Labels

Tuesday, April 12, 2016

මස්‌පිඬුවලින් සැදුම්ලත් ශරීර මායාව


අද ලෝකය තුළ ශරීරයට ලැබී ඇති වටිනාකම ඉතා ඉහළය. ශරීරය අගය කිරීම, වර්ණා කිරීම, ඒ වෙනුවෙන් කැපවීම ඉතා ඉහළය. එලෙසම ශරීරය වෙනුවෙන් ආඩම්බරවීම, උදම්වීම, මාන්‍යයක්‌ ඇතිකර ගැනීම, උඩඟුවීම ආදියද නිමක්‌ නොමැතිව සිදුවේ. මේ ආදී සිතුවිලි ධාරාවන් ඔස්‌සේ පවතින ශරීර මායාව පිළිබඳ අවබෝධය මිනිසුන් තුළ අල්පය. සත්‍යවශයෙන්ම කරුණු ඒ පිළිබඳ දැන ගැනීමට නම් බුදුහිමි ශරීරය පිළිබඳ දේශනා ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක්‌ ලබාගත යුතුව ඇත.


බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය හැඳින්වීමේදී ලෝකය හැටියට බඹයක්‌ වූ මේ ශරීරයම හඳුන්වා ඇත. එහි ස්‌වභාවය නම් 'ලුඡ්ජති පලුඡ්ජති ලොකෝ' යනුවෙන් විනාශවීම, පලුදුවීම යනුවෙන් විස්‌තර කොට ඇත. එසේ නම් ශරීරය යනු යකඩෙන් රන් රීදිවලින් සැදුම් ලද්දක්‌ නොවේ. නහර වැල් නවසීයකින්, ඇට කැබලි තුන්සීයකින්, නිරන්තරයෙන් අපවිත්‍ර පිටවන දොරටු නවයකින්, කුණුප කොටස්‌ තිස්‌ දෙකකින් සැදුම්ලත් දෙයකි.

බුදුහිමි විවිධ තැන්හි මෙම ශරීරයෙහි අසුබ බව අසාරත්වය දේශනාකොට ඇත. ඒ අතර ධම්මපදයේ චිත්ත වග්ගය හා පුෂ්ඵ වග්ගය අපට වැදගත් වේ.

කුම්භූපමං කයම්මං විදිත්වා - වි.ව. 08

අචිරං වතයං කායෝ - චි.ව. 09

ඵෙනූපමං කායම්මං විදිත්වා - පු.ව. 03

ආදී වශයෙන් මේ ශරීරය මැටි බඳුනක්‌ සේ අස්‌ථිර බවත්, මේ ශරීරය වැඩිකල් නොයාම පහව ගිය සිත ඇතිව ඉවත දමන බවත්, මේ ශරීරය පෙණ පිඩක්‌ යෑයි දැනගැනීමත් මිරිඟුවක්‌ යෑයි වටහා ගැනීමත් කළ යුතු ආකාරය මනාව දේශනාකොට ඇත. ධම්ම පදයේම ජරා වග්ගය තුළ ශරීරයේ අසුභ බව විධිමත්ව දේශනාකොට ඇත. ඒ අතර මේ ගාථා ධර්මය තුළින් ඒ බව මනාව පසක්‌ වේ.

පරිජිණ්‌ණ මිදං රූපං

රෝග නිඩ්ඩං පභං ගුරං

භිඡ්ජති පූතිසන්දේහෝ

මරණන්තං හිs ජීවිතං

බොහෝ සෙයින් දිරාගියා වූද (තව තවත් දිරා යන්නා වූද) මේ ශරීරය ලෙඩ රෝගවලට නිවාසයකි. වහා කැඩී බිඳී යන සුලුය. මේ ජීවිතය මරණය අන්තකොට ඇත්තෝය. (නවදොරකින්) කුණු වැගිරෙන මේ ශරීරය වහා බිඳියන්නේය.

මේ ආදී කරුණු පිළිබඳ ප්‍රඥවෙන් බලන කල්හි ශරීරය පිට ඔපයට හසුවීමට මොනතරම් මායාවක්‌ ද යන්න අවබෝධ වේ. හරියට අසූචි පුරවන ලද කළයක්‌ හා සමාන, පුළුන් පුරවන ලද කොට්‌ටයක්‌ හා සමාන මෙම ශරීරය මස්‌පිඬු වලින් සැදුම්ලත් මායාවක්‌ මිස හාස්‍යයක්‌ නොවේ.

තිරිසන් ලෝකය තුළ විවිධ සුන්දරත්වයෙන් හෙබි සතුන් ඇත. ඔවුන්ගේ සිරි නැරඹීමට මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ වනු ඇත. ඔවුන් ඇඳුම් පැළඳුම්වලින්ද යුක්‌ත නොවේ. නිරවස්‌ත්‍ර වුවද සත්වයින් දැකබලා සතුටුවීමේ ස්‌වභාවයක්‌ උපතින්ම සත්වයින්ට පිහිටා ඇත. ඔවුන් ජීවත්ව සිටියදීත් මියගියාට පසුත් හම්, දත්, අං ලොම ආදිය ගැනීමත්, ඒවාගෙන් මිනිසා නම් සත්වයාගේ ඉන්ද්‍රියන් සතුටු කරන ඇඳුම් හා විවිධ භාණ්‌ඩ තනා ගැනීමත් මිනිසා විසින් සිදුකරනු ඇත.සමහර සත්වයින්ගේ කොටස්‌ නිවෙස්‌වල තබාගනිමින් වටිනාකමක්‌ ඉසිලීමටත් උත්සහවත් වෙති. නමුදු මනිසා නම් සත්වයාගේ ශරීරය තුළ ඇති වටිනාකම කුමක්‌ද? කිසිවක්‌ නැත. එනිසාම ශරීරය වර්ණවත් කරන බාහිර දේවල්වල වටිනාකම වැඩිවී ඇත. අද වෙළඳපොළට එනිසාම හොඳ ඉල්ලුමක්‌ ලැබී ඇත. නිරන්තරයෙන් මේ ශරීරය ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳ විලවුන් තුළින් සරසණු ඇත. එයට හේතුව ශරීරයේ කිසිදු ලස්‌සනක්‌ නොමැතිකමය.

රජගහනුවර සිටි සිරිමා නම් වූ වෛශ්‍යාව ජිවත්ව සිටියදී එකවර මසුරන් දහසක්‌ පවාදී රාජ රාජ මහාමාත්‍යාදීන් පරිහරණය කළ කතකි. මියගියාට පසු මළ ශරීරය වළලා දැමීමට පෙර බුදු හිමිද මැදිහත්වී එය ගන්න කෙනෙක්‌ සෙවූ අතර නොමිලයේවත් ගැනීමට කිසිවෙක්‌ ඉදිරිපත්වූයේ නැත. ඒ අනුව ශරීරයේ අසුභ බව මනාව පසක්‌ වනු ඇත. මෙම ශරීරය අද බාහිර වශයෙන් දැක මමත්වය නම්වූ ආත්ම සංකල්පය ගොඩනගාගෙන ඇත. නමුදු එය මායාවක්‌ පමණි.

කාලා රස මුසු බෝජන කරපෙම්

ගාලා සුවති සඳුනුත් මනරම්

ලාලා අබරණ රිසි ලෙස සැරසුම්

පාලා ගිය වැනි බහුරූ කෝලම්

ආශාවෙන් රස මිශ්‍ර භෝජන වළ¹ මනෝඥ වූ සුවඳ ඇති සඳුනුත් ගල්වා ආභරණයන්ද ශරීරයෙහි දමා රිසි ලෙස සැරසීම වනාහී බහු රූ කෝලම් දක්‌වා යාමක්‌ වැනි වේ.

මේ ආදී වශයෙන් මේ ශරීරය පිළිබඳ විවිධ තැන්වල ධර්මානුකූලව විස්‌තර කොට ඇත. එසේ නමුදු අද එම අවබෝධය නොමැතිකමින් ශරීරයේ පිට ඔපයට රැවටී ශරීරය සඳහා සටන් කරන මට්‌ටමට මිනිසුන් බොළඳවී ඇත.

මාලිගා සදමින් ශරීරය සදාකාලික සුන්දර දෙයක්‌ වශයෙන් බැලීමට ඒ සඳහා වෙහෙසීමට උත්සාහ වනු ඇත. ස්‌වභාවික ශරීරය විකෘති කර ගනිමින් ඒ තුළින් ලෝකයාට ලස්‌සනක්‌ පෙන්වීමට වෙහෙසෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ මෙම ශරීරය පිළිබඳ දස අසුභ භාවනාව වැඩිය යුතු බවයි. එය සතිපට්‌ඨාන සූත්‍රය තුළ මනාව පැහැදිලි කර ඇත. එලෙස ශරීරය පිළිබඳ මෙනෙහි කිරීම තුළින් සැබෑ ජීවිතයට පිවිසීමට එය අත්වැලක්‌ වනු ඇත. බුදුන් කල සුසාන භූමිවල මළ සිරුර දමා ගිය කල්හි භික්‌ෂුන් වහන්සේලා ශරීරය ඉදිරිපිට එම භාවනාව ප්‍රගුණ කළහ. එය අද කාලයටද උචිත වන්නේ ජීවිතය පිළිබඳ මිනිසා මායාවකට හසුවී ඇති බැවිනි.

එවිට අපට අවබෝධ වන්නේ මෙම ශරීරය මොන තරම් අසුභ දෙයක්‌ද යන වගයි. එවිට ජීවිතය තුළින් සිදුවිය යුතු යුතුකම්, වගකීම් පිළිබඳ වැඩි නැඹුරුවක්‌ ඇති වේ. ශරීරයේ අසුබ බව විදර්ශනාකූලව මෙනෙහි කිරීම තුළ ඥන ශක්‌තිය මුහුකුරා ගොස්‌ නිවන් සුව ලබාගැනීමට පුළුවන. චුල්ලපන්ථක, කිසාගෝතමී, බක්‌කුල ආදී ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා තුළින් ඒ බව පසක්‌ වේ. ඒ අනුව ජීවිතයක ඇති යථා තතු අප නිරන්තරයෙන් අවබොධ කරගත යුතුය. මෙම ශරීරයෙහි පිහිටා ඇති ඉන්ද්‍රියන් ක්‌ෂණයක්‌ ක්‌ෂණයක්‌ පාසා වෙනසට බඳුන් වේ. සිතද මෙහොතක්‌ ගානේ වෙනස්‌ වේ. එසේ නමුදු සිත සුමගට ගත් කල්හි එහි විපාකද සුළුපටු නොවේ. බන්ධනයෙන් මිදීම උදෙසා සිත සංවර කරගත යුතුය. එය භාවනාව ඔස්‌සේ කරගත යුතු දෙයකි.

භවෙන් භවේට ශරීර කූඩු වෙනස්‌වෙමින් අලුත් අලුත් ශරීර කූඩු දැරීමට සත්වයාට සිදුවේ. සෑම ආත්මයකම මිනිස්‌ ශරීර ලැබේ යෑයි අවිනිශ්චිතය. එය කර්ම ශක්‌තියත් සමග සිදුවන්නකි. එනිසා අප කවුරුත් දුර්ලභවූ ලැබූ මෙම මිනිස්‌ ආත්ම භාවයෙන් ප්‍රයොජන ගත යුතුය. ශරීරයෙන් සිදුවන අකුසල් නොකොට කුසල්ම කළ යුතුය. ශරීරය නිරන්තරයෙන් ලෙඩ දුක්‌ වලට පත්වේ. එය වෙනස්‌ කිරීම අපහසු දෙයකි. එබැවින් ශරීරය සුභ, නිත්‍ය, සුන්දර එකක්‌ වශයෙන් ගැනීම මුලාවකි. එහි යථා ස්‌වභාවය එකින් එක භාවනාකූලව වර්ධනයකොට විදර්ශනාවට සිත් යොමු කොට නිරන්තරයෙන් ලෙඩ දුක්‌වලට පත්වන ශරීරය සදාකාලිකව එයින් මුදා ගැනීමට උත්සාවත් වෙමු.

ගලගෙදර රතන වංස හිමි

2016 මැදින් මස 22 අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment