බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 12 කරපු පවකින් නිරයෙ ඉපදී දුක් ගිනිද සසරෙදි විඳී
යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ.
බුදුදහමට අනුව පුහුදුන් සත්වයා මරණින් පසු නැවත කුමන හෝ ආත්මයක ඉපදීම නිරන්තරයෙන් සිදුවන්නකි. කෙලෙස් නැසූ උතුමන් එනම්, බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ යන උතුමන් වහන්සේලාගේ නැවත සසරෙහි ඉපදීමක් නැත. සෙසු සියලු පුද්ගලයන් යම් ආත්මයක ඉපදීම සාමාන්‍ය සංසිද්ධියකි. පෙළ සාහිත්‍යයේ දී මිය ගිය සියලු දෙනා පොදුවේ හැඳින්වීමට යොදන නම ප්‍රේත යනුවෙන් හඳුන්වයි. "ඤාතිපේත" යනු ද ඊටම තවත් නමකි.
තෙ ච තත්ථ සමාගන්ත්වා,
ඤාතිපෙතා සමාගතා,
පහූතෙ අන්නපානම්හි,
සක්කච්චං අනුමොදරෙ
ඤාතිපෙතා සමාගතා,
පහූතෙ අන්නපානම්හි,
සක්කච්චං අනුමොදරෙ
ඒ අනුව මිය ගිය සියලු දෙනා ‘පේත’ යන වචනයෙන් හඳුන්වන අතර එහි තේරුම වනුයේ මිය ගිය, හැරගිය, පරලොව ගිය, වෙන් වූ යන අදහස මිස අප සාමාන්‍යයෙන් හඳුන්වන පෙරේත යන අදහසම නොවේ. ‘පේත’ යනු සතර අපායයන්ගෙන් ද එකකි. පේතවත්ථු යන ඛුද්දක නිකායට අයත් කෘතියෙහි සඳහන් වන්නේ මරණින් මතු මේ ‘පේත’ හෙවත් පහත් ආත්මයන් ලැබූවන්ගේ කථා පුවත් ය.
යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ. මෙසේ පරදත්තුපජීවී යන ප්‍රේත ස්වභාවය භවයක් විය නොහැකිය. එය තව කෙනෙකුගේ උදව් උපකාර අවශ්‍යව සිටින තාවකාලික ස්ථානයක්ය. සමහර අය පින් ලැබ වෙනත් භවයන් ලබති. සමහර අය පින් නොලැබ බොහෝ කාලයක් එහි පින් අපේක්ෂාවෙන් සිටිය හැකිය.
යම් ඥාතියෙකු මිය ගිය පසු ඔහු වෙනුවෙන් මිය ගිය දින සිට දින හතක් ගියතැන දානයක් පිරිනමා පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකු විසින්ම සිදුකරන වැදගත් කටයුත්තකි. මෙම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත බුද්ධකාලයේ සිටම පැවත එන චාරිත්‍රයකි. එය ආරම්භවූයේ බිම්බිසාර මහ රජතුමාගෙන් බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. එනම් එක් ආත්මයක අකුශල කර්මයක් කොට මියගිය රජතුමාගේ ඥාති පිරිසක් පින් ලබාගැනීමේ අපේක්ෂාවෙන් රජතුමා සොයා පැමිණීමයි. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි දන් දී පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව එම ඥාති පිරිස ඔවුන් සිටි පහත් ආත්මයෙන් මිදී සුගතිගාමී වී ඇත.
තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම සිද්ධිය අරමුණු කරගෙනය. එම සූත්‍රයේ සඳහන් වන්නේ යමෙකුගේ මරණින් මතු පැවැත්ම පිළිබඳ වූ සිද්ධි මාලාවකි. එය මෙසේ ය.
‘තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති,
සන්ධිසිඩ්ඝාට කෙසුච,
ද්වාරබාහාසු තිට්ඨන්ති,
ආගන්ත්වාන සකං ඝරං’
සන්ධිසිඩ්ඝාට කෙසුච,
ද්වාරබාහාසු තිට්ඨන්ති,
ආගන්ත්වාන සකං ඝරං’
(මියගිය අය තමන් පෙර විසූගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද බිත්තිමුලු වල ද ගෙදර ආසන්නයේ ඇති තුන්මන් සන්ධිවල හා හතරමන්සන්ධිවල සැරි සරයි.)
මෙයින් පැවසෙන්නේ යමෙක් මියගිය මොහොතේම ඔහුට එම ගෙය අතහැර යෑමට නොහැකි බවයි. ඒ නිසා ඔහු කීප දවසක්ම තමා විසූ ඒ නිවස ආශි‍්‍රතව සැරිසරයි. එසේ වීමට හේතුව සමරවිට මියගිය පුද්ගලයා (විඤ්ඤාණය ශරීරයෙන් ඉවත් වූ පසු) තමා මියගොස් සිටින බව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වීමයි. ඔහුට දැනෙන්නේ තමා, තාම ජීවත්වන පුද්ගලයෙකු ලෙසය. බොහෝ විට ඔහු තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට උත්සාහ කරයි. එහෙත් ඔහු අන් අයට ඇසෙන්නේ ද පෙනෙන්නේද නැත. එහෙත් ඔහුට තමා වෙනුවෙන් හඬන, වැළපෙන හා විවිධ දේ කරන අය පෙනෙයි. තමා නිවසට හා නිවැසියන්ට (විශේෂයෙන් ඥාතීන්ට දක්වන) ආලය හා ආශාව අනුව නිවසෙහි තමාට අවශ්‍ය කාලයක් පෙර කී පරිදි තමන් පෙර විසූ ගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද, බිත්ති මුළුවල ද, ගෙදර ආසන්නයේ ඇති තුංමන් සන්ධිවල හා හතරමන් සන්ධිවල ද සැරිසරයි.
නිවැසියන් පින් පමුණුවන්නේ නම් (එම පින් ඔහුට අවශ්‍ය නම් හා පින් ලබාගත හැකි ස්ථානයක හෝ තත්ත්වයක සිටී නම්, ඒ පින් අනුමෝදන් වෙයි. එම පින්වලට අනුව හා තමා කළ කුශලාකුසල කර්මයන්ට අනුව දෙවන භවය සිදුවෙයි. එතෙක් එනම්, මෙසේ මිය යෑමේ සිට නැවත උපතක් ලබන ආත්මය දක්වා යම් කාලසීමාවක් තිබෙන බව මෙයින් නොපැවසෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. දින හතේ දී සිදුකරන පින්වලට අනුව යමෙකුගේ දෙවන භවයේ උපත සිදුවන්නේ නම් ඔහු සත් දිනක කාලයක් ගත කරන්නේ කුමන වේශයකින් ද යන්න තවත් ප්‍රශ්නයකි. මිය යෑමත් සමඟම, ඒ ක්ෂණයෙන්ම ඔහුගේ නැවත උප්පත්තියක් සිදුවන්නේ නම් ඔහු තමා පෙර විසූ නිවස වෙත යළි පැමිණෙන්නේ කුමක් නිසා ද, යන්න සිතා බැලිය යුතු ය. බොහෝ කුසල් කරමින් ධාර්මිකව ජීවත් වන අය නින්දෙන් පිබිදියකු මෙන් සුගතිගාමී වන බව විශ්වාස කළ හැකිය. එමෙන්ම බොහෝ අකුසල් කරමින් අධාර්මිකව ජීවත් වන අය මරණින් මතු දුගතිගාමී වන බව ද පිළිගත හැක. එහෙත් මෙය හැමෝටම පොදු වූවක් නොවේ. බොහෝ අයට සෙසු අයගෙන් උදව් උපකාර හෙවත් පින් අවශ්‍ය වෙයි.
මෙසේ මරණයත් – උපතත් අතර කාලයේ සිටින (අන්තරාභවයේ) තැනැත්තා සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන සියුම් මනෝමය සිරුරකින් යුතුව පාවෙන අයෙකු මෙන් සැරිසරන අයෙකු ලෙස සැළකිය හැකිය. එපමණක් නොව ඔහුට ආහාර ගැනීමක් හෝ පානයක් ගැනීම කළ නොහැක. එය තිරෝකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය.
‘පහූතෙ අන්නපානම්හි,
ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ,
න තෙසං කොචි සරති,
සත්තානං කම්මපච්චයා’
ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ,
න තෙසං කොචි සරති,
සත්තානං කම්මපච්චයා’
තමා පෙර සිටි නිවෙසෙහි අය කෑමට බොහෝ ආහාර පිළියෙළ කර තිබුණා ද ඔවුන්ට ඒවා කැප නොවෙයි හෙවත් කෑමට හෝ බීමට නොහැක. ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් අවශ්‍ය නම් දන් දී පින් අනුමෝදන් කිරීමකි. එය තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
‘එවං දදන්ති ඤාතීනං,
යෙ හොන්ති අනුකම්පකා,
සුචිං පණීතං කාලෙන,
කප්පියං පානභොජනං,
ඉදං වො ඤාතීනං හොතු,
සුඛීතා හොන්තු ඤාතයො’
යෙ හොන්ති අනුකම්පකා,
සුචිං පණීතං කාලෙන,
කප්පියං පානභොජනං,
ඉදං වො ඤාතීනං හොතු,
සුඛීතා හොන්තු ඤාතයො’
මියගිය ඥාතීන් කෙරෙහි අනුකම්පා ඇති අය ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස පිරිසුදු, ප්‍රණීත හා කැපසරුප් ආහාරපානාදිය දන් දී පින් අනුමෝදන් කළ යුතු ය. ඊට හේතුව වන්නේ පින් අවශ්‍ය යමෙකුට මරණින් පසු පින් කිරීමට අවස්ථාවක් හෙවත් අවකාශයක් නැති බැවිනි. එපමණක් නොව, ඔහු උපතක් අපේක්ෂාවෙන් සිටි කාලසීමාව තුළ ඔහුට අවශ්‍ය පරිදි කිසියම් කටයුත්තක් කිරීමට නොහැකි බැවිනි. එහි ස්වභාවය තිරෝකුඩ්ඪ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.
‘න හි තත්ථ කසි අත්ථි,
ගොරක්ඛෙත්ථ න විජ්ජති,
වණිජ්ජා තාදිසී නත්ථි,
හිරඤ්ඤෙන කයාක්කයං’
ගොරක්ඛෙත්ථ න විජ්ජති,
වණිජ්ජා තාදිසී නත්ථි,
හිරඤ්ඤෙන කයාක්කයං’
මෙයින් විස්තර වන්නේ මියගිය අය සිටින ස්ථානයන්හි හෙවත් ලෝකයන්හි සී සෑමක් හෙවත් ගොවිතැනක් ගවපාලනයක් වෙළෙඳාමක් හෝ රන්රිදී ආදියෙන් කෙරෙන කිසිදු ගණුදෙනුවක් හෝ නොමැති බවයි. මෙයින් කියවෙන පරිදි යමෙක් මිය යෑමෙන් පසුව ගත කරන ජීවිතය බාහිර සම්බන්ධතාවලින් හෙවත් මිනිස් ලොව මෙන් ජීවත්වීම සඳහා කරන අරගල වලින් තොර වූවකි. ඇත්තෙන්ම උපතක් අපේක්ෂාවෙන් සිටින එමෙන්ම ආහාරපානාදිය ගැනීමෙන් තොර සියුම් මනෝමය සිරුරකින් ජීවත්වන මේ අයට අවශ්‍ය වන්නේ පින් පමණි.
සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො, පෙතාන පූජා ච කතා උළාරා,
බලඤ්ච භික්ඛුන මනුප්පදින්නං, තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති,
බලඤ්ච භික්ඛුන මනුප්පදින්නං, තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති,
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment