Labels

Saturday, February 4, 2017

සංසාර ගමනක පින්සාර කුසලය

වෙලාවක් හෝ කාලයක් විශේෂයෙන් ඇතිකර ගත යුතු නොවේ. සිහිය පවත්වන සතර ඉරියව් පවත්වන හැම වෙලාවක් ම සිහියෙන් යුක්තව එම ඉරියව් පවත්වාගත හැකි නම් ඒ ශීලය නම් වූ කායික හා වාචසික සංවරය ඇති කර ගත හැකිය. සීලයෙහි පිහිටියා වූ ගෘහස්ථ ජීවිත ගත කරන අය විසින්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ජීවිතයේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කළ යුතුමයි.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් පෙළෙහි ගෘහස්ථ ජීවිතයක ඇති සම්බාධ පිළිබඳව මැනවින් පෙන්වා දීමට අමතක කොට නැත.
ගෘහස්ථ ජීවිතයේ සම්බාධ සහිත බවත්, බොහෝ යුතුකම්, බොහෝ කටයුතු, පවතින බවත් දහමෙහි සඳහන් කොට තිබේ. බොහෝ ගෘහස්ථයන් විසින් මේ සම්බාධක නිසාම තමා තමා වෙනුවෙන් කළ යුතු, පවත්වාගත යුතු අධ්‍යාත්මික ජීවිතය අමතක කොට පවත්නා බව පෙනේ.
අධ්‍යාත්මික ජීවිතයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? දීර්ඝ වූ සංසාර ගමනක බලවත් වූ කුසලයක් නිසාම ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජන ගත යුතුමයි. මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික ජීවිතය ආරම්භ වන්නේ එතැනයි. අප දුර්ලභව ලද මේ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීමට නම් ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීමම, සතුටු කිරීම නොවෙයි ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීම තිරිසන් ලෝකයේ පවා පවත්නා වූ ලෝක ස්වභාවයයි. එනම් ආහාර ගැනීමත්, නිදාගැනීමත්, වර්ගයා බෝකිරීමත් හා බිය ඇතිවීමත්ය. උසස් මනසක් ඇතිව උපන් මනුෂ්‍යයන් විසින් අධ්‍යාත්මික ජීවිතය ආරම්භ කළ යුතු වන්නේ සීලයෙහි පිහිටාය. එනම් කායික, වාචසික සමෝදානය හෙවත් හික්මීම නම් වූ ඒ සීලයෙන් තම අධ්‍යාත්මික ජීවිතය ආරම්භ කළ යුතුයි.

හික්මීමට වෙලාවක් හෝ කාලයක් විශේෂයෙන් ඇතිකර ගත යුතු නොවේ. සිහිය පවත්වන සතර ඉරියව් පවත්වන හැම වෙලාවක් ම සිහියෙන් යුක්තව එම ඉරියව් පවත්වාගත හැකි නම් ඒ ශීලය නම් වූ කායික හා වාචසික සංවරය ඇති කර ගත හැකිය. සීලයෙහි පිහිටියා වූ ගෘහස්ථ ජීවිත ගත කරන අය විසින්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ජීවිතයේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කළ යුතුමයි. එනම් ජීවිතය හෙවත් කයෙහි පැවැත්ම පිණිස ලෞකික ලෝකයේ ඉගෙනීම, රැකියාව, ස්වාමි භාර්යා, දූ දරු, ඥාති, හිත මිත්‍ර යුතුකම් වශයෙන් ද ධනය, ගේ දොර ආදී වශයෙන් බාහිර කටයුතු ලෙසින් ද ඒවා පැවැත්වූවත් මේ සියල්ලම අත්හැරීමකට වෙනස්වීමකට යටත් වන්නේය. විදර්ශනා කළ යුතු වන්නේ නම් එහි අදහස සියලු සංඛත සංස්කාරයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බවය. එහි දී ජීවිතයේ පැවැත්ම පිණිස ඇස, කන, ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්ද ආදී අරමුණු හා සමඟ කටයුතු කළත් ඒවායෙහි ඇලීමක් හෝ ගැටීමකට පත් නොවන්නේය.
එනම් එය රූපය, ශබ්දය, ආග්‍රහණය, රසය, ස්පර්ශය, සිතිවිලි “මාගේ ය”, “මම වෙමි” “මාගේ” වසඟයේ පවත්නේය. එනම් මාගේ ආත්මයයි. සිතින් දැඩිව නොගන්නේය. එසේ සිතින් දැඩිව ගන්නා හැම අවස්ථාවක දී ම එම ආරම්මණයන් හා සමඟ ඇලීමකට හෝ ගැටීමකට යන්නේ ය. එහි දී සිදු වන්නේ කර්ම හෙවත් සංස්කාර එකතු වීමයි. එසේ කර්ම හෙවත් සංස්කාර එකතුවීම විඥානයේ වැඩීමටත්, විඥානයේ වැඩීම නම් නැවතත් භවය දීර්ඝවීමයි.
භවය සැකසීම නම් උපත් සිදුවීමත්, උපත් සිදුවීම නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පරිලාහ වශයෙන් නැවතත් දුක් රාශියකට මඟ සෑදීමයි. මේ නිසා ගෘහස්ථ ජීවිතවල සම්බාධ කොපමණ තිබුණත් කළ යුතු යුතුකම් කටයුතු බොහෝ සේ තිබුණත් මනුෂ්‍යයා අධ්‍යාත්මික ජීවිතයකට පුරුදු විය යුතුව ම වන්නේය.
මෙලොව ජීවිතය පවත්වනවා කියන ඉන්ද්‍රියන්ගේ පිනවීමත්, අන් අයගේ කටයුතු කිරීමත්, ගිලන්වීම ඔස්සේ නතර වන්නේය. දිරාගෙන යෑම ඔස්සේ දුර්වල වන්නේය. මරණය හා සමගින් “මම, මාගේ” යන සියල්ල ලෞකික වශයෙන් අවසන් වන්නේ ය. පරමාර්ථ වශයෙන් බලන විට “මමය, මාගේය” යැයි ගත් වැරැදි දෘෂ්ටිය නිසා හටගත් තෘෂ්ණාවෙන් සාදා දුන් කෙලෙස්වල බන්ධනයෙන් සතර අපායම බහුල කොට සසර ගමන දීර්ඝ වන්නේ ය. මේ නිසා කොපමණ කටයුතු පැවතියත් අධ්‍යාත්මික ජීවිතයකට නැඹුරුව සීලයෙන් යුක්තව අරමුණු ගන්නා විට ඒ ආරම්මණයන් කෙරෙහි හැකිතාක්දුරට නො ඇලී, නොගැටී රාග, ද්වේෂ ආදී කෙලෙසුන් සංසිඳවාගෙනම පරිහරණය කිරීමට සිත පුරුදු කිරීම අවශ්‍ය වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ “ජටා සූත්‍ර” දේශනාවේ දී

“සීලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං
පඤ්ඤංච භාවයං”
 යනුවෙන් දේශනා කොට ඇත්තේ ය.

“ප්‍රඥාවන්ත මනුෂ්‍යයෝ සීලයේ පිහිටා ම සිතත්, ප්‍රඥාවත් වඩන්නේ ය යන අදහසයි.”
මෙහි දී සිත හා ප්‍රඥාව යනු සමථ විදර්ශනා භාවනාවයි. මේ අදහස් පෙළ මෙහි සඳහන් කළේ අප්‍රමාදී ද? යනුවෙන් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් අසන ලද ප්‍රශ්නයට දෙමවුපියන්ගේ කටයුතු නිසා කුසලයකට ළංවීමට වෙලාවක් නැත. දූ දරුවන්ගේ කටයුතු නිසා, දැසි දස්සන්ගේ කටයුතු නිසාත්, යහළු හිතවන්ත මිතුරන්ගේ කටයුතු නිසාත්, ඥාති හිතවන්තයන්ගේ කටයුතු නිසාත්, ආගන්තුකයන්ගේ කටයුතු නිසාත් ඒ වගේ ම මිය ගිය ඥාතීන්ට පින්දීම් ආදී කටයුතු නිසාත් දෙවියන් වෙනුවෙන් කළ යුතු කටයුතු නිසාත්, රජුන් හෝ රජය වෙනුවෙන් කළ යුතු රාජකාරී නිසාත්, ඒ වගේ ම තමනුත් මේ කය පිනවන්න, ජීවත්වෙන්න දරන උත්සාහය නිසාත් කුසලයකට ලංවීමකට, අප්‍රමාදී වීමකට, අධ්‍යාත්මික ජීවිතයක් ගැන සිතීමට වෙලාවක් නැතය යන පිළිතුර විමසා බැලීම කළයුතු නිසාය. වර්තමාන පරිසරයෙහි පවා බොහෝ පිරිසක් ධනංජානි බමුණාගේ පිළිතුර හා සමඟ සම්බන්ධව සිටී.

ගෘහස්ථ ජීවිතය ගිනි ගත් ගෙදරක් යැයි තමන් තමන් විසින් ම පවසාගෙන ඇලීම්, ගැටීම්, හැඩීම්, වැළපීම්, ආදී බොහෝමයක් දුක්ඛ දෝමනස්සයන් ඔස්සේ ඔවුන්ගේ ජීවිත ගමන ගලාගෙන යයි. යම් කෙනෙක් පවසන ආකාරයෙන් දනක්, පිනක් සිදු කිරීමට හෝ භාවනාවකට සිත යොමු කිරීමට වෙලාවක් නැති තරම්ය. වර්තමාන පරිසරයෙහි කුඩා කල දරුවන් දහමට යොමු කොට පස් පව් දස අකුසල්වලින් නිදහස්ව ඉගෙනීම් කටයුතුත්, තරුණ ජීවිතයකට ගමන් කරන විට හැකිතාක්දුරට සීලයෙන් හා එකඟ වූ සිතක් හෙවත් සමාධියෙන් යුතුව පුරුද්දක් ඇතිකර ගත යුතු බවට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ ය. ඒ සඳහා අපගේ පරිසරය තුළ කුඩා දරුවන් වෙනුවෙන් ඒ වගේ ම තරුණ දරුවන් වෙනුවෙන් ද? දහම් අධ්‍යාපනයක් සකසා තිබීම වඩාත් වැදගත් වන්නේ ය. එනමුත් තරුණ ජීවිතයට පත්වන විට ම උසස් අධ්‍යාපනය හෝ රැකියා වෘත්තීන් නිසා කාර්යය බහුල ජීවිතයක් යැයි පවසා බණක්, පිනක් කියන වචනයෙන් ද බැහැරව සිත තුළ ඇලීම ගැටීම නොඉවසීම අනුන් පරදා යෑම, තරගය, ඊර්ෂ්‍යාව, තරහව, වෛරය, පළිගැනීම තම සිතෙහි ඇතිවන ආවේග, යහපත, අයහපත නොසලකා පිට කර ගැනීමට දරනා උත්සාහය ආදී බොහෝමයක් ප්‍රමාද බව නම් වූ ධර්මය හඳුන්වන වචනය ඔස්සේ සකස්වන බව පෙනේ.

එනමුත් බොහෝම තරුණ පිරිසක් ද ධර්මානුකූල ජීවිතයක ගමන් කරන බවක් ද පෙනේ. මින් අනතුරුව ආවාහ විවාහයන්ට පත්ව කාම භෝගී ජීවිතයක ඇස, කන, ආදී ඉන්ද්‍රියන් රවටන පරිසරයක ඒවායෙහි ම ඇලී ගැටී පහන් දැල්ලට යොමු වෙන ප්‍රාණියෙකු මෙන් එයටම හසු වී අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් ඔස්සේ ම ජීවිත ගලාගෙන යන බවත් පැහැදිලියි. මේ නිසා කය දිරාගෙන යන්නේ මනස දහමින් පෝෂණය නොවූ ලාබාල අවධියකම සිට මරණය අභියස හඬා වැළපී මරණින් මතු අවසානයේ දුගතියම උරුම වන ස්වභාවයකට පත්වෙන බව පැහැදිළියි.
මේ දහම් කරුණු පෙළ මෙතෙක් විස්තර කරනු ලැබූයේ ධනංජානි බමුණාගේ වදන් පෙළ වර්තමානයටත් ගැළපෙන බව පැහැදිලි කිරීම සඳහායි. එහෙත් ධනංජානි බමුණා ලබාදුන් පිළිතුර කොතරම් දුරට සත්‍ය වන්නේද? සාධාරණ වන්නේ ද? දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය හැබෑම ප්‍රයෝජනය එය දැයි, මින් අනතුරුව සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නයන්ගෙන් හා ලබාදෙන පිළිතුරුවලින් අපට පැහැදිලි කරගත හැකි වන්නේය.



හික්මීමට බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් පුරඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment