තහවුරු කෙරේ. දෙමාපියන්, ගුරුවරුන්, මිතුරු කණ්ඩායම්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සේවක කණ්ඩායම් වශයෙන් සමාජය නියෝජනය කරන කොටස් දොළහක් ඇති බවත් ඒ ඒ අය අතර යුතුකම් ඉටුකිරීමෙන් සමාජයේ ක්‍රියාකාරීත්වයේ යහපත් පැත්ත අවධාරණය කෙරෙයි.
සමාජයේ යම් අයිතිවාසිකමක් ලැබීමට නම් තමාද යම් යුතුකම් කොටසක් කළ යුතුමය. යමෙක් තම යුතුකම් පැහැර හැරීම අනෙක් අයගේ අප්‍රසාදයට හේතුවන්නකි. ඒ ඒ අයගේ යුතුකම් සමාජයේ බැඳීමට ඉවහල් වන අතර සමගිය, ගෞරවය, විශ්වාසය ඇති කරවයි. පුද්ගලයා සමාජය තුළ ක්‍රියාත්මක විය යුත්තේ තම යුතුකම් මැනවින් හඳුනා ගැනීමෙනි. උපයන ධනය පරිභෝජනයේ දී සමාජ සම්බන්ධතා තහවුරු වන අයුරින් පරිහරණය කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රයට අනුව ලැබූ ධනය පළමුව ස්වකීය අවශ්‍යතා වන ආහාර පාන ඇඳුම් පැළඳුම් ගේ දොර බේත් හේත් ආදියට නිර්ලෝභීව යෙදිය යුතු ය.
‘සප්පුරිසෝ ච ඛො මහාරාජ උලාරො භෝගේ ලභිත්වා අත්තානං සුඛේති පීනේති මාතා පිතරෝ සුඛේති පීනේති පුත්තදාර......’ පුද්ගලයෙකු උපයන ධනය වියදම් කළ යුතු අයුරු (අ.නි.) අපුත්තක සූත්‍රයේ ද සඳහන් කරයි. උපයන ධනයෙන් තම දෙමාපියන්, දූ දරුවන්, දාස කම්කරුවන් පෝෂණය කළ යුතු බව පෙන්වා දෙයි. තමාගේ ධනය අවශ්‍යතා පිරිමසා ගැනීමට භුක්ති විඳි බව කෙනෙකුට සිතිය හැකි නම් එයද සැපයකි. ‘භෝග සුඛය’ යනු එයයි.
සමාජයේ පුද්ගලයා සතු වගකීම් අතර නිවැරදි ජීවිතයද වඩාත් වැදගත් වෙයි. පිරිසුදු සිතින් තම කටයුතු සිදුකර සමාජ හිතෛෂීවීමට තම ක්‍රියාකාරීත්ව සකසාගත යුතු ය. එහිදී පංචශීල ප්‍රතිපත්තියට අනුව ජීවිතය හැඩ ගසා ගැනීම සමාජයේ විශ්වසනීයත්වය දිනා ගැනීමට හැකිවන්නේය. ආචාරශීලී චරිතයක් ඇතිකර ගැනීමට තම තමන්ට පැවැරෙන වගකීමකි. මිනිසා ආචාරශීලී වන විට ඔහු තුළ කිඳා බැස ඇති පුරුෂාර්ථ නිතැතින්ම ඉස්මතු වෙයි. නිවැරදි ජීවන මගක් ඔස්සේ ගොඩනැගෙන චරිතය ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත්වෙයි. එවන් චරිත තුළින් අවංක බව, ඉවසීම, ස්ථිර ගතිය, ධෛර්යයෙන් යුක්ත වීම, නිරහංකාරත්වය, ලද පමණින් සතුටුවීම, නිවහල් හා යුක්තිගරුක බව, නිර්භීත කම, පරාර්ථචරියාව, ආදී දේ රැඳී පවතින්නේ උතුම් චරිත ඇති මිනිසුන් තුළය.
සත්ව ලෝකයේ මිනිසා උසස්තම සත්වයා යැයි පිදුම් ලබන්නේ මොහොතක් පාසා දියුණුවන මනසක් ඇති හෙයිනි. සිව්පස පරිභෝජනය කරන මිනිසා මිනිසෙකු ලෙස නිවැරදි වන්නේ ආගමික පසුබිම ලැබෙන විටය. ලොව උපන් සියලු මිනිසුන්ට පැවැරෙන වගකීම් හඳුනාගෙන කටයුතු කිරීමෙන් ප්‍රශ්න ගැටලුවලින් තොර මිතුරු සමාජයක් ගොඩනඟා ගත හැකි වන්නේ ය.
බලංගොඩ කොටවෙහෙරමංකඩ
දම්වැල්ඕඩය රජමහා විහාරාධිපති
ර/බල/ දියවින්න විදුහලේ ආචාර්ය
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment