Labels

Wednesday, February 1, 2017

අතීතයේ දුන් ආදර්ශයේ අවවාදය

ඇසූ පිරූ තැන් ඇති බව ජීවිතයට වටිනාකමකි. අවුරුදු ගණනක් පුරා ජීවත්වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ජීවිතය උගත්, අපට සමීපතම ඇසූපිරූ තැන් ඇත්තා කිරි අත්තාය. නැතිනම් අත්තප්පාය. ඒ ගැමිවහරේ ය. නගරයේ දී නම් ඔහු සීයා ය. කවර නාමයක් ගත්තද අතීතයේ දරු, මුනුපුරු, මිනිපිරියන් පිරිවරාගත්, පවුලේ ගෞරවය, ආදරය ලද උදාරම චරිතය ඔහුය.
කුඩා අප අතින් කුරා කුහුඹුවකුට හෝ වරදක් වනවා දකින්නට ඔහු කිසිවිටෙකත් රිසි නොවීය. නොතේරුම්කමට කළ වරදකට වුව ගහන්නට බනින්නට තරම් දරදඬු වූයේ ද නැත. ඒ වරද නිවැරැදි කළේ අපට තවත් ළං වෙමිනි. ලාබ, අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප නම් වූ අටලෝ දහමට මුහුණ දෙමින් ජීවිත කාලයක් පුරා අත්දැකීම් ඇසුරින් ලද පන්නරයෙන් ජීවිතය ජීවත් කළයුතු සැටි ඔහු අපට ටිකෙන් ටික ඉගැන්වූයේ ය. මිනිසුන්ට, සතා සිවුපාවුන්ට, ගහට කොළට, ජල බිඳුවට පවා ආදරය කරන හැටි, සොබාදහම රැක බලා ගන්නා හැටි ඔහු අපට කියා දුන්නේ ය.

අවිහිංසාව, කරුණාව, දයාව, මෛත්‍රිය අප සිත්හි පැළ කරන්නට වදනින් ඔවදන් නුදුන්නේ ය. ඔහු ඒ සියලු ගුණ අපට බෙදාදෙමින් ආදර්ශයම දුන්නේ ය. පව් කරන්නට එපා නොකියා බෝසත් කතා ඇසුරින් පවෙහි ආදීනව පෙන්වා දුන්නේ ය. අන්ධ මවුපියන් රැකගත් සාම කුමාරයාගේ කතාව, මවුපියන් පෝෂණය කළ බෝසත් ගිරවා ගේ කතාව, සස ජාතකය, සත්තු භත්ථ ජාතකය ආදී කතා රසබර ලෙස කියා දුන්නේ අපූර්ව සිතුවම් මැවෙන ලෙසය. නුගුණ මැකී ගුණ මතුවන ලෙසය. ජීවිතය ගැන අලුත් විදිහට හිතන්නට පෙළඹෙන ලෙසය.
අප පෝ දිනෙහි පන්සල් ගියේ කිරි අත්තා ද සමඟිනි. සුදෝ සුදුවතින් සැරසී, නෙළුම් මල් වට්ටියක් දෝතට ගෙන සෙමෙන් සෙමෙන් පිය නඟන ඔහුගේ මුහුණ තවත් එළිය වන්නේ මඟ තොටේදී හමුවන කවරෙකු වුව දැක මුවට නැඟෙන සිනහවෙනි. ඒ දකින අපි මිනිසුන් සමඟ සිනාසෙන්නට උගත්තෙමු.
අප පසුකර යන ආබාධිතයෙක්, අන්ධ වූවෙක්, ගොළු වූවෙක්, මනෝ විකාරයෙන් දොඩවන්නෙක් දුටු විට සීයාගේ මුහුණට නැඟුණේ බැරෑරුම් බවකි. ඒ බැල්මෙන්ම ඔහු අප දෙස බලා කළ පව් නිසා ඔවුන් දුකට වැටී මෙලෙස දුක්විඳින බව කියමින් අප සිත්හි පවට බියක් ඇති කළේ ය.
හැන්දෑවට බුදු පහන දල්වා ගාථා සජ්ඣායනය කරන්නට කිරි අත්තා අපද එක්කර ගත්තේ ය. පිරිත් කියා සියලු සතුන්ට මෙත් සිත පතුරුවන්නට ද හුරු කළේ ය. සිතට දුකක් ආ දිනෙක, ප්‍රශ්න ගැටලු හමුවුන තැනෙක ඒවාට ශක්තිමත් සිතින් මුහුණ දෙන්නට, කලබල නොවී නිවැරැදි විසඳුම් සොයන්නට කියා දුන්නේ ද ඔහුම ය.
ගොවිතැනින් බත සරු කරගන්නට සොබා දහමේ ආශිර්වාදයන්ට සේම දරදඬුකම්වලට ද මුහුණ දුන්හැටි, කුඹුරු කොටන්නට ගිනි කාෂ්ඨක අව්වේ උදැල්ලත් සමඟ පොර බැදූ සැටි, වපුළ දා සිට බිජු අහුළන්නට එන කුරුල්ලන්ගෙන් වී ටික රැකගත් සැටි, කිරි වදින ගොයම වන සතුන්ගෙන් රැක ගන්නට රෑ පැල් රැකි හැටි, ලද අස්වැන්න සකසුරුවමින් රකිමින් දරුවන් පෝෂණය කළ හැටි අපට කියා දුන්නේ ද, ජීවිතය සැහැල්ලු නොවන බව පෙන්වා දුන්නේ ද ඔහු ය. ඒ සමඟම මහා වැසි, ගංවතුර ගලා කුඹුරු යායම විනාශ වූ දිනයන් හි සිත සනසා ගත් හැටිද කියා දුන්නේ ය. මේ ජීවන අත්දැකීම්, වටිනාකම් පොත පතින් ඉගෙන ගන්නට ලැබුණේ නැත.
මේ වසර විස්සකට පමණ පෙර අපේ සමාජයේ බොහෝ දරුවන්ට පවුලෙන් ලැබුණ අමිල දායාදයන්ය. එහෙත් මේ ජීවන අත්දැකීම් අතීතයට පමණක් සීමාවන සෙයක් දැන් දකින්නට තිබේ. පැරැන්නෝ සිය දරුවන්ට, කිරි අම්මාගේ කිරිඅත්තාගේ ආදරය නොඅඩුව විඳින්නට ඉඩ සලසා දුන්හ. විවෘත ආර්ථිකයත් සමඟ සමාජයේ සිතුම් පැතුම් ද වෙනස් විය. ඒ වෙනස්වීමත් සමඟ මුනුපුුරු මිනිපිරියන් වැඩිහිටියන්ගෙන් දුරස් වුණි. ඒ දුරස්වීම සමඟ ඔවුන්ට මිල කළ නොහැකි ආදරය, රැකවරණය සේ ම ජීවන වටිනාකම් ද ගිලිහුණි. අද බොහෝ දෙනා දරුවන් අසංවේදී යැයි සුසුම්ලති. මරණයක දී පවා දෑසින් කඳුලක් නොවැටෙතැයි කියති. මේ අසංවේදීකම හුරු කළෝ ද සමහර මවුපියන්මය. ඒ තමන්ට බාල කාලයක් තිබූ බව, මඟහැර සිටින්නේ එදා තමන්ට ගුණ නැණ සමඟින් ජීවිතය දුන් මවුපියන් බව අමතක වීමේ වරදෙහි ප්‍රතිඵලය. මව්පිය ගුණ ගැන වචනයෙන් කියනවාට වඩා ප්‍රායෝගිකව ඒ ගුණ ඇගයීම දරුවන්ට ආදර්ශයකි. වයෝවෘද්ධ මවුපියන් වෙතින් තමන්ගේ දරුවන් දුරස් කොට පොතපත කට පාඩම් කරන්නටම, අමතර පන්ති වෙනුවෙන් ම වෙන්වන කාලය නිසා දරුවන් විභාග සමත් වෙනු ඇත. එහෙත් ජීවිතයේ වටිනාකම් නොදන්නා ඔවුහු ජීවිතය අසමත් වනු ඇත. එවැනි පරපුරකින් අනුකම්පාව, ආදරය, ගෞරවය, සැලකීම, සංවේදීබව බලාපොරොත්තු විය නොහැකි ය.

නැවත අපි අතීතයට යා යුතුව තිබේ. කිරි අත්තාගේ, කිරි අම්මාගේ කල්‍යාණ මිත්‍ර ඇසුර නැවත අපගේ දරුවන්ට ලබා දිය යුතුව තිබේ. එවිට ඔවුන්ගේ හෙට දවස වඩාත් පැහැසර වනු ඇත. මිනිසුන්ට, ගහට කොළට ආදරය කරන පරම්පරාවකින් රට සැරසෙනු ඇත.



ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශාධිපති 
ආචාර්ය 
කඩවත්ගම පියරතන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment