කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්‌වෙන ජූරි සභිකයන් පස් දෙනෙක් සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක් අයෙක් හේතුවෙනුයි අනෙක් ජූරි සභිකයා සකස් වෙන්නේ. ඵලය සකස්‌වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්‌දෙනා වෙන කවුරුවත් නොවේ. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පස් දෙනයි. මේ පස්‌දෙනාම බිහිවෙන්නේ රූපය කෙරෙහි ඔබ තුළ ඇති ජන්දරාගය නිසා. යම් රූපයක් ස්‌පර්ෂය නිසා, ඔබ ප්‍රකටව හෝ අප්‍රකටව යම් විඳීමක් ඇතිකරගත්තානම් ඒ විඳීම හේතුවෙන් සකස්‌වෙන හඳුනාගැනීමත්, ෙච්තනාවත්, විඤ්ඤාණයත් අනුනගේ දෙයක් නොවේ. හේතුව තුළින්ම සකස් කරගන්නා
ධර්මතාවයන්. මේවා අප්‍රසිද්ධියේ කරන්න, සඟවන්න බැහැ. මොකද? සඟවන්න සඟවන්න, අප්‍රසිද්ධියේ වැරදි කරන්න, කරන්න ඔබ තුළ සකස්‌වෙන ෙච්තනාවන්ගේ ස්‌වභාවය බලවත් වෙනවා. ෙච්තනාවේ ස්‌වභාවය හේතුවෙනුයි විඤ්ඤාණය නමැති ඵලය සකස්‌වෙන්නේ. මිය ගිය පිංවත් මහත්මයෙක් අප්‍රකටව, අප්‍රසිද්ධියේ කරන ලද බලවත් අකුසල් කර්ම හේතුවෙන් සකස් වුණ බලවත් අකුසල් ෙච්තනාවන් නිසයි ඊට අදාළව සකස්‌වුණ විඤ්ඤාණය නිරය වැනි අති භයානක උපතකට බැසගන්නේ. ඒ බැසගත් මොහොතේ පටන් එම නිරි සතාට තම අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, ස්‌පර්ශය හේතුවෙන් නැවත නැවත සිත් සකස් වෙනවා. දැන් ඔබට හොඳින් තේරුම් යනවානේ ලෝකයට හොරෙන් යමක් කළත් ධර්මයට හොරෙන් යමක් කරන්න බැහැය කියලා. සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ පැවතියත් එය අතුරුදහන්ව ගියත් පංචඋපාදානස්‌කන්ධය කියන ධර්මය සත්වයා තුළ සකස්‌වෙනවා. එය අවබෝධකර ගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයකදි පමණයි. ඔබ සිතන්නවත් අකමැති කුරිරු වේදනාවක් නිරයේ විඳින මේ නිරිසතා එම දුකට පත්වූවේ ශීලය ආරක්‍ෂා නොකර ගැනීමේ හේතුවෙන්මයි. ඔබට වැටහෙනවාද උතුම් ශීලයේ ඇති වැදගත්කම. කඳුළ කියන්නේ ශිල්පදයක බිඳවැටීම. කඳුළ දැකලා දුක්‌වෙලා ඵලක් නැහැ. බිඳුන ශීලයයි ඔබ පිරියම් කර ගත යුත්තේ. එවිට කඳුළු පසුබසීවි.භික්‍ෂුව පෙර සටහන් කළ ගිනියම් වූ ජලයේ නැගෙන්නා වූ උතුරන ජල බුබුළු දකින විට, මතකයට නැගෙන විට භික්‍ෂුවට මැවී පෙනෙන්නේ මනුෂ්‍යයාගේ සහ අනෙකුත් සත්වයින්ගේ ඊර්ෂ්‍යාව නිසා, වෛරය ක්‍රෝධය නිසා ඇතිවෙන්නාවූ බිහිසුණු, බියකරු, පුපුරණ ස්‌වභාවයයි. මේ අකුසල් මූලයන් නිසාමයි මනුෂ්‍යයා යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් වැනි තිරස්‌චීන ධර්මයන් වෙතට යොමුවෙන්නේ. අකුසල මූලයන් හොඳින් වැඩෙන රසායනික පොහොර මේවා. අනුනගේ දියුණුව දකින්නට අකමැති කෙනා අවසානයේදී තමන්ගේ දියුණුව, සැපය කල්ප ගණනාවක් වලකාගන්නවා. අනුනට නිදහසේ හැදෙන්න දෙන්න, වැඩෙන්න දෙන්න. ඒ දෙස බලා සතුටු වෙන්න. ඒ සතුට ඔබේ සැපය උදෙසාම හේතුවේවි.
එක මනුෂ්‍යයෙක් ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බණිනවා. පන්සලට බණිනවා. හාමුදුරුවන්ට එරෙහිව පොලිසියට බොරු පැමිණිලි කරනවා. පුදුමාකාර වෛරයක් ඇතිකරගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු ශීලයෙන් පිරිහුණා. එක ශිල්පදයක් ගිලිහෙනකොට අනෙක් ශිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක් වුනත් මොහු තුළ කාම සිතුවිලි ඇතිවුණා. තමාගේ වැඩිහිටිබව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ ශිල්පදවල හීනභාවයක් ඇතිවුනා. ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටියදීම මොහු මියයනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළදී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා.භික්‍ෂුවට දර්ශණය වෙන්නේ උතුම් සමාධිය තුළදී කිඹුලෙකුගේ කුසක්. ඒ කියන්නෙ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැතිනම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා. බලන්න සසර භයානකම. මේ තත්පරයේ මනුෂ්‍යයෙක් වශයෙන් සිටි කෙනා ඊළඟ නිමේශයේදී කිඹුල් කුසකට බැසගන්නවා. අසාධාරණයි කියන්න පුළුවන්ද ලෝකධර්මය. එහෙම කියන්න බැහැ. සාධාරණ තැන එයාට හිමිකරදුන්නා. කිඹුලා කියන්නේ වෛරයෙන්ම, ක්‍රෝධයෙන්ම පසුවෙන නපුරු සතෙක්. මේ සතා දකින කෙනා තුළ අපුලක්, බියක්, තැතිගැනීමක් ඇතිවෙනවා. මේ සතා සතුන් මරාගෙනමයි කන්නේ. තමාගේ පැටවාත් තමා මරාගෙන කනවා. වර්ණය, හැඩය, හැසිරීම හරි අප්‍රියජනකයි.
භික්‍ෂුව එක අවස්‌ථාවක රුහුණු ප්‍රදේශයේ පෞරාණික ආරණ්‍යයක වැඩසිටින විට එහි දැඩි නියඟයක් පැවතියා. වැව් හිඳෙන කාලයට වැව්වල සිටින කිඹුලන් කැලේ ගල් ගුහා තුළට ඇදෙනවා දහවල් කාලයට. රාත්‍රි කාලයේ කිඹුලන් ආහාර සොයාගෙන කැලයේ වැව් පිටිවලට ඇවිදිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය දොරකඩ බාග බිත්ති බැඳපු ඉස්‌තෝප්පුවක් තිබෙනවා. දිනක් රාත්‍රි 12.00 පමණ එම කුටිය ඉදිරිපස කැලෑ ප්‍රදේශයෙන් වේගවත් හඬකින් සතෙක් පිඹිනවා ඇහුණා. භික්‍ෂුව මුලින්ම හිතුවේ අලියෙක් වෙන්න ඇතිය කියලා. නැවත නැවතත් වේගයෙන් පිඹීමේ හඬ ඇසුණා. ඒත් සතා පේන්නෙ නැහැ. පස්‌සෙ බලනවිට අඩි හතක් පමණ දිග හොඳින් වැඩුණු කිඹුලෙක්. කුටියේ ඉදිරිපස බාග බිත්ති සහිත ඉස්‌තෝප්පුව තුළට ඇවිල්ල යන්න බැරිව කේන්තියෙන් පිඹිනවා. පස්‌සෙ භික්‍ෂුව උගුර පාදනවිට කිඹුලා භාග බිත්තියට ශරීරය කෙලින් කරලා බිත්තිය උඩින් කැලයට පැන්නා. මේ කිඹුලා කටින් පිඹින වේගයෙන්ම වලිගයනුත් ගහනවා. කිඹුලාගේ නපුරුම ස්‌වභාවය භික්‍ෂුව දැක්‌කේ ඒ වෙලාවේ. පුදුම වෛරී, ක්‍රෝධ ස්‌වභාවයක් මේ සතා තුළ තිබෙන්නේ. අපි කියන්නේ සමහර මිනිස්‌සු ඊරිසියාවෙන් පුපුරනවා කියලා. ඒ පිපිරීමේ උච්ජභාවය තමයි ඔය සතුන් තුළින් අපි දකින්නේ.
පිංවත් ඔබ හොඳින් සිතන්න ඔබ ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක් සකස් කරගන්නවා කියන්නේ නිරයේ ගිනියම් ජලයේ පැහෙන උපතක්, කිඹුල් කුලයේ සත්ව උපතක් ඔබ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. දැන් බලන්න වයස අවුරුදු අනූවේ මනුෂ්‍යයා පන්සලට වෛරකරලා, හාමුදුරුවන්ට වෛරකරලා, ඊර්ෂ්‍යා කළා. එහෙම කළාය කියල පන්සලට හාමුදුරුවන්ට අලාභයක් පාඩුවක් වුණාද? එක දශමයක අඩුවක් පාඩුවක් ඒ අයට වුණේ නැහැ. එතකොට මේ පුද්ගලයා කාටද වෛරකරලා, ඊරිසියා කරලා තිබෙන්නේ? තමාටමයි.
එහෙමනම් ඔබ සිතන්න ඔබේ සිතේ ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් සකස් වෙනවා නම් එය ඔබේ භව ගිණුමේ ඉතිරි කිරීම සඳහාමයි. අනුන්ගේ ගිණුම්වලට මේවා බැරවෙන්නේ නැහැ. හැබැයි තමන් අදක්‍ෂ නම් අනුන් නිසා තමනුත් දුකට වැටෙන්න පුළුවන්. පන්සලට, හාමුදුරුවන්ට වෛර කළා කියන්නේ තෙරුවන්ට වෛර කළා හා සමානයි. ඒ අකුසල් ස්‌වභාවය බලවත් නිසාමයි මොහු ජීවිතය තුළදී කරගෙන තිබූ කුසල් යටපත්වී ගියේ. ඔහු තුළ සකස් වූ එක සිතක් මේ විනාශකාරී සිතුවිලි පරම්පරාවක් බවට පත්වූයේ. ඒ නිසා වෛරී සිතක්, ඊර්ෂ්‍යා සහගත, ක්‍රෝධ සිතක් ඇතිවන සැනින්ම අවබෝධයෙන් එය සිඳ දමන්න. ඒවා අකුසල විතර්කයක් වශයෙන් වැඩෙන්න දෙන්න එපා.
මේ සටහන පුරාවටම මනුෂ්‍ය ලෝකයේ ජීවත් වූ දීර්ඝායුෂ ලබපු මනුෂ්‍යයන් දෙදෙනෙක් මරණින් මතු මනුෂ්‍ය භාවයෙන් පහළට වැටුණු සැටි ඔබට පසක් වෙන්න ඇති. ශීලයෙන් පිරිහුණු මිනිස්‌සු දීර්ඝායුෂ ලබන්නේ ඔවුන්ගේ අවාසනාවට. මොකද වැඩිපුර ජීවත්වන මොහොතක් පාසා ඔවුන් අතින් සිදුවන්නේ අකුසලයන්. එහෙයින් මද ආයුෂ ඇති මිනිසුන් ක්‍රමානුකූලව බිහිවන ලොවක ඔබ දීර්ඝායුෂයෙන් උපරිම ඵලය නෙලාගන්න. එය ඔබට කරගත හැක්‌කේ වැඩිපුර ජීවත්වන සෑම නිමේෂයකම ශීලයේ ශක්‌තිය ඔබගේ ජීවිතයට එකතුකර ගැනීමෙනි. ශීලය නොමැති ජීවිතයක මරණය දුකක් නිරතුරුවම මෙනෙහි කරන්න. ශිල්පද ගරුකරන සිතට ඔබ නමස්‌කාර කරන්න. මන්ද ඔබව දුකෙන් මුදවන්නේ එම සිත වන නිසාය. ඔබ කැපවීමෙන් යුතුව දිවි පරදුවට තබා ආරක්‍ෂාකරගත යුත්තේ උපන් රටවත්, ජාතියවත්, ආගමවත් නොවේ. සසරදුකෙන් ඔබව මුදවන, ඊට මග විවරකරදෙන, ශීල්පද ආරක්‍ෂා කරගැනීමට ඔබට දිරිදෙන සිතයි. එයමයි ඔබට සැප පිණිස හේතුවෙන්නේ. ඉහත මියගිය පිංවතුන් දෙදෙනාම ජීවත්ව සිටියදී තම ගම් ප්‍රදේශවලදී උපන් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, එහි ආරක්‍ෂාව වෙනුවෙන් පෙළපාලි ගිය අය. ඒත් දැන් මොන රටක්‌ද, ජාතියක්‌ද, ආගමක්‌ද එක් අයෙක් නිරිසත්ව ජාතියේ, අනෙක් කෙනා කිඹුල් ජාතියේ. මේ දෙදෙනාටම රටක් ආගමක් නැහැ. බලන්න සැපයක් කොට අල්ලාගත් මුලාවක මහත. දන් දෙන පිංවත් දායක පිංවතුන් ආරණ්‍යවලට පැමිණියහම, අපෙන් අහනවා 'හාමුදුරුවනේ මේ කැලයට වෙලා මොකද කරන්නේ' කියලා. කැලේ මොනව රකින්නද? ගමට නගරයට ගිහින් රට ජාතිය ආගම රකින්න කියලයි මේ කියන්නේ. පිංවතුන් එහෙම කියනවිට සිහින් සිනාවක් මිස වෙන දෙයක් නම් පහළ වෙන්නෙ නැහැ. ඇත්තෙන්ම පිංවතුනේ අපි කැලේට වෙලා රටත්, ජාතියත්, ආගමත් ආරක්‍ෂා කරන එක තමයි කරන්නේ. දිවිහිමියෙන්ම. රට කියන්නේ ශීලය. ජාතිය කියන්නේ සමාධිය. ආගම කියන්නේ ප්‍රඥාව. මේ තුන ආරක්‍ෂාකර ගන්න ඕනෑම කෙනෙක් නැවත නොඑන්නම ලෝකයෙන් එතෙරට යනවා. මීට වඩා ආරක්‍ෂාවක් කොහින්ද?
විවේකීව සිතන්න. කලබල වෙන්න එපා. දුකක්, දුකට හේතුවත්, දුකෙන් මිදීමත් ඔබ තුළම නේද තියෙන්නේ. සිත ගොඩාක් දුර යන්න දෙන්න එපා. දෑස් දෙක පියාගෙන නාසය අගට ඔබේ සිත යොමු කරන්න. දැන් ඔබට දැනේවි ජීවිතය කියන්නේ කුමක්‌ද කියලා. ජීවිතය අයිති කුමකටද කියලා. දැන් ඔබට වේගයෙන් හුස්‌ම ගන්න හිතේවි. ඔබ වේගවත් වෙන්න එපා. ස්‌වභාවිකවම හුස්‌ම ගන්න. හුස්‌ම පිටකරන්න. හොඳින් ඒ බව දකින්න. පිංවත් ඔබට සමාදන්වූ ශිල්පදයක් බිඳීමට කරුණු සකස්‌වුණොත්, ඔබේ සිතට ඊර්ෂ්‍යා සහගත, වෛරසහගත සිතක් සකස් වෙන බව දැනුනොත් මොහොතක් ආශ්වාස ප්‍රශ්වාස දෙසට හොඳින් සිත යොමුකරන්න. ඔබේ සිත නිශ්චල වේවි. දැන් ඔබට පුළුවන් හොඳ නරක දකින්නට. කුසලය අකුසලය දකින්නට හඳුනාගන්නට. ඔබ දුසිල්වත් වීමේ විපාකයන් දැක උපක්‍රමශිලී වන්න ශිල්පද ආරක්‍ෂා කරගැනීමට. සමහර ගිහි පිංවතුන් අපිට හමුවුණාම කියනවා 'අනේ හාමුදුරුවනේ ශිල්පද සියල්ලම රැකගන්න අපහසුයිනේ. ශිල්පද එකක් දෙකක් නම් බිඳෙනවා' කියලා. මේක හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. පිංවත් ඔබ කොහොම උත්සහ ගත්තත් ශිල්පදයක් බිදෙන ස්‌වභාවයක් තිබෙනවා නම් එය කර්ම විපාකයක් නිසා සිදුවන්නක්. මෙතනදි ඔබ දුස්‌ශිලභාවයේ විපාක දකිමින් ශිල්පද ආරක්‍ෂාකර ගැනීමට වීර්යවන්ත වෙන්න ඕන. ඒ වගේමයි ශීලයෙන් ඔබ දුර්වලනම් ශිල්පද රැකීමට අපහසුනම් ඔබ ශීලය ගරුකරන අයට ශිල්පද හොඳින් රකින අයට ගරුකරන්න පුරුදුවෙන්න ඕන.
සමහර පිංවතුන් ඉන්නවා තමා ශිල්පද රකින්නෙ නැහැ, නමුත් ශීලවන්තව ජීවත්වෙන කෙනාට අගෞරව කරනවා, සිනාසෙනවා. අතීතයේ අපි අතින් සිදුවූ මෙවැනි පහත් පෙළේ වැරදි නිසා තමයි ශිල්පද රැකගැනීමට සමහරුනට අපහසු වෙන්නේ. තමාට ශිල්පද ආරක්‍ෂා කරගැනීමට අපහසුනම් අවම වශයෙන් ශිල්පද ආරක්‍ෂාකරන අයට ගරුකරන්න පුරුදු වෙන්න. එයම ඔබට ආශිර්වාදයක් වේවි, ශීලය තුළ පිහිටන්න. ඔබ තුළින් ශිල්පද ගිලිහෙනකොට ඔබෙන් ගිලිහෙන්නේ සුගතියයි. මේ කථාවේ සඳහන් කළ අවාසනාවන්ත මිනිසුන් දෙදෙනා දුගතියට වැටුණේ ඔවුන් අතින් ශීලය ගිලිහුණු නිසාමයි. මේ දුකෙන් පිරුණු කථාව ඔබ ඔබේ සැපය පිණිස නුවණින් ගලපාගන්න දක්‍ෂවෙන්න. ඒ මෝදුකොට ගත් දක්‍ෂභාවය සතර අපායෙන් මිදීම සඳහාම පෙරට රැගෙන යන්න. නැවත නැවතත් හොඳින් අවධානය යොමුකරන්න. ඉහත කථාවේ මනුෂ්‍යයින් දෙදෙනාම මරණින් පසු දුගතියට වැටුණේ කාමය වරදවා හැසිරිමේ ෙච්තනාවන් බලවත් වීම, එක හේතුවක් වූ නිසාමය. තප්පරයක ආශ්වාදයක් උදෙසා කල්ප ගණනාවක් දුකට අතවනන මෙවන් වැරදි ගැන ඔබ හොඳ අවධානයෙන් පසු වෙන්න. අකුසලයක් සිදුවන වැරදි කාම සිතුවිල්ලක් ඇතිවුණොත් එය නිවා දමන්න. ඔබට පුළුවන් බුදුගුණ සංඥාවක් සිතට ගන්න. මෛත්‍රි සංඥාවක්, අසුභ සංඥාවක්, සතර අපාය කෙරෙහි බියක්......... එවැනි ධර්ම මනසිකාරයකට සිත යොමු නොවනවානම් වෙනත් බාහිර ක්‍රියාකාරී කමකට සිත යොදවන්න. එවිට ඔබට දැනේවි ඒ කාම සිතුවිල්ල අනිත්‍යවී යනවා. එතැන තිබෙන්නේ විදර්ශනාව. චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න සකස්‌වූ එක සිතක් ඔබ අදක්‍ෂ වුවහොත් ඔබව සතර අපායටත් ඔබ දක්‍ෂ වුවහොත් ධර්මාවබෝධය දෙසටත් යොමුකරනවා.
2012 අගෝස්‌තු 26 දින ඉරිදා දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි
No comments:
Post a Comment