Labels

Wednesday, May 10, 2017

ලෝසතට වැඩ සලසන ලෝ වැඩ සඟරාව - අංක 04

මෙනරම් නරදම් සැරිදම් සඟන ට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකො ට
වෙසෙසින් පෙළඹේ නොමදත් දනහ ට
පවසම් කළ කම පල දැන් හෙළු කො ට


මමෝරම්‍ය වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට භක්තියෙන් සිත, කය, වචන යන ත්‍රිවිධද්වාරයෙන් විශේෂයෙන් නමස්කාර කොට පාලි ධර්මය නොදත් ජනයාහට කුසලාකුසල කර්මඵල විපාක හෙළ බසින් ප්‍රකාශ කරමි” යනු ඉහත සඳහන් කවියෙහි සරල තේරුමයි.

බුදුරදුන් දැක්වීම සඳහා කවියෙහි යොදා ඇත්තේ නරදම් සැරියන වචනයයි. පාලි භාෂාවෙන් පුරිසදම්ම සාරථි යන්න මෙහි හෙළයට නඟා ඇත. අග්ගිසිඛ, ධූමසිඛ, චුලෝදර, මහෝදර ආදි නර රජවරුන්ද සෝණ දණ්ඩ, කූඨදන්ත, පොක්ඛරසාථි ආදි බ්‍රාහ්මණයන්ද ආලවක, සුචිරෝම, ඛරරෝම වැනි යක්ෂයන්ද බක ආදි බ්‍රහ්මයන්ද නාලාගිරි ආදී මත් ඇතුන්ද වශයෙන් නොදැමුණූ සැඩ පරුෂ බොහෝ අය දමනය කළ හෙයින් උන්වහන්සේ නරදම්සැරි නම් වූහ. සුවාසුදහසක් ධර්මස්ඛන්ධය දලු කොල, අතු, පොතු, මුල් ආදියෙන් සැදුම්ලත් මහා ගසකට සමකළ හැකිය. එම වෘක්ෂයෙහි කවර දෙස ලස්සනට තිබුණත් වඩාත් වටින්නේ අරටුවයි. එමෙන් බුද්ධ ධර්මය නමැති මහා වෘක්ෂයෙහි අගනා අරටුවට සමාන කළ හැක්කේ පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය කර්මය ආදි අන් කිසිදු ආගමක නොදැක්වෙන අසම වූ ධර්ම කරුණුය. ඒ අතුරෙන් ජන ජීවිතයට වඩාත් ලංව පවතින කර්මය පිළිබඳව කරුණු දැක්වීම බෙහෙවින් අගනේය.
බුදුදහමෙහි කර්මය කෘත්‍ය වශයෙන්ද විපාක දීමේ ක්‍රම වශයෙන්ද විපාක දෙන කාලය වශයෙන්ද විපාක දෙන ස්ථාන වශයෙන්ද ප්‍රධාන කොටස් හතරකට බෙදිය හැකිය. ඒවායින් එක් කොටසක් තවදුරටත් සිව් කොටස වශයෙන් බෙදී සොළොස් ආකාරයකින් විස්තර කෙරෙයි. ඒ අතුරෙන් කෘත්‍ය වශයෙන් දැක්වෙන කොටසෙහි පළමු වැන්න ජනක කර්මයයි. ඕනෑම සත්වයෙකු මෙලොවින් චුත වීමත් සමඟ තවත් තැනක උපතට බලපානුයේ ජනක කර්මයයි. උදාහරණයක් වශයෙන් ගසක් ඇතිවීමට හේතුවන බීජය හා සමානයයි සඳහන් කළ හැකිය.
කෘත්‍ය කොටසට අයත්වන දෙවැන්න වූ උපත්ථම්භක කර්මය කරනුයේ සුගතියෙහි ප්‍රතිසන්ධිය ලැබූ කෙනෙකුට තවදුරටත් සැප ලබා ගැනීමට පිහිටවීමත් දුගතියක උපන් කෙනෙකුට තවදුරටත් දුක් විපාක ලබාදීමටත් බලපෑම් කිරීමයි. තෙවනුව දැක්වෙන උපපීළක කර්මය කරනුයේ සැප ලැබිය හැකි තැනක උපත ලබා සිටින විට විවිධ ලෙඩ දුක් ඇති කිරීමත්, ලෙඩ දුක් ආදි හිරිහැර විඳින තැනක උපත ලත් කෙනෙකුට ඒවා මඟහැර සැප ලැබීමට මාර්ගය සැලසීමත් සිදුකරනුයේ මේ කර්මය මඟිනි. සිව් වෙනුව දැක්වෙන උපඝාතක කර්මයම උපච්ඡේදක කර්මය වශයෙන්ද බොහෝ තැන්වල සඳහන් වෙයි. බලපෑමට ඇති කුසල් හෝ අකුසල් සම්පූර්ණයෙන් නැතිකොට අකාලයෙහි මරණයට පත් කරණුයේ මේ කර්මය මඟිනි. උපමා වශයෙන් ගසක් මුලිනුපුටා දැමීමට සම කළ හැකිය. විපාක දීමේ ක්‍රමය අනුව ගරුක කම්ම,ආසන්න කම්ම,ආචිණ්ණ කම්ම සහ කටත්තා කම්මා යනුවෙන් සිව් කොටසකට බෙදෙයි. ගරුක කුසල කර්ම වශයෙන් සලකන ධ්‍යාන ලබා සිටියෙකු මිය යත්ම ඒකාන්තයෙන්ම බඹලොව උපත ලබයි. ගරුක අකුසල සේ සලකන පඤ්චානන්තර්ය කර්මයට ලක් වූවෙක් ස්ථිර වශයෙන් දුගතියෙහි උපත ලබයි. කුසල් අකුසල් දෙකම බරපතල හෙයින් මේවා ගරුක කර්මවලට අයත් වෙයි. එවැනි කර්මයක් නොමැති විට මරණාසන්න අවස්ථාවේ සිහියට නැඟෙනුයේ ආසන්න කර්මයකි. කලින් කරන ලද තරමක් බලගතු කුසලාකුසල කර්ම තිබිය හැකි වුවත් ආසන්න අවස්ථාවෙහි සුළු කර්මයක් වුවත් මරණාසන්න අවස්ථාවේ චුති චිත්තයට එළඹිය හැකිය. මරණාසන්න කෙනෙකුට චුති චිත්තය හොඳ අරමුණක පිහිටුවා ගැනීම සඳහා ජීවත්ව සිටින අය නුවණින් ක්‍රියා කිරීමට මෙය කදිම අවස්ථාවකි. නිතර නිතර සිදුකරන ලද කුසල හෝ අකුසල කර්ම ආචිණ්ණ කර්ම වශයෙන් තෙවනුව දැක්වෙයි. කලින් සඳහන් කළ කර්ම තුනම නොමැති අවස්ථාවක කරන ලද සුළු කර්මයක බලපෑම කටත්තා කර්ම වශයෙන් දැක්වෙයි.

විපාක දෙන කාලය අනුව කර්මය කොටස් සතරකි. එයින් මෙලොව දී විපාක දෙන කර්ම දිට්ඨධම්මවේදනීය කර්ම නම් වෙයි. උපපජ්ජවේදනීය කර්ම නමින් දැක්වෙන්නේ දෙවන ආත්මභාවයේදි විපාක දෙන කර්මයි.දෙවන ආත්මයෙන් පසුව සසර කවර හෝ ආත්මයක පසුපස අවුත් විපාක දෙනුයේ අපරාපරියවේදනීය කර්මයයි. විපාක දීමට අවස්ථාව නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වෙයි. මේ හැර විපාක දෙන ස්ථාන සතරක් ගැන සඳහන් වෙයි. ඒවා නම් අකුසල කර්ම සතර අපායෙහි උපතට හේතු වෙයි. කාමාවචර කුසල කර්ම මිනිස් ලොව හා සදෙව්ලොව උපත කෙරෙහි බලපායි. සොළොස් විද බ්‍රහ්මලෝකවල උපතට රූපාවචර කර්ම හේතුවන අතර අරූපාවචර කුසල කර්ම ආකාසනඤ්චායතන ආදි බ්‍රහ්ම ලෝක සතරෙහි උපතට හේතු වෙයි.



කොළඹ නව කෝරළයේ
ප්‍රධාන සංඝනායක 
ගල්කිස්ස බෞද්ධායතනාධිපති 
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍වෙසක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 වන බදාදා වන  බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment