Labels

Sunday, April 3, 2016

පසු තැවීමෙන් තොර ජීවිතයකට මඟ



"අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් අපට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය."
අප ලැබූ මිනිස් ජීවිතය සතුටින් සහ විනෝදයෙන් ගත කිරීමට අප තුළ ඇත්තේ මහත් ආශාවකි. එනිසා ගෙවී යන හැම මොහොතකම අපගේ සිත් තුළින් සතුට ගිලිහී නොයා රැක ගැනීමට වග බලා ගත යුතු වෙමු.
සතුට සහ පී‍්‍රතිය මිනිස් සිත් තුළ ඇතිවන්නේ එහි රඳා පවතින ප්‍රසන්න සිතිවිලි බලයෙනි. එනිසා සතුට රඳා පවත්වා ගැනීමට හැකිවන පරිදි සිත් තුළ ප්‍රසන්න සිතිවිලි තැන්පත් කරගත යුතුය. එසේ නොමැති වුවහොත් වින්දනීය ජීවිතය අපට අහිමි වනු ඇත. මිනිස් ජීවිතයක් ලැබු අප සැමගේ මානසික සුවදායි බව ගිලිහී යාමට ඉවහල් වන දුර්වල සිතිවිලිවලින් සිත නිදහස් කර ගැනීම සඳහාද අපි උත්සාහ කළ යුතු වෙමු. එසේ අපි අපේක්ෂා කරන සතුට සහ පී‍්‍රතිය ගිලිහී යාමට ඉවහල් වන මානසික තත්ත්වයන් අතරෙහි පසුතැවීම නම් චෛතසිකය කෙනෙකු බලගතු දුකකට ඇද දමන මානසික තත්වයක් බව හඳුනාගත හැකිය. අප විසින් අතීතයේදී වැරදී ගිය දේවල් සහ බලාපොරොත්තු කඩවීම් හා අනුන්ගෙන් සිදුවුණු අයුතු අසාධාරණකම් ගැනත් නිතර සිහිපත් කරමින් පසුතැවීමට පත්වීම එහි ස්වභාවයයි. තමාගෙන් ඉක්මගිය කාලයෙන් ගත යුතුව තිබූ ප්‍රයෝජනය සහ කළ යුතුව තිබූ බොහෝ දේවල්ද අත්හළ යුතු වැරදි පුරුදු සහ නොකළ යුතුව තිබූ දේවල්ද මනාව වටහා නොගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් පසුතැවීමට ලක්වෙති. මෙනිසා පසුතැවිල්ලේ වියරුවෙන් මිදී සතුට සහනය ඇති සුවදායි මනසකින් ජීවිතය ඉදිරියට දියත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්දැයි විධිමත්ව අවබෝධ කර ගැනීම ඉන් මිදීමට ඇති හොඳම මාර්ගයයි.
ඒ සඳහා පසුගිය වැරදි නැවත සිදු නොවන අයුරින් ක්‍රියා කිරීමත් සිදු වූ වැරදිවලින් පාඩම් ඉගෙන ඒවායෙහි ආදිනවය නුවණින් දැකීමත් මෙහිලා අත්‍යවශ්‍යය. වැරදුණු තැන් පිළිබඳව කල්පනා කරමින් පසුතැවීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. වැරදි සිදුවීම මිනිස් ජීවිතයක ස්වභාවයකි. පරිපූර්ණ කිසිවෙක් අප ජීවත්වන පෘථග්ජන ලෝකය තුළ දැකගත නොහැකිය. එනිසා වැරැද්ද වැරැද්ද ලෙසත් නිවැරැද්ද නිවැරැද්ද ලෙසත් හඳුනාගත යුතුය.
අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් පිට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය.
අනවශ්‍ය වූ දේ පිළිබඳව සිත යොමු කිරීම හා ඒවා පිළිබඳව පසුතැවිලි සහගත සිතින් කටයුතු කිරීමෙන් අපට කිසිදු ලාභයක් නොලැබෙනු ඇත. සිත කරදරයට සහ අසහනයට ලක් කරන සිතිවිලි මොනවාදැයි පරීක්ෂාකර බලා ඒවායින් ඉවත්වීමට කටයුතු කිරීම සැනසිලිදායක ජීවිතයකට උපස්ථම්භක වේ. ධම්මපදයේ යමක වර්ගයට අයත් මුල් ගාථා යුගලයෙන් සිතේ සතුට, සහනය සහ කායික මානසික සුවදායිභාවය රැක ගැනීමට දේශිත වටිනා ඉගැන්වීම් දෙකක් හමුවේ. ඒ අනුව ප්‍රසන්න මනසකින් යුතුව යමෙක් ජීවිතය විඳින්නට අපේක්ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය සිතන සිතිවිලි කියන වදන් සහ ක්‍රියාවන් ප්‍රසන්නව පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. එවිට ඔවුනට සැප සතුට සහ සහනය ළඟා කරගත හැකිය.
“මනසා චෙ පසන්නේන භාසතී වා කරෝතීවා
තතො නං සුඛ මන් වේති”
එම ගාථා යුගලයෙහි දෙවන ගාථාවෙන් දූෂිත සිතිවිලි සහ වචන මෙන්ම ක්‍රියාවන්ද ඇති තැනැත්තා අසහනයෙන් සහ තැවීමෙන් දුකට පත් වන බව ද දක්වා ඇත. එබැවින් සතුට නම් වූ සුවදායි මානසිකත්වය යහපත් සිතිවිලි මත ගොඩනැඟී ඇති බව වටහාගත හැකිය. අප ගෙවමින් සිටින මේ මොහොතෙහිදී අප සිතන කියන හා කරන කටයුතුවලින් අපගේ අනාගත සුවදායිභාවය ගොඩනැඟෙන බව මැනවින් වටහාගත යුතුය.මේ මොහොතේදි අපගේ සිත් තුළ සතුට තෘප්තිය වෙනුවට ඇත්තේ පසුතැවීම් හා කනගාටුවීම් නම් අනාගත උරුමය ද එයම වනු නොඅනුමානය.
පන්සිය පනස් ජාතක පොතෙහි සඳහන් මහා ජන සන්ධ ජාතකයෙහිදී පුද්ගලයෙකුගේ ජීවිතය පසුතැවීමට ලක් කෙරෙන ධර්මෝපදේශ දහයක් දැක්වේ. ජනසන්ධානුශාසනය නම් වු එම කරුණු දහය මෙහිලා සාකච්ඡා කිරීම යෝග්‍ය බැවින් ඒ පිළිබඳව අප අවධානය යොමු කෙරේ.
1.කෙනෙකු තම තරුණ කාලයෙහි විවිධ වෙළෙදාම් සහ සේවා කටයුතුවල නිරතව තම තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා ධනය උපයාගත යුතුය. එසේම උපයාගත් ධනයෙන් කොටසක් මහලු වී ගිය කාලයෙහි ප්‍රයෝජනය ගැනීම පිණිස ද ආරක්ෂා කර තබාගත යුතුය. ඒ අයුරින් යමෙක් ස්වකීය තරුණ කාලය ධනෝපාදන කි‍්‍රයාවලියකට යොමුනොකොට අලසව සිටියේ නම් සම්පත් සොයාගෙන එයින් සැපවත්ව ජීවත්වන්නවුන් දැක මහත් දුකකට සහ පසුතැවීමකට පත්වේ.
2.යම් කෙනෙක් බාල කාලයෙහි උගතයුතු ශිල්ප ශාස්ත්‍රාදියක් මැනවින් හදරා එයින් සැපසේ ජීවත් වේ නම් ශාස්ත්‍රානුගත්තා වූ අලස තැනැත්තා එසේ සැපවත්ව ජීවත්වන්නවුන් දෙස බලා අපිත් මැනවින් ශිල්ප ශාස්ත්‍රාදියක් පුරුදු පුහුණු කළේ නම් මොවුන් සේම සැපවත්ව ජීවත් විය හැකිවී තිබිණැයි මහත් පසුතැවීමකට පත්වන්නේය.
3.යම් කෙනෙක් තමාට බලය හැකියාව තිබියදී බොරුවෙන් හා කේලාම් කීමෙන් අනුන් රවටන්නේද උපායශීලිව අනුන් භේද කරන්නේද එසේම අල්ලස් ගැනීම් ආදියෙන් සෙසු ජනයා පීඩාවට පත් කරන්නේද එබඳු තද පරුෂ අයුරින් කටයුතු කළ අයද තමා කළ කී දෑ පිළිබඳව පසු තැවෙන්නේය.
4.යමෙක් සතුන් දඩයම් කිරීමෙන් සතුන් මස් පිණිස විකිණීමෙන් හා ඔවුන් අල්ලා ගැනීමට තුවක්කු බැඳීම් මළපුඩු යෙදීම් ආදිය කරන්නේද සතුන්ට වධ හිංසා පමුණුවා ඔවුන්ව ඝාතනය කරන්නේද එසේම තමාට අයිති නැති වස්තු සම්පත් පැහැර ගැනීම සඳහා ගෙවල් බිඳීම් මංපැහැරීම්වල යෙදෙන්නේද එබඳු අයද මහත් දුකකට පත්ව පසුතැවිලි වන්නේය.
5.යමෙක් ස්වකීය ස්ත්‍රිය සිටියදි පර අඹුවන් කරා යන්නේද එසේම තම බිරිඳට හා දරුවන්ට දිය යුතු සම්පත් හා ආදරය සෙනෙහස පරඹුවන් හා ඔවුන්ගේ දරුවන්ට ලබා දෙන්නේද එබඳු අයටද පසුතැවිලිවන්නට සිදුවේ.
6.යමෙක් තමාට ධනය හා හැකියාව තිබියදී මෙලොව හා පරලොව හිතසුව පිණිස ආගම ධර්මානුකූලව පිළිවෙත්හි නොයෙදී දන් පින් නොකොට ජීවත් වන්නේද එබඳු අයටද මහත් පසුතැවීමක් ඇතිවේ.
7. තවද යම් දරුවෙක් තමා හැදූ වැඩු මව සහ පියා ජීවත්ව සිටියදී කළ යුතු සත්කාර සම්මාන නොකොට එම යුතුකම පැහැර හරින්නේද එබඳු අයටද පසුතැවෙන්නට සිදුවේ.
8.එසේම යමෙකුට පූර්ව ආචාර්යවරයෙකු බඳු අනුශාසකයෙකු බඳු සියලු සම්පත් දී පෝෂණය කළ මවගේ හෝ පියාගේ වචනයට පිටු පා අන් අයගේ බස් අසා අකීකරු ගති පැවතුම් ඇතිව දෙමව්පියන්ට එරෙහි වූයේ නම් එයින්ද ඔවුනට පසු තැවෙන්නට සිදුවේ.
9. යම් කෙනෙක් උගත් සිල්වත් පැවිදි උතුමන් ගුරුවරුන් හෝ තමාට වඩා ගුණ යහපත්කම්වලින් හෙබි කවරෙකු හෝ ආශ්‍රය නොකොට නිර්දය ලෙස ඔවුන්ට බැණ වදින්නේ නම් එසේම නිසි ගරු බුහුමන් නොපවත්වන්නේ නම් ඔවුන්ට ද පසුතැවෙන්නට සිදුවේ.
10. එසේම යමෙක් සිල්වත් ගුණවත් අය වෙත ගොස් තම තමන්ගේ කටයුතු සඳහා නිසි උපදෙස් අනුශාසනා නොලබන්නේද අවවාද පිළිගැනීමට මැළිවන්නේද එබඳු අයද මෙලොවදීම පිරිහීමට පත්ව වන අතර මතු මහත් පසුතැවීම් වලින් දිවි කෙළවර කරන්නේය.

ඉහත සාකච්ඡා කරන ලද පුද්ගලයෙකුගේ මතු පසුතැවීම පිණිස හේතුවන දසවිධ ධර්මෝපදේශ හඳුනාගෙන කටයුතු කිරීම අභිවෘද්ධිය අපේක්ෂා කරන සෑම අයෙකුගේම වගකීමක් බව සිහිපත් කළ යුතුව ඇත. සතුටින් සහ සාමයෙන් ජීවත්වීමට බලාපොරොත්තු වන හැම දෙනෙක්ම අපගේ ජීවිතවලට පසුතැවීම් ගෙන දෙන අමිහිරි හා අනර්ථකාරි සිතුම් පැතුම් සහ චර්යාවන්ගෙන් ඉවත්විය යුතුමය. අප සියලු දෙන ලබාගෙන ඇති ජීවිතය නම් වු මෙම නෞකාව තැවීම් පෙළීම්වලින් මිදුණු සතුට හා පී‍්‍රතිය රැඳුණු ක්ෂේම භූමියක් වෙත දියත් කිරීමට මෙම ඉගැන්වීම් මහෝපකාරි වනු නොඅනුමානය. එබැවින් මෙම ක්‍රමවේදය අනුගමනය කොට අප ලබාගත් දුර්ලබ මිනිස් ජීවිතයට ආධ්‍යාත්මික වටිනාකමක් ලබාදීම සඳහා කටයුතු කිරීම බෞද්ධ ශ්‍රාවකයන් වූ අප සැමගේ යුතුකම හා වගකීම බව අවධාරණයෙන් සිහිපත් කළ යුතු වේ.





පානදුර දිබ්බැද්ද අමරමුණි විහාරවාසී 
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 31 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment