Labels

Friday, February 3, 2017

සසර කතරේ දුගතියට යන අගතිනම් එපා

කෙලෙසුන් නැසූ රහත් උතුමන්ගේ සංවාදය කිසිවිටකවත් සම්ප්‍රප්ඵලාපයක් නම් වූ හිස් කතාවකට යොමු නොවන බව පැහැදිලියි. එයට හේතුව ඇලීම් ගැටීම් මුල්කොට ගත් මෝහයට අනුයුක්තවූ සියලු කෙලෙසුන් නසන ලද නිසායි.
අද සූත්‍ර දේශනාව සඳහා ආශ්‍රය කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම වර්ගයට අයත් ධනංජානි සූත්‍ර දේශනාවයි.
ධර්මචාරී ජීවිතයක ඇති සුපසන් බව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා. ඒ වගේ ම අධර්මයෙන් යුතුව ජීවිතය පවත්වා මෙලොව ජීවිතය පමණක් නොව මරණින් මතු දුගතියෙහි ඉපදී විඳින්නට සිදුවන දුක් පිළිබඳවත් එසේ දුකට වැටෙන විට සමීපයේ සිටින කවර නම් ප්‍රිය කෙනෙකුට නමුත් ඒ දුකෙන් නිදහස් කර ගැනීමට පිහිට විය නොහැකි බවත් මේ සූත්‍ර දේශනාවෙන් මතුකොට දක්වනවා.
එම නිසා තමා වෙනුවෙන් හෝ මොනතරම් ප්‍රිය අයෙක් වූවත්, පි‍්‍රය වස්තුවක් වූවත් ඒ වෙනුවෙන් වරදක් නොකළ යුතු බව තවදුරටත් මේ සූත්‍ර දේශනාවෙන් මතුකොට දක්වනවා.
මෙතැන් සිට එම ධනංජානි සූත්‍ර දේශනාවෙහි අඩංගු දහම්
කරුණු පෙළ අපි විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලංදක නිවාපයෙහි වේළුවනාරාමයේ වැඩවාසය කරනවා. ඒ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වහන්සේ දක්ඛිණා ගිරි දනව්වෙහි බොහෝ භික්ෂු සංඝයා හා සමගින් ධර්ම චාරිකාවෙහි යෙදෙමින් වැඩ වාසය කළා. ඒ කාලයෙහි එක් දිනක් එක් භික්ෂූන් වහන්සේ නමක් රජගහනුවර වස් වාසය කර දක්ඛිණා ගිරියට වැඩම කළා. එසේ වැඩම කරලා සැරියුත් තෙරණුන් වහන්සේ වෙතට පැමිණ ගෞරව කිරීමෙන් අනතුරුව සැරියුත් තෙරණුවන් වහන්සේ සමඟ සතුටින් ධර්මානුකූල පිළිසඳරක යෙදෙනවා. දහමින් සිත් සුවපත් කරන නිසි කතා අවසන් කොට එකත් පසෙක වැඩ සිට සැරියුත් මහරහතුන් වහන්සේගේ කතාවට මැනවින් ඇහුම්කන් දුන්නා.
සැරියුත් මහ රහතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ නීරෝගිව කායබල ශක්තියෙන් යුතුව වැඩ සිටින සේක්ද? සැරියුත් තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ නීරෝගිව වැඩ සිටින සේක. කායබල ශක්තියෙන් යුතුව වැඩ සිටින සේක. සැරියුත් තෙරණුවන් වහන්සේ නැවතත් මෙසේ ප්‍රශ්න කරනවා. ආයුෂ්මතුනි, කෙසේද? භික්ෂු සංඝයා නීරෝගිව කාය බල ඇතිව වැඩ වාසය කරන්නේ ද? සැරියුත් තෙරණුවන් වහන්ස, භික්ෂු සංඝයා නීරෝගිව කාය බල ඇතිව වැඩ වාසය කරනවා. නැවතත් සැරියුත් තෙරණුවන් වහන්සේ මෙසේ ඒ භික්ෂුවගෙන් ප්‍රශ්න කරනවා.
ඇවැත්ති, මෙහි තංඩුල පාල ද්වාරයෙහි ධනංජානි නම් බමුණෙක් සිටියා. කොහොමද ඒ ධනංජානි බ්‍රාහ්මණයාත් නීරෝගිව කාය බලයෙන් යුක්තව ජීවත් වෙනවාද? තෙරණුවන් වහන්ස, ධනංජානි බමුණාත් නීරෝගිව කාය බලයෙන් යුක්තව වාසය කරනවා. ඇවැත්ති, කෙසේද? ධනංජානි බමුණා අප්‍රමාදීව කටයුතු කරන්නේද? එනම් ධර්මානුකූල ජීවිතයක කුසලයට නතු වූ සිත, කය හා වචන ඇතිව කල්ගත කරන්නේද? එවිට එම භික්ෂූන් වහන්සේ සැරියුත් තෙරණුන් වහන්සේට මෙසේ පිළිතුරු දෙනවා. ඇවැත්ති, ධනංජානි බමුණාට අප්‍රමාදයක් කොහින්ද ධනංජානි බ්‍රාහ්මණයා රජතුමා ආශ්‍රය කරගෙන බ්‍රාහ්මණ ගෘහපතියන් පීඩාවට පත් කරනවා. රජතුමාගේ නමින් බොහෝ මනුෂ්‍යයන්ගේ ධනය සූරා ගන්නවා.
ඒ වගේ ම බ්‍රාහ්මණ ගෘහපතියන් ආශ්‍රය කරගෙන ඔවුන්ගේ නමින් රජතුමාත් රවටාගෙන බොහෝ ධනය එකතු කර ගන්නවා. ධනංජානි බමුණා සැදැහැවත් පරපුරකින් කැඳවාගෙන ආ සැදැහැවත් භාර්යාවක් ද සිටියා. ඒ භාර්යාවත් ළඟකදී දිනයකදී කළුරිය කළා. ඉන් අනතුරුව තෙරුවන් කෙරෙහි කිසිම ශ්‍රද්ධාවක් නැති අන්‍ය භාර්යාවක් කැඳවාගෙන ආ බව කියනවා. මේ දහම් පෙළ දෙස අප සිහිපත් කරන්නේ සාමාන්‍යයෙන් කලාතුරකින් හමු වූ හිතවන්ත වූ දෙදෙනෙකුගේ සංවාදයක් හැටියටයි. එහෙත් කෙලෙසුන් නැසූ රහත් උතුමන්ගේ සංවාදය කිසිවිටකවත් සම්ප්‍රප්ඵලාපයක් නම් වූ හිස් කතාවකට යොමු නොවන බව පැහැදිලියි. එයට හේතුව ඇලීම් ගැටීම් මුල්කොට ගත් මෝහයට අනුයුක්තවූ සියලු කෙලෙසුන් නසන ලද නිසායි. මේ සාකච්ඡාව ධර්මයට එකතු කර ගත්ත සිතකින් අන් අයත් ධර්මයට නතු කර ගැනීමේ අදහසකින් කරන සංවාදයක් බව පැහැදිළියි.
ඒ භික්ෂූන් වහන්සේ නැවතත් සැරියුත් තෙරුන් වහන්සේට මෙසේ සඳහන් කරනවා. අප ධනංජානි බ්‍රාහ්මණයා අප්‍රමාදියි ද කියා අසනවා, කතා කරනවා. එනමුත් ධනංජානි බ්‍රාහ්මණයා ගැන අහන්න තියෙන්නෙ, ඇසෙන්නෙ නපුරු දෙයක්මයි. අප යම් දවසක, ධනංජානි බමුණා සමඟ එකතු වෙන්නට ඕනෙ. ධනංජානි බමුණා මුණගැසී ධර්මානුකූල කතා සල්ලාපයකට එනම් දැහැමි කතාවකට සාකච්ඡාවකට යොමු වූවොත් වඩාත් හොඳයි.
මෙහි දී මතු වන්නේ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සද්පුරුෂ සංසේවනය නම් වූ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳව අදහස් පෙළකුයි. යම් කෙනෙකුට තමන්ට හිතවන්ත හෝ තමන් ඇසුරු කළ හෝ ඇසුරු කරන්නා වූ යමෙක් පිළිබඳව යම් වූ ද නරකක් කිලිටි යමක් අසන්නට ලැබෙනවා නම් ඒ අය අත්හරින්නේ නැතිව ඒ අය බැහැර කරන්නේ නැතිව ධර්මයට නතු කොට නැවතත් ධර්මයේ පිහිටා ගැනීමේ සිතිවිලි රැසයි. හැබෑම සද්පුරුෂයා ප්‍රමාදයට යොමුවන තම හිතවන්තයන් ප්‍රමාදයෙන් අප්‍රමාදයට කැඳවාගෙන දහමෙහි ම යොමු කරවීම උතුම් ගුණාංගයක් හැටියට සිහිපත් කරනවා. ආර්යය මාර්ගයේ ගමන්කොට සියලු කෙලෙසුන් නසනා තෙක් අප හැම කෙනෙකුට ම කල්‍යාණ මිත්‍රයෙක් සද්පුරුෂ ආශ්‍රයක් අවශ්‍ය වන්නේ මේ නිසයි.
මේ සංවාදයෙන් අනතුරුව සැරියුත් තෙරුන් වහන්සේ තමන් කැමැති තාක් කල් දක්ඛිණා ගිරියෙහි වාසය කොට රජගහනුවර දහම් චාරිකා පිණිස වැඩම කළා. පිළිවෙලින් ධර්ම චාරිකාවෙහි යෙදෙන සැරියුත් තෙරණුවන් වහන්සේ රජගහනුවර වැඩ කලන්දක නිවාපයෙහි වේළුවනා රාමයෙහි වැඩ වාසය කරනවා.
දිනක් සැරියුත් තෙරණුවන් වහන්සේ උදෑසන කාලයෙහි සකසා සිවුරු හැඳ පාත්‍ර ගෙන රජගහනුවර පිඬුසිඟා වැඩම කළා. ඒ අවස්ථාවෙහි ධනංජානි බ්‍රාහ්මණයා පිටි නුවර ගව ගාලක ගවයන්ගේ කිිරි දොවමින් සිටිනවා. ඒ අවස්ථාවෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස හැසිර දන් වළඳලා හිරු අවරට යන්න ආරම්භ වූ පසු පිණ්ඩපාතයෙන් වැළකිලා ධනංජානි බ්‍රාහ්මණයා වෙතට වැඩම කළා.
ධනංජානි බ්‍රාහ්මණයා විසින් ඈතදීම සැරියුත් තෙරණුවන් වහන්සේ, තමන් වෙත වඩිනා බව දුටුවා. එසේ දැක තෙරණුවන් වහන්සේ වෙතට ගමන් කළා. සැරියුත් තෙරණුවන් වහන්සේට මෙසේ සඳහන් කරනවා. සැරියුත් තෙරණුවන් වහන්ස, මේ කිරිවලින් ඉතාම උණුසුම් වූ කිරි පානය කරන්න. එවිට දවල් දන් පිණිස කාලය සකස් වේවි. බ්‍රාහ්මණය කමක් නැහැ. මා විසින් අද දානය වළඳා සිටින්නේ අර ගහ මුල මාගේ දවල් කාලයේ වාසය කිරීම සිද්ධ වෙනවා. ඔබත් එහි එන්න. තෙරණුවන් වහන්ස, එසේ යැයි ධනංජානි බමුණා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට පිළිතුරු දී ධනංජානි බමුණා සැරියුත් තෙරුන් වහන්සේ අනුගමනය කරමින් එම රුක්ෂ මූලයට ගමන් කළා.

සැරියුත් තෙරණුවන් වහන්සේ හා සමඟින් දැහැමි කතාවක නිරතවෙලා. එකත් පසෙකින් වාඩිවුණා. සැරියුත් තෙරණුවන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සමීපයෙහි බොහෝම හිතවන්තව වාඩි වී සිටින කාලයක් පුරා දැන හඳුනාගෙන සිටි ධනංජානි බමුණාට මෙසේ පවසනවා. ධනංජානි, අප්‍රමාදීව කටයුතු කරනවාද? ධනංජානි කෙසේද? අප්‍රමාදීව කටයුතු කරනවාද? සැරියුත් තෙරුන් වහන්ස, අප යම් කෙනෙකුන් විසින් දෙමවුපියන් පෝෂණය කළ යුතු වෙනවාද? ඒ ලෙසම දරුවන්, බිරිඳ පෝෂණය කළ යුතු වෙනවාද? දැසි දස් කම්කරුවන් පෝෂණය කළ යුතු වෙනවාද? හිත මිතුරන්, මැති ඇමැතිවරුන්, පෝෂණය කරනවාද? නෑයන්, ලේ ඥාතීන්, ඥාතීන් නොවූවත් සියලු ඇසුරු කරන අය පෝෂණය කළ යුතු වෙනවාද? ආගන්තුකයන්ට කළ යුතු යමක් තියෙනවා ද? මිය ගිය අය වෙනුවෙන්, කළ යුතු යම් කටයුතු තියෙනවා ද? දෙවියන් වෙනුවෙන් කළ යුතු දේව කටයුතු තිබෙනවාද? රජු වෙනුවෙන් කළ යුතු රාජකාරී කටයුතු කර තිබෙනවාද? ඒ වගේ ම මේ මගේ කයත්, ශරීරයත් වැඩිය යුතු වේද? පෝෂණය කළ යුතු වේද? මේ සියල්ලම අප විසින් කළ යුතුයි. ඒ නිසා අපට අප්‍රමාදයක් කෙසේ නම් කොහින්ද? අප්‍රමාදී බවක් කෙසේ නම් සොයාගන්නේ ද? ධනංජානි බ්‍රාහ්මණයාගේ මේ පිළිතුරෙන් ගම්‍ය වන්නේ මතුකොට දැක්වෙන්නේ එදා පමණක් නොව වර්තමානයේ ද බොහෝ පිරිසක් විසින් සඳහන් කරන කටයුතු නොවේද?





බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment