දියුණුවේ දොරටුව ලිපි පෙළෙහි අවසාන ලිපිය වන ‘ඉවසීම’ ගැන අද අපි සඳහන් කරමු. ඕනෑම කෙනෙකුට ඉවසීම අත්‍යවශ්‍යයි. අර්හත්වය, පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය උදෙසා ඉවසීම විශේෂිතයි. ක්ෂාන්ති පාරමිතාව, ක්ෂාන්ති උප පාරමිතාව, ක්ෂාන්ති පරමත්ථ පාරමිතාව ලෙසින් එය තෙවැදෑරුම් වෙයි.
ක්ෂාන්ති පාරමිතාව බොහොම අගෙයි. බෝසතාණන් වහන්සේගේ ඉවසීම කෙතෙක්දැ’යි බලන්න. අතපය, නාසිකාව කපා දැම්මත් ඉවසීම තිබුණා. ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළත් ක්ෂාන්තිය පිණිසමයි කතා කළේ. බණින්න ආවත් බණින්න යන්නේ නැහැ.
ගහන්න ආවත් ගහන්න යන්නේ නැහැ. මේ තත්ත්වයට සිත දියුණු කිරීමට පුළුවන්. මෛත්‍රී භාවනාව උත්සාහයෙන් දියුණු තියුණු කරන්න. තමා තමාටම මෛත්‍රී පාරමිතාවෙන්, ක්ෂාන්ති පාරමිතාවෙන් සිත දියුණු කර ඉදිරියටම යන්න.
සත්‍ය පාරමිතාව, සත්‍ය උප පාරමිතාව, සත්‍ය පරමත්ථ පාරමිතාව ද තෙවැදෑරුම් වෙයි. බොරුව, වංචාව, කපටිකම දුරු කිරීම සත්‍යවාදී වීමයි. සත්‍යම භාවිත කරන්න, සත්‍යම හෙළිදරව් කරන්න, එය සත්‍ය පාරමිතාවයි. අත පය පරිත්‍යාගයෙන් කරන පාරමිතාව සත්‍ය උප පාරමිතාවයි. දිවි හිමියෙන් පාරමිතා පිරීම සත්‍ය පරමත්ථ පාරමිතාවයි. මෙම පාරමිතා සපිරීමෙන් නිවනට පත්වෙන්න භාග්‍යය ලැබෙනවා. සත්‍යවාදී වීම, සත්‍ය දියුණු කිරීම, සත්‍යයේ තිබෙන බලගතු බව මෙනෙහි කිරීම වැදගත්. අසත්‍යවාදීව, බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් කිසිම කෙනෙකුට නිවනින් සැනසුම ලබන්න බැහැ. සත්‍යයම දියුණු කර සත්‍යවාදී වෙන්න ඕනෑ.
අධිෂ්ඨාන පාරමිතාවත් බොහොම අගෙයි. නොයෙක් අධ්ෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් සිතෙහි පෙරදැරි කරගෙන නිවන් මඟ යා යුතුයි. එයත් රහත් බව , පසේ බුදුබව, ලොවුතුරා බුදුබව ආදියෙන් කොටස් තුනයි. අධිෂ්ඨාන පාරමිතාව අධ්ෂ්ඨාන උප පාරමිතාව, අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාව වශයෙන් තෙවැදෑරුම් වෙයි.
මෛත්‍රී භාවනාව ද වැඩිය යුතුයි. එය අර්හත්වය, පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය පිණිස අත්‍යඅවශ්‍යයයි. මෛත්‍රී පාරමිතාව, මෛත්‍රී උප පාරමිතාව, මෛත්‍රී පරමත්ථ පාරමිතාව වශයෙන් කොටස් තුනයි. පළමුව තමන්ට මෛතී‍්‍ර කර දෙවනුව මව්පිය ගුරුවරු වැඩිහිටි ආදීන්ට සම තත්ත්වයෙන් මෛත්‍රී වඩන්න. ලෝකවාසී සත්ත්වයන්ට, දෙවියන්ටත් මෛත්‍රී වඩන්න. මේ මඟින් තරහව, වෛරය, ක්‍රෝධය අඩුවී මිත්‍රත්වය, මෛත්‍රිය හොඳින් වැඩෙනවා.
උපේක්ෂා පාරමිතාව මධ්‍යස්ථ බව, රහත්බව, පසේ බුදු බව, ලොවුතුරා බුදු බව, උදෙසා බොහොම වැදගත්. එය උපේක්ෂා උප පාරමිතාව, උපේක්ෂා පරමත්ථ පාරමිතාව වෙයි. දිවිහිමියෙන් කරන උපේක්ෂාව, උපේක්ෂා පරමත්ථ පාරමිතාවයි. එබැවින් කවුරුත් තමන්ගේ ගුණ ධර්මයන් දියුණුවෙන් සති, සමාධි, ඥාන, වැඩි දියුණු කරගන්නට අවශ්‍යයයි. පැමිණෙන කරදර පීඩා, බාදක ඉවත ලා ජය ගත යුතුයි. කෙතරම් කරදර පීඩා බාධක පැමිණියත් නොසැලී ඉදිරියට යන්න හැකියාව ඇති කරගන්න. අනේ! මට කරදරයි. මේ ගමන යන්න බැහැ’යි සිතන්න හොඳ නැහැ. මහ බෝසත්වරුන් දිවි හිමියෙන් කටයුතු කළා. කරදර පීඩා බාධා යටපත් කරගෙන මේ ගමන ඉදිරියට යා යුතුයි. ශීල සමාධි , ප්‍රඥා ගුණ, බෝධි පාක්ෂික ගුණ දියුණු කළ යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්න. එවිට අපට ශක්තිය, බලය, වාසනා මහිමයෙන් මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. තම තමන්ගේ සිල් ගුණ හොඳින් දියුණුවෙන්නට තමන්ගේ දියුණුව, ශක්තිය බලය හොඳින් සකසා ගන්න.
බුද්ධ ශාසනය යනු හැම ගුණයක්ම දියුණු කරන වාසනාවන්ත පසුබිමක්. බුද්ධ ශාසනය පදනම් කරගෙන ශීලාදී ගුණ ධර්ම දියුණුවෙන් තමන්ගේ ශක්තිය හොඳින් වඩා වර්ධනය කළ යුතුයි. එමෙන්ම තමන්ගෙන් අනුන්ට යහපතක් මිස අයහපතක් නොවේවා!’යි හැඟීමෙන් කටයුතු කළ යුතුයි. එවිට තමන්ට පුදුමාකාර දියුණුවක් සකසා ගන්න පුළුවන්.
බුද්ධ ශාසනය යනු ඕනෑම පින්කමකට සුදුසු සුවිශේෂී පින් බිමක්. මේ ක්ෂේම භූමියට දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය හොඳින් ලැබෙනවා. එසේම, ධර්මයේ පිහිට , රැකවරණය නියතව ලැබෙනවා. කෙතරම් බාධක අපල තිබුණත් මේවා බුදු දහමට අනුකූලව යටපත් කරන්න පුළුවන්. නිබඳව බුදු ගුණ, දහම් ගුණ , සඟ ගුණ සිහි කිරීමෙන් ඒ සියලු මාර්ග බාධක අපට සන්සිඳුවාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබෙනවා. පාරමිතා ගුණ දියුණුවෙන් නොයෙකුත් කරදර බාධා යටපත් කරන්න පුළුවන්. අව්වෙන්, වැස්සෙන් ,කුසගින්නෙන් , සුළගෙන්, සා පිපාසාවෙන් පවා මතුවන කරදර, පීඩා ඉවසා දරාගෙන දියුණුව උදෙසා තව තවත් ඉදිරියට යා යුතුයි. මෙලෙස ඉදිරිය ගැනත් සැපය ගැනත් සිතමින් කටයුතු කළොත් තමන්ට ලොකු බලයක් නංවා ගන්නට පුළුවන්.
ශීල, සමාධි, ප්‍රඥා , ගුණ දහම් දියුණුවෙන් මෙලොව, පරලොව ජීවිත පෙළ හොඳින් සකසා ගෙන ඉදිරියට යන්න. එවිට කාටත් යහපතක්, ක්ෂාන්තියක් සලසා ගන්න පුළුවන් . බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේලා, සිල්වත් ගුණවත් උතුමෝ, සද්පුරුෂයෝ සිල් ගුණ දියුණුවෙන් ඉදිරියට පැමිණියා. දාන මාන පින්කම් වලින් ඉදිරියට ගියා මිස පසු පසට ආවේ නැහැ. කරදර පීඩා බාධක අපල කෙතරම් තිබුණත් ක්ෂාන්තිය දියුණුව යහපත සලසාගෙන සැවොම කටයුතු කළා. එසේ කල්පනාවෙන් සැවොම සියලු පාපයෙන් වැළකී කුසල ධර්ම රැස්කරගෙන සිත හදාගෙන මේ ගමන ඉදිරියට යන්න. කරදර පීඩා බාධක අපල යටපත් කරගෙන උතුම් ගුණධර්ම දියුණුවෙන් මේ ගමන නොනැවතී ඉදිරිටයම යන්න අධිෂ්ඨාන තබා ගන්න. මේ ගමන මට යන්න බැහැ’යි සිතා කිසිසේත් අධෛර්යවත් වන්නට එපා.
බෝසතාණන් වහන්සේ සංසාර සාගරයේ අපමණ බෝධි සම්භාර පුරමින් අසම සම සම්මා සම්බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා. එබැවින්, සියලු දුක් තරණයෙන් ඉදිරියට යද්දී අපේ දියුණුව, යහපත, ආරක්ෂාව, තමන් විසින්ම හොඳින් සකසාගෙන සිල් ගුණ දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. එමෙන්ම තමන්ගේ ශක්තිය, බලය ලෝකයාට විදහා දක්වමින් ඉදිරියට යන්න පුළුවන්. කෙතරම් දේ තිබුණත් තමා සිල්වතෙක්, ගුණවතෙක්, නැණවතෙක් ලෙස ලොවට පෙන්විය යුතු නැහැ.
තමාගේ ගුණ නුවණ තමා පමණක් දැන ගැනීම අගෙයි. තමන්ගේ ගුණය තමන්ම ප්‍රකාශ කිරීම බුදු සසුනේ හැටියට සපුරා තහනම්. ගුණ අගුණ තමා සතු දෙයක් බව වටහාගෙන තමන්ගේ ගුණය දියුණු කරගන්නට පමණක් අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබා ගන්න. බුද්ධාදී උතුමෝ දේශනා කළ අනුශාසනාවන් හොඳින් පිළිගෙන ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් මේ සියලු ශාසනික වැඩ කටයුතු කරන්න. එසේම, මෙලොව ,පරලොව යහපත සලසාගෙන ඉතා ඉක්මන් භවයකදී අපට පාරමිතා ගුණ මුදුන්පත් වී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාමහ නිවන් පසක් කර ගන්නට මේ දියුණුවීමේ දොරටුව හේතු වාසනා වේවා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment