අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධා බහුල භික්‍ෂු නම වශයෙන් අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ විසින්ය.
අනෙකුත් බොහෝ ශ්‍රාවකයන් මෙන් උන්වහන්සේ ද පදුමුත්තර බුදුරදුන්ගේ අවධියේ දී විවරණය ලබා දාන ආදි මහා පින්කම් අසීමිත ලෙස සිදු කරමින් මේ අග තනතුර ලැබීම සඳහා මහත් උත්සාහයෙන් ක්‍රියා කර විවරණ ලැබූසේක.
ගෞතම බුදුරදුන් ලොව පහළ වීමත් සමඟ බ්‍රාහ්මණ කුලයේ උත්පත්තිය ලැබූ මේ වක්කලි හිමියන් එක් දිනක් පිඬුසිඟා වඩින බුදුරදුන් දුටුසේක. ඒ බුදුරදුන්ගේ රූපශ්‍රීය පිළිබඳ දැඩි ඇල්මක් දැක් වූ ඒ බ්‍රාහ්මණ කුමරුවා බුදුරදුන්ගේ රූපය දැකීමේ බලවත් ආශාවෙන් උන්වහන්සේ පසු පස විහාරයට ගමන් කළා. බුදුරදුන් විවේක සුවයෙන් කල්ගත කරන කල්හිත්, දම් දෙසන කල්හිත්, වෙනත් කවර ඉරියව්වක් ගත කරන විටත් ඒ බුදුරදුන් දෙස බලමින් සිටීමටම දැඩි උත්සාහයක් ගත්තා. ආහාර ගැනීමට හෝ නිදාගැනීමට හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවක යෙදීමට වඩා බුදු සිරුර දකිමින් සිටීම සඳහා තදබල ආශාවක් දක්වා ක්‍රියා කිරීමයි මේ තරුණයාගේ උත්සාහය වුණේ.
උතුම් වූ බුදුකෙනෙකුන් කෙරෙහි සිත් ඇද ගන්නා වර්ණනීය කරුණු තුනක් තිබෙනවා. අතීත චරිත කතාව, ශරීර ලක්‍ෂණ සහ බුදුරදුන් සතු වූ ගුණය යනුවෙන් දැක්වෙන්නේ ඒ කරුණුයි. ඒ අතුරින් බුදුවරයෙකුගේ අතීත ආත්ම ගත කළ ආකාරය පැහැදිලි කෙරෙන චරිත කතාව ඉතාමත් වැදගත්. මනුෂ්‍ය ආත්මයක් හෝ දේවාත්මයක් නොවේ නම් වෙනත් තිරිසන් ආත්මයක් ලබා සිටියත් ඒ තත්ත්වයේ ජීවත් වන අන් අයට වඩා ගුණ නුවණ හා වෙනත් ආකල්පයන්ගෙන් උසස් වූ තත්ත්වයක් බෝසතුන් තුළ පැවතුණා. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඒ බව අපට පැහැදිලි කර දී තිබෙනවා.
සියලු කෙලෙසුන් නසා බුද්ධ රාජ්‍යයට පත් වීමත් සමඟ උන්වහන්සේ තුළ ඇති ගුණ මෙපමණ යැයි සඳහන් කිරීම අපහසුයි. අරහං ආදි නවගුණ පාඨයෙන් පෙන්වන්නේ ඒ උතුම් ප්‍රධාන ගුණ නවයක් පමණයි. තවත් වර්ණනා කළයුතු ගුණයක් වශයෙන් දැක්වෙන්නේ බුදුරදුන්ගේ ශරීරයේ පිහිටා ඇති ලක්‍ෂණයි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් පමණ වූ අනූ ව්‍යඤ්ජන ලක්‍ෂණයන්ගෙන් බුදුරදුන්ගේ ශරීරය දර්ශනීයත්වයට පත්ව තියනවා. මෙයට බොහෝ දුරට සමාන වූ ශරීරයක් ඇත්තේ සක්විති රජකෙනෙකුට පමණයි. ශාසන ඉතිහාසය දෙස බලන විට බොහෝ අන්‍යාගමිකයන් පළමුව බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිව තිබෙන්නේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් නොව ශරීර ලක්‍ෂණ දක්නට ලැබීමෙන් බව පැහැදිලි වෙනවා. උගත් ද්‍රෝණ බමුණා පළමුව ශරීර ලක්‍ෂණයන්ට පැහැදී පසුව බුදුරදුන් වෙත පැමිණ සාකච්ඡා කළ බව ද්‍රෝන සූත්‍රය පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. පසුව විරුද්ධ කම් කළ මාගන්ධිය බමුණා වුවත් මුල දී බුදුරදුන්ගේ සිරුරටයි බෙහෙවින් පැහැදුණේ.
බුදු සිරුර දැකීමට දැඩි කැමැත්තක් දැක් වූ වක්කලී තරුණයා පැවිද්ද ලබා ගන්නේ පිළිවෙත් පුරා සසර සයුරෙන් එතෙර වීමේ පරමාර්ථයෙන් නොව වඩාත් ලංවී සම්බුදු සිරුර බැලීමට පහසුය යන හැඟීම නිසා. පසුව සැවැත්නුවර සිට වස් එළැඹීම සඳහා බුදුරදුන් රජගහනුවරට වඩිත්දීත් මේ වක්කලී හිමියන් උන්වහන්සේ පසුපස ම වැඩම කරමින් කලින් මෙන්ම බුදු සිරුර දෙස බලමින් කල් ගත කරන්න පටන් ගත්තා.
බුදුරදුන් එක් අවස්ථාවක වක්කලි හිමියන් අමතා ‘කිං තෙ වක්කලි ඉම්හා පුතිකායේන දිට්ථෙත’ යනුවෙන් ඔබට මගේ මේ කුණු ශරීරය බලා සිටීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යනුවෙන් පවසා ඔබට මා හරිහැටි දකින්නට ඕනෑනම් මා දේශනා කළ ධර්මය හරි හැටි දකින්න යැයි ඉතා ගැඹුරු වූත්, අර්ථවත් වූත් අවවාදයක් දුන්නා. මෙයින් ද වක්කලි හිමියන්ගේ ඉරියව්වෙහි වෙනසක් නොවූ හෙයින් වහා මෙතනින් පිටව යන්න යැයි නියම කළා.
බුදුරදුන් දැකීමට නොලැබී යාම කියා වේදනාවට පත් වක්කලි හිමියන් අනතුරුව ගිජ්ඣකූට පර්වතයට නගින ලද්දේ එයින් පැන සිය දිවි තොර කර ගැනීමේ බලවත් අධිෂ්ඨානයෙනුයි. මේ බව දිවසින් දුටු බුදුරදුන් බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා තමා එහි වැඩ සිටින ආකාරය දකින්නට සලස්වා ‘වක්කලි මෙහි එන්න’ යැයි ශ්‍රී හස්තය දිගු කළා. එයින් වක්කලි හිමියන්ගේ සිත වහා වෙනසකට පත්ව බුදුරදුන් කෙරෙහි මහත් ප්‍රසාදයක් ඇති වීමත් සමඟ පෙර පින් ඇති වක්කලි හිමියන් රහත් භාවයට පත් වුණා. පෙර සිදු කරන ලද කුසල බලයෙන් සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වූ වක්කලි හිමියන් බුදුරදුන් දුටු අවස්ථාවේ පටන් සිතෙහි වර්ධනය වී ආ සැදැහැවත් බව අන් කිසිම ශ්‍රාවකයෙකුට සමාන කළ නොහැකි නිසයි, සැදැහැවත් භික්‍ෂූන් අතර ද අග තනතුරට පත් වූයේ. උන්වහන්සේට පමණක් නොව සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කවර කෙනෙකු වුවත් බුදුරදුන් කෙරෙහි ප්‍රසාදය ඇති කොටගෙන සරණ ගියහොත් ‘නතෙගමිස්සන්ති අපායං’ යනුවෙන් ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන අන්දමට අපායෙන් මිදීමට එය හේතු වන බව සිතට ගත යුතුයි.
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment