බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 09 අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා
ඉල් පුර පසළොස්වක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ සිල්වතුන්ට ගරහා අපා දුක්වින්ද නිරිසතුන්ගේ ස්වභාවයන් විමසා බැලීමටයි. අද ලිපියෙන් නිරිසතුන් විදිනා විවිධ දුක් පිළිබඳ තවදුරටත් විමසනු ලැබේ.
වේළුනද නරකය
උස ආදිය පෙරමෙනි. මෙහි උපදින නිරිසතුන් ගිනිගෙන දදා තිබෙන යකබල පිටහෙලා යමපල්ලෝ යමුගුරුවලින් ගසති. ගිනිගත් පොරෝවලින් පෙති ගසති. ගිනිගත් කියත්වලින් ඉරා මස් කැටි ගෙන ඔවුන්ට කවති. මෙහි උපදින්නෝ නම් පැන ගිය වහළුන් අල්වා ගෙන අවුත් පොළු මුගුරුවලින් තලා වධ කළෝය
පහාස නරකය
දිග පළල ආදිය පෙරමෙනි. මෙහි පැසෙන නිරිසතුන් නටන ගයන නළුවන්ගේ විලාස ඇත්තාහු. ඇවිලෙන මහ ගින්නෙන් දැවෙමින් මහ හඬින් හඬ හඬා දුක් විදිති. සැබෑවෙන බොරුවෙන් මහජනයා හිනස්සවමින් නැටුම් – ගැයුම් පවත්වා අධර්මයෙන් මුදල් උපයා දිවි රැක ගත්තෝ මෙහි උපදිති.
සඤ්චිචිච නරකය
උස ආදිය පෙර මෙනි. බල්ලන් බළලුන් මැරූ අය මෙහි උපදිත්. ඔවුන් මහ හඬින් අඬ අඬා විලාප කියා පෙළෙත්.
මහාජාල නරකය
උස ආදිය පෙරමෙනි. මෙහි උපදින නිරිසත්තු එහි ඇවිල පවත්නා ගිනිදැල්වල වෙළි වෙළී දුක් විඳිති. ඔව්හු මිනිස් පිය කළ ඔවුනොවුන් නො කළ නොකී දේ කරන ලදැයි කියන ලදැයි, සැකකොට නිකරුනේ තළා පෙළා වධ කළෝ ය.
එක කල්ප නරකය
උස ආදිය පෙර මෙනි. මෙහි ගිනි ගෙන ඇවිලෙමින් විලාප කිය කියා ඈත මෑත දුවන නිරිසතුන් අල්වා නිරය පාලකයෝ ඔවුන්ගේ මුඛය අයා ගිනිගෙන දිලිසෙන ලෝ දියවත් කරති. මෙහි දුක් විඳින්නෝ නම්, දෙමාපියන්ට නැදිමයිලන්ට මහණ බමුණන්ට කුලවතුන්ට කුලමල නම් ගොත් ආදිය කිය කියා පරුෂ වචනයෙන් බිණුවෝය.
විකල්ප නරකය
මෙහි උස ආදිය පෙරමෙනි. බුදුන්ට, රහතුන්ට, සතුන්ට, ඉරහඳට, මහපොළොවට බැන්නවුන් උපදින නරකයයි. මෙහි බුර බුරා නගින ගිනි දළුවලින් වෙලි වෙලී ඔව්හු අපමණ දුක් විඳිති. මුඛය ගිනි දලු දදා ඇවිලෙති. මෙහි විඳින දුක් පමණ නැත.
තයෝ කල්ප නරකය
උස හා දිගු පළල පෙර මෙනි. තමන් මිනිස් බැව් ලත් කල්හි, මහා සංඝයා වහන්සේ උදෙසා හෝ එක පුද්ගලයක්හු උදෙසා හෝ අමනාපව අනාදර සිතින් නුගුණ කීවෝද, මෙකී උතුමන්ට ගර්හා කෙරෙමින් චෝදනා කෙරෙමින් ඔවුන්නොවුන්ගේ නුගුණ කිය කියා ඇවිද්දෝ ද ෙ මහි ඉපිද දුක් විඳිති.
චතුකල්ප නරකය
මෙහි ද දිගු පළලාදිය පෙරමෙනි. අන්හට දස් වූ වහල් වූ අය එම දාස භාවයෙන් නිදහස නොලැබ බුදුසසුනෙහි මහණ බැව් ලැබ සිටියාහු ද ඔව්හු එම අකුශල කර්මයෙන් මෙහි ඉපිද දුක් විඳිති.
පඤචකල්ප නරකය
පෙරමෙන් ප්‍රමාණය දතයුතු මිනිස් පිය ලත් කල ධර්මකථිකයෝ වැනි නිශ්ශරණාධ්‍යාංශයෙන් ධර්මදේශනා නොකොට ලාභසත්කාර උපයනු සඳහා තථාගත ධර්මයට බුහුමන් නැතිව ගමක්, ගෙයක්, මාවතක් පාසා ඇවිද අනාදරයෙන් දේශනාකළාහු මෙහි ඉපිද දුක් විඳිති.
ජ කල්ප නරකය
මේ නරකයෙහි දිග සැට යොදුන, පළල සැට යොදුන. ගැඹුර සැට යොදුන. ගිනිගෙන දිළිසෙන යපවුරෙන් යපියන් පතින් සේම වූයේය. තමන් මිනිස් පිය ලත් කල්හි පැවිදිව සික්ෂාපද කඩමින් සිට සැදැහැවතුන් විසින් දෙන ලද චීවරාදී පසය පරිභෝග කළෝ මෙහි ඉපිද දුක් විදුනාහ.
සප්ත කල්ප නරකය
දිග පළලාදිය පෙර මෙනි. මිනිස් පියෙහි සිට පන්සිල් අටසිල් ඈ සීලයෙක පිහිටා තමා නො ඇසූ නොදුටු දෙය ගෙන බොරු කීවෝ ද කේලාම් කීවෝ ද, ඔව්හු මෙහි ඉපිද දුක් විඳිති.
අෂ්ට කල්ප නරකය
විස්තර පෙර මෙනි. පැවිදිව උගත්ව, සිත් උමතු කරවාලන රා, කන්සා ආදී මත්ද්‍රව්‍ය පරිභෝග කෙරෙමින් දුෂ්ප්‍රතිපත්තියෙහි සිට අනුන්ට බණ කීවෝ මෙහි ඉපිද දුක් විඳිති.
නව කල්ප නරකය
අල්ලස් දී, ඔවුනොවුන්ට අලාභහානි කරවුවෝ ද අල්ලස්ගෙන ඔවුනොවුන්ට අලාභහානි කළෝ ද මෙහි ඉපිද දුක් විඳිති.
දශ කල්ප නරකය
රජ දරුවන්ට පෙර පටන් දුන් සුංකමින් කොටසක් නොදී ගනුවයි කීවෝ ද, රජ දරුවන්ට දියයුතු කොටස නොදී ගත්තෝ ද මෙහි ඉපිද දුක් විඳිති.
ඒකාදශ කල්ප නරකය
තථාගත ධර්මය ලියවා තැබූ බණ පොත් සිඳ බිඳ දැමුවෝද පොත්ගුල් සිඳ බිඳ නැසුවෝ ද පොත් වසුන් ගත්තෝ ද, පොත්ගුල් ගොඩනැගීම වැළැක්වූවෝ ද මෙහි ඉපිද දුක් විඳිති.
තෙරස කල්ප නරකය
සැදැහවතුන් විසින් දාගැබ්, බෝධි, පිළිමගෙවල් සන්තක කොට හෝ සංඝ සන්තක කොට හෝ තම තමාගේ පමණට ඉසුරු පමුණුවා දෙල ලද්දේ, එකී විහාර සන්තක දාගැබ් සන්තක බෝධි සන්තක පිළිම ගෙවල් සන්තක සංඝ සන්තක කරවූ රන් පනම් තඹ ලෝහාදී දෙයක් හෝ වී සහල් ආදී ධාන්‍ය වර්ගයක් හෝ පිළි තෙලියම් උඩුවියන් කොට්ටා පැදුරු ආදී දෙයක් හෝ අල්ලස් පිණිස අනුන්නට තිළිණ කොට දුන්නෝ ද, මහ සඟුන්ගේ පරිභෝගයට නොපමුණුවා තම තමා පරිභෝග කළෝ ද, එබඳු මහණුන් ද සැදැහවතුන් විසින් තුනුරුවන් විෂයෙහි පුදන ලද කුඹුරු, වතුපිටි, ගහකොළ, විහාර සන්තක සංඝ සන්තක කරන්නට නො- පිළිවනැයි කියා තම තමාගේ බල පුළුවන්කමින් අයුත්තේ කෑ ගෘහස්ථයෝ ද මෙහි ඉපිද අපමණ දුක් විඳිති.
චුද්දස කල්ප නරකය
රජ කෙනෙක් ව හෝ අමාත්‍ය කෙනෙක් ව හෝ සෙනෙවිරත් කෙනෙක් ව හෝ බැගෑපත් දිළිඳු ජනයාගේ දේපළ අන්නෑයන්ගේ දේපළ බලාත්කාරයෙන් ගත්තෝ ද ඔව්හු මෙහි ඉපිද දුක් විඳිති.
පඤ්චදස කල්ප නරකය
රජ බවට පැමිණ දශරාජ ධර්මයෙන් තොරව අධර්මයෙන් බලාත්කාරයෙන් අනුන්ගේ අඹුදරුවන් උදුරා ගත්තෝ ද, කෙත්වතු උදුරාගත්තෝ ද, ගම් රට දනවු උදුරා ගත්තෝ ද, මෙහි ඉපිද පැසි පැසී දුක් විඳිති.
සොළස කල්ප නරකය
රාජාමාත්‍ය සෙනෙවිරත් ආදී ප්‍රභූවරයෝව තමතමන්ගේ ආඥා පතුරුවා අන්සතු ගම්බිම් කෙත්වත් ආදිය අන්නෑනේ උදුර කා ජීවත්වූවෝ මෙහි ඉපිද පැසි පැසී මහ දුක් විඳිති.
අවත්ථන්තර නරකය
උස ආදිය පෙර මෙනි. යමක් දෙන පොරොන්දුවෙන් වැඩ කරවා ඔහුගේ මහන්සිය නොදී රැවටූ අය මෙහි ඉපිද දැඩිදුක් විදිත්.
මහකුළු නරකය
උස ආදිය පෙරමෙනි. දෙමාපියන් ගුරුන් දම්දෙසන්නන් උපාධ්‍යායන් කෙරෙහි අනාදර අගෞරව කළෝ මෙහි ඉපිද ගිනිගෙන දිලිසෙන මහා ගල් කුළුවලට යට වෙමින් දුක් විද පෙළෙත්.
උච්චාරූල්හ නරකය
උස ආදිය පෙරමෙනි. චෛත්‍ය මළු, විහාර මළු, බෝ මළු, ධර්මශාලා ආදියෙන් ඉස් වසා වහන් පය ලා කුඩ ඔසවා ගෙන සිටි අය මේ නරකයේ ඉපිද අපමණ දුක් විඳිති.
ආරාම දුසක නරකය
දිග පළලාදිය පෙර මෙනි, විහාර සන්තක ඉඩ - කඩම්වලින් මල් - පල, උණ – බට, පස් - මැටි ආදිය ගත් අය මෙහි ඉපිද පැසෙත්.
ගීතග්ගී නරකය
උස ආදිය පෙරමෙනි. විහාරාරාමවලට පුදකළ දේවලට අලාභහානි කළෝ මේ නරකයේ ඉපිද දුක් විඳිත්.
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 3 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment