Labels

Tuesday, April 11, 2017

ලෝ සතට සෙත සලසන ලෝවැඩ සඟරාව

ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
ලෝවැඩ සඟරාවෙහි දෙවන කවියෙන් දැක්වෙන්නේ ධර්ම රත්නයට නමස්කාර කිරීමයි. එම කවියෙහි ලිහිල් අර්ථය නම් “බුදුරදුන් ලෝක තත්ත්වය දැනගෙන හැම දෙනාගේම ප්‍රඥාවෙහි ප්‍රමාණය සලකාගෙන දේශනා කළා වූ ද,සෑම දෙනාට මෙය බලව‘යි දැක්වීමට සුදුසු වූ ද, තම තමන්ගේ නුවණින් දැනගත යුතු වූ ද සද්ධර්මය මම පැහැදුනා වූ සිතින් නමස්කාර කරමි” යනුයි. බුදුරදුන් දේශනා කොට වදාළ ධර්මය ලෝ වැසි සත්ත්වයන්ට සලසන යහපත කුමක්ද? චතුසු අපායෙසු පතමානෙ සත්තෙ අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො යනුවෙන් නරක තිරිසන්, පේ‍්‍රත හා අසුර යන සතර අපායට වැටෙන සත්ත්වයන් එයින් ගලවාලන හෙයින් ධර්මය යනුවෙන් ව්‍යවහාර කරන බව සඳහන් වෙයි. එසේ ගලවන සත්ත්වයන් උතුම් වූ නිවනට පමුණුවනු ලබන්නේ ද මේ උතුම් වූ ධර්මයයි.
ධර්ම රත්නයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පෙන්වා දී නමස්කාර කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇතිබව මෙයින් පැහැදිලි වෙයි. ධර්ම රත්නයේ ගුණ ප්‍රකාශිත ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යන පාලි පාඨයෙහි සිංහල අදහස ‘ඇම පමණින් පැවසු මුනි දැන තතු’ යනුවෙන් පෙන්වා දී ඇත. ලෝක සත්ත්වයෝ එක හා සමාන නොවෙති.
කෙලෙස් අඩු මෙන්ම කෙලෙස් වැඩි සත්ත්වයෝ වෙති. එසේම ප්‍රඥාව අඩු සත්ත්වයෝ හා වැඩි සත්ත්වයෝ ඒ අතර සිටිති. බුදුරදුන් ඒ සියලු සත්ත්වයන් පිළිබඳ මැනවින් දැන දෙසු ධර්මය ආරම්භයේදීත්, මැද දී ත් අවසානයේ දී ත් එක හා සමාන ලෙස යහපත් විය. විශේෂයෙන් ආදියේ දී සීලය පිළිබඳවත්, මධ්‍යයේ දී සමථ විදර්ශනා මාර්ගඵල පිළිබඳවත් අවසානයේ නිර්වාණය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කිරීම නිසා ඉතා ක්‍රමවත් උසස් දේශනාවක් විය. මේ අනුව ඔවුනට ගැළපෙන ලෙස ධර්මය දේශනා කිරීම නිසා බොහෝ අයට වහා අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබුණි. සතර මග , සතර ඵල හා නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්මයන් අවබෝධකර ගැනීමට හැකි වූයේ එහෙයිනි.
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු ‘ යනුවෙන් දැක්වෙන්නේ ‘එහි පස්සිකො’ යන උතුම් දහම් ගුණයයි. ලෝකයේ පවතින සෑම ආගමකටම ‘එන්න බලන්න’යි ප්‍රකාශයක් කිරීමට ශක්තියක් නැත. ආගමෙන් දක්වා ඇති අන්දමට සැමදෙන පිළිගන්නවා විනා ඒවා ගැන විමසා බැලීමේ නිදහසක් සමහර ආගම්වල නොතිබුණි. ඈත කාලයේ ඉතාලියේ ජීවත් වු ගැලීලියෝ සහ බ්‍රෘනෝ වැනි විද්‍යාඥයන් අලුතෙන් සොයාගෙන ඉදිරිපත් කළ කරුණු ආගමට පටහැනි’ යි තීරණය කොට ඔවුන් ජීවතක්ෂයට පත්කළ බව ලෝක ඉතිහාසය පෙන්වා දෙයි. දෙවියන් විසින් ප්‍රකාශිතයයි දැක්වු කරුණුවලට පටහැනිව අදහස් දැක්වීම මොනතරම් බරපතල වරදක් සේ සැලකුවේද යන්න එයින් පැහැදිලි වෙයි. බුද්ධ ධර්මය එයට හාත්පසින්ම වෙනස් අන්දමට එන්න, බලන්න’යි විවෘත කොට තිබීමෙන් ආගමික නිදහස මොනතරම් උසස් මට්ටමකින් පිළිගත්තේ දැ යි සිතා ගැනීම අපහසු නොවෙයි . මේ අනුව බුදුදහම වලාකුළු වලින් තොර අහසෙහි බබළන සඳමඬලක් සේ ධර්මය ඉදිරිපත් කොට ඇති බව පැහැදිලි වෙයි.

‘පච්චත්ථං වෙදිතබ්බෝ යන දහම් ගුණ පාඨය මෙහි හෙළ බසින් කවියට නගා ඇත්තේ තම තම නැණ පමණින් දැනගත යුතු’ යනුවෙනි. බුදුදහමට අනුව කෙනෙකුට ධර්මාවබෝධය ලබාදීම බුදුරදුන්ට හෝ වෙනත් දෙවි කෙනෙකුට හෝ බඹෙකුට හෝ කළ නොහැකිය. ගුරුවරයා අවබෝධ කොට ගත් ධර්මය ශිෂ්‍යයන්ට අවබෝධ කරවිය නොහැකිය. එමෙන්ම ශිෂ්‍යයා මගඵල ලැබුවත් එය ගුරුවරයාට පිරිනැමිය නොහැකිය. එය තමාගේ ප්‍රඥාවෙන් ම තමා විසින්ම අවබෝධ කළ යුතු බව මෙයින් පැවසෙයි. සර්වඥතාඥානයෙන් යුක්ත වූ බුදුරදුන්ට තම නෑයෙකුට හෝ හිතවතෙකු හෝ වෙනත් කෙනෙකුට ධර්මය අවබෝධ කොට දී රහත් කරවිය නොහැකිය. හොඳ නරක, මග නොමඟ බුදුහු කියාදෙති. මේ උතුම් ගුණයෙන් යුක්තව නිවන අවබෝධ කර ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති කියාදෙන හෙයින් උන්වහන්සේ 'මග්ගඤ්ඤු' යන නාමයෙන්ද හඳුන්වා ඇත. ඒ අනුව ක්‍රියා කිරීම ශ්‍රාවක පක්ෂයේ වගකීමය.




ගල්කිස්ස බෞද්ධායතනාධිපති 
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ 
හිටපු විදුහල්පති, 
කොළඹ ආනන්ද විද්‍යාලයේ 
විශ්‍රාමික සහකාර විදුහල්පති, 
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක 
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
දිවියාගහ යසස්සි නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment