සම්මා සම්බුද්ධස්ස
ඉධ සෝචති පෙච්ච සෝචති
පාප කාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ
ඉධ සෝචති පෙච්ච සෝචති
පාප කාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනාරාම මහා විහාරයෙහි වැඩවසන සමයෙහි පාපකාරී චුන්දසූකරික නම් ඌරුවැද්දා අරභයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙම ඌරුවැද්දාගේ අඹුදරුවන් සමඟ ගෙනගිය ජීවන රටාව ඉතා සාහසිකය, අප්‍රසන්නය. ලොකු කුඩා ඌරන් පෝෂණය කරමින් කොටුකර ඌරන් මැරීම, මස් විකිණීම, උයාපිහා අනුභව කිරීම දෛනිකව කරගෙන යන්නේ ය. ඌරෙකු මරණයට පෙර කණුවක බැඳ තබා මස් ඉදිමීම සඳහා සතරැස් දණ්ඩකින් තලාපෙලා තද උණුදිය මුඛයට වක් කරන්නේ ය. මෙසේ තද වේදනා දී මරා මස් කපා විකුණාගත් මුදලින් අඹුදරුවන් කවා පොවා දෛනික ජීවිතය පවත්වාගෙන යන්නේ පව්පින් පිළිබඳ කිසිම තැකීමක් නැතිවය.
ප්‍රාණඝාත පාප කර්මයේ ප්‍රතිවිපාක අතිභයංකරය. එහි ප්‍රතිවිපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ආත්මයේදීම විපාක ලබන්නේ ය. මෙම චුන්ද සූකරයා පනස් පස් වසරක් පුරාවට ප්‍රාණඝාත අකුසලයෙහි නියැළී එක මොහොතක හෝ පින් සිතිවිල්ලක් සිතට අරමුණු කරගන්නට තරම් අල්පමාත්‍රයකුදු නොවූයේ ඔහුගේ අවාසනාවටය.
මෙසේ පාපකාරී ජීවන රටාවේ තෙරපෙන මෙම වැද්දා ක්‍රමයෙන් වයසට යනවිට බලවත් රෝග පීඩාවකින් පෙළෙන්නට විය. උත්සන්නවූ රෝගාබාධ වේදනාවෙන් නන්දෙඩවීමටත් කෑගැසීමටත් පටන්ගැනීම නිසා ගෙවැසියන්ට මෙන්ම අසල්වාසීන්ටද ඉමහත් කරදරයක් විය.
හත් දවසක් ඌරෙකුසේ මරලතෝනි දෙමින් සිට මැරී අවීචිමහා නරකයෙහි උපන්නේ ය. මේ පුවත අප බුදුරදුන්ට සැලකළවිට මෙසේ ගාථා ධර්මයකින් එම පාපකාරී පුද්ගලයාගේ බලවත් පාප කර්මයේ විපාක පහදාදුන් සේක. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, සුරාපාන ආදී පස්පව්, දස අකුසල් කළ තැනැත්තෝ ප්‍රතිවිපාක දෙනවිට මහත් දුක්වේදනාවලට භාජනය වෙති.
අකුසල් පිළිබඳව අප දැනගත යුතු ප්‍රධාන කාරණා 4 කි.
01. අකුසල මූල
02. අකුසල චිත්ත
03. අකුසල කර්ම
04. අකුසල කර්මවිපාක අප භාග්‍යවතුන් වහන්සේ, අකුසල් කිරීමට මූලිකවන, නිදානවන කරුණු තුනක් දක්වා වදාළ සේක.
අතීත භවයන්හිදී ඇතිකරගත් ලෝභය නිසා සසර ඉපදෙමින් මැරෙමින් දුක් සැප විඳිමින් මේ ආත්මයේදීත් ඒ ලෝභයම නිදාන කරගෙන, වර්ධනය කරගෙන ප්‍රාණඝාතාදී අකුසල් කරන්නේ එය ජීවිතයට අතශ්‍යවශ්‍ය දෙයක් වශයෙනි.
ඇස කන නාසාදී පසිඳුරන් රූපාදී අරමුණු සමඟ ඒකාබද්ධවීම ලෝභය වන අතර අරමුණෙහි ගැටීම ද්වේෂය නම් වන්නේ ය. පසිඳුරන්ගේ යථා ස්වභාවය නොදැනීම ලෝභය නම් වේ. මෙම අකුසල මූල ප්‍රත්‍ය කරගෙන අකුසල් සිත් දොළහක් උපදින අතර සත්වයා එයින් උපරිම ප්‍රයෝජන ගෙන මව්කුසින් බිහිවූ දා පටන් මරණාසන්නයේ වැතිර අවසන් චුතිහිත දක්වා අකුසල්ම කරන්නේ ය.
“පින්වත්නි” පුහුදුන් සත්වයා සසරින් ගෙනෙන කායික මානසික චිරකාලීන අභ්‍යාස නිසා කරන අකුසල කර්ම අපමණය. පස්පව් දස අකුසල්, පංචානන්තරීය ආදී පාපකාරී ක්‍රියාවන් නිසා මෙලොව පිරිහීමටත් පරලොව දුගති සංඛ්‍යාත සතර අපායේ ඉපදීමටත් හේතුකාරක වන්නේ ය.
වර්තමාන ලෝකයේ ජන සමාජය පුහුදුන් ගතියෙන් සිටින නිසා සිතීමෙන්, බිනීමෙන් හා ක්‍රියාවෙන් පුද්ගලයකු හොඳ නරක වශයෙන් තීරණය කිරීමට නොහැකිවුවද අප බුදුරජාණන් වහන්සේගේ විවරණ අනුව ලෝභය, ද්වේෂය, මෝහය මූලිකව කාය, වාග් මනෝ දුසිරිතෙහි ඇලී ගැලී වාසය කරන තැනැත්තා පාපකාරී පුද්ගලයෙක් වන අතර ඔහුගේ නිසර්ග පැවැත්මෙන් එය මොනවට වැටහෙන්නේ ය. පාපී පුද්ගලයාගේ සෑම ඉරියව්වක්ම පවත්වන්නේ සැකයෙන් හා බියෙනි. ඔහුගේ ආශ්වාදය හා පිහිටද පවිටු ක්‍රියාව බැවින් ආශ්‍රය නිශ්‍රය කරන අයත් පවිටු මිතුරන් බවට පත්වන්නේ ය. සමාජයෙන් ලබන නින්දා අපහාස මෙන්ම රාජනීතියට යටත්ව රාජ වධ බන්ධනාදියට ද භාජනව ජීවිතාන්තය දක්වා කිසිම සත් ක්‍රියාවකට පිනක් දහමකට නිරතවන්නට අවකාශ නොලැබෙන්නේ ය.
“දුක්ඛෝ පාපස්ස උච්චයෝ” යනුවෙන් අප බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පව් රැස්කිරීම දුකට සන්තාපයට හේතුවන්නේ ය. ප්‍රාණඝාතාදී පස්පව් කළ තැනැත්තා දිට්ඨධම්මවේදනීය වශයෙන් තමන් අපේක්ෂා නොකළ අයුරින් සොබාදහම කිපී සුළි සුළං අව්වැසි නියං සාගත ආදියෙන් පීඩා විඳීමට අලාභවලට මූණපාන්නට වන්නේ දරුමල්ලන්, ඥාතීන් සමඟය.
ක්‍රියාව හා විපාකය අතර අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවයක් කුමන අංශයකින් හෝ පවතින නමුත් සසර පෙර ආත්මයේදී කළ කර්ම හා මේ ආත්මයේදී කරන කර්මත් සංයුක්ත වන්නට ද පුළුවන. මෙම කර්මය පිළිබඳ නොයෙක් දෘෂ්ටිවාද ඇති වූ අයුරු, බ්‍රහ්ම ජාල සූත්‍රයෙන් දක්නට පුළුවන. ඒ සෑම ඉගැන්වීමකින්ම කර්මය, විපාකය, පුනර්භවය යන කරුණු ද විවරණය කෙරේ.
කර්මය කරන තැනැත්තාගේ සසර පැවැත්මේ ස්වභාවය අනුව කර්මයේ විපාක ලබන්නේ ය. මෙලොව පරලොව හෝ වෙනත් ආත්මයකදී කළකම් පලදෙනවග බුද්ධදේශනාවලින් මෙන්ම චරිත කතාවලින්ද මනෝවිද්‍යාවෙන්ද ප්‍රත්‍යක්ෂ වන්නේ ය. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පින් පව් සියල්ලම විනාශකොට යළි ඉපදීමේ ශක්තිය නැතිකොට සිත විසංඛාරකොට උතුම් නිවන්සුව ලබාගනිති. එවිට එහෙත් සසරින් ගෙන ආ සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන් විනාශ වන්නේ ය.
අප මිනිස් ජීවිතයක් ලබාගන්නේ පෙර ආත්මවලදී කරන ලද දාන සීල භාවනාදී පින්දහම් කිරීමෙන් බව සත්ව ලෝකය පිළිබඳව විග්‍රහ කිරීමේදී මෙන්ම බුදුරදුන්ගේ දේශනාවලින්ද ප්‍රත්‍යක්ෂ වන්නේ ය. එමෙන්ම මිනිසත්බව ලබාගෙන වුවද එයින් ප්‍රයෝජනයක් ලබන්නට තරම් දැනීමක්, සම්පතක්, පරිසරයක් නැතිවන්නේ ද යම් යම් අකුසල් නිසාය. ඉපදීම, මැරීම, යළි ඉපදීම සත්වයන්ගේ අනවරාග්‍ර දුක්වේදනා සන්තාපයයි.
මහණෙනි, මේ සංසාරය අගක් මුලක් නොමැත. එයට හේතුව අවිද්‍යාවෙන් මුළාවීමත් තණ්හාවෙන් ඇලීමත්ය. නොදැනීමත්, තණ්හාවත් සත්වයාගේ සංසාර ගමන මෙහෙයවන අතර ඒ දෙකින්ම සෑහීමට පත්වෙමින් දුක සැප සංකල්ප ජාලයේ මැදිවී අතීත ගමනේ මෙතෙක් පැමිණි දුර හෝ අනාගතයේ යන්නාවූ දුර හෝ සීමා කරන්නට නොහැකිවන්නේ ය.
“තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං” යනුවෙන් අප බුදුරදුන් දේශනා කළ පරිදි තණ්හාව සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණාදීයෙන් තොරවූ උතුම් නිවණින් සැනසීමට හේතු වාසනාවන්නේ ය. මෙම ධර්මානුශාසනාව කියවීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ලබන පුණ්‍යබල මහිමයෙන් දෙලොව ශාන්තිය භවාන්තර කෙළවර කොට උතුම් නිවණින් සැනසීමට හේතු වාසනාවේවා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 31 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment