'දස ඛලු ඉමානි ඨානානි යානි බුබ්බේඅකරිත්වා
ස පච්ඡා මනුතප්පතී ඉච්චෙවාහ ජනසන්ධො'
මෙම කරුණු දසය කලින් නොකරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේ යෑයි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනා කළේය.
(ජන සන්ධ ජාතක කතාව ඇසුරිණි.)
බුදුන් වහන්සේ සමයේ බලවත් රජෙක් වූ කොසොල් රජතුමා කාමයෙන් වසඟව තෘෂ්ණාවේ ඇලුණේ, බුද්ධෝපස්‌ථානයෙහි අලස මිත්‍ය, මත වාදියෙක් වුවත් දිනපතා බුදුන් වැඳ තොරතුරු විමසන කොසොල් රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අවවාද කිරීම උදෙසා බුදුන් වහන්සේ මෙම අතීත කථාව ගෙනහැර අනුදැන වදාරණ සේක.
යටගිය දවස බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක රාජ කුලයෙහි දේවියකට 'ජන සන්ථව' නම් බෝසත් කුමාරයෙක් ලැබ සිප්සතර ඉගෙන වැඩිවියට පත් මෙම කුමරා පියරජ ඇවෑමෙන් රාජ්‍යයට පත්ව දස රාජධර්මයෙන් රට පාලනය කරන්නට විය. මෙතුමා තම රටවැසියන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්නට විය. දුගී මගී යාචකයන්ට දිනකට කහවනු දහස් ගණන් වැයකර ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලදී. රජතුමා පංචශීලය දිවි හිමියෙන් රැක්‌කේය. රට වැසියනට එසේ සිදුකරන්නට ව්‍යවස්‌ථානුකූලව නීතිගත කළා. සෑම පෝයකටම දසසිල්, අටසිල් සමාදන් රජතුමා තම වැසියෝ එයට යොමුකරන ලදී. මිනිසුන් අතර ආචාරශීලී ගුණධර්ම පුහුණු කළා. හිංසාකාරී කටයුතු සත්ව ඝාතනය තහනම් කළා. සෑම දරුවකුටම ශිල්ප ශාස්‌ත්‍ර අනිවාර්ය කළා. මව්පියන්ට වැඩිහිටියන්ට නොසලකන අයට දඩ මුදල් නියම කළේය. ශ්‍රමණ, බ්‍රාහ්මණයන් රැකබලා ගනිමින් ඔහුට සත්කාර කළා. අල්ලස් ගැනීම, මං පැහැරීම, සොරකම් කිරීම හා නොමනා ක්‍රියාවන්ට වැටකඩොළු බැන්දා. මේ අයුරින් සිදුවෙත්ම නීතිමය නොවන අඹුසැමි ඇසුරට දැඩි නීති පැනවුවා.
හිරගෙවල්වල දොරවල් ඇරුණා. ඒවා හිස් වූවා. දන්ගෙඩිය දිරා ගියා. රටවැසියා දැහැමි වූවා. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ අප ජනසන්ථව බෝසත් රාජ උත්තමයා දීර්ඝායුෂ විඳිමින් පරළෝ සැපත්විය. එදා රජතුමා වූයේ අද අප වඳින පුදන අනුගමනය කරන ගෞතම බුදුන්වහන්සේය.
අතීතයේ ජන සන්ථව බෝසතාණන් වහන්සේ දේශනා කළ මෙම කරුණු දහය එදා මෙන් අදත් අප ජන සමාජයට වැදගත්වූ අනුශාසනාවකි. මතු පරපුරට කියාදෙන වැදගත් පාඩමකි.
අලද්ධා චිත්තං තප්පති
පුබ්බෙ අසමුදා නිතං
න පුබ්බෙ ධන මෙසිස්‌සං
ඉති පච්ඡානු තප්පති
ධනය සැපයිය හැකි තරුණ කාලයේදී ධනය නොසැපයූ තැනැත්තේ මම පෙර වැඩ කළ හැකි කාලයේ ධනය සපයා නොගනිමියි සිතා මහු කාලයේදී තැවෙන්නේය.
සක්‍ය රූපං පුරෙ සන්තං
මායා සිප්පං න සික්තං
කච්ඡා වුත්තී අප්පසිප්පස්‌ස
ඉති පච්ඡානු තප්පති
බාල කාලයේදී ශිල්පය නූගත් තැනැත්තේ පෙර පුලුවන්කම තිබියදී මා විසින් ශිල්පනූගන්නා ලද්දේය. ශිල්ප නොදත් තැනැත්තා හට ජීවත්වීමට අපහසුය. මහලු කාලයේ මේ ගැන සිතමින් තැවෙන්නේය.
කූටවෙදි පුරෙ ආසිං
පිසුණො පිට්‌ඨිමංසිකො
චණ්‌ඩොච එරුසො චාසිං
ඉති පච්ඡානු තප්පති
පෙර මම කපටි කම් කළෙමියි, කේලම් කියන්නෙක් වීමිය, අල්ලස් ගන්නෙක් වූයෙමිය, නපුරෙක් වූයෙමි යෑයි ඒවා කළ තැනැත්තේ මරණාසන්නයේදී සිහිපත් කරමින් තැවෙන්නේය.
පාණාති පාතී පුරෙ ආසිං
ලුද්දො වාපි අනාරියො
භූතානං නා පචායිස්‌සං
ඉති පච්ඡානු තප්පති
මම පෙර සතුන් මරන්නෙක් වූයෙමි. නපුරෙක් වූයෙමි. පව්කම් කරන්නෙක් වූයෙමියි. සියලුසත්වයින් කෙරෙහි හොඳ හිත නොපැවැත්වූයෙමි යෑයි එසේ කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.
බහුසු වත සන්තීසු
අනාපාදාසු ඉත්ථිසු
පරදාරං අසේවිස්‌සං
ඉති පච්ඡානු තප්පති
ලෝකයේ සැමියන් නැති ස්‌ත්‍රීන් බෙහෝ සිටියදී මම පරදාර සේවනය කළෙමියි, පරදාර සේවය කළ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.
බහුම්හි වත සන්තම්හි
අන්නපානො උපට්‌ඨිතෙ
න පුබ්බේ අදදිං දානං ඉ
ති පච්ඡානු තප්පති
බොහෝ ආහාර පානාදිය ඇතිව සිට මම දන් නුදුන්නෙමියි. නුදුන් තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.
මාතරං පිsතරඤ්චාපි
ජිණ්‌ණකං ගත යොබ්බනං
පහු සන්තො
න පොසිස්‌සං ඉති පච්ඡානු තප්පති
මම පෙර කාය බලය හා ධන බලය ඇතිව සිටද මහලු වී දුබලව විසූ මාපියන් හා පෝෂණය නොකළෙමි. මා පිය උපස්‌ථාන නොකළ තැනැත්තේ පසු කාලයකදී තැවෙන්නේය.
ආචරිය මනු සත්ථාරං
සබ්බ කාම රසා හරං
පීතරං අතිමඤ්ඤස්‌සං
ඉති පච්ඡානු තප්පති
මගේ ආචාර්යවූද, අනුශාසක වූද, කැමැති සියලු රසයන් ගෙනදී මා පෝෂණය කළාවූද, මාගේ පියාණන්ට අකීකරු වීමියි. එසේ කළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය.
සමණෙ බාහ්මණෙ චාපි
සීලවන්තෙ බහුස්‌සුතෙ
න පුබ්බෙ පයිරු පාසිස්‌සං
ඉති පච්ඡානු තප්පති
උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රහ්මණයන් මම පෙර ඇසුරු නොකළෙමි යි, එසේ නොකළ තැනැත්තේ පසුව තැවෙන්නේය.
සාධු හොති තපො විණ්‌ණො
සන්තො ච පයිරු පාසිතො
නච පුබ්බේ තපො චිණ්‌ණො
ඉති පච්ඡානුතප්පති
සුචරිතයේ හැසුරුණේ නම් ඉතා මැනව, සත්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් මැනවි. මා මේ එකකුදු නොකරන ලද්දේ යෑයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයේදී තැවෙන්නේය.
යොච ඒතානිඨානානි
යොනිසො පටිපඡ්ඡති
කරං පුරිස කිච්ඡානි
ස පච්ඡානා නුතප්තති
යමෙක් ඉහතකී කරුණු දහය නුවණින් සම්පූර්ණ කෙරේද, මිනිසකු විසින් කළ යුතු සම්පූර්ණ කර ගත්තා වූ හෙතෙම මහලු කාලයේද හා මරණාසන්නයේදී නොපසුතැවෙන්නේය.
වත්මන් ජන සමාජය තුළද අද වනවිට මෙම කරුණු සුදුසු කාලයට සිදු නොවීම අතපසු කිරීම් ආදී නිසා දුක් විඳින තැවෙන ජීවිත බහුලව දැකිය හැක. සුදුසු කාලයේ ධනය උපයාගෙන නිසි කළමනාකරණයෙන් උසස් තත්ත්වයට පත්වූවෝ මෙන්ම එසේ නොකිරීමෙන් අන්ත අසරණව යන එන මං නැතිව දුක් ගෙවන්නෝ සිටිති. පාසල් ජීවිතය නිසි පරිදි උසස් අධ්‍යාපනය ලද උසස් නිලතල හොබවමින් සැපවත් වූවෝ මෙන් නූගතුන් මුළු ජීවිත කාලය තම අතීතය සිතමින් තැවෙති. තමන් හදා වඩාගත් උස් මහත් කළ දෙමාපියන්
රැක බලා පෝෂණය කළ ඇත්තෝ මෙන් පැහැර හැරි ඇත්තවුන් තම ජීවිත පුරාම සිතමින් දුක්‌වනු ඇත. ඒ වගේම අල්ලස්, සොරකම්, සත්ව ඝාතන, සුරා මතින් හා අනාචාරයෙන් වරෙක සතුටු වුවද පසු කලෙක නීතිමය බියෙන්, මරණ බියෙන් පසුවන්නේය. තමන් කළ කී දේ ගැන තැවෙමින් හඬා වැළපෙමින් දුක් විඳීමට සිදුවනවාට වඩා තම ජීවිතය සුදුසු අවස්‌ථාවන්හි නිසි කළමනාකරණයකින් කටයුතු කිරීමට ජන සන්ධ බෝසත් චරිතය හා ඔහු දක්‌වා ඇති කරුණු ඉතා වැදගත් වන්නේය ළමා හා තරුණ විය ගතකරන අයට තම ජීවිතවල ඇති මතු අවදානම සහ එහි ඇති වටිනාකම පිළිබඳව කියාදෙන පාඩමකි.
ශල්‍යකර්මවලට බඳුන් වූවන්, වැඩිහිටි නිවාසවල මහලු අය ආදීන් වෙනුවෙන් ප්‍රජා සේවයෙහි නිරත කරවීම ද යහපත්ය.
ගැටලුවලට විසඳුම වන්නේ මිනිසුන් මරාදැමීම නොවේ.කෙතරම් මරාදැමුවද යළි යළිත් සසරෙහි උපත ලබමින් ඔවුහු ඉන් වඩ වඩාත් වෛරීව යළි යළිත් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති. අපරාධ අවම කළ හැක්‌කේ අපරාධකරුවන්ගේ මනසට පිළියම් කිරීමෙනි. සමාජ විරෝධී චර්යා, සමාජ හිතකාමී චර්යා ලෙසට පුනරුත්ථාපනය කිරීමෙනි. අද මෙරට බන්ධනාගාර ක්‍ෂේත්‍රය තුළ නිසි පරිදි අපරාධකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිදු නොවේ.ඒ වෙනුවට සිදුවනුයේ සුළු වරදකට බන්ධනාගාරගත වන පුද්ගලයා වඩාත් දරුණු වර්ගයේ අපරාධකරුවෙකු බවට පරිවර්තනය වී යළිත් සමාජගතවීමක් පමණකි. බන්ධනාගාරගත වූවකුට කිසියම් වෘත්තියක් පිළිබඳව පුහුණුව ලබාදීම වැදගත්ය.ඒ සමඟම ආකල්පද ඉහත දැක්‌වූ පරිදි යළිත් පුනරුත්ථාපනය කළ හැකි නම් එය වඩාත් අගනේය. එවිට හිංසක පුද්ගලයෙකු ලෙස බන්ධනාගාරගත වන්නා නිදහස් වී සමාජගත වනුයේ සාමකාමී අහිංසක පුද්ගලයෙකු වශයෙනි.
එසේ නොමැතිව හන්දියක් හන්දියක් පාසා එල්ලුම්ගස් පිහිටුවූවත්, අත්, පා කන් නාසා කැපූවත් මිනිසුන් ඒවාට පමණක් බිය වී හොඳ යහපත් මිනිසුන් වෙතැයි සිතීම අපහසුය. මෛත්‍රී ෙච්තනාවෙන් යමෙකු හට එසේ දඬුවම් කළ හැකිද නොවේ. යමෙකු හට දඬුවම් කිරීමේදී වෛරී ෙච්තනාව සහිතව දඬුවම් කිරීමෙන් එක ඝාතකයෙකු වෙනුවට තව තවත් ඝාතකයන් බිහිවීමේ අවදානමක්‌ද ඇති වේ. මරණ දඬුවම නීතිගත කිරීමෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව නීත්‍යානූකූලව ඝාතනය යෙදීමෙන් හෝ පාතාල ක්‍රමයට කුලියට මිනී මැරීමෙන් සිදුවන පවෙහි වෙනසක් නැත. බුදුදහම වරදවා ගැනීම නිසා සමහරු මානසික පාපකර්ම සිදු කරති. මිනීමැරීමට බුදු දහම හුවා දක්‌වා අවසර ලබාදෙති. අකුසලය, පාපය මතුපිට බාහිර කවරය කුමන ආකාරයේ වෙස්‌ගැන්වූවත් සිදු වේ. ෙච්තනාව යනු යමක් සිදුවන ක්‌ෂණයෙහි චිත්ත ක්‍රියාකාරීත්වයයි. ඒ චිත්ත ක්‍රියාකාරීත්වයට දැනුවත්ව හෝ නොදැනුවත්ව යමෙකුට වංචාවල්, කපටිකම් කළ නොහැකිය.
මහා පින්කමක් සිදු කරන්නේ යෑයි සිතා සාහසික පවක් කළද, අකුසලයක් කරන්නේ යෑයි සිතා පිනක් කළද විපාක දෙනුයේ තමා සිතට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන දේ අනුව නොව සැබවින්ම කරන දේ අනුව ඒ ක්‌ෂණයෙහි ඇතිවන චිත්තවීථියෙහි අදාළ චිත්තක්‌ෂණය අනුවය. අද දන්නා පුද්ගලයා සේ ම නොදන්නා පුද්ගලයාත් බුදු දහම පිළිබඳව දොඩමළුවන වාතාවරණයක් නිර්මාණයවී ඇති නිසා හා නොදන්නා ආකර්ෂණීය වැරදි සමාජ මතවාදවලට නිවැරදි දේට වඩා වැඩි ඉඩකඩක් ඇතැම් මාධ්‍ය හරහා නිර්මාණය වී ඇති නිසා පිරිසිදු බුදු දහම නමින් අද බහුතරව සමාජගත වී ඇත්තේ සාවද්‍ය මතවාද බව දැකගත හැකිය. විද්‍යාව, තාක්‌ෂණය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනීම වෙනම දැනුමකි. පාලි භාෂාව ත්‍රිපිටක බුද්ධ වචනය, නිකායාන්තර බුදු දහම, දාර්ශනික හා සාමයික දැනුම, මනෝවිද්‍යා ක්‌ෂේත්‍රයේ ගැඹුරු දැනුම ආදී ජීවිතයේ විශාල කාලපරාසයක් කැපකර අත්පත් කරගත් දැනුම, අවබෝධය හා කුසලතාව මත යමෙකු ත්‍රිපිටක බුදදහම නිසි අයුරින් විවරණය කිරීමට සමත් වේ.
යමෙකු කරන රැකියාව, සමාජ තත්ත්වය, ධන හෝ නිල බලය ආදී සාධක බුදුදහම විග්‍රහ කිරීමට යෝග්‍ය වූ සුදුසුකමක් නොවේ. අද පවතිනුයේ විවිධ ආකාරයෙන් ආකූල, ව්‍යාකූල, විකෘති වූ සමාජයකි. සමාජගත සබඳතා, දැනුම, වෘත්තිය ආදී සෑම ක්‌ෂේත්‍රයකම මේ විකෘතිය අඩුවැඩි සේ දක්‌නට ලැබේ. වෘත්තිය අනුව පුද්ගලයන්ගේ උගත්කම වර්ගීකරණය නොකළ හැකි මට්‌ටමට අද සමාජය පත්ව තිබේ. බුදුදහම විග්‍රහ කළ යුත්තේ මේ සියලු දේ පිළිබදව ගැඹුරු ප්‍රාමාණික පරිණත අවබෝධය මත පිහිටාය. එලෙස නොවූ විට සමාජ හාස්‍යයට ලක්‌වීමට සිදුවේ. බුදුන්වහන්සේ එදා සමාජයට දැනෙන ලෙස ස්‌වකීය දහම් පණිවිඩය සාර්ථකව සමාජගත කරනු ලැබුවේ ඊට අවශ්‍ය සමාජ පරිණත බව දැන උගත්කම සමඟ සාර්ථක ලෙස බද්ධ කරගත් බැවිනි. ප්‍රජාතන්aත්‍රවාදය ගරුකරන සමාජ පසුබිමක් තුළ අන්තවාදී බවට ආයුෂ නැත.
මෙරට විවිධ ආගම් හා ජනවර්ග කීපයක් ඇත. සිංහල, දමිළ, මුස්‌ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජනවර්ග ද, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආදී ආගම් වර්ග ද ඇත. මෙරට තුළ තවමත් සිංහල බෞද්ධ බහුතර ප්‍රජාවක් සිටින බව සත්‍යයකි. නමුදු එසේ වුවද ජාතික, සාමයික, වාර්ගික සුහදතාවය ආරක්‌ෂා කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය. මෙරට සිංහල බෞද්ධයන් හට සේම අන්‍ය ජාතී ආගම්වල සෙසු ජනතාවටද සාමයෙන් සමඟියෙන් සමූපකාර පැවැත්මක් සහිතව ජීවත්විය හැකි පරිසරයක් පැවතීම හෝ නිර්මාණය කරදීම තුළ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ ආගමික, වාර්ගික සුහදතාවය, නම්‍යශීලීත්වය මෙරට ජනතාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද වඩාත් පැහැදිලිව ඉස්‌මතු කර දැක්‌වීම සඳහා එය හොඳ මිණුම් දණ්‌ඩක් වනු ඇත. බුදු දහමේ ප්‍රවර්ධනයටද එය විශාල ආධාරයකි.
පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි,
ශ්‍රී විසුද්ධාරාම මහාවිහාරය, වාරියපොල
2015 ඉල් මස 25 බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment