පන්සිය පනස් ජාතක පොතෙහි එන විසි දෙවන ජාතක කථාව කුක්කුර ජාතකයයි. කුක්කුර යනු සුනඛයාය. සුනඛයන් මූලික කරගෙන ඉදිරිපත් කරන ලද හෙයින් කුක්කුර ජාතකය යනුවෙන් නම් කර තිබේ.
යටගිය දවස බ්‍රහ්ම දත්ත රජ්ජුරුවන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ පුරාකෘත අකුශල කර්මයක් හේතුවෙන් සුනඛ යෝනියෙහි ඉපිද ස්වකීය ඤාතීන් සමඟ සොහොන් බිමක වාසය කළේය. දිනක් බඹදත් රජු උද්‍යාන ක්‍රීඩාවට ගොස් ආපසු රජ මැදුරට පැමිණ ස්වකීය රථය රාජාංගණයේ නවතා තැබීය. රාත්‍රී කාලයේ වාර්ෂාවට හසු වීමෙන් එහි සමින් යෙදු වරපට තෙතබරිත වූ අතර රජ මැදුරෙහි සුරතලයට ඇතිකරනු ලබන සුනඛයන් විසින් කා දමන ලදි.
මේ පිළිබඳ රජුට පැමිණිලි කළ සේවකයෝ, දිය බැස යන සොරොව්වෙන් රජ මැදුරට ඇතුල් වූ පිටස්තර සුනඛයන් විසින් රාජාංගණයේ නවතා තිබූ රථයෙහි වරපට කා දමා ඇතැයි පැවසූහ. මෙයින් කෝපයට පත් රජ නගරයෙහි වාසය කරන සියලු සුනඛයන් සමූල ඝාතනය කරන මෙන් නියෝග කළේය. දුටු දුටු තැන සිටින සුනඛයන් ඝාතනයට ලක්වන හෙයින් සුනඛයන්ට මහත් විපතක් විය.
මෙයින් බේරීම සඳහා ඇතැම් සුනඛයන් සොහොන් බිම කරා ගොස් බෝසත් සුනඛයා සමඟ එක් විය. විශාල සුනඛයන් සමූහයක් සොහොන් බිම වෙතට පැමිණි හෙයින් එයට හේතුව කවරේදැයි ඇසූ බෝසත් සුනඛයාට රජු විසින් පනවන ලද නියෝගය හා එයට හේතු දැන ගන්නට හැකිවිය. රජුගේ නියෝගය හේතුවෙන් තම ඤාති වර්ගයාට නිකරුණේ ජිවිතක්ෂයට පත්වීමට සිදුව ඇති බව කල්පනා කළ බෝසත් සුනඛයා රථයෙහි වරපට විනාශ කරන ලද්දේ රජුගේම සුනඛයන් විසින් බව කරුණු විමර්ශනය කිරීමෙන් වටහා ගත්තේය. අනතුරුව උපක්‍රමශීලිව රජුගේ රාජසභාවට ඇතුල් වූ බෝසත් සුනඛයා රජු ඉදිරියේ කරුණු දක්වන්නට විය. තම රථයෙහි වරපට කා දැමූ හෙයින් සුනඛයන් සමූල ඝාතනය කරන්න යැයි අණකළ බව රජු කියා සිටියේය. වරපට කෑ සුනඛයන් කවුරුන්දැයි නිවැරදිව හඳුනා ගැනීමෙන් තොරව සියලු සුනඛයන් ම ඝාතනය කිරීමට අණකිරීම නොමනායැයි දන්වා සිටි බෝසත් සුනඛයා රාජ අණට යටත් නොවන සුනඛයන් පිරිසක් වේදැයි රජුගෙන් විමසා සිටියේය. එයට පිළිතුරු දුන් රජු ප්‍රකාශ කළේ රාජකීය සුනඛයන් එම නියෝගයට අයත් නොවන බවයි. මෙහිදී බෝසත් සුනඛයා ප්‍රකාශ කළේ රජු තම රාජකීය සුනඛයන් එම අණට අඩංගු නොකිරීමෙන් අගතිගාමීව කටයුතු කර ඇති බවත් එය රාජ්‍ය පාලකයෙකුට නොගැළපෙන්නක් බවත්ය.
එසේම වරදක් නොකළ අහිංසකයන් ඝාතනය කොට වරදකළ රාජකීය සුනඛයන් ආරක්ෂා කිරීම රාජ ධර්මයට පටහැනි බවත් ප්‍රකාශ කළේය. බෝසත් සුනඛයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව රජු ඒ පිළිබඳ තම සේවකයන්ගෙන් කරුණු විමසා බැලූ අතර ඔවුන් ප්‍රකාශ කළේ සැබැවින්ම රජ මැදුරේ සිටින සුනඛයන් විසින් රථයෙහි වරපට කා දමා ඇති බවත් තමන් රජුට වැරදි තොරතුරු සැපයූ බවත්ය. අවසානයේදී බෝසත් සුනඛයාගේ යෝජනාව අනුව රාජකීය සුනඛයන්ට මෝරු සමඟ ඊ තණ පෙවීමෙන් වමනය කරවීමට සළස්වා වරපට කෑ බව සත්‍ය වශයෙන් තහවුරු කර ගන්නා ලදි. මෙම ජාතක කථාවෙන් පෙන්වා දෙන ආදර්ශ රාශියකි. නිසි ලෙස කරුණු විමසීමකින් තොරව වරද කළ අය මගහැර නිකරුණේ නිවැරදි අයෙකුට දඩුවම් දීම යහපත් පාලකයෙකුගේ ලක්ෂණයක් නොවේ. එසේම වරද කළ පුද්ගලයාගේ තරාතිරම නොව වරද පිළිබඳ සළකා දඩුවම් කළ යුතුය යන්න මෙයින් ඉදිරිපත් කරන එක් ආදර්ශයකි. එබැවින් රජවාසල අයත් සුනඛයන් වුව වරදක් කළේ නම් එයට දඬුවම් දියයුතුයැයි බෝසත් සුනඛයා රජුට දන්වා සිටියේය.
යමක් සමබන්ධයෙන් සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයන් නිසා ඇතිවෙන විනාශය සුළුපටු එකක් නොවේ. බොහෝ විට තමන්ගේ ආරක්ෂාව සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කටයුතු කරන පුද්ගලයන් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන තුළද දක්නට ලැබේ. ඔවුන්ගේ මෙම වැරදි පිළිවෙත හේතුවෙන් බොහෝ කීර්තිමත් ආයතන පසු කාලයක ආර්ථික හා සාමාජික වශයෙන් ද පරිහානියට පත්ව ඇති අයුරු දක්නට පුළුවන. පාලකයෙකුගේ හෝ ආයතන ප්‍රධානියෙකුගේ පරිහානිය කෙරෙහි ඔහු වටා සිටින අය විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාජ තොරතුරු බෙහෙවින් හේතුවිය හැකිය යන්න මෙම ජාතක කථාවෙන් පෙන්වා දෙයි. මෙම කථාවෙහි එන බෝසත් සුනඛයා තම ඥාතීන් බේරා ගැනීම සඳහා අනුගමනය කළේ ප්‍රචණ්ඩ පිළිවෙතක් නොවේ. එසේම මරණයට බියෙන් පලා යාමද නොවේ. ඒ වෙනුවට තෝරාගත්තේ සාකච්ඡාමය විසඳුමකි. කවර අර්බුදයක් වුවද නිසි ලෙස කෙරෙන සාකච්ඡාවකින් විසඳාගත හැකි බව මෙමගින් සැපයෙන ආදර්ශයයි. කවර හෝ සමාජ වගකීමක් දරන නායකයා හෝ ප්‍රධානියා කලබලයට පත් වුවහොත් අර්බුද හා අභියෝග ජයගත නොහැකිය. මෙම ජාතක කථාවෙහි එන රජු අදූර දර්ශී කලබලකාරී නායකයෙකුගේ ගති ලක්ෂණ ප්‍රකට කරයි. තමා වෙත ලැබුණ තොරතුරු නිසි පරීක්ෂාවකින් තොරව පිළිගෙන ක්‍රියාත්මක කළ තීන්දුව අගතිගාමි වේ. එහෙත් බෝසත් සුනඛයා තම ඥාතීන් ඉදිරිපත්කළ තොරතුරු වලින් කලබල නොවී විවේක බුද්ධියෙන් යුක්තව කල්පනා කළේය.
එනිසා ඌට පෙනීගියේ පිටස්තර සුනඛයන්ට මාලිගාවට ඇතුළ් වී රථයෙහි වරපට කෑමට නොහැකි බවත් එය රාජකීය සුනඛයන්ගේ ම ක්‍රියාවක් බවත් ය. විවේක බුද්ධියෙන් එළඹුන නිගමනය නිවැරදි බව රජු ඉදිරියේ ඔප්පු කිරීමට හැකියාව ලැබුණ අතර එයින් තම ඥාති වර්ගයාට ඇති වී තිබෙන ව්‍යසනය වළක්වා ගත හැකිවිය. නායකයා අගතිගාමි නොවී මධ්‍යස්ථ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කළ යුතුවේ. මෙය හුදෙක් රාජ්‍ය පාලකයාට පමණක් නොව සාමාන්‍ය වගකීම් දරන කවර පුද්ගලයෙකුට වුවද සාධාරණ වේ. ආයතනයක, නිවසක හෝ වෙනත් සංවිධානයක වගකීම් දරන්නන් විසින් මධ්‍යස්ත ප්‍රතිපත්තියක පිහිටා තීන්දු තීරණ ගත යුතුවේ. එසේම පාලකයා විසින් තම ප්‍රජාවගේ ආරක්ෂාව සුරක්‍ෂිත කළ යුතුය ඔවුන් අනාගත උවදුරුවලින් වළක්වාගත යුතුය. යන්න බෝසත් සුනඛයාගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වේ. වරද කළ අයට නීතිය ක්‍රියාත්මක නොකර නිකරුණේ නිවැරදි අයට දඬුවම් කිරීම රාජ්‍යය පාලකයා විසින් පමණක් නොව සෙසු අයද නොකළ යුතු දෙයක් ලෙස මෙම කථාවෙන් පෙන්වාදෙයි. වරද කළ අය සම්බන්ධයෙන් වුව ද දඩුවම් නියම කිරීමේදී සාධාරණ විය යුතුවේ. එසේ නොවුණ හොත් මානව හිමිකම් උල්ලංඝණය කළේය යන වෝදනාවට ලක්විය හැකිය. වරදකරුවා ආරක්ෂාකොට නිවැරදි අය දණ්ඩනයට ලක්කිරීම සදාචාරාත්මක නොවන බව සමස්ත පිළිගැනීමයි. ජාතක කථා කරුවා එම සදාචාර ප්‍රතිපත්තිය ඉතා මැනවින් මෙහි නිරූපණය කර තිබේ.
කුක්කුර ජාතකයෙන් ලබාදෙන ආදර්ශය අතිශය ප්‍රබල එකක් බව කථාවෙහි අන්තර්ගතය සියුම්ව පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. රාජ්‍යයක ප්‍රතිපත්ති සැකසීමේදී මෙන්ම අධිකරණමය ක්‍රියාකාරකම් වලදි ජාතක කථාවෙන් සැපයෙන උපදෙස් ඉවහල් කරගත හැකි වේ. සාධාරණත්වය හා යුක්තිගරුක බව පුද්ගල මෙන්ම ආයතනගත පරිපාලනයක තිබිය යුතු උදාර ලක්ෂණයක් ය යන්න මෙම ජාතකකථාවෙන් ලබාදෙන සමස්ත ආදර්ශය වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් පුරඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment