දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැ කී
සිහිකොට කඳ පිළිවෙල දොස් නොය කී
නිවනට සපැමිණි සඟ සැට නම කී
කවියට සිත පහදා සිට නිසැ කී
සිහිකොට කඳ පිළිවෙල දොස් නොය කී
නිවනට සපැමිණි සඟ සැට නම කී
ධර්මයට එකඟ වූ පරිද්දෙන් සිංහලෙන් කියන ලද කාව්‍ය සැකයකින් තොරව සිත පහදාගෙන පඤ්චස්ඛන්ධ පරම්පරාව පිළිබඳ විවිධ ආදීනවයන් මෙනෙහි කිරීමෙන් නිවනට සැපත් වූ සංඝයා වහන්සේලා සැට නමක් පිළිබඳව ඉහත දැක් වූ කවියෙන් දැක්වෙයි.
මිනිස් ඉතිහාසයෙහි ආරම්භයේ සිට ම කවියේ ජනපි‍්‍රයත්වය පිළිබඳව සඳහන් වෙයි. අපේ රටේ සාමාන්‍ය ගැමියා කුඹුරේ දීත්, හේනේදීත්, ගැල් පදවද්දීත් වෙනත් වැඩක යෙදෙද්දීත්, කවියට හුරු වී සිටිය බව පැහැදිලිය. කාන්තාවෝ වුවත් කැලේ දර කඩද්දීත්, කුඹුරේ අස්වනු නෙලද්දීත් කවි භාවිතයට පෙළඹී සිටියහ. එයින් මහන්සිය නොදැනීමත්, පාලුව මැකීයාමත් අන් අයගේ ගත සිත පිනවීමත් සිදුවිය.
මාර්ගයට ආසන්නයේ පිහිටි කෙතක් රකිමින් සිටිය කාන්තාවක් තම පාලු ගතිය නැති කිරීම සඳහා කවි ගායනා කළා ය. ඒ කවි සාමාන්‍ය කවි නොවේ. දහටම ගැළපෙන ආකාරයට සකස් කර තිබූ අතර විශේෂයෙන් පඤ්චස්කන්දයෙහි ආදීනව ප්‍රකාශිත ඒවා ය. මේ අසලින් වැටි තිබූ මාර්ගයෙහි විදර්ශනාවට සිත් සකස් කරමින් වැඩම කළ හැට නමක් භික්ෂූහු කාන්තාව ගැයූ කවිවලට සිත් යොමු කිරීමෙන් රහත් භාවය ලබා ගැනීමට තරම් භාග්‍ය සම්පන්න වූහ. සංයුක්ත අට්ඨකතාවේ වංගීස සංයුක්තයෙහි දැක්වෙන මේ සිදුවීමෙන් ධර්මය හා සම්බන්ධ වූ කාව්‍යයක වටිනාකම පැහැදිලි වෙයි.
වර්තමානයෙහි පොදුවේ පවත්වන ධර්ම දේශනා වෙනුවට කවි බණ දේශනා කිරීමට මෙන්ම ශ්‍රවණය කිරීමට සමහරු පෙළඹී සිටිති. ඒවා ද මෙහි සඳහන් අන්දමට පඤ්චස්කන්ධය, ත්‍රිලක්ෂණය, කර්මය, පුනර්භවය ආදී ධර්ම කරුණු මුල්කරගෙන දේශනා කළහොත් එයින් ආනිසංස රැසක් ළඟාකර ගත හැකිවෙයි. විශාලා මහ නුවර විසූ අම්බපාලි නමැති කාන්තාව බෙහෙවින් රූප සම්පන්න වූවා ය.
ඇයගේ අන් අය වශී කරන සුරූපී තත්ත්වය නිසා සමාජය විසින් ඇය ගණිකාවක් බවට පත්කර ගත් බව ධර්ම ග්‍රන්ථ සඳහන් කරයි. එහෙත් කලකට පසු ඈ තමන්ගේ සුදිලෙන, සුරූපී ශරීරය පිළිබඳව නුවණින් සිහිපත් කළා ය. ථෙරී ගාථාවෙහි දැක්වෙන ආරම්භක ගාථාව මෙසේ දක්වා ඇත.
“මගේ කේශ කලාපය කලුවට, බඹරුන් පැහැ ඇතිව, අගින් උඩට නැමී තිබුණි. දැන් ඒ කේශ කලාපය ජරාවට පත්ව හණ වැහැරියක් බඳුය. සත්‍යවාදී වූ හිමි බුදුරදුන්ගේ දේශනාව මෙයින් දැක්වේ යනු ඉහත දැක්වෙන ගාථාවෙහි සාමාන්‍ය අදහසයි. ඉතා ලස්සනට තිබූ ශරීරයෙහි පවතින විවිධ ජරා ලක්ෂණ පෙන්වාදෙමින් ඇය ගාථා දහ අටක් ප්‍රකාශ කළා ය. ඒ සියල්ල අවසානයෙහි විදර්ශනාවට සිත යොමු කළ අම්බපාලි කාන්තාව රහත්භාවයට පත් වූවා ය. එහෙත් අද දේශනා කරන සමහර කවි බණවල මේ ලක්ෂණ විරලය. සමහර කාව්‍ය කියන දේශකයන් වහන්සේලා මාරංගනාවන් රඟ දැක්වීම හෝ රම්‍ය, සුරම්‍ය, සුභ මන්දිරවල සුරූපී කාන්තාවන් සහිතව සිද්ධාර්ථ කුමාරයන් ගත කළ ආකාරය වැනි තැන් විවිධ වෘත්තයන්ගෙන්, විවිධ ස්වරයෙන් කවියෙන් ප්‍රකාශ කරන විට රාගික හැඟීම් ඇතිකරන බව පැහැදිලිය. ඒවා ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමට වඩා සුරූපි කාන්තා ලක්ෂණයන් තුළින් රාගික හැඟීම් ජනනය කරයි. මේවා ශාසනයටත්, විශේෂයෙන් ධර්ම දේශකයන්ටත් නිගරුවක් මෙන්ම සංඝ සමාජයේ පරිහානියද උදා කරන බව නො රහසකි.
කවියෙහි ‘සිහිකොට කඳ පිළිවෙල දොස් නොයෙ කී’ යන්නෙහි කඳ පිළිවෙල නමින් ප්‍රකාශ වන්නේ ස්ඛන්ධයන් මොහොතක් පාසා නැසෙමින් ‘නැවත උපදිමින් වැල නොකැඩී පවතින බවයි’.
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,
දිවියාගහ යසස්සි නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment