ඉල් පුර අටවක පෝදා දහම් සාකච්ඡාවෙන් ඔබට පැහැදිලි කළා සේ ඉල්පුර පසළොස්වක පෝදා තෘෂ්ණාවෙන් බැඳුණු මේ ජීවිතය ගැන සරල ලෙස නිදසුන් මඟින් පැහැදිලි කර විමසා බලමු.
වර්තමාන පරිසරය තුළ ඇති වී නැතිව යන මේ සංස්කාර වස්තූන් මගේ කර ගනිමින් හඬන, වැළපෙන, පස්පව් සිදු කරන මනුෂ්‍යයන් කොපමණ සිටිත් දැයි තේරුම්ගත හැකිය. ඔබ ද එවැනි කෙනෙක් දැයි, ඔබ විසින් තම සිතින්ම විමසා බැලීම වටී. වැරැදිලාවත් ඔබත් එවැනි කෙනෙක් නම් වහාම එම අනවබෝධයෙන් බැහැරවීමට මේ දහම් කතාව උපයෝගී කරගත යුතු බව මෙත් සිත් පෙරටුව සිහිපත් කරමු.
ඔබවත්, ඔබට හිමි නැති මේ සංස්කාර ලෝකයේ තවත් කෙනෙක් හෝ තවත් වස්තුවක් කිසිවිටකවත් ඔබේ කරගන්නත් බැහැ. ඔබේ වෙන්නෙත් නැහැ. ඔබ සිතාගෙන සිටියත් එය ස්ථිර හෝ සදාකාලික වස්තුවක් වෙන්නෙත් නැහැ. අපට කළ හැකි වන්නේ ඒ පිළිබඳව සිහිය පිහිටුවාගෙන එමෙන් ම සීලයෙන් යුක්තව ධර්ම මාර්ගයේ පැවැත්ම පිණිස උපකාරී වීම පමණයි. ගෘහස්ථ ජීවිතයක නම් ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, සහෝදර, සහෝදරියන් ආදී වශයෙන් ඔබට යුතුකම් කළ හැකියි. ඔවුනොවුන් මනාව සම්මුතියෙහි ආරක්ෂා කළ හැකියි. නමුත් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වූ වැඩූ සිතකින් මෙනෙහි කර ගත යුතුමයි. එවිට ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප ආදී අරමුණු ගන්නා විට මේ සිත ආත්ම සංඥාව බැහැර කොට උපාදානයන්ගෙන් එනම් දැඩිව අල්ලාගෙන රාග, ද්වේෂ ආදී කෙලෙසුන් හි සංසිඳීමක් එවිට ඇති කරගන්නට පුළුවනි.
සම්මුතියෙහි පිහිටා මේ කය මගේ යැයි දක්වන නීරෝගීමත්, පිරිසුදුවත් ආරක්ෂාවෙන් පවත්වාගන්නට පුළුවනි. ස්වාමියා, බිරිඳ, දෙමව්පියන්, දරුවන් ඔවුනොවුන්ට යුතුකම් කිරීමත්, රැක බලා ගැනීමත් ඔවුනොවුන්ගේ වැඩීම හා සම්මුති පැවැත්ම පිණිසත් කටයුතු කළ හැකියි. එහෙත් පරම සත්‍යයට අනුව විදර්ශනාවට අනුව
“යංකිංචි සමුදය ධම්ම - සබ්බංතං නිරෝධ ධම්මං” යමක් හටගන්නා සුළු ද? ඒ හැම නැසෙන සුළුයි යන සාමුක්ඛංසික දේශනාව නිරතුරුව සිතෙහි ගැබ්ව පවතිනවා. එවිට අර රූපය ආත්මවත් කොට හෝ ආත්මය රූපවත් කොට හෝ රූපයෙහිලා ආත්මය සැලකීම හෝ ආත්මයෙහිලා රූපය සැලකීමත් සිදුවන්නට බැහැ. ඔබට සරල වචනයෙන් සඳහන් කළොත් මෙසේය. “මම” යනු “ඔබ” හෝ “ඔබ” යනු? “මම” නම් නොවේ. “මා” තුළ “ඔබ ද” නැත. “ඔබ” තුළ “මා” ද නැත. ඒ වස්තුව යනු “මම” නොවේ. “මම” යනු ඒ වස්තුව නොවේ. මා තුළ ඒ වස්තුව නැත. ඒ වස්තුව තුළ මා ද නැත. මේ අදහස සමාධියක් සේ සිත එක් අරමුණක පවත්වාගෙන ඔබ විසින් නැවත නැවතත් මෙනෙහි කොට බලන්න. එය ඔබ විසින් ම වටහාගත යුතු ධර්ම කතාවකි.
එදිනෙදා ජීවිතයේ ඔබ පවුල් පරිසරය පවත්වන විටදීත් රැකියාව, ගේ - දොර, සමාජය වශයෙන් කටයුතු කරන විටදීත් හඬා වැළපීම් දුක්ඛ දෝමනස්ස අපමණ වූ සිත්තැවුල්, අසමගිය, රණ්ඩු දබර, ගහ බැන ගැනීම් ආදියට හේතුව කුමක් දැයි නුවණින් විමසා බලන්න. ඉහත සඳහන් කළ මේ වරදවා ගන්නා වූ උපාදානයන් බව ඔබටම පැහැදිළිවිය යුතුය. මිත්‍යාදෘෂ්ටිය, මෙන් ම සක්ඛායදෘෂ්ටිය, ආත්ම සංඥාව, වැරැදිවූ ජීවිකාව එසේ නැතිනම් මිත්‍යාදෘෂ්ටියෙන් මෙයට හේතුවී ඇති බව පැහැදිලියි. සම්මාදිට්ටි, සම්මාසංකප්ප වගේ ම වැරැදි ලෙස අවබෝධයට එනවා නම් ඒවා මිථ්‍යාදිට්ටි, මිථ්‍යාසංකප්ප, මිථ්‍යාවාචා ආදී වශයෙන් ධර්මයේ පැහැදිලි කරනවා. අන්න ඒ මිථ්‍යා කියන වැරැදි ආකාරයේ පැවැත්ම ඔය හඬා වැළපීම්, රණ්ඩු දබර, දුක්ඛ දෝමනස්ස දිවි නසා ගැනීම් ආදියට මූලිකම හේතුව නොවන්නේ දැයි සිහි නුවණින් සිතා බලන්න. සියලු වැරැදිවලට, පාපවලට පදනම අත්තිවාරම සකස්වී ඇත්තේ එයම නොවේද? පවුල් පරිසරය තුළ වුවත් නුඹවැනි මනුෂ්‍යයෙක් මුණගැසීමත් මට විපතකි යනුවෙන් පවසන්නට සිදු වුණොත් ඉහත විස්තර කළ ධර්ම මාර්ගයෙන් බැහැරවීම නිසා ලැබෙන්නා වූ හෝ ලැබුණා වූ ආදීනව හැටියට ඔබ මෙනෙහි කළ යුතුය.
තථාගත බුදුරජාණන් වහන්සේ මීළඟට මෙසේ සඳහන් කරනවා. ස්කන්ධ පංචකයේ අර රූපය වගේ ම වේදනාව නම් වූ විඳීමත්, සංඥාව නම් වූ හඳුනාගැනීමත්, සංස්කාර නම් වූ කර්ම රැස්කර ගැනීමත්, විඥානය නම් වූ අරමුණ දැන ගැනීමත්, අශ්‍රැතවත් පුද්ගලයා විසින් ආත්මවත් කොට සලකනවා. ඒවායෙ හි ආත්මය තිබෙන බව සලකනවා. නිදසුනක් මේ වගෙයි, වේදනාව ආත්මවත් කොට සලකනවා. ආත්මය වේදනාව කොට සලකනවා. ආත්මයෙහිලා වේදනාව සලකනවා. වේදනාවෙහි ලා ආත්මය සලකනවා. මෙය තේරුම් ගන්නට ඉතාම පහසුයි. මේ ආකාරයට එනම් මෙහි ආත්මය යනු මම කියන සම්මුති වචනයෙන් ගලපා බලන්න. එවිට ඇසෙහි රූපයක් හටගැනීමෙන් චක්ඛු විඤ්ඤාණය සකස් වෙනවා. එහි දී ස්පර්ශය සකස්වන විඳීම සැප හෝ දුක වූ හෝ මධ්‍යස්ථ විඳීමක් විය හැකියි. මේ අභාවිත සිතක් ඇති පුද්ගලයා ඒ සැප වූ හෝ දුක් වූ හෝ විඳීම ආත්මවත්කොට හෝ මම යැයි සිතනවා. එනම් ඒ විඳීම ස්ථිරව පවතිනවා. ඒක මගේ ඒක මට ඕන විදිහට පවත්වගන්න වශයෙන් සිතනවා. එතකොට ඒ විඳීම කියන්නෙ මමයි. මම කියන්නෙ විදීමයි. ඒ විඳීමෙහි මම සිටිනවා. මා තුළ ඒ විඳීම තිබෙනවා යන අදහසයි.
තවදුරටත් මෙසේ සරල කරගත හැකියි. යම් කෙනෙකුට සිතට සුවවිඳීමක් දැනුණොත් ඒ යම් රූපයක් නිසා විය හැකියි. හඬක්, ආඝ්‍රාණයක්, රසයක්, ස්පර්ශයක් හෝ සිතුවිල්ලක් නිසා විය හැකියි. ඒ විඳීමට තමාගේ ජීවිතය බාර දෙනවා. ඒ විඳීමට තමයි මම කියන්නෙ. ඒක නැතුව මට බැහැ. ඒක නොලැබුණොත් මට ජීවිතයක් නැහැ. මගේ ලෝකය, මගේ සිහිනය, මගේ අනාගතය සියල්ලම රැඳෙන්නෙ ඒ විඳීම තුළයි. ඒ නිසා ඒ විඳීම මම අයිතිකර ගන්න ඕනෙ ඒක මගෙයි, ස්ථිරයි, සදාකාලිකයි යනුවෙන් අභාවිත සිතෙන් සිතිවිලි සකස් කර ගැනීමයි.
දැන් ඒ විඳීමේ මම සිටින බව සිතනවා. මා තුළ ඒ විඳීම තිබෙන බව සිතනවා. ඒ විඳීමට එකතු කොට මා සලකාගෙන ඉන්නවා. මට එකතු කොට ඒ විඳීම සලකා තබාගන්නවා. එයයි ඒ හතර ආකාරයකින් සකස් කරන්නෙ. එහෙත් රූපයවගේ ම ඔය විඳීමත් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත්. ඒ විඳීම වෙනස්වන විට කුමක් ද සිද්ධ වන්නෙ. සුඛ වේදනා වෙනස් වෙනකොට ඇතිවන්නෙ බලවත් වූ දුකක්. දුක්ඛ වේදනාවත් ඒ ස්ථිරව පවතින්නෙ නැහැ. එයත් විපරිනාමයට සකස්වෙනවා. ඒ නිසා දුකෙහි හෙවත් දුක්ඛ අරමුණෙහි ගැටීමක් හෝ තරහවක් ඇතිකරගත යුතු නැහැ. මෙහි දුක්ඛ වේදනාව යනු අකැමැති අරමුණයි. අකැමැති අරමුණෙහි ගැටීමක් ඇතිකරගත යුතු නැහැ. එසේ ගැටුනොත් තරහව, වෛරය නිසා දෙලොව ජීවිතයේ ම පිරිහීමක් ඇතිවිය හැකියි.
මේ විදිහට යම් කෙනෙක් සංඥාව ආත්මවත් කොට සිතනවා. ආත්මය සංඥාව කොට සිතනවා. ඒවගේ ම සංස්කාර ආත්මවත් කොට සිතනවා. ආත්මය සංස්කාර කොට සිතනවා. විඤ්ඤාණය ආත්මකොට සිතනවා. ආත්මය විඤ්ඤාණය කොට සිතනවා. මේ ස්කන්ධ පංචකය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ “පෙහේන පිංඩූපම” සුත්‍රයේ දී ඉතා උතුම් නිදසුනක් දක්වා තිබෙනවා. එනම් මේ රූපය පෙණපිඬුවකි. එනම් හිස්ය, බොල්ය, ගර්හිතය, සරුබවක් නැත. වේදනාව හෙවත් සියලු විඳීම් දියබුබුලකි. එය ද බොල්ය, හිස්ය, ගර්හිතය, නිසරුය. සංඥාව මිරිඟුවකි. එය ද හිස්ය, බොල්ය, ගර්හිතය, නිසරුය. සංස්කාර අරටුවක් නැති කෙසෙල් කඳක් බඳුය. හිස්ය,
බොල්ය, ගර්හිතය, නිසරුය. විඤ්ඤාණය මායාවකි. රැවටිලිකරුවෙකි. සැබෑ ස්වභාවය එය පෙන්වා නොදේ. රැවටීමකි. ඒ නිසාම එය හිස්ය, බොල්ය, ගර්හිතය, නිසරුය. මේ ආකාරයෙන් ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නැති මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා රූපය ආදී මේ ස්කන්ධ පංචකය අනුවම කණුවෙහි බඳිනා ලද සුනඛයා මෙන් දුවනවා. එහිම ළගිනවා. ඉන් අදහස් කළේ රූපයට කැමැති නම් එහි ඇළෙනවා. ඒක වෙනස්වෙන කොට ගැටෙනවා. හඬනවා. හිස් ආකාසය දෙස බලා ගන්නවා. තමන්ටත් විපත් කර ගැනීමට උත්සාහ කර ගන්නවා හා විපත් කර ගන්නවා. එනම් වසවිෂ කන්න පුළුවනි. දිවි නහ ගන්න උත්සාහ කරන්න පුළුවනි. හැබෑවටම දිවි නසාගන්නත් පුළුවනි. වර්තමානයේ සමහරු තමා කැමැති රූපය ලබා ගන්න බැරි වුණාම, පණ ඇති අයෙක් නම් ඒ අයට විපත් කරපු ආකාරය සිහිපත් කළ හැකියි. තමා ද නැසී ඒ අයත් නසන්න උත්සාහ කළ හෝ උත්සාහ ගත් සිදුවීම් ද ඔබට දැකගත හැකියි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන
අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment