විමානවත්ථු ප්‍රකරණයෙන් ....
බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි ඒ නුවර පුණ්ණ නම් වූ එක්තරා දුගී දුප්පත් පුරුෂයෙක් වාසය කළේ ය. ඔහු නුවර සිටාණන් යටතේ සේවයෙහි යෙදෙමින් සිටියේ ය. ඔහුටත් භාරියාවටත් එක් දියණියක් විය. ඈ උත්තරා නම් වූවා ය.
ඒ කාලයෙහි නැකැත් කෙළි පිණිස කාල ඝෝෂා කෙරුණු එක් දිනක පුණ්ණ සිය දෛනික සේවය පිණිස සිටුමැඳුරට පැමිණි වේලේ එදින නැකැත් කෙළියෙහි යෙදෙන්නෙහිද නැතහොත් කර්මාන්ත කටයුතුවල යෙදෙන්නෙහි දැයි සිටාණෝ විචාළහ. නැකැත් කෙළියෙන් ධනවතුන්ට විනා අපට කුමන පලක් වේදැයි පැවැසූ පුණ්ණ, ගොනුන්ලැබේ නම් සී සෑමට යන්නෙමැයි පැවසීය. ඒ අනුව ඔහු ශක්තිමත් ගොන්බානක්ද යහපත් නගුලක් ද රැගෙන කුඹුර බලා පිටත්ව ගියේ භාර්යාවට මෙසේ පවසමි “සොඳුර අද නුවර සියල්ලෝ නැකැත් කෙළියෙහි යෙදෙති. අප දුප්පත් බැවින් මම අදත් බැළමෙහෙ පිණිස යන්නෙමි. අද මට වෙන දවස්වලට වඩා දෙගුණයක් බත් මාළු උයා කුඹුරට රැගෙන එනු.”
එදින උදෑසන සැරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට ‘අද දින කවුරුන්හට සංග්‍රහ කරන්නෙම්, දැයි කරුණා ඇසින් බලද්දී පුණ්ණ දැක ඔහුගේ හේතු වාසනා ද දැක ඔහු සීසාමින් සිටි කුඹුර අසලට වැඩම කළහ. එසේ වැඩ ඒ නුදුරෙහිවූ වන ලැහැබක් දෙස බලා සිටියහ. පුණ්ණ ඒ දැක සී සෑම නවතා උන්වහන්සේ සමීපයට පැමිණ වැඳ නමස්කාර කොට උන්වහන්සේට දැහැටි දඬු අවශ්‍ය වෙතැයි ඒවා පිළිගැන්නූහ. එවිට උන්වහන්සේ පාත්‍රය සහ පෙරහන ඔහු වෙත දුන් බැවින් පෙරහනින් පෙරා ගත් පැන් පාත්‍රය පුරවා පිළිගැන්නූහ. එය ද පිළිගත් මහරහතන් වහන්සේ පුණ්ණගේ භාර්යාවගේ පින්පල දැක ඔවුන්ගේ ගෙපැල දෙසට වැඩම කරන්ට වූහ.
එවේලේ පුණ්ණගේ භාර්යාව බත්මාළු පිසගෙන කුඹුර වෙත එමින් සිටින්නී අතරමඟ දී මහරහතන් වහන්සේ දුටුවා ය. ‘දාන වස්තු නැති දවස් හි භික්ෂූන් වහන්සේලා දකිමි.දාන වස්තු ඇති දවස්හි උන්වහන්සේ දක්නට නොහැකි වෙයි.අද ආර්යයන් වහන්සේ දකිමි. දාන වස්තු ද ඇත්තෙමි. එබැවින් මුන් වහන්සේට මේ ආහාරය දාන පිණිස පිළිගන්වන්නෙමි’ යි සිතුවා ය. ඈ තෙරුන් වහන්සේට ආරාධනා කොට සැලියෙහි වූ බත පාත්‍රයට පිළිගන්වද්දී පාත්‍රය අඩක් පිරුණු පසු උන්වහන්සේ පාත්‍රය අතින් වසා ගත්හ. එවිට ඈ ‘ස්වාමීනි, අපට අනුකම්පාවෙන් ඉතිරි අඩත් පිළිගනු මැනව. ස්වල්පයක් වත් ඉතිරි කොට නොගෙන පූජා කරමි’ යි කීවා ය.
මුගලන් මහරහතන් වහන්සේ ඇගේ දානය පිළිගනිමින් පින් අනුමෝදනා කොට වදාරා ‘තොපගේ ප්‍රාර්ථනාව ඉටු වේවා’ යි වදාළහ.
පුණ්ණගේ භාර්යාව යළි ගෙදොර බලා දිව ගොස් සහල් ආදිය සපයාගෙන ආහාර පිස ඒ බත කුඹුර කරා රැගෙන යද්දී පුණ්ණ කුසගිනි දැඩි බැවින් ගොනුන් මුදා රුක් සෙවණකට වී මඟ බලා සිටියේ ය. ඔහු කුසගින්නෙන් පීඩිත බැවින් කෝපයෙන් බැණ වදින්නට හෝ කෙවිටෙන් පහර දෙන්නට හෝ වුවොත් තමන් කළ කුසලය නිරර්ථක වේ යැයි ඇයට සිතුණි. එබැවින් විමසන්නටත් පෙරම ඈ සියල්ල සැමියා හා පැවසුවා ය. කී දේ කුමක්දැයි නොවැටහුණු පුණ්ණ යළිත් බිරිඳගෙන් පිළිවිස දැන පහන් සිත් ඇතිකොට ගත්තේ ය.
“කී කළ දේ ඉතා යහපති. මා ද උදෑසනම උන්වහන්සේට දැහැටි පූජා කළෙමි.’ යි ඔහු සතුටට පත්ව බත් අනුභව කොට මඳක් ඇළවී හිඳ යළි පිබිද බලද්දී පුදුම දෙයක් දුටුවේ ය. එනම්, ඔහු සී සා පෙරැළූ පස්පිඬු සියල්ල කිණිහිරි මල් සේ රන්වන් ව දිලිසෙන බවයි. ඔවුන් දෙදෙනාම ගොස් බලද්දී ඒ පස් පිඬැලි රත්තරන් වී ඇති බව දුටහ. එක් පස් පිඬක් ගෙන නගුල් හිසෙහි ගසා බලද්දී ඒ රත්තරන් ම බව ප්‍රත්‍යක්ෂ කර ගත්හ.
“මේ නම් උදෑසන මහතෙරුන් වහන්සේට දුන් දානයේ පල විපාක වේ. මෙතරම් ධනයකින් අප කුමක්කරන්නද මේවා රජුට අයත් බැවින් රජතුමන්ට ම පවරා දෙමු” යැයි ඔව්හු කතිකා කර ගත්හ.
රාජ පුරුෂයන් පැමිණ ඒවා රජු සන්තකය තියා ගනිද්දී ඒවා යළි පස් බවටම පෙරැළිණි. පුණ්ණ සතුය කියා ගනිද්දී රත්තරන්ම විණි. රාජාංගනයේ ගොඩගැසුණු රත්රන් කන්ද අසූරියනක් උස් විය. රජතෙමේ මහජනයා කැඳවා පිරිස් ඉදිරියේ ඒවා පුණ්ණට ම පවරා ජනයා විචාරා ඔහුට සිටු තනතුරක් ප්‍රදානය කළේ ය. ඔහු ‘මහධන සිටාණෝ’ යනුවෙන් නම් කළේ ය. ඔහුගේ මාලිගයට සුදුසු බිමක් ද පැවරුවේ ය.
පුණ්ණ තෙමේ බුදුපාමොක් මහා සංඝයාට සත් දවසක් මුළුල්ලේ දන් දෙමින් සිටු මංගල්‍යය ද සිටුමාලිගයට ප්‍රවේශ වීමේ මංගල්‍යය ද පැවැත්වූයේ ය. බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණ වදාරා නිම කළ අන්තයෙහි පුණ්ණ සිටුවරයා ද සිටු දේවිය ද සිටු දියණිය උත්තරා ද එක්වර ම සෝවාන් ඵලයට පත් වූහ.
නොබෝ කලකින්ම රජගහ නුවර සිටුවරයා තම පුත්‍රයාට පුණ්ණයන්ගේ දියණිය උත්තරාව විවාහ කර ගැනීමට විමසා එවීය. පළමුව පුණ්ණ ඊට නොකැමැති වූයේ ඒ පුත්‍රයා මිථ්‍යා දෘෂ්ටික වූ බැවිනි. එහෙත් නුවර අනෙකුත් සිටුවරයන්ගේ පෙළැඹීම හේතුවෙන් ඔහු ඊට එකඟ වූ මඟුල් කොට දියණිය විවාහ කොට දුන්නේ ය.
උත්තරා සිටුකුමරිය පතිකුලයට ගිය පසු ඇයට භික්ෂුවක හෝ භික්ෂුනියක හෝ දකින්නටවත් දානමානයක් දෙන්නට වත් ධර්මයක් ශ්‍රවණය කරන්නටවත් අවස්ථාවක් නොලැබ ළතැවුණා ය. එබැවින් ඈ එපවත් සිය මව්පියන් වූ මහධන සිටාණන්ටත් දේවියටත් දන්වා යැවුවේ ‘කවර හෙයින් මා මේ දඟගෙයි ලුවෙහි දැ’යි කියමින් කණස්සල්ලෙනි. සිටු යුවළ ඊට පිළියම් යොදමින් දියණියට මෙලෙස දන්වා යැවුවේ ය.
‘දියණියනි, මෙනුවර සිටින සිරිමා නම් ගණිකාවට දිනකට කහවණු දහසක් බැගින් ගෙවා ගෙන්වා නුඹගේ ස්වාමියාට පවරා දී නුඹ කැමැති පරිද්දෙන් දන් පින් කිරීම කටයුතු යොදා ගැනීම මැනවි.’ මෙසේ සඳහන් කරමින් සිටුතෙමේ දියණියන් වෙත කහවණු පහළොස් දහසක් ද යැවීය.
උත්තරාවගේ ස්වාමි පුරුෂයා වූ තරුණ සිටු කුමාරයා ද ඊට එකඟ විණි. එබැවින් උත්තරාව සිය ස්වාමියාට දෙපෝයකට සිරිමා නම් ගණිකාව පාවා දුන්නා ය. අනතුරුව ඈ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනය කරමින් ‘ස්වාමීන් වහන්ස, මේ අඩමස තුළ අන් තැනකට දානය පිණිස නොවඩින සේක්වා’ යි අයැද සිටියා ය. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනය ඉවසා වදාළහ.
එදින පටන් මහා පවාරණය තෙක් උත්තරාව බුදුපාමොක් මහා සංඝයා වහන්සේට දන් පිළිගන්වමින් ඇප උපස්ථාන කරන්නට වූවා ය. ධර්මය ශ්‍රවණය කරන්නට වූවා ය. මේ මේ දානාදිය පිළියෙල කරන්නැයි දාසීන් ඇණ වූවා ය. තමා ද ඒවාහි නිරත වූවා ය. මෙසේ පින්කම්හි යෙදෙමින් සිටි මහා පවාරණයට පෙර දින ඇය දැලි කුණු තැවරුණු ශරීරයෙන් යුතුව දාන කාර්යයන් සංවිධානය කරමින් සිටි මොහොතක ඇයගේ ස්වාමි පුරුෂයා වූ සිටුකුමාරයාට ඇය නෙත ගැටුණි.
“අහෝ, අඳ බාලකමක තරම. මේ සිටු මාලිගාවේ මෙපමණ සැපක් අනුභව නොකර මුඩු මහණුන්ට උපස්ථාන කරන හැටි!’ යැයි සිතූ ඔහු සිනාසෙමින්ම ආපසු හැරුණි.
ඔහු සමඟ හුන් සිරිමා ගණිකාව කුමකට සිනාසුණේදැයි විමසා බලා උත්තරාවන් දැක ‘මේ තැනැත්තා මෑ කෙරෙහි ළෙන්ගතුයැ’යි සිතා උත්තරාව කෙරෙහි වෛර බැඳ ගත්තාය. තමන් අඩමසකට සිටු සම්පත් විඳින්නට පැමිණි තැනැත්තියකැයි ඇයට අමතක විණි. තමා ස්වාමිදියණිය විණැයි යන සිතිවිල්ලෙන්ම ඇය ප්‍රාසාදයෙන් බැස දාන ශාලාව වෙත දිව ආයේ උත්තරාවට දඬුවම් කරන අටියෙනි. එවෙලේ කැවුම් පුළුස්සන තැන කකියමින් උතුරන ගිතෙල් හැන්දක් රැගත් සිරිමාව උත්තරාවන් ඉදිරියට පැමිණියා ය.
උත්තරාව ක්‍රෝධාග්නිය දකිමින්ම මේ තැනැත්තිය මට මහත් උපකාරී වූවා ය. ඒ උපකාරය අප්‍රමාණය. මට ඇය නිසා දන් දෙන බණ අසන ඉඩ ප්‍රස්තා සැලසුණි. එබැවින් මම මැයට ක්‍රෝධ නොකරමි. මා සිත්හි ක්‍රෝධයක් වේ නම් මේ උණු ගිතෙලින් මා දැවේවා! ක්‍රෝධයක් නොවේ නම් නොදැවේවා ! යි ඇය කෙරෙහි මෛත්‍රී කළා ය.
සිරිමාව කකියන ගිතෙල් හැන්ද උත්තරාවන්ගේ හිස මත වත් කළා ය. එහෙත් උත්තරාවන්ගේ මෛත්‍රිය බෙලෙන් ඒ ගිනියම් තෙල් සිසිල් විණි. එහෙයින් සිරිමාව නැවතත් උණු තෙල් හැන්දක් රැගෙනවිත් ඉසින්නට තැත් කළා ය. එහෙත් ඒ බැව් දුටු දාසීහු වහා ඇය අල්වාගෙන ‘එම්බල, අසත්පුරුෂ කෙල්ල!’ යැයි පරිභව කරමින් ඇයට අතින් පයින් පහර දෙමින් තළා බිම හෙළූහ. ඒ පහරදීම වළකාලන්නට උත්තරාවට ද අසීරු විය.
උත්තරාව කරුණා සිතින් ම ඇය නැගිට්ටුවා අවවාද කළා ය. ඇය උණු දියෙන් නහවා ශරීරයේ තෙල් ගැල්ලුවා ය. එවිට පියවි සිහියට පත්ව සිටි සිරිමාව තම වරද අවබෝධ කොටගෙන සිටියාය. උත්තරාව තමන්ට දඬුවම් නොදී තමා ගහටින් බේරා ගනිමින් තමන්ට දැක්වූ කරුණාව පිළිබඳ විමතියට පත්ව සිටියාය. “ඉදින් මෑගෙන් මා සමා නොගත්තේ නම් මාගේ හිස සත්කඩකට පැළී යාවි” යැයි සිතූ සිරිමාව උත්තරාවන්ගේ දෙපා මුල වැටී සියලු වරදට සමාව අයැද සිටියා ය. එකල උත්තරාව කියන්නී ‘මාගේ පියාණන් වහන්සේ සමා කරගත්තේ වී නම් මම ද සමා දෙමි’ යි කීවා ය. එවිට සිරිමාව “මම ඔබතුමියන් පියාණන් වූ පුණ්ණ නම් මහධන සිටාණන් සමා කර ගනිමි. මට සමා දෙනු මැනැවැ” යි කීවා ය.
“පුණ්ණ සිටාණෝ මේ ආත්ම භාවයෙහි මාගේ ජනක පියාණෝ ය. උතුම් නිවන් රස බෙදා දුන් පියාණන් වූ සම්මා සම්බුදුපියාණන් සමාකරගත යුතුයැ”යි එවිට උත්තරාව ප්‍රතිවදන් දෙමින් කීවා ය.
“ඒ බුදුපියාණන් ගැන නොදන්නෙමි. එබැවින් මා කුමක් කරන්නෙම්ද” සිරිමාව ඇසුවා ය.
“ඒ බුදුපියාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා හෙට දින පෙරවරුයෙහි මේ නිවෙසට වඩින්නාහුය. ඔබද කළමනා සත්කාරයක් කොට උන්වහන්සේ සමාකර ගනු’යි උත්තරාව ප්‍රකාශ කර සිටියා ය. සිරිමා ගණිකා තොමෝ සිය නිවහනට ගොස් කෑම්බීම් ආදී පිළියෙලකොට ගෙන පසුදා තම පිරිවර ද සමඟ පැමිණ දානමානාදිය පිළිගන්වන සිරිත් නොදැන බලා සිටියා ය. එවිට උත්තරා සිටු කුමරිය දානාදිය පිළිගැන්වූ පසු සිරිමාව ද බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කර සිටියා ය. අනතුරුව සියලු පවත් ප්‍රකාශකොට සිටි ඈ “ඔබ වහන්සේ මට සමා දෙන සේක්වා” යි අයැද සිටියා ය.
එවිට උත්තරා තොමෝ භාග්‍යවත් බුදුපියාණන් වහන්ස, දන්දීමෙහි ද ධර්ම ශ්‍රවණයෙහි ද ලා මට ඉඩ ප්‍රස්තාව සැලසුණේ මේ සිරිමාව නිසා ය. එහෙයින් මම ඇයට ක්‍රෝධ නොකළෙමි. ඇයගෙන් ලද උපකාරය මහත්ය. ඔබ වහන්සේ ද ඇයට සමා දෙන මැනවැයි කීවා ය.
බුදුරජාණන් වහන්සේ රැස් ව සිටි සියලු පිරිසට ධර්ම දේශනය කරමින් ‘ක්‍රෝධය ආක්‍රෝධයෙන් ද අක්‍රෝෂය අක්‍රෝෂ නො කිරීමෙන් ද නින්දාව නින්දා නොකිරීමෙන් ද බොරුව බොරු නොකීමෙන්ද දිනිය හැක්කේ ය.’ යි අර්ථ ප්‍රකාශ කරමින් චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක.
ඒ දේශනාව ශ්‍රවණය කළ උත්තරා සිටු කුමරිය සකෘදාගාමී ඵලයෙහි පිහිටියාය. රජගහනුවර සිටුවරයා ද තරුණ සිටු කුමාරයා ද සෝවාන් ඵලයෙහි පිහිටියෝ ය. එමතු නොව සිරිමා ගණිකාව ද සෝවාන් ඵලයෙහි පිහිටියා ය. තවත් බොහෝ දෙනකුට ඒ දේශනාව හිතසුව පිණිසම වූයේ ය.
පසු කලෙක මිය පරලොව ගිය උත්තරා සිටු කුමරිය තව්තිසා දෙව්ලොව රන් විමනක උපත ලද්දීය. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලෝ චාරිකාවේ දී මහත් යස ඉසුරින් බබළන මේ දිව්‍යාංගනාව දුටු සේක. එහිදී ඇයගේ පූර්ව ජන්මයෙහි කුසලය ඇය ලවාම කියවනු පිණිස කරුණු විමසා සිටියහ.
“ස්වාමීනි, මම පූර්ව ජාතියෙහි ක්‍රෝධාදිය නොකළෙමි. ස්වාමි පුත්‍රයා කෙරෙහි පැවතිය යුතු සියලු ගුණයෙන් යුක්තව වාසය කළෙමි. සතර පොහොයෙහි දීම අෂ්ටාංග ශීලයෙහි පිහිටා සිටිමින් උපෝශථයෙහි අප්‍රමාදව විසීමි. ආර්ය සත්‍යය දැක්මේ සමත්වීමි’යි ආදී වශයෙන් ඇය ප්‍රකාශ කර සිටියාය. ‘මෙවේලේද බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීපාදය වන්දනා කර සිටිමි. තවද බුදුරජාණන් වහන්සේ වෙතින් ම මාගේ ශ්‍රමණඵලය අසා වදාළ මැනවැ’යි තවදුරටත් උත්තරා දිව්‍යාංගනාව පැවසුවා ය.
මුගලන් මහරහතන් වහන්සේ මනුලොවට වැඩම කොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙපවත් ප්‍රකාශ කොට උත්තරා තොමෝ බුද්ධ ශ්‍රීපාදය වන්දනා කරන ලද්දී යැයි ද සැළ කර සිටියහ. බුදුරජාණන් වහන්සේ ‘ඒ උත්තරාව සකෘදාගාමී ඵලලාභී බුද්ධ ශ්‍රාවිකාවකැ’යි ප්‍රකාශ කොට වදාරා ඒ අනුව ධර්ම දේශනා කළෝ ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 07 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment