Labels

Saturday, November 18, 2017

සතර අපායෙන් බලවත් ප්‍රේත ආත්මය

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – අංක 11


කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීර ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි."

උපනත් පේතව පව් කොට නොපණ ත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණ ත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණ ත්
මදකුත් පින් නො කළැකි මැයි සිතුණ ත්

“පව් කොට පේ‍්‍රත ආත්මයක් ලබා උපන්නොත් හදිසියේවත් සෙම් සොටු පමණවත් ආහාරයක් නො ලැබෙයි. ආකාශ ගංගාව ගලාගෙන ආවත් උගුරක්වත් නො තෙමෙන්නේ ය. සිතුණේ වී නමුත් කවර කලෙකවත් පින් කිරීමට නො හැකි ය”
පේ‍්‍රතයන් ප්‍රධාන වශයෙන් සතර කොටසකි. නිජ්ඣාවතණ්හික, ඛුප්පිපාසික, පාංශුපිසාච, පරදත්තූපජීවි යනුවෙනි. එහි නිජ්ඣාවතණ්හික නම් පේ‍්‍රත ලෝකයෙහි උපදින අයගේ සිරුර තුළ දැල්වු මහා ගින්නක් ඇති වෙයි. ඔවුහු නිතර ම සා පිපාසා දෙකෙන් පෙළෙති. ඛුප්පිපාසික නම් පේ‍්‍රත ලෝකයෙහි උපන් අය බුද්ධාන්තර ගණනක් නිරන්තරයෙන් සා පිපාසා දෙකෙන් පෙළෙති. පරදත්තූපජීවි පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අන් අය විසින් දෙන පින්වලින් සුලු හෝ සැපතක් ළඟා කර ගනිති. පාංශු පිසාච යන පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අසූචි පහ කරනා තැන්වල වාසය කරති. කැළිකසළ බහුල තැන්වල ද මේ අය උපදිති. අසූචි ආදිය නිරන්තරයෙන් අනුභව කරති. මෙයට අමතරව කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීරය ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි. සෙම් සොටු පමණක් යනුවෙන් ගෙනහැර දක්වා ඇත.

විවිධ පව් කම් කරන අය විශේෂයෙන් පේ‍්‍රත ලෝකයෙහි උපත ලබති. අධික ලෝභය, ඊර්ෂ්‍යාව, වෛරය, සත්ව ඝාතනය, සත්ව හිංසාව, බොරු කීම ඇතුළු මුඛයෙන් සිදු කරන අකුසල් හතරෙහි යෙදීම, කාම මිථ්‍යාචාරය සඟ සතු දේ අයථා ලෙස පරිභෝග කිරීම, සඟ සතු දේ විනාශ කිරීම යන මේ ක්‍රියාවන් නිසා පේ‍්‍රත, ආත්මයෙහි උපත ලබයි. මෙහි සඳහන් වර්ග, සතර හැර වමනය අනුභව කරන ‘වන්තාස’ යනුවෙන් ද, කුණප අනුභව කරන ‘කුණපාස’ යනුවෙන් ද, කටින් ගිනිදැල් නිකුත් කරන, ‘අග්ගිජාලමුඛ යනුවෙන් ද ඉඳිකටු සිදුරක් සමාන කුඩා මුඛයක් ඇති ‘සූචිමුචි යනුවෙන් ද හඳුන්වන පේ‍්‍රත වර්ග දොළහක් ගැන ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.
පේ‍්‍රත යන වචනය වර්තමාන සමාජයෙහි යම්කිසි දුක්ඛිත ස්ථානයක උපත ලැබූවෙකු සඳහා ව්‍යවහාර කරයි. එහෙත් පේ‍්‍රත යන්න මළගිය සෑම දෙනාම වෙනුවෙන් භාවිත කිරීම සාධාරණ ය. සමහර තැනක පේ‍්‍රත යන්නෙන් යක්ෂයන් හැඳින්වීම සඳහා ද යොදාගෙන ඇති බව පෙනේ. මේ අනුව පේ‍්‍රත ලෝකයේ උපන් සත්වයන් හැඳින්වීමට යෙදීම සමඟ මළගිය කෙනෙකු සඳහන් කිරීමට යොදා ගැනීම වඩාත් සුදුසුය.
කලින් සඳහන් කළ සතර ආකාර පේ‍්‍රතයන් අතුරෙන් පරදත්තුපජීවි නම් පේ‍්‍රත ලෝකයෙහි උපන් අයට පමණක් තම ඤාති මිත්‍රාදීන් දෙන පින්වල බලයෙන් සැප ලබා ගත හැකි ය. බිම්බිසාර රජතුමා වේළුවනාරාමය පුජා කළ දින රාත්‍රියෙහි බොහෝ ඤාති පේ‍්‍රතයෝ එතුමා වටකොට ගත්හ. පසු දින අලුයම බුදුරදුන් වෙත ගිය බිම්බිසාර රජතුමා කලින් දින රාත්‍රියේ සිදුවීම් පැහැදිලි කොට දී එයින් තමන්ට හෝ රජ පවුලට විපතක වේද’යි විමසී ය. දිවැස් යොමු කළ බුදුහු මිය ගිය ඤාතීන් පින් ඉල්ලා සිටින හෙයින් ඔවුනට පින් පමුණුවන මෙන් දන්වා සිටියහ. එදින රාත්‍රිය ද එම පිරිස ඇඳුම් වලින් තොරව පෙනී සිටියහ. මේ තත්ත්වය බුදුරදුන් හමුවෙහි ප්‍රකාශ කළ කල්හි වස්ත්‍ර පූජා කොට පින් අනුමෝදන් කිරීමට නියම කළහ. රජතුමා එසේ කළේ ය. මෙයින් පැහැදිලි වන්නේ දීර්ඝ කාලීන ඤාතීන් පවා පේ‍්‍රත ලෝකයේ උපත ලබා පින් බලාපොරොත්තුව සිටින බවයි.
විවිධ අකුසල් සිදුකොට පේ‍්‍රත ලෝකයේ උපත ලැබූ අය පිළිබඳව පේ‍්‍රත වස්තු නමැති ග්‍රන්ථයෙන් බොහෝ දුරට තොරතුරු ලබා ගත හැකි ය. දොළොස් නමක් පමණ භික්ෂූන් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වාසයට සුදුසු තැනක් සොයමින් වැඩම කළහ. එක්තරා ආරණ්‍යයක් හා ඉතා නොදුරු ගොදුරු ගමක් ද දැක මේ භික්ෂූහු එහි නතර කරවූහ. මේ ගමේ පේෂකර්මය කරන්නා වු එකොළොස් දෙනෙක් වාසය කරති. මේ හැම දෙනා එකතුව වස් එළඹ මේ ගමෙහි වැඩ සිටින මෙන් ආරධනා කළහ.

ප්‍රධාන පේෂකාරයා සැදැහැවත් වූවත් ඔහුගේ භාර්යාව සැදැහැවත් නොවේ. තුනුරුවන් කෙරෙහි පැහැදීමක් නැත. මිථ්‍යා දෘෂ්ටි හැඟීම් සහිත ය. තද මසුරු සිත් ඇත්තී ය. මේ තත්ත්වය වටහාගත් ප්‍රධාන පේෂකාරයා ඇගේ ම බාල නැගණිය ගෙදරට කැඳවා සියලු යස ඉසුරු ඇයට භාර දුන්නේ ය. මේ අතර ප්‍රධාන පේෂකාරයාගේ භාර්යාව නිරන්තරයෙන් භික්ෂූන්ට පරිභව කරන්නට වූවා ය. ස්වාමියා විසින් දෙන දානය පරලොව දී මළ මුත්‍රව ලේ සහිත සැරව ද බවට පත් වේවා. අඳින වස්ත්‍ර පරලොව දී රතට දිිලිසෙන අයෝමය වස්ත්‍ර වේවායි නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නට වූවා ය. කලකට පසු ජ්‍යෙෂ්ඨ පේෂකාරය, මිය ගොස් ආනුභාව සම්පන්න රුක් දෙවියෙකුව උපන්නේ ය. මසුරු වූ භාර්යාව කලුරිය කොට රුක් දෙවියා වසන තැනට නුදුරින් පේ‍්‍රතියකව උපත ලැබුවා ය. ඒ පේ‍්‍රතිය නග්නව දුර්වර්ණව සා පිපාසාවෙන් නිතර පෙළෙමින් කල්ගත කරන්නට වූවා ය. රුක් දෙවි තෙමේ දිව්‍ය ආහාරපාන දුන්නත් ඒ සියල්ල මළ මුත්‍ර සැරව ආදිය බවට පත් වෙයි. විළි වසා ගැනීමට වස්ත්‍රයක් පවා ඇයට නො ලැබුණි. මේ නිදසුනෙන් පැහැදිලි වන්නේ සතර අපායෙන් පේ‍්‍රත ආත්මය බලවත් දුක් ගෙන දෙන තැනක් බවයි.



කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක 
ගල්කිස්ස බෞද්ධායතනාධිපති 
දිවියාගහ යසස්සි නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment