සිතුවත් බිය කරවන අරතර යේ
වැටුණොත් එක් සිය සතිසක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ
වැටුණොත් එක් සිය සතිසක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ
සිතූ පමණින් මහත් සේ බිය උපදවන එක්සිය තිස් හයක් වූ නරකයෙහි වැටුණහොත් ඉතා විශාල වූ දැඩි දුක් කරදරයන්ට භාජන වන්නේ ය. එහි පින්කම් කිරීමට සුළු හෝ ඉඩක් නැත, යනු ඉහත සඳහන් කවියෙහි සරල අදහසයි.
පව් කම් කරන අය මරණින් මතු උපත ලබන එකසිය තිස් හයක් වූ නරක පිළිබඳ කවියෙන් සිහිගන්වයි. ඒ එක්සිය සතිස අතුරෙන් අටක් මහා නරක ය. ඒවා නම් සංජීවය, කාළසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන ඒවා යි. මේ සෑම නරකයක ම සතර පැත්තේ පිහිටි දොරටු සතරකි. එහි එක් එක් දොරක් පාසා බලවත් දුක් ලබා දෙන නරක සතර බැගින් වෙයි. ඒ අනුව එක් මහා නරකයකට අමතර වශයෙන් බලවත් දුක්ගෙන දෙන නිරය දහසයක් ඇත. ඒ අනුව අට මහා නිරයන් හා ඒවා සම්බන්ධව පවතින එකසිය විසි අටක් වූ නිරයන් එක් වූ කල් හි එක්සිය සතිසක් නරක ඇති බව පැහැදිලි වෙයි.
මහා නරක අට අතුරෙන් පළමු වැන්න සංජීව නරකය යි. පව්කම් කොට මේ නිරයෙහි උපන් කල්හි යමපලුන් විසින් ගිනි ගෙන දිලිසෙන නොයෙක් ආයුධවලින් කඩකට කොට කපන ලද්දේ නමුත් නැවත නැවතත් එහි ම හටගැනීම සලස්වා වදයට පත් කිරීම මෙහි ලක්ෂණ ය යි. කාළසුත්‍ර නමින් දැක් වූ දෙවන නරකයෙහි උපත ලැබූ කල් හි එහි සිටින යමපලුන් විසින් මහත් වූ හඬ නංවමින්, බය උපදවන දිලිසෙන ගිනිගත් අව් රැගෙන, ගිනි දැල් විහිදෙන යකඩ පොළොව මත හෙළා ඇඟෙහි දැලි නූල් ගසා, දිලිසෙන වෑ පොරෝවලින් හතරැස් හෝ අටපට්ටම් වන සේ කපනු ලබයි. එසේ කැපුවත් නැවත හට ගන්නා හෙයින් කැපීම කෙටීම්වලට භාජන කෙරේ.
සංඝාත නම් නරකයෙහි උපන් කල් හි ඝන යකඩ පොළොවෙහි ඉඟටිය දක්වා ගිලී කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට පත්වෙයි. එවිට පෙර දිගින් ගිනි දැල් විහිදුවන යකඩ පර්වතයක් භයානක ශබ්ද සහිතව අවුත් ඒ නිරි සතුන් කඩ, කඩ කර විනාශ කරමින් ගොස් බටහිර පැත්තේ නවතී. පෙර කළ අකුසල බලයෙන් නැවතත් ඒ නිරි සතුන් පෙර සේ ප්‍රකෘති තත්ත්වයට පත් වූ කල් හි කලින් මෙන් බටහිර පැත්තෙන් යකඩ පර්වතයක් ගිනි දැල් විහිදුවමින් අවුත් නිරි සතුන් සුනු විසුණු කර පෙර දිගට ගොස් නවතී. මේ අන්දමට අනෙක් දිසාවන්ගෙන් ද නැවත හටගත් නිරි සතුන් සුනු විසුණු කරමින් පර්වත ගමන් කරන අතර සමහර විට දෙදිසාවෙන් එක් විට පැමිණෙන පර්වතයන්ගෙන් ද නිරයෙහි උපන්නවුන් සුනු විසුනු කර විනාශ කර දමයි. විනාශ වීමත් සමග නැවත හටගනිමින් අසීමිත කාලයක් දුකට පත් කිරීම මේ නිරයේ ලක්ෂණයයි. රෞරව නම් මහා නිරයෙහි උපන් කල්හි ඇස්, කන් ආදී නව දොරින් ඇතුළුවන කාරම් දුම්වලින් මුළු ශරීරය ම තැම්බීම සිදුකරයි. රතු ලේ වැනි ගිනි දැලින් පිළිස්සෙමින් පැසෙන නිරි සතුන් ඇති නරකය මහා රෞරවයයි. තාප නම් නරකයෙහි ගිනිගෙන දිලිසෙන යකඩ පොළොව මත ගිනිගෙන දිලිසෙන යකඩ හුල් වල හිඳුවන ලද සත්වයන් නිශ්චලව පැසෙමින් දුක් ගෙන දෙයි. ප්‍රතාප නම් නිරයෙහි කලින් දැක් වූ තාප නම් නිරයටත් වඩා බලවත් දුක් ලබා දෙයි. යම පල්ලන් විසින් මෙහි උපන් අය ගිනි ගෙන දිලිසෙන කඳු මතට නංවනු ලබයි. කඳු මතට ගිය අය ආපසු ඇද වැටීමත් සමඟ පොළොවෙන් මතු වූ ගිනි ගෙන දැවෙන යකඩ උල් හි ඇමිණෙයි. මෙසේ අතරක් නැතිව දුක් ලබාදෙයි. අටවෙනුව දැක් වූ අවීචි නම් නරකයෙහි නිරන්තරයෙන් ගිනිදැල්වලින් වටකොට නිරි සතුන් විසින් වද දෙනු ලබයි. මේ අට මහා නිරයෙහි පැන නගින්නා වූ ගිනි දැල් යොදුන් සියයක් ඈත සිට බැලුවත් ඇස් පුපුරා යන තරම් රෞද්‍ර ය. එමෙන් ම බිය ජනක ය.
මහත් වූ බිය ජනක අට මහා නරකයෙහි උප්පත්තිය ලැබීමට හේතුවන කරුණු ධර්ම ග්‍රන්ථයන් හි පැහැදිලිව සඳහන් කොට ඇත. මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන්ට හිංසා කිරීම, වද බන්ධනයන්ට ලක් කිරීම, පහරදීම සහ ජීවිත හානි සිදුකිරීම, අනුන් සන්තක ඉඩ කඩම් ගේ දොර ඇතුළු සියලු දේ අයත් කර ගැනීමත්, නුසුදුසු කාම සේවනය ඇතුළු විවිධ දූෂණයන් හි යෙදීමත් යන කය මුල් කොට සිදු කරන අකුසල කර්මයෝ වෙති. නොයෙක් හේතු මත බොරු කීම, බොරු සාක්ෂි දීම, අනර්ථ ගෙනදෙන අන්දමට කේළාම් කීම, රළු වචන භාවිත කිරීම කිසිදු පදනමක් නැති අන්දමට වාචාල කතාවන් හි නිරතව සිටීම, වචනයෙන් සිදුකරන අකුසල කර්මයෝ ය. එපමණක් නොව සිත යොදවා අනුන් සන්තක දේ අයත් කර ගැනීමට ආසා කිරීම, ක්‍රෝධය, වෛරය, පළිගැනීම සමඟ මිථ්‍යා දෘෂ්ටික ආකල්පයන්ගෙන් යුක්ත වීම මරණින් මතු නිරයගාමී වීමට හේතුවන අකුසල් කිහිපයකි. ඉහත දැක් වූ ආකාරයේ යම් පවක් කරන තැනැත්තා මරණින් මතු ඒකාන්තයෙන් නිරයෙහි උපත ලබයි. එහි සමහර විට බුද්ධාන්තර ගණනක් ගතවන තුරු බලවත් දුක් විඳින්නට සිදුවෙයි. මහා නරක අටෙන් අඩු ආයු ප්‍රමාණයක් ඇත්තේ සංජීව නරකයෙහි ය. එහි ආයු ප්‍රමාණය සැකෙවින් මෙසේ සඳහන් කළ හැකි ය. මනුෂ්‍ය ආයු ප්‍රමාණයෙන් පණස් අවුරුද්දක් චාතුම්මහාරාජික දෙවියන්ට එක් දවසක් වෙයි. එවැනි දින තිහක් දෙව්ලොව මාසයකි. එවැනි මාස දොළහක් අවුරුද්දක් වෙයි. එවැනි අවුරුදු පන්සීයක් චාතුම්මභාරාජික දෙව්ලොව ආයු ප්‍රමාණයයි. එය ගණනින් බැලුවොත් මනුෂ්‍ය ආයු ප්‍රමාණයෙන් අවුරුදු අනූ ලක්ෂයකි. ඒ දිව්‍ය ආයුෂ වූ අනු ලක්ෂය සංජීව නරකයෙහි එක් දවසකි. ඒ දවසින් තිස් දවසක් මසක් වෙයි.
එවැනි මාස දොළහක් අවුරුද්දක් වෙයි. එවැනි අවුරුදු පන්සියයක් සංජීව නරකයෙහි ආයු ප්‍රමාණය සේ සැලකිය යුතු ය. අවම ආයු ප්‍රමාණයක් ඇති සංජීව නරකයෙහි වුවත් වැටුණහොත් මොනතරම් දීර්ඝ කාලයක් දුක් විඳින්නට සිදුවේ ද යි ගැඹුරින් සිතා බලා පවට දැඩිලෙස බිය වීම සැමගේ වගකීම යි.
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment