Labels

Thursday, December 17, 2015

උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් ජීවිත යථාර්ථය දකිමු


මාගේ යැයි කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් පැවැත්වූ මේ ශරීරයත් මොනයම් හෝ වෙලාවක මෙලොව තබා විඤ්ඤාණයට බැහැර වී යාමට සිදුවේ නම්, මගේ කියා සිතන, දෑතින් අල්ලාගෙන සිටින, ලියා තිබෙන, යම් තැනක තැන්පත් කරගෙන පවතින වස්තුවක් වුවද හටගත්තා වගේ ම නැසෙන සුළුයි.

අප තථාගත භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නෙ මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයෙන් යම් කෙනෙක් මිදෙන්නේ නැතිනම් ඒ පුද්ගලයාට, එනම් මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට ව්‍යාධියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, කායික දුකින්, මානසික දුකෙන්, දැඩි ආයාසයෙන්ගෙන් කෙටියෙන් සඳහන් කළොත් මේ ස්කන්ධ පංචකයෙන්ම ලබන කිසිදු දුකකින් අත්මිදෙන්නට නොලැබෙන බවයි. එනම් සතර අපායෙන් ගැළවෙන එකනම් ලෙහෙසි වෙන්නේ නැති බවයි.

ගද්දුලබද්ධ සූත්‍ර දේශනාව ඇසුරෙන් සැකසුණු මෙම ලිපි මාලාවේදී පළමු ලිපියෙන් පැහැදිලි කරදුන් ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් නිදසුන් තුන ඔබට මතක ද? එනම්, යම් දවසක මහ සාගරය වේලෙන්න, සිඳෙන්න පුළුවන්, යම් දවසක සිනේරු හෙවත් මහාමේරු පර්වතය දැවෙන්න, වැනසෙන්න පුළුවන්.
 යම් දවසක මහ පොළොව වැනසෙන්න, දැවෙන්න පුළුවන්. එය එසේ සිදුවෙයි, එහෙත් අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ අවිද්‍යාව නිසා ම තෘෂ්ණාවෙන් සසර ගමනට බැඳී ස්කන්ධ පංචකය මගේ කරගෙන දුවමින්, පෙරළෙමින්, හඬමින්, වැළපෙමින් යන ගමන නිසා දුකින් මිදීමක් නම් දැක ගන්නට අපහසු බවයි. එහෙම නම් ඔබත්, මමත්, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයෙක් බවට පත්වී, ආර්යය ධර්මයේ, සත්පුරුෂ ධර්මයේ කීකරුව, සුවිනීතව කටයුතු කිරීමෙන්, මේ දුකින් නිදහස් වීමේ මඟට, සැනසිල්ල ලැබීමේ මඟට පත්විය හැකියි. ඉහත සඳහන් කලාක් මෙන් සම්මුතිය තුළ රූපය, වේදනාව, සංඥාව, 
සංස්කාරය, විඤ්ඤාණය ධර්ම මාර්ගයට නතු කරගෙන මම, මගේ කියා, පැවැත්වූවත් පරමාර්ථ ධර්මයේ හෙවත් විදර්ශනා නුවණින් දැකගෙන ඒ සියල්ලම එනම් ස්කන්ධ පංචකයම හෝ මම හෝ ඔබ යැයි පවසන කවර වචනයකින් වුවද මේ සියලු සංඛතම, සංස්කාරයන්ම හටගත්තා වගේ ම නැසෙන සුළු බව අවබෝධයට ගෙනම කටයුතු කළ යුතුමයි. අන්න එවිට රූපය අනුව දුවන්නෙත් නැහැ. පෙරළෙන්නෙත් නැහැ. රූපය පරිහරණය කරනවා. කටයුතු කරනවා. හැබැයි නුඹ මගේය, මම ඔබේ ය කියන අදහසකට එන්නෙ නැහැ. ඒ වස්තුව මගේමයි, මම කියන්නෙත් ඒ වස්තුවමයි කියන අදහසට එන්නේ නැහැ.
 සැප විඳීමක් තිබුණත් ඉෂ්ඨ අරමුණක් හැටියට දකිනවා. උපේක්ෂාව සිතේ පවතිනවා. එනමුත් ඒ විඳීම කෙරෙහි, ඒ සැපය කෙරෙහි, තණ්හා මද මානයකට පැමිණෙන්නේ නැහැ. තමන් උසස් කොට අනුන් පහත් කරන, ‘අත්තුක් කංසන පරවම්භන’ නම් වූ දුර්ගුණයට සකස්වන්නේ නැහැ. එනම් තමා උසස් කොටගෙන, අනුන් පහත් කරන ගුණයකට එන්නෙ නැහැ. සීලයේ පිහිටා යහපත් වූ දේ ඉෂ්ඨ අරමුණක් හැටියට දකිනවා. තණ්හා, මදමාන, දෘෂ්ඨියට එන්නේ නැහැ. අනිත්‍ය අරමුණ දුකක්, නරකදෙයක්, අයහපතක් හැටියට දකිනවා. එහෙත් හඩාවැළපීමකට, දුකකට, ව්‍යාපාදයකට, කෝපයකට, ඊර්ෂ්‍යාවකට පත්වන්නේ නැහැ. අන්න එයයි සඳහන් කළේ රූපය අනුව දුවන්නෙත් නැහැ. ඒවා වෙනස්වෙන කොට හඬන්නෙත්, පෙරළෙන්නෙත් නැහැ. මේ අනුව වේදනාවත්, සංඥාවත්, සංඛාරයත්, විඤ්ඤාණයත්, අනුව දුවන්නෙත් නැහැ. ඒ අනුව පෙරළෙන්නෙත් නැහැ. හටගත්ත හැම දෙයක් ම නැතිවන සුළුයි කියන අන්න ඒ පරමාර්ථ, ධර්ම අවබෝධය අපේ සිත් සුවපත් කරනවා.

සරල නිදසුනක් මේ වගේ. ඔබ ගුණබර අම්මා කෙනෙක් නම් පියාණන් කෙනෙක් නම්, ඔබේ දරුවෝ මගේ අම්මා, මගේ තාත්තා හෝ අප්පච්චී යැයි හඬනගාවි. ධර්ම අවබෝධය තිබෙන ඔබ, දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකරන ගමනේ ඔබ පිළිතුරු දේවි මගේ පුතේ, කියා මගේ දුවේ කියා. එහෙත් දරුවා කෙරෙහිවත් ඔබ මෙවැනි උපාධානයකට පැමිණ නැහැ. එනම් ඒතං මම – මගේය, ඒහෝ හමස්මි – මම වෙමි. ඒතෝ මේ අත්තා - මගේ ආත්මයයි. එනම් මගේ වසඟයේ පවතිනවා, යන අදහසට එන්නේ නැහැ. සම්මුතියට ළංකරගෙන දුව මගේය, පුතේ නුඹ මගේ යැයි පවසාවි. එහෙත් සිත වඩා තිබෙන්නේ මේ අවබෝධයටයි. ඒ කුමක් ද? මේතං මම - මගේ නොවේ. මේතෝ හමස්මි – මම නොවෙමි. නොමේතෝ අත්තා - මගේ ආත්මය නොවේ යන අදහසයි.

පරම සත්‍ය ලෙස පවතින්නේ මෙය නොවේදැයි ඔබම සිතා බලන්න. දෙමව්පියන්, දරුවන්, ස්වාමි, භාර්යා ලෙසින් මොනතරම් ප්‍රියශීලිව කටයුතු කළත්, මොනතරම් වටිනා ගෙයක්, දොරක්, ධනයක්, යානවාහන වුවත් සම්මුතියේ මගේ යැයි පැවැත්වූවත් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව ඔබට දැන් වැටහේද? මාගේ යැයි කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් පැවැත්වූ මේ ශරීරයත් මොනයම් හෝ වෙලාවක මෙලොව තබා විඤ්ඤාණයට බැහැර වී යාමට සිදුවේ නම්, මගේ කියා සිතන, දෑතින් අල්ලාගෙන සිටින, ලියා තිබෙන, යම් තැනක තැන්පත් කරගෙන පවතින වස්තුවක් වුවද හටගත්තා වගේ ම නැසෙන සුළුයි. ඒ වගේ ම ඒ සියල්ල මෙලොව තබා යන්නට වීම, අත්හරින්ට වීම ස්වභාවයයි. කෙනෙකුට ස්කන්ධ පංචකයෙන් මිදෙන්නට පුළුවන්කම වගේ ම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, කායික දුකෙන්, මානසික දුකෙන් දැඩි ආයාසයන්ගෙන්, එනම් බලවත් සිත් තැවුල්වලින් මේ ස්කන්ධ පංචකයෙන් ම මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නම් ඔබ සුවපත් කරන ආකාරය ඔබ අත්දැකීමෙන් ම අත්විඳිනු ලැබේ.




බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment