Labels

Sunday, February 12, 2017

පිනෙන් පොහොසත් වෙමු

පින් කරන්නෝ දෙව් සැප විඳින්නෝ වෙති. සැබවින්ම පින් කරන්නේ කෙසේද? නූතන සමාජය තුළ 'පින්' යනුවෙන් කරන දේවලින් සැබැවින්ම පින් පිරෙන්නේද? දෙව් සැප ලබාගැනීමට පින් කළ යුත්තේ කෙසේද යන්න අද දවසේ අප විමසා බැලිය යුතු කරුණකි. 

මෙරට බොහෝ ජනයා ජ්‍යෙතිෂය විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ට පින් කිරීමට මතක්‌ වනුයේ යම් ජ්‍යෙතීර්වේදියකුගේ කීමක්‌ අනුවය.

ඇතැම් විට නොසිතන මොහොතක සිදු වන උපද්‍රවයන් හමුවේ අසරණ වන මිනිසා ජ්‍යෙතිෂ්‍යයේ පිහිට පතා යති. එවිටය පින් කිරීමට මතක්‌ වනුයේ. සැබැවින්ම බුදුදහමට අනුව නම් පින යනු නිරන්තරයෙන්ම වැඩිය යුත්තකි. ඇතැමුන්ට අනුව පින් කිරීමට වේලාවක්‌ නැත. තවත් අය පවසන්නේ අපි නම් පව් කරන්නේ නැහැ. ඒ නිසා අමුතුවෙන් පින් කළ යුතු නැති බවයි. අප ලබා ඇති මේ මිනිස්‌ භවය කලාතුරකින් හිමිවන්නකි. එය අප ලබා ඇත්තේ පෙර පිනක මහිමයෙනි. භද්‍ර කල්පයකත්, සම්බුද්ධ ශාසනය පවතින සමයකත් අප ඒ මිනිස්‌ භාවය ලබාතිබීම යන කාරණා අතිශය දුර්ලභය. එනිසා අත්‍යවශ්‍යයෙන්ම සිහි තබා යුත්තේ මේ භවය තුළ අප සංසාර ගමන සුදිත මුදිත කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි. තිරිසන් භවයක උපත ලැබූ සත්වයකු පිළිබඳ සිතන්න. ඌට කිසිවිටෙක පිනක්‌ සිදුකරගැනීමට අවස්‌ථාවක්‌ නැත. එම තිරිසන් භවයෙන් මිදීම අතිශය දුෂ්කර කාර්යයකි. සංසාරය පුරා තව බොහෝ කාලයක්‌ එසේ තිරිසන් භවයක ඉපදීමට සිදු වනු ඇත.

එහෙත් ඔබත්, මමත් ලබා ඇති මේ මිනිස්‌ භවය කෙතරම් නම් දුර්ලභද? එනිසා ඔබත් මමත් තවත් ප්‍රමාද විය යුතුද නැත. 

මක්‌නිසාද යත් ප්‍රමාදය පසුතැවිල්ලේ ආරම්භය බැවිනි. කුමක්‌ සඳහාද අප අප්‍රමාදී විය යුත්තේ? පින සඳහාය. කුසලය සඳහාය. ඒ සඳහා අප ගෞතමයාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයන් බොහෝය. එකී මඟ අවබෝධයෙන් ගමන් කිරීමයි කළ යුත්තේ. අද අපි දකින 

බොහෝ පිsන්කම් ප්‍රදර්ශනාත්මකය. ඇතැම් පින්කම් කිරීමට යහමින් මුදල් හදල් තිබිය යුතුය. 

නමුත් සැබෑවටම පින්කම් කිරීමට මුදල් තිබිය යුතුම නැත. පොඩිවට පිං කිරීමෙන් පලක්‌ නැතැයි සිතීම මුළාවකි. බුදුරදුන් දවස සිටි බිළාලපාදක සිටුවරයාට බුදුරදුන් දේශනා කළේ 'පින පුංචි යෑයි සිතා' පසු නොබසින ලෙසයි. පින පුංචියි, මේ පින තමන්ට ආපසු ලැබෙන්නේ නැතැයි නොසිතිය යුතුය. බිඳෙන් බිඳ වතුර වැටීමෙන් කළය පිරෙන්නා සේ ප්‍රඥවන්තයාගේ ජීවිතයද ටිකෙන් ටික 

පිනෙන් පිරෙන බව බුද්ධ වදනයි.

පින් කිරීම විමුක්‌ති මාර්ගයට බාධාවක්‌ යෑයි ඇතැම්හු සිතති. නමුත් එය එසේ නොවේ. සීවලී මහරහතන් වහන්සේගේ ලැබීම උන්වහන්සේගේ විමුක්‌ති මාර්ගයට බාධාවක්‌ වූයේ නැත. එනිසා පින් කිරීමට තමන්ට අපල උපද්‍රවයක්‌ සිදුවන තුරු නොසිටින්න. 'හදයං පුණාතීති පුඤ්ඤං - සිත පිරිසිදු කරන්නේ පින නම් වේ'. සිත පිරිසිදු වන්නේ නම් සිත දෙව්ලොවකි. එනිසා ඔබ සැබෑ ලෙසම පින් කරන්නේ නම් ඔබ මෙලොවදීම දෙව් සැප විඳිනවා ඇත.



2017 පෙබරවාරි මස 10 සිකුරාදා දින  බුදුමග පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment