මඳක් සිතන්න. ඔබගේ ළ`ගම ඥාතියෙකු හෝ අසල්වැසියෙකු හෝ එසේත් නැත්නම් හිතවතෙකු උත්සාහයෙන් වෙරවීර්යයෙන් තමන්ට වඩා දියුණු වී සිටී ද තමන්ට වඩා හොඳින් සැප සම්පත් භුක්‌ති විඳී ද තමන්ට වඩා පරිවාර ජනයාගෙන් සමන්විත වූයේ
වේද එවන් අවස්‌ථාවන්හි දී ඔබට ඇති වන්නේ කුමනාකාර හැඟීමක් ද? සැබැවින්ම අවංකවම ඔබ ඒ ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන්ණී දියුණුව වෙනුවෙන් සතුටින් පසුවන්නේ ද? එසේත් නොමැතිනම් ඔබගේ සිත තුළ අසහනයණී කෝපයණී නො ඉවසීම වැනි අන් කිසි හැඟීමක් පහළ වන්නේ ද? මෙසේ අන් අය අපට වඩා සතුටින් සොම්නසින් පසු වන අවස්‌ථාවන්හි අපේ සිතට ඇතුළුවන එක්‌තරා අකුසල හැඟීමක් නම් ඉරිසියාවයි. (ඉස්‌සා/ඊර්ෂ්‍යාව) සැබැවින්ම අපට වඩා අන් අයෙකු සැපයක් විඳින්නේ නම් පෘථග්ජන අප තුළ ඔවුන් කෙරෙහි ඇති වන්නේ අසහනකාරී හැඟීමකි. ලොවෙහි බොහෝ දුරට ජාති අතර හෝ ආගම් අතර සමාජ අතර හොඳ හිත පළුදු වීම කෙරෙහි බෙහෙවින්ම බලපාන්නේ ද ඉරිසියාවයි. තමන්ට වඩා හොඳින් සුවෙන් සැපෙන් අනෙකෙකු ජීවත්වීම ඉවසුම් නොදෙන පිරිස් මේ සමාජයෙහි ද ඕනෑ තරම් සිටිති.
අපගේ සිතෙහි නිරන්තරයෙන් විවිධ ෙච්තනාවන් උපදී. මේ ෙච්තනාවන් කුසල හෝ අකුසල විය හැකිය. කර්ම විපාක පිළිබඳ මනා දැනුමක් ඇති අයගේ සිත්වල, සත්පුරුෂ සිත්වල උපදින්නේ කුසල සිතිවිලි ය. එනමුදු පාපී අදහස් ඇති අසත්පුරුෂ සිත්වල උපදින්නේ අකුසල සිතිවිලි ය. ඊර්ෂ්‍යාව යනු ද මහත් අකුසල කර්මයකි. එය අකුසල කර්මයක් වන්නේ එවන් වූ හැඟීමක් ඇති අයෙකුට කළ නොහැක්‌කක් නොමැති වීමයි. ඉරිසියාවෙන් පෙළෙන්නෙකුට අනෙක් අයෙකුට අයහපතක් කිරීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ. අන් අයගේ සම්පත්වලට, සතුටට, දියුණුවට යමෙක් ඊර්ෂ්‍යා කිරීමට පෙළඹේ නම් එය පහත්, අමනෝඥ ක්‍රියාවකි. අනුන්ගේ පමණක් නොව තමාගේ පවුලේ ඥාතීන් සුවෙන් සැපෙන් පසුවන විට ඔවුන්ගේ සුඛවිහරණය කෙරෙහි ඊර්ෂ්‍යා නොකරන්නේ යෑයි කිව හැකිද? ඔබගේ ඥාතීන් දිනෙන් දින දියුණුවට පත් වන විට, සමාජයේ ඉහළ තනතුරු ඔවුන්ට ලැබෙන විට, සමාජයේ මිනිසුන් ඔවුන් ගැන නිතර කතා වන විට ඔබගේ සිතට නැඟෙන හැඟීම කුමනාකාර එකක් වේ ද? ඒවා නො ඉවසනා සුළු හැඟීමක් ද? එසේ නම් ඔබගේ සිතෙහි ද ඉරිසියාව නො අඩුව ඇති බව සිහි තබා ගන්න.
අප සමාජයේ සිටින අමනෝඥ ක්‍රියාවන් සිදු කරන පිරිස් පිළිබඳව අපි පිළිකුළින් යුතුව කථා කරන්නෙමු. එනමුදු අපේ සිතේ නිරන්තරයෙන් පැළපදියම්ව තිබෙන ඉරිසියාකාරී හැඟීම පිළිබඳ කිසිවෙකු හෝ කතා කරන්නේ නැත. එයට හේතුව නම් ඉරිසියාව ඇත්තේ අපට පෙනෙන මානයේ නොවීමයි. එය අතින් ඇල්ලිය නොහැකිය. අනුන්ගේ සැපත දැක දැක ඔබ කෙතරම් නම් සුසුම් හෙළන්නට ඇද්ද? ඔවුන් විඳින සතුට දෙස බලා කෙතරම් අවස්‌ථා ඔවුන්ට අකුල් හෙළා පහතට ඇද දැමීමට ඔබ කෙතරම් මහන්සි ගන්න ඇද්ද? ඔබගේ එකී උපක්‍රම සාර්ථක නොවුණු විට ඔබ සැබැවින්ම දුක් වින්දා නේද? ඉරිසියාවේ සැබෑ තතු මෙයයි. අනුන්ගේ සැපත දැක ඒ වෙනුවෙන් දුක් වන්නා ඉරිසියාකාරී හැඟීමෙන් පසුවන්නා කිසි කලෙක සතුටින් ජීවත් වන්නේ නැත. අනුන්ගේ සතුට දැක ඉරිසියාවෙන් තම සතුටම පිරිහෙළා ගනී. මෝඩ, අඥාන සිතක ඇතිවන මේ අමනෝඥ සංකල්පය නිසා එකදු දවසක්‌වත් සතුටින් සොම්නසින් ජීවත් විය නොහැකිය.
තමා සමග සිටින සියලු දෙනාම තමන්ට වඩා පහළින් සිටිය යුතු බව හැඟීම ඊර්ෂ්‍යාවේ මූලික පදනමයි. මෙම හැඟීම ලොව ඇති සියලු මිනිසුන්ගේ සිත්හි අඩු වැඩි වශයෙන් පවතී. ලෝකයේ සැපෙන් සුවෙන් ජීවත් විය යුතු වන්නේ තමන් පමණක්‌මය, සෑම සැප සම්පතක්‌ම හිමි විය යුත්තේ තමන්ට පමණකි, එකී සැප සම්පත් ලැබිය යුතු වන්නේ තමන්ට පමණකි යන හැඟීම, සිතිවිල්ල සියලු දෙනා තුළ පවතී. තමන් හොඳින් ජීවත් වන අතරම අනුන් එලෙස සතුටින් ජීවත් වීමට උත්සාහ කරන විට එයට වළ කපා ඔවුන්ව අපහසුතාවට පත්කිරීමට පෙළඹී සිටින පිරිස් අප අතර අනේකවත් ය. සමාජයෙන් ලැබිය යුතු සියගු ප්‍රශංසා වරප්‍රසාද ප්‍රතිලාභ ආදි සියලු දෑ හිමි විය යුතු වන්නේ තමන්ට පමණකි. ඒවා අන් අයට හිමි වූ විට තමන්ට ඇති වන්නේ නොරිස්‌සුම් සහගත සිතිවිල්ලකි. තමන් එයින් පිරිහීමට පත් වුණේ යෑයි හැඟීමක් ඔහු තුළ උපදී. ඔබගේ සිත තුළට අන් අයගේ සැපත දුටු විට ඇති වන්නේ මෙබඳු හැඟීමක්‌දැයි ඔබම විමසුම්ශීලී සිතින් යුතුව පරික්‌ෂා කර බලන්න. ඔබත් එවැනි අකුසල සිතිවිල්ලෙන් වල්මත් වූවෙකු බව ඔබට නිසැකවම අවබෝධ වනු නො අනුමානය.
ඉරිසියාවේ ස්‌වභාවය නම් තමන් සතුටින් සිටින අතර අනුන්ගේ සැපයට අකුල් හෙළීමයි. එනමුදු තමන්ටත් හොරා තමන් ද ඒබඳු හැඟීමෙන් පරිහානියට, විනාශයට පත්වන බව අවබෝධ කර ගැනීමට තරම් නුවණක් නැත. ගිනි ගොඩකට හසු වූ කලෙක මෙන් දුක් ගිනිවලින් තමන්ගේ සිත පීඩාවට පත් කරයි. තමන්ගේ ඊර්ෂ්‍යාකාරී ෙච්තනාවෙන් අනුන් පීඩාවට පත් කරන්නේ යෑයි සිතුව ද සැබැවින්ම සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේමය. එනම් අනුන්ට වෛර කිරීම නිසා ඔවුන්ට කිසිදු විපතක් සිදු නොවන අතර තමාම දැඩි වේදනාවට අපහසුතාවට පත් වේ.
තමන්ගේ සිත තුළ ඉරිසියාකාරී හැඟීම ඇති වූ විට සිත නොසන්සුන් වේ. කරන කියන දේ ගැන මනා වැටහීමක් හෝ අවබෝධයක් හෝ නැත. හරි දේ වැරදි දේ නිසි පරිදි වටහා ගැනීමට ශක්‌තියක් ද නොමැතිය. ඉරිසියාවට ලක් වූ අයගෙන් පලි ගැනීමට ඔවුන්ව විනාශ කිරීමට වෛරී ෙච්තනාවෙන් යුතුව ද්වේශයෙන් යුතුව ක්‍රියා කරයි. ඒ සඳහා පිඹුරු පත් සකසයි. විටෙක හදි හූනියම් වැනි විනාශකාරී දෑ පවා සිදු කිරීමට ඉඩ ඇත. අන් අය සමග ඔවුන්ව විවේචනය කිරීම, ඔවුන්ව පහත් කර කතා කිරීම, නැති අගුණ කීම, කුමන්ත්‍රණය කිරීම ආදි මේ සියල්ලක්‌ම සිදු කරන්නේ ඉරිසියාවෙන් දවාලු මිනිසුන්ම ය. නමුත් එයින් සිදුවන්නේ තමනුත් අනුනුත් යන සියලු දෙනාම විනාශයට පත් වීමයි. අනුන් නසා තමන් සැපෙන් ජීවත් වීමට එවැනි දෑ කළ ද තමන් ද එයින් විනාශයට පත්වන බව අවබෝධ කර ගත්තේ නම් එවැනි සිදුවිම් අඩුවනු ඇත.
මම ආශා කරන යමක් මට නොලැබී ඔබට ලැබෙන්නේ නම් මට කළ නොහැකි වූ දෙයක් ඉතා හොඳින් ඔබට කළ හැකි නම් මම ඔබට වැඩි වැඩියෙන් ඉරිසියා කිරීමට පෙළඹේ. මමත් සමඟ විඳිය යුතු සැපත මා සමඟ නොවිඳ වෙනත් අයෙකු සමඟ විඳී නම් මම ඔබ දෙදෙනාටම ඉරිසියා කරමි. මට වඩා ඔහු හොඳ යෑයි සිතා මා ඉවත දමා ඔහු කරා ගියේ නම් මගේ නොහැකියාවට අවනත නොවන මම ඔබගේ හැකියාව දක්‌ෂතාව ඉවසා දරා නොසිට ඔබට කරදරයක් වේදනාවක් අපහසුතාවක් ඇති වේවා යෑයි සිතින් දෙස් දෙමි. යම් සේ ඔබ මා ඉක්‌මවා නොයන්නේ නම් මම කිසි දින ඔබට ඉරිසියා නොකරමි. මන්ද සැම විටම මම පළමුවැන්නා වන බැවිනි. එනමුදු මා පසු කර යැමට සූදානම් වන්නේ ද එයින්ම මම ඔබට ඉරිසියා කරමි. බලන්න ඉරිසියාවේ තිබෙන යථා තත්ත්වය මෙයයි.
තමන් සන්තකයේ අනුන් පිළිබඳ කිසිම ආකාරයේ ඉරිසියාවක් නැතැයි පැවසුවත් සැබැවින්ම ඔවුන් සමහර විටෙක තම පවුලේ සැමියට, බිරිඳට, දූදරුවන්ට, මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ඉරිසියා කරනු ඇත. එවන් අයුරින් ඉරිසියා කර මහත් ව්‍යසන ඇති කළ අය පිළිබඳ මෑත කාලීනව සමාජයේ නොයෙකුත් පෙදෙස්‌වලින් අසන්නට දකින්නට ලැබේ. කෙසේ වුවත් තමා පිළිබඳ හොඳින් දන්නා හඳුනන අය යම් සේ ඉරිසියාවට බඳුන් වේ ද එය ඒ පුද්ගලයාගේ විනාශය පිණිසම හේතුවේ. මන්ද යහළුවාගේ සියලු තතු තමා හොඳින් දන්නා හඳුනන බැවිනි. මේ නිසාය මිතුරන් අතරේ වැඩි වශයෙන් එවන් ව්‍යසන ඇති වන්නේ. තම සිතේ කෙමෙන් හටගන්නා ඉරිසියාව ශරීරය පුරා පැතිරීමෙන් බද්ධ වෛරය දක්‌වා වැඩි වී තමන්ටත් අනුන්ටත් මහත් වේදනා ගෙන දීමේ ක්‍රියා සිදුවීමේ ප්‍රවණතාව වැඩිය.
ඉරිසියාව ඇති අයෙකුගේ සිත බෙහෙවින්ම දූෂිත ය. ඔහුගේ සිත පමණක් ම නොව ලේ ධාතුව ද නරක් වෙයි. ලේධාතුව එසේ දූෂණය වීමෙන් ඔහුගේ සිත මෙන්ම ගතත් රෝගාතුර වෙයි. මෙවැනි වූ රෝග උපදවන ඉරිසියාව නැති කර ගැනීමයි බෞද්ධ පින්වත් නුවණැති අප කළ යුතු වන්නේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශිත නිවැරදි මඟ නම් අනුන්ට මෙත් වැඩීමයි. මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කළ විට එයින් තමන්ටත් අනුන්ටත් යහපතක්‌ම සිදුවේ.
අපාදකේහි මේ මෙත්තං
මෙත්තං චතුප්පදේහි මේ
චතුප්පදේහි මේ
මෙත්තංමෙත්තං බහුප්පදේහි මේ
මෙයින් පෙන්වා දෙන්නේ අපා දෙපා සිවුපා යන මේ සියලු සත්වයින් කෙරෙහි මෙත් සිත පැතිර විය යුතු බවයි. එසේ කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි අයුරු මෛත්‍රී සූත්‍ර දේශනාවේ දී බුදුන් වහන්සේ පෙන්වා වඳාළ සේක. අනුන්ට බොරුවට තමා මෛත්‍රී විහරණයෙන් පසුවන බව ප්‍රකාශ කළත් එවැන්නක් තම සිත තුළ නොමැති නම් තමා කරගන්නේ තමාටම බොරුවකි. එයින් මුළාවට පත් වන්නේ අනිකකු නොව තමන් ම ය.
න වාක්‌කරණමත්තේන
වණ්‌ණපොක්‌ඛරතාය වා
සාධු රූපෝ නරෝ හෝති
ඉස්‌සුකී මච්ඡරී සඨෝ
අනුන්ට ඉරිසියා කරනී මසුරුකම් කරන කපටි පුද්ගලයා මිහිරි වචන කථා කළ පමණින්වත් ශරීර ශෝභාව ඇති පමණින්වත් හොඳ යහපත් මිනිසකු නො වන්නේ ය යනුවෙන් පෙන්වා දෙන්නේ මෙකී අර්ථයයි. මෛත්‍රී භාවනාව වැඩීමෙන් මෙලෝ වශයෙන් මෙන් ම පරලෝක වශයෙන් ඇති වන ප්‍රතිඵල දෙස බැලීමේ දී එය අපේ ජීවිතයට වැදගත් සාධකයක් බව අවබෝධ වනු නො අනුමාන ය.
එයින් ලැබෙන ප්‍රතිඵල කෙටියෙන් දක්‌වන්නේ නම් සුවසේ නිදාගැනීමට හැකිවේ. සුවසේ පිබිදීමට හැකිවේ. නපුරු සිහින දැකීමක් නැත. මිනිසුන් ප්‍රිය කරයි. අමනුෂ්‍යයින් ද ප්‍රියකරයි. දෙවියන් ආරක්‌ෂා කරයි. ගින්නෙන් වසවිසෙන් ආයුධවලින් අනතුරක් නැත. සිත සමාධිගත වෙයි. මුහුණ පියකරු වෙයි. නොමුලාව කලුරිය වෙයි මරණිsන් මතු බඹ ලොව උපදී. ඉහතින් පෙන්වා දුන් ප්‍රතිඵල ළÍd කර ගත හැකි වන්නේ සැබෑ ලෙසම මෙත් වැඩීමෙන් පමණකි. මේ සමාජයේ මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක් වන එක් කරුණක් නම් මෙත් සහගත සිතිවිලි ඇති බවයි. වත්මන් සමාජ රටාවේ දී වුව මේ ගුණ ධර්ම නො අඩුව පූරණය කිරීමේ හැකියාව නුවණැති පුද්ගලයින්ට ඇත. අපත් ඉරිසියාව දුරු කොට මෙත් සිත් උපදවා අපගේ ජීවිතය ආලෝකවත් කර ගැනීමට වෙහෙසෙමු.
2016 මැදින් මස 22 අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment