Labels

Saturday, September 26, 2015

සැප පතන සැම පින් කළ යුතුයි


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අච්චෙන්තිකාලා තරයන්ති රත්තියො
වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්ඛමානො
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’ති

කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි ,
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන් ඔබේ ජීවිතවලට වඩා වටිනා කරුණු ඇතුළත් ගාථාවක් තමයි අද ධර්ම දේශනය සඳහා තබාගත්තේ. මෙවැනි ධර්මය සිහියට නගා ගැනීමට ඉතා වැදගත් දවසක් වශයෙන් දුරුතු පොහොය පිළිබඳව සෑම දෙනාටම වැටහීමක් තියෙනවා. විශේෂයෙන් අද වැනි දවසක තමයි අප බුදුරදුන් ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩමවා ප්‍රථමවරට මේ රටේ දී ධර්ම දේශනාවක් පැවැත්වූයේ. එදා ධර්මශ්‍රවණය කළ සුමන දෙවියන් ඇතුළු බොහෝ දෙවිවරු මාර්ගඵල ලබා ගත්තා. එපමණක් නොවෙයි සෝවාන් භාවයට පත් ඒ සුමන දෙවියන් බුදුරදුන්ගෙන් ලබාගත් කේශ ධාතු නිධන් කොට සත්රියන් උසැති දාගැබක් සෑදවීම පිළිබඳව සලකන විටද මේ දුරුතු පොහොයේ වැදගත්කම පැහැදිලි වෙනවා. මේ කරුණු ගැන සලකා වඩාත් සැදැහැවත් බව ඇති කොට ගෙන ධර්මය සිතට ගන්න ක්‍රියා කරන්න කියා කාරුණිකව මතක් කරන්න කැමැතියි.
බුද්ධිමත් පින්වතුනි
මා කලින් සඳහන් කළ ගාථාව ඉතා අගනා උපදේශාත්මක කරුණු වලින් සම්පූර්ණයි. බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා දිනක මධ්‍යම රාත්‍රියෙහි උන්වහන්සේ වෙත පැමිණි දේවතාවෙකු වැඳ, වැදගත් අදහසක් ඇති ගාථාවක් ප්‍රකාශ කළා. එහි සරල අදහස මෙයයි. කාලය ගෙවෙමින් යනවා. ඒ දහවල් ඒ නිසා ඉකුත් වෙමින් පවතිනවා. “වයො ගුණා අනුපුබ්බං ජහන්ති’ යනුවෙන් ‘ජීවත්විය යුතු ආයු ප්‍රමාණය කාලය ගෙවී යාමත් සමඟ අවසන් වෙනවා’ යනුවෙන් දෙවියන් ප්‍රකාශ කළා. මරණය කරා මෙසේ ගමන් කරන හෙයින් පුහුදුන් සැම දෙනා තුළම මරණ බිය ඇති වන බව ප්‍රකාශ කළ දෙවියන් ‘පුඤ්ඤානි කයිරාථ සුඛා වහානී’ යනුවෙන් සැප බලාපොරොත්තු වන සැම දෙනාම පින් කළ යුතු බව ප්‍රකාශ කළා.
උපන් සෑම සත්වයෙකු තුළම බිය ඇති කරවන කරුණු හතරක් ඇති බව අංගුත්තර නිකායෙහි බුදුරදුන් පෙන්වා දී තිබෙනව. ජාති, භය, ජරා භය, ව්‍යාධි භය සහ මරණ භය යනුවෙන් ඒවා දැක්වෙනව. මෙහි ජාති භය යනුවෙන් දැක්වූයේ උපත නිසා හටගන්නා වූ බියයි. යම් කෙනෙක් මවුකුසේ පිළිසිඳගත් මොහොතේ සිට උපත ලබන තුරු එහිදී අපමණ දුක් විඳිනවා. ගබ්භොක්ඛන්තික මුලික දුක්ඛ, ගබ්බපරිහරණ මූලික දුක්ඛ ආදි වශයෙන් ආකාර අටක දුකක් අප මවු ගැබ තුළ දී විඳිනවා. එසේ කල්ගතකොට මෙලොව එළිය දකින අවස්ථාවේ මොන තරම් දුක් විඳිනවා දැයි සිතන්නටත් අමාරුයි. ඒ තමයි ජාති දුක එයින් පසු මරණයට පත්වන තුරු කැඩෙන බිඳෙන ලක්ෂණයන්ගෙන් යුක්ත ජරා දුකත්, ලෙඩට ගොදුරුවීම් ස්වභාව කොට ඇති ව්‍යාධි දුකත් නිසා මහත් සේ වද වේදනාවන්ට භාජනය වෙනවා.
මත්වීම කියනවිට බොහෝ අයගේ සිතට නැගෙන්නේ මත් වතුර හෝ මත්කුඩු වැනි දේකින් මත්වීම පිළිබඳවයි. එහෙත් ඒ මත්වීම පැය කිහිපයකින් අවසන් වෙන්න පුළුවනි. ඒවාටත් වඩා මත්වන කරුණු රාශියක් ගැන අපේ ධර්ම ග්‍රන්ථවල කරුණු දැක්වෙනවා. ඒවා අතුරෙන් යෞවන මදය සහ ආරෝග්‍ය මදය බොහෝ දෙනාට බලවත් විපත් ඇති කරන අහිතකර කරුණු වශයෙන් දැක්වෙනවා. ඒ දැක්වු කරුණු දෙකෙන් පළමු වැන්න අනුව සමහර අය තමන්ගේ දෙ අත්, දෙපා ආදී අවයව ගැන හෝ ඇස්, කන්, නාසාදි, ඉන්ද්‍රියන් ගැන සිතා ඒවායේ ශක්තිය සුරූපී බව වැනි දේ ගැන අහංකාර වෙනවා. ඒවගේම දෙවනුව දැක්වූ ආරෝග්‍ය මදය ඇතිවුනාම” බොහෝ අය විවිධ ලෙඩවලින් පෙළෙමින් අපමණ දුක් විඳිතත් මට නම් හිසේ කැක්කුමක් හෝ බඩේ සුළු හෝ ආබාධයක් නැහැ. මා කිසිදාක බෙහෙතක් අරගෙන නැතුවාක් මෙන්ම ඉදිරියටත් බෙහෙත් පෙත්තක් හෝ ගන්න මා සූදානම් නැහැ” යනුවෙන් නිරෝගිකමින් මත්ව අහංකාරයෙන් කතා කරන අය අප අතර සිටිනවා.
දූ දරුවන් ඉඩකඩම් දේපළ ආදියෙන් පමණක් නොව තමා සතු ශරීරය පවා මගේ යයි සලකන අන්ධ බාල පෘථජ්ජනයන් මේ සමාජයේ සිටිනවා. එහෙත් මේ මත්වීම නූගත්කමේ ලක්ෂණයක් බව පෙන්වාදුන් අපේ බුදුහාමුදුරුවන් දේශනා කළා මේ කතාකරන අවස්ථාවෙහි කෙනෙකුට ගස් ගල් පෙරළන්න තරම් ලොකු ශක්තියක් ඇති බව වැටහුණත් ශරීරයෙහි සුළු ආබාධයක් හෝ ඇති නොවුවත් ඊළඟ විනාඩියේදී, ඊළඟ පැයේදි නොවේ නම් හෙට දවස වැනි කවර අවස්ථාවක හෝ මේ ශරීරය දුබලවීමක් හො ලෙඩට ගොදුරුවීමක් හෝ සිදුවන්නට පුළුවන් බව ඨාන සූත්‍රයේදී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එපමණක් නොවෙයි,අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං යනුවෙන් එවැනි දේ සිදුවිය හැකි බව නිතර සිතේ තබා ගන්න යනුවෙන් අවවාද දී තිබෙනවා. මේ බිය දෙකටත් වඩා බරපතළම භය තමයි මරණ භය, මේ දුක්ඛදායක තත්ත්වයෙන් මිදී සැප ලැබීමට නම් පින් කළ යුතුයයි දෙවියන්ටපෙන්වා දුන්නා.
සැප බලාපොරොත්තු වන සැම දෙනාම පින් කළ යුතු බව බුද්ධ දේශනාව පෙන්වා දී තිබෙනවා. එහෙත් අද සමාජයෙහි බොහෝ අය බලාපොරොත්තු වන්නේ මෙලොව තාවකාලික සැප සම්පත් ලැබීම පමණයි. ඒ සඳහා විවිධ පව්කම් කරන අය මෙලොව තාවකාලික සැප ලැබුවත් මරණයෙන් අනතුරව සසර දීර්ඝ කාලයක් අසීමිතව දුකට භාජනය වන්නට වෙනවා. ‘අන්ධභූතො අයං ලොකො’ යනුවෙන් ජීවත්වන බොහෝ අය අන්ධයයි බුදුරදුන් දැක්වූයේ බොහෝ මනුෂ්‍යයන් දෙ ඇස් නො පෙනෙන්නවුන් මෙන් වැරදි. පව් වැඩ කරමින් තාවකාලික සැපයක් විඳීමට උත්සාහ ගන්නා නිසයි.
දැන් වසරක් ගෙවී අප නව වසරකට පා තබා සිටිනව. සිතා බලන්න ගත වූ වර්ෂයේ අප කොපමණ ලෙඩදුක් හිරිහැරවලට භාජනය වුවාද කියා . තවත් පැත්තකින් අප අතින් මොන විදියේ වැරදි වැඩ, පව්කම් සිදු වූවාද කියා තමාම සිතා බලන්න. ඔබට එවිට වැටහේවි මොනතරම් පිරිසුදුව ලස්සනට ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටියත් අභ්‍යන්තරය බොහෝ අවස්ථාවල කිලිටි ගඳ ගහන තත්ත්වයට සමහරුන් පත් කර ගන්නට ඇති කියා මා හිතනවා. ලැබෙන පමණට ලැබෙන දෙයින් තෘප්තිමත් නොවී අධික ආසාවෙන් විවිධ වැරදි කරන්නට පෙළඹෙන්නටත් ඇති. මේ සියල්ලම තමන්ටම දුක් කරදර ඇතිවන විධියට, තමා විසින්ම සිදු කළ දේ වශයෙන් බුද්ධිමත්ව සිතන්න ඕන.
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා වායාම වශයෙන් බුදුරදුන් දක්වා වදාළ ධර්ම කරුණු සිහියට ගෙන ගත වූ පසුගිය වර්ෂවල සිදු කළ පාපකාරී සියලු වැඩ තමන්ටම අහිතකර හෙවත් දුක් පිණිස හේතු වන කරුණූ වශයෙන් සලකා මේ ලැබුවා වූ නව වර්ෂයෙහි හැකිතාක් ලාබ ප්‍රයෝජන ආදිය පසුපස නො ගොස් අධික ආහාර පාන ආදියෙහි ගිජු නොවී දාන, සීල, භාවනා ආදී කුසල ක්‍රියාවන්ගෙන් තම ජීවිතය අලංකාරවත් කර ගැනීමට උත්සාහ ගන්නා මෙන් කාරුණිකව මතක් කරන ගමන් සෑම දෙනාටම නිවන් සුවයෙන් සැනසීම ලබාගැනීමට වාසනාව උදාවේවා යි ප්‍රාර්ථනා කරන්න.




සද්ධර්ම කීර්ති
ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
දිවියාගහ යසස්සි නා හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජනවාරි 04 වන ඉරිදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment