Labels

Wednesday, February 1, 2017

අමිල ධන සම්පත් නිමල ගුණ උල්පත්


"මිනිසාගේ හැසිරීම හා සිතුම් පැතුම් මෙන්ම ඔහුගේ අත්දැකීම් මැනවින් නිරුපණය කෙරෙන ජාතක කථා සමාජය අධ්‍යනයෙහිලා නියුක්ත වූවෙකුට ප්‍රමාණික මූලාශ්‍රයක් වේ. සදාචාර ධර්ම පද්ධතියක් මෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණයක් වන ජාතක කථාව සාකල්‍යයෙන්ම පිරිපුන් දැනුම් ගබඩාවක් වේ. එය ගවේෂණය කරන්නෙකුට අමිල ධන සම්පත් සමූහයක් එයින් සොයා සපයාගත හැකි වේ.

පාලි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකාය ග්‍රන්ථ පහළොවකින් සමන්විත වන අතර ජාතක පාලිය එහි දස වැන්නයි. පද්‍යයෙන් රචිත ජාතක පාලිය විවරණය කරමින් ලියවුණු අට්ඨකථාව ජාතකට්ඨකථා නම් වේ. ජාතක පාලියේ අන්තර්ගත සංක්‍ෂිප්ත ගාථා තවදුරටත් විවරණය කිරීම එහි අරමුණු වී තිබේ. එම පාලි ජාතකට්ඨකථාව සිංහලයට පෙරළමින් පන්සිය පනස් ජාතක පොත ලියවී තිබේ. ජාතක කථාවෙහි ආකෘතිය අනුව එය වර්තමාන කථාව (පච්චුප්පන්න වත්ථු), අතීත කථාව (අතීත වත්ථු), ගාථාව (ගාථා), අට්ඨකථාව හෙවත් ගාථාවට අර්ථ දැක්වීම හා පූර්වාපර සන්ධි ගැලපීම යනුවෙන් ප්‍රධාන කොටස් පහකින් යුක්ත වේ. බුදුරදුන්ගේ අතීත භවයන් පදනම් කරගනිමින් සම්පාදිත ජාතක කථා බෝසත් චරිතය නිරූපණය කරයි. විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ඇති ජාතක පොත විශ්ව සාහිත්‍යයට අයත් වේ.
ජාතක පොත්වහන්සේ යනුවෙන් ගරු සම්භාවනාවට පත් එය සිංහල බෞද්ධ සාහිත්‍යයේ අද්වතීය කෘතිය වේ. ලංකා ඉතිහාසය අනුව කුරුණෑගල අවදියේ රචිත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය පෝෂණය වීමෙහිලා අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයා තිබේ. සිංහල බෞද්ධ සංස්කෘතිය මැනවින් පරීක්ෂා කළ විට පෙනී යන්නේ ජාතක පොතෙහි යෝධ සෙවනැල්ල සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය හා ඇදහිලි විශ්වාස මත වැටී තිබෙන බවයි.

පර්යේෂණාගාරයක්

පන්සිය පණස් ජාතක පොත තරම් අධ්‍යයනයට භාජනය වූ වෙනත් කෘතියක් නොමැති අතර එය විද්වත් පාඨකයා අතර මෙන්ම සාමාන්‍ය ජනයා අතරද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහි ඇතුළත් කථාපුවත් චිත්‍ර ශිල්පියා මනහර සිතුවමට නැගූ අතර කවියා එය රසවත් පද්‍යයෙන් සරසා ළයාන්විතව ගයමින් ආශ්වාදයක් ලැබුවේය. මූර්ති ශිල්පියා එහි කථා පුවත් උපයෝගී කරගනිමින් විසිතුරු මූර්තියක් නිමවූ අතර නූර්ති ශිල්පියා එයින් ගීතවත් නූර්තියක් නිර්මාණය කොට රස වින්දේය. නාට්‍ය වේදියාට අර්ථවත් නාට්‍යයක් නිර්මාණය කිරීමට ජාතක කථාව මනා වස්තු බීජයක් විය. මනෝ වෛද්‍යවරයාට මිනිස් සිතේ ස්වභාවය වටහාගැනීමටත් මානව විද්‍යඥයාට මානව චින්තනයේ ආදි ස්වරූපය අවබෝධ කරගැනීමටත් එය පර්යේෂණාගාරයක් විය. ප්‍රබන්ධ කරුවාට එම කථා පුවත් යථාර්ථවාදී සාහිත්‍ය ප්‍රබන්ධයක් ප්‍රති නිර්මාණය කිරීමට අවශ්‍ය සාහිත්‍යමය මෙවලම් සැපයීය. සමාජ සදාචාරයගොඩ නැගීමෙහිලා පුරෝගාමි වූ පරමාදර්ශී අනුශාසකයා වූ ධර්මකථිකයන් වහන්සේට බුදු බණ සරලව වටහා දීමට ජාතක කථාව මහෝපකාරී විය. ජිවිතයේ සැඳෑ සමය ගතකරන වියපත් තැනැත්තා ජාතක කථාව කියවීමෙන් හුදකලාව පළවා හැර තමා සමඟ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයක යෙදුණේය. ගැමියා තම ප්‍රියතමයන් මියගිය පසුව වෙස්සන්තර ජාතකය ඇසුරෙන් ප්‍රබන්ධිත කවි ගායනයෙන් දුක ශෝකය තුනීකරගත්තේය. පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ දම්සභා මණ්ඩපයට රැස් වී මිහිරි හඩින් කියන ජාතක කථා ඇසීමෙන් ලද අවබෝධයෙන් තම ආධ්‍යාත්මික ජිවිතය අර්ථවත් කරගත්තහ. සංසාරික ජීවිතයේ යථා ස්වභාවය මෙන්ම කර්මය හා එහි අනුරූපි විපාක කථාපුවත් ඇසුරෙන් ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන හෙයින් ජාතක පොත බෞද්ධ සදාචාරය පිළිබඳ ඉගැන්වෙන මූලාශ්‍රයක් ලෙස නම් කළ හැකිය.

පොත් වහන්සේ

පොදු ජනයා විසින් ‘පොත් වහන්සේ’ යන ගෞරවණීය අභිධානයෙන් හඳුන්වනු ලබන ග්‍රන්ථ දෙකක් දක්නට ලැබෙන අතර එයින් එක් ග්‍රන්ථයකි ජාතක පොත් ‘වහන්සේ.’ වහන්සේ යන අභිධානයෙන් සම්භාවිත අනෙක් ග්‍රන්ථය වන්නේ පිරුවානා පොත් වහන්සේය. ශ්‍රී ලාංකික බෞද්ධ ජන චින්තනය පෝෂණය කළ සාරධර්ම පද්ධතියේ මූලයන් දක්නට ලැබෙන්නේ ජාතක කථා වස්තූන් තුළය. ඒ සියල්ල බෝධි සත්ත්ව චරිතය ආදර්ශ කරගත් බණ කථා වේ. එම කථාවල මුඛ්‍යතම අරමුණ සමාජයට සාරධර්ම පිළිබද ආදර්ශයක් සැපයීම ය. ඒ සඳහා පදනම් කර ගෙන තිබෙන්නේ දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන පාරමිතාවන්ය. බුද්ධකාරක ධර්ම යනුවෙන් හැඳීන්වෙන මෙම පාරමිතා විමුක්තිය අපේක්ෂා කරන්නෙකු විසින් දිගුකලක් තිස්සේ පුහුණු කළ යුතු ප්‍රතිපත්ති ධර්මයෝය.

කර්මඵල විශ්වාසය

බෞද්ධ සමාජය තුළ කර්මය, සංසාරය පුනර්භවය හා සම්බන්ධ පරලොව පිළිබද විශ්වාසය ඇති කිරීමත් කම්මස්සකථා සම්මා දිට්ඨි යනුවෙන් හැඳීන්වෙන කර්ම ඵල පිළිබද විශ්වාසය තහවුරු කිරීමත් ජාතක කථාවෙහි තවත් එක් අරමුණක් වේ. එමගින් පවට බිය දක්වන හොඳ නරක පිළිබඳ විශ්වාසයක් ඇති යහපත් අයෙකු නිර්මාණය කිරීම අපේක්‍ෂිතය. බෞද්ධ උපදේශ සාහිත්‍යයට අයත් ජාතක කථා සාධු සමාජයක් නිර්මාණය කිරීමෙහිලා බෙහෙවින් උපයෝගීකරගත හැකි උපදෙස් සමූහයකින් පෝෂණය වී තිබේ. පන්සිය පනස් ජාතක කථා අතරින් ඇතැම් ජාතක කථා බෞද්ධයා අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අයුරු උම්මග්ග ජාතකය, වෙස්සන්තර ජාතකය හා කුස ජාතකය ආදී විශේෂ ජාතක කථා මගින් පැහැදිලි වේ. මෙයින් උම්මග්ග ජාතකය වෙනම කෘතියක් ලෙසද භාවිතයට ගැනීමෙන් එහි ජනප්‍රියතාව විෂද වේ. ජාතක කථා පොදු ජන විඥානය පුළුල් කළ නිර්මාණාත්මක ගුණයෙන් අනූන වන අතර වස්තු විෂයය චරිත නිරූපණය හා මානසික විග්‍රහය ආදි බොහෝ ලක්ෂණ අතින් උසස් සාහිත්‍ය ලක්ෂණ පෙන්නුම් කරන නිර්මාණ වේ. ජීවිතය පිළිබඳ යථා ස්වභාවය පැහැදිලි කිරීම උසස් සාහිත්‍ය කෘතියක දක්නට ලැබෙන විශේෂ ගුණයක් වේ. මානව චින්තනයේ විවිධ පැතිකඩ මෙන්ම පුද්ගලයාගේ අභිරුචීන් ගතිගුණ හා විවිධ චර්යාවන් මැනවින් නිරූපණය කෙරෙන හෙයින් ජාතක කථාව උසස් සාහිත්‍ය නිර්මාණයක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි වේ. මෙයින් තවදුරටත් ගම්‍ය වන්නේ ජාතක කථා කරුවා සතුව පැවති ජීවිත පරිඥානයයි.


ගැටලුවට මග පෙන්වීම ධනාත්මක චින්තනය පිළිබඳ විවිධ දේශන වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වෙන නූතන යුගයේ බොහෝදුරට ඉදිරිපත් කෙරෙන්නේ බටහිර සංකල්පය. එහෙත් පෙරදිගට ආවේණික වූ දියුණු ධනාත්මක ආකල්ප සමූහයක් පැවති බව ජාතක කථා ආශ්‍රයෙන් පැහැදිලි වේ. මානසික හා සාමාජික ගැටළු විසදීමෙහිලා මඟපෙන්වන බටහිර සංකල්පවලින් ශික්ෂණය වූ වෘත්තීය උපදේශකයන් බිහි විමට පෙර සිංහල බෞද්ධයාගේ ජීවන ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලැබුණේ ජාතක කථා තුළින්ය. ජාතක පොත සාමුහිකව හෝ පෞද්ගලිකව කියවීමෙන් ලත් දැනුම සිංහලයාගේ දෛනික ජිවිතය හා සම්බන්ධ වූ අනේක විධ අර්බුද විසඳා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සැපයී ය. තමා අවට පරිසරයේ ජිවත් වූ විවිධ සතුන්ගේ චර්යාවන් මිනිස් චර්යාවන් සමඟ සමපාත කෙරෙමින් කෙරෙන විග්‍රහය ගැඹුරු මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත වේ. මිනිසාගේ හැසිරීම හා සිතුම් පැතුම් මෙන්ම ඔහුගේ අත්දැකීම් මැනවින් නිරුපණය කෙරෙන ජාතක කථා සමාජය අධ්‍යනයෙහිලා නියුක්ත වූවෙකුට ප්‍රමාණික මූලාශ්‍රයක් වේ. සදාචාර ධර්ම පද්ධතියක් මෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණයක් වන ජාතක කථාව සාකල්‍යයෙන්ම පිරිපුන් දැනුම් ගබඩාවක් වේ. එය ගවේෂණය කරන්නෙකුට අමිල ධන සම්පත් සමූහයක් එයින් සොයා සපයාගත හැකි වේ. සාරධර්ම පිරි එම ධන සම්පත ලෞකික ජිවිතය මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයත් අර්ථවත් කරනු නොඅනුමානය. එබැවින් ඉදිරි ලිපි මඟින් ජාතක පොතෙන් තෝරාගත් ජාතක කථා රස විඳිමින් ජීවිතය ආලෝකමත් කර ගැනීමට ඔබට ආරාධනා කරමු.




කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment