Labels

Wednesday, February 1, 2017

වරදින තැන

දිනක් ‘වංගීස’ නම් භික්ෂූන් වහන්සේ නමක් යම් ගමනක් යන අතරමඟ කාන්තාවක් හමුවුණා. ඇය ඉතා රූමත්. ඇය පිළිබඳ සෙනෙහෙබර සිතක් ඇති වුණත් වංගීස හිමියන් කිසිදු ප්‍රතික්‍රියාවක් දැක්වූයේ නෑ. එහෙත් ඒ හිමියන්ට ඇයගේ රුව මතකයෙන් බැහැර කරන්නට නොහැකි වුණා. ආනන්ද හිමියන් වෙත පැමිණ එම සිදුවීම දක්වා ‘ආනන්ද හිමියනි,මම කාම රාගයෙන් දැවෙමින් සිටිමි. මොහොතින් මොහොත මගේ සිත පිච්චෙනවා සේ දැනේ. ඒ ගින්න නිවා දමන්නට සුදුසු මඟක් දේශනා කරනු මැනවි’ යි ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ ආනන්ද හිමියන් උන්වහන්සේට පෙන්වා දුන්නේ මේ දැවීමට හේතුව තමන් දුටු දේ පිළිබඳව වරදවා වටහා ගැනීම බවයි. එනම් විපරීත සංඥාවක් ඇති කර ගැනීම නිසා බවයි.

වංගීස හිමියන්ට ඒ කාන්තා රුව මතකයෙන් බැහැර කළ නොහැකි වූයේ ඇය තමන්ට අයත් වස්තුවක් ලෙස සැලකීම නිසා. මේ ලෙස ජීවිතයේ විවිධ අවස්ථාවන්හි සිත් ඇද ගන්නා බොහෝ දේ අපේ නෙත ගැටෙනවා. එහෙත් අප කළයුතුවන්නේ අල්ලා ගැනීමට උත්සාහ දරනවා වෙනුවට ඒ කිසිවක් තමන් සතු නොවේ යැයි සිතා ඉන් දුරස්වීමයි.
එක් අවස්ථාවක බුදු හිමියන් වෙත පැමිණි දේවතාවෙක් මේ ලෝකය අපූර්වත්වයෙන් යුතු බවත් මිනිසුන් වැරැදි කරන්නේ ඒ විචිත්‍රත්වය නිසා බවත් කියා සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ලෝකය ලස්සන වීමේ කිසිදු වරදක් නැති බවයි. වරද ඇත්තේ සංකල්ප රූපවල බවයි. යම් රූපයක් දැක දැඩි ඇල්මක්, බැඳීමක්,තමන් සතු කර ගැනීමේ ඕනෑකමක් ඇතිවූයේ නම් එතැන දී නිර්මාණය වන්නේ විනාශයයි. බුදුහිමියන් දේශනාකොට වදාළේ රාගය ගින්නක් හා සමාන වන බවයි.
යම් කෙනෙක් රාගයෙන් උමතු වූයේ නම් හේ අම්මා, තාත්තා , සහෝදර සහෝදරියන්, බිළිඳුන්, වැඩිහිටියන් හඳුනන්නේ නෑ. ඔහුට තැන නොතැන, කරන කියන දේ ගැන අවබෝධයක් නෑ. රාගය සිත පහළ වීමත් සමඟ ඊළඟට සිත පහළ වන්නේ ද්වේෂයයි.
එක් අවස්ථාවක ‘මේඝිය’ නම් හිමි නමක් බොහෝ උත්සාහ කොට බුදු හිමියන්ගෙන් අවසර ගෙන ලස්සන අඹ වනයකට භාවනාව පිණිස පැමිණියා. අඹ වනයේ විසිතුරු දකින, කුරුල්ලන්ගේ මියුරු ගී හඬ අසන මේඝිය හිමියන්ගේ සිතෙහි රාගය උපන්නා. භාවනා කරන්නට ආවත් මේ කුරුල්ලන්ගේ ගීත නාදය නිසා මගේ සිත සසල වෙනවා’ යි මේඝිය හිමි සිතුවා. ඒ සිතිවිල්ලත් සමඟ කුරුල්ලන් ගැන තරහක් ඉපදුණා. ගල්වලින් ගසා හිංසා කිරීමේ සිතක් උපන්නා. රාගය සිත පහළ වීමත් සමඟ ද්වේෂයද ඇතිවූ සැටි විමසන්න. ද්වේෂය ඇති වීමත් සමඟ හිංසා කිරීමේ සිත පහළ වූ සැටි විමසන්න. මේ ගැටලුව බුදු හිමියන්ට ඉදිරිපත් කළ පසු මේඝිය හිමියන්ට ලැබුණු පිළිතුර වූයේ අසුභ භාවනා වඩන්නටයි. එමඟින් රාගය දුරු කිරීමටයි. ද්වේෂය දුරු කිරීම සඳහා මෛත්‍රිය වඩන්නටයි.
හේතුව කුමක් වුවද තරහව දුරු කිරීම ජීවිතයේ යහපතට හේතුවන්නක්. තමන්ට පමණක් නොව අනුන්ටද යහපතක්. බුදුහිමියන් දේශනා කොට වදාළේ රබර් බෝලයක් දියට දමා එය උඩට එන්නට නොදී පයින් පාගාගෙන සිටින්නා සේ හෝ, දත්මිටි කාගෙන හෝ ද්වේෂය යටපත් කරන්නට උත්සාහ කළ යුතු බවයි.

මේ නිසා රාගයක් ඇති වූ වහාම ද්වේෂයක් ඇතිවූ වහාම හොඳින් කල්පනාකොට ,යථාව අවබෝධ කොටගෙන හැසිරීම් හසුරුවා ගන්නට උත්සාහ කළ යුතුයි. එය මේ ජීවිතයට වගේම පරලොව ජීවිතයටත් යහපතක් ගෙන දෙයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 
පාලි අධ්‍යයන අංශාධිපති 
ආචාර්ය 
මොරගොල්ලාගම උපරතන හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment