සිහිය, නුවණ තිබෙන කාලය තුළ දී අප අප්‍රමාදී ව ධර්මයේ සිත පිහිටුවාගෙන මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු වේ. සිහිමුලා වූවාට පසු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳව අවබෝධ නොවේ. සිහිමුලා වූ කෙනෙකුට ධර්මය කියා දී කුසලයක හිත පිහිටුවීමට නොහැකි නිසා ධර්මානුකූල නොවු තැන්තතා පරිපූර්ණ වූ ආශා ඇතිව නො සන්සිඳුණු ආශා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව මිය යාමට ඉඩ ඇත. ඔහුට කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපීව උපතක් කරා යාම මිසක් වෙන පිහිටක් නැත. නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් ය. සෑම විටම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුක්ත වේ
මේ ලෝකයේ උපන් සෑම සත්ත්වයෙක්ම අඛණ්ඩව මරණය කරා ගමනක යෙදී සිටියි. එනිසාම පමා නොවී තමා තුළ ම ආරක්ෂිත රැකවරණයක් ස්ථාපිත කර ගත යුතුයි. කිසිදු භේදකින් තොරව අප සියලු දෙනා ඉපදීම හා මරණය අත්දකී. කිනම් ගෝත්‍රයකට අයත් වුවද, කිනම් සමාජ තලයක සිටියද, මරණය ඉදිරියේ සෑම දෙනාම එක සමාන වේ. හෙට උදේ මරණය සිදුවේද? අද සවස මරණය සිදුවේදැයි අප නොදනී. නමුත් නිසි වේලාව පැමිණි විට මරණය අප කරා එන බව නම් නියත ය.
ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සසර ගමනක යෙදී සිටින අප ඉපදීම, ජරාවට යාම, මරණය යන චක්‍රය නො නවත්වා ම ක්‍රියාත්මක වේ. මරණය පැමිණි කළ බියකින් තොරව ඊට මුහුණ දීමට සහ සිත, කය, වචනය සංවරයෙන් ඇලීමකින් තොර ව හුස්ම පොද අත හරින්නට අපට උපකාරි වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පමණයි. උන්වහන්සේ වදාළ අයුරින් ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී හෝ පුරුෂ වේවා නිතර මරණය සිහිකළයුතු බව හා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව පැහැදිලි වේ. අප වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ මරණාසන්න මොහොතේ දී බොහෝ විට අප මානසික ව ඇද වැටෙන්නට තිබෙන ඉඩකඩ වැඩි හෙයිනි. විශේෂයෙන් ධර්මයට ජීවිතය පුරුදු නො කළ කෙනෙකුගේ අවසාන කාලය ඉතාමත් අනතුරුදායක විය හැකිය. ඒ ඔහු ධර්මය ජීවිතයට හඳුනාගෙන නොමැති බැවිනි. මනුස්ස ජීවිතය බොහෝ වටිනාකමක් ඇත. අවසන් මොහොත ඊටත් වඩා වටී. එසේනම් මරණාසන්න මොහොත තුළ දී ගෙවී යන්නේ ජීවිතයක වටිනාම මොහොත බව සිහිකළ යුතුය. එබැවින් උපන් මොහොතේ පටන් මරණ මංචකය දක්වා ම රැකවරණයක් අවශ්‍ය බව තේරුම් ගත යුතුය. මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන නොගත් බොහෝ පිරිසකගේ ජීවිත භයානක ඉරණමක් කරනු ලැබේ. මේ අනතුරින් නිදහස් වීමට වාසනාව ඇත්තේ අවබෝධයෙන් යුතුව තිසරණය තුළ පිහිටා සීලා දී ගුණධර්ම දියුණුකර ගත් ආර්ය ශ්‍රාවකයාට පමණයි.
ඇතැම්විට සමාජයේ ඇතැම් මරණාසන්න රෝගියා ඉදිරියේ හැසිරෙන්නේ නිවැරැදිව ද? රෝගියාගේ අසනීපය වසංකරමින් අසත්‍යය කියමින් ඔහු මුලාවට යොමුකළ යුතු නොවේ. එවිට මරණාසන්න පුද්ගලයාගේ සිත තව තවත් ආශාවට මැදිව හීන වූ කාම ලෝකය කෙරෙහි ම සිත පිහිටුවා ගැනීමට ඉඩ ඇත. එවිට ඔහුට ධර්මය සිහිකරමින් ජීවිතයේ යථා ස්වභාවය දකිමින් සුගති උපතක් කරා යාමට ඉඩ නො ලැබේ. මවුපියන් මරණාසන්න වූ විට සමහර දරුවෝ කළ යුත්තේ කුමක් ද? නොදනී. විවිධ ශාන්තිකර්ම කෙරෙහි යොමු වේ. එහෙත් මරණාසන්න තැනැත්තාට එයින් පිහිටක් නොලැබේ. එනිසා ලෞකික සම්මාදිට්ඨියට පැමිණි ආර්ය ශ්‍රාවකයා තමන් හෝ තම ඤාතියා කළ පින ගැන සිතා සතුටුවීම සහ කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇතිකර ගෙන ඒ ගැන සිතීම ප්‍රයෝජනවත් වනු ඇත. එනිසා මරණාසන්න පුද්ගලයෙකු ඉදිරියේ අදූරදර්ශි ව කටයුතු කිරීම ආර්ය ශ්‍රාවකයකු විසින් නොකළ යුතු වේ. මියයන ඥාතියා සතර අපායේ උපතක් කරා ගියහොත් සමහර විට ඔහුට නැවත කල්ප ගණනකට සුගති ලොවක උපතක් ලද නොහැකි යි. මනුෂ්‍ය ජීවිතයක උපත ලැබීම කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ දෙයක් යැයි තථාගතයන් වහන්සේ වදාළ හෙයින් මිනිසුන් බවයක උපත කෙතරම් දුර්ලභ දයි සිතා බැලීම වටී.
ඔබ දන්නවා අංගුත්තර නිකායේ “නකුලපිතු” සූත්‍ර දේශනාව. තමන්ගේ ස්වාමියා මරණාසන්න වූ අවස්ථාවේ දී බිරිඳ විසින් ස්වාමියාගේ හිත සුගතියේ පිහිටුවීමට ගත් උත්සාහය අපට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. එහිදී ඒ නකුල මාතාව කියනවා ‘පින්වත, ඔබ හිතන්න පුළුවන් ඔබ මියගිය පසු මට මේ දරුවන් පෝෂණය කළ නොහැකි බව. එබඳු අදහසක් ඇතිව නම් මියයන්න එපා. මට දරුවන් පෝෂණය කරන්න සවි ශක්තිය පවතී. ඒ වගේ ම මේ ගෙවල් දොරවල් පාළුවට යයි, මේවා බලාගන්න බැරිවේවි යැයි කියා නො සිතන්න. මේ ගෙවල් දොරවල් වතුපිටි සියල්ල නැසි වැනසී යන දේ නිසා ඒ කෙරෙහි ඇල්මක් ඇතිකර නො ගන්න. ඔබගේ මරණයෙන් පසුව මා වෙනත් සැමියකු සමඟ විවාහ වෙයි කියා සැක නො සිතන්න. පින්වත, එසේ සිතුවිල්ලක් ඇතිව මිය නො යන්න. මම ගෘහස්ථ බ්‍රහ්මචාරී සීලයේ හික්මෙන සිල්වත් කාන්තාවක් වෙමි. එමෙන්ම ඔබගේ මරණයෙන් පස්සේ මට ධර්මයේ හැසිරෙන්න සිල්වත්, ගුණවත් භික්ෂුන් වහන්සේ ඇසුරු කිරීමට සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කරන්න බැරිවේවි යැයි කියා සැකයක් ඇතිකර නො ගන්න. ඔබ අපගේ ශාස්තෘන් වහන්සේගෙන් අසන්න මම සීල, සමාධි, ප්‍රඥා වඩන කාන්තාවක් බව උන්වහන්සේ බුදු නුවණින් හඳුනා ගෙනයි සිටින්නේ.
මේ ආකාරයට කරුණු කියා මරණාසන්න වු තම සැමියාගේ සිතේ තෘෂ්ණාව නැතිකර තෘෂ්ණාවේ ආදීනව පෙන්වා දුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහ සඟරුවන කෙරෙහි, ගුණ කියා තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කළාය. ආර්යකාන්ත සීලය වගේම සීලයේ තිබෙන අනුසස් ආදී කරුණු විස්තර කරමින් සෝතාපන්න අංගවල සිත පිහිටුවා ගැනීමට උදව් කළාය.
සමාජයේ ජීවත්වන ඇතැමෙක් මීට හාත්පසින්ම වෙනස්. ඇතැම් අය පවසන්නේ අප කාටවත් කරදරයක් කරන්නේ නැතුව ජීවත්වෙනවා. ඒ නිසා අප අමුතුවෙන් ධර්මයක හැසිරෙන්න ඕන නැහැ. අප මැරෙන්න බය නැහැ යැයි හඟවනු කියනු ලැබේ. ඔහු තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකු නම් කිසි දිනක ඒ ආකාරයට නො හැසිරේ. පුද්ගලයා සෝතාපන්න ඵලයට පත්වෙනතුරු ම සතර අපායෙන් නිදහස්වීමක් නැති බව ශ්‍රාවකයා දනී.
ඒ වගේම මරණාසන්න කාලයේ සිහි මුලාවට පත්වීම ද ඉතා අවාසනාවන්ත සිදුවීමකි. අපගේ සිහිය මුලාවන්නේ ජීවත්ව සිටින කාලයේදී ධර්මය ප්‍රගුණ නොකොට සිත භාවනාවකට නො යෙදීම නිසයි. ධර්මයේ හැසිර සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගෙන සිහිය දියුණු කළා නම් එබඳු අයෙකු සිහි මුලා වෙන්නේ නැතිතරම්. සිහිමුලා වී මරණයට පත්වෙන කෙනෙකුට කුසල අරමුණක සිත පිහිටුවා ගන්නට හැකියාවක් නොලැබේ.
එනිසා සිහිය, නුවණ තිබෙන කාලය තුළ දී අප අප්‍රමාදී ව ධර්මයේ සිත පිහිටුවාගෙන මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු වේ. සිහිමුලා වූවාට පසු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳව අවබෝධ නොවේ. සිහිමුලා වූ කෙනෙකුට ධර්මය කියා දී කුසලයක හිත පිහිටුවීමට නොහැකි නිසා ධර්මානුකූල නොවු තැන්තතා පරිපූර්ණ වූ ආශා ඇතිව නො සන්සිඳුණු ආශා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව මිය යාමට ඉඩ ඇත. ඔහුට කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපීව උපතක් කරා යාම මිසක් වෙන පිහිටක් නැත. නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් ය. සෑම විටම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුක්ත වේ. අකුසලයේ ආදීනව දන්නා හෙයින් අකුසලය ප්‍රහාණය කිරීමට උත්සාහ දරනු ලැබේ. මරණ සතිය නො වැඩු පුද්ගලයෙක් මරණය අභියසදී “මට මැරෙන්න බැහැ. මැරෙන්න බයයි” කියමින් දුක් වුවත්, ආර්ය ශ්‍රාවකයාට එවැනි මොහොතක තැති ගන්නේ, වැළපෙන්නේ නැතිව අනිත්‍යය දකිමින් එයට මුහුණ දීමට ශක්තිය ඇත.
එබැවින් සිහිය, නුවණ තිබෙන කාලයේ දී ධර්මයේ හැසිරී අවශ්‍ය රැකවරණය සාදාගෙන පරලොව ගමනට වියදම් සොයා ගැනීම තම තමා විසින්ම කළයුතු වේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 18 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment