Labels

Thursday, April 14, 2016

සත්පුරුෂ සේවනයෙන් විද්‍යා විමුක්‌තියට


අසත්පුරුෂ ආශ්‍රය නිසා අවිද්‍යාව ඇතිවන බවත්, සත්පුරුෂ ආශ්‍රය නිසා විද්‍යා විමුක්‌තියට පත්වන බවත් අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ ඇති අවිඡ්ජා සූත්‍රය මගින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත.
 අසත්පුරුෂ සේවනයෙන් අවිද්‍යාව ඇතිවේ. එහි පියවර පහත පරිදි වේ.

- අසප්පුරිසසංසෙවො පරිපූරො අසද්ධම්ම සවණං පරිපූරෙති - අසත්පුරුෂයා සේවනය කිරීමෙන් අසන්නට ලැබෙන්නේ අසද්ධර්මයයි. 'අසේවනා ච බාලානං' ලෙස මහා මංගල සුත්‍රයේ පෙන්වා දී ඇත්තේ අසත්පුරුෂයන් ආශ්‍රය නොකරන ලෙසයි. අසත්පුරුෂයා යනු සේවනය කිරීමෙන් විපතක්‌, උවදුරක්‌ ඇතිවන පුද්ගලයායි. අසත්පුරුෂයා දුශ්චරිතයේ යෙදෙයි. එමෙන්ම අන් අයවත් දුශ්චරිතයේ යොදවයි. සරලවම කියනවා නම් සංසාරය හොඳයි, මැනවයි කියා ලෝක ධර්මයන් වර්ණා කරමින් සංසාරයේ රැදීමට කය, වචනය සහ සිත හසුරවන තැනැත්තායි. නිසරුදෙය සරු වශයෙනුත් සරු දෙය නිසරු වශයෙනුත් ගනිමින් කටයුතු කරන තැනැත්තායි.

අසත්පුරුෂයා සේවනය කිරීමෙන් අසන්නට ලැබෙන්නේ අසද්ධර්මයයි. අසද්ධර්මය යනු භාග්‍යවතුන් වහන්සේලාගේ අනුශාසනාවට පටහැනි ධර්මයන්ය. එනම් රාග, දෝස, මෝහ ඇතිවන එමෙන්ම පවතින අකුසලයන් වැඩිකරන ධර්මයන්ය. අසද්ධර්මය නිසා තමනුත් අනෙක්‌ අයත් පරිහානියට, දුකට පත්වේ. දැවීම් තැවීම් ඇතිකරමින් සතර අපා ආදී දුක්‌වලට පැමිණවීම අසද්ධර්මය මගින් සිදුවේ.

- අසද්ධම්මසවණං පරිපූරං අස්‌සද්ධියං පරිපූරෙති - අසද්ධර්මය සේවනය කරන තැනැත්තාගේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම නැතිව යයි. එනම් බුදු පියාණන් වහන්සේ කවුද? උන්වහන්සේ දේශනා කළ ධර්මය කවරක්‌ද? එම ධර්මය අනුගමනය කරන සංඝයා කවුරුන්ද? යන්න පිළිබඳව අවබෝධයක්‌ නොමැති වී යයි. එනම් අසද්ධාව ඇතිවේ.

- අස්‌සද්ධියං පරිපූරං අයෝනිසෝම-

-නසිකාරං පරිපූරෙති - තෙරුවන් කෙරෙහි විශ්වාසය හෙවත් පැහැදීම නැතිනම් ඔහු ගමන් කරන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ වේ. අයෝනිසෝ මනසිකාරය සහිත පුද්ගලයා නිරතුරුවම අසුභ දේ සුභ වශයෙනුත්, දුක්‌ දේ සැප වශයෙනුත්, තමන්ගේ නොවන දේ තමන්ගේ වශයෙනුත්, අනිත්‍ය දේ නිත්‍ය වශයෙනුත් ගන්නා නිසා සංසාරය තුළ තව තවත් සිරවේ. ඔහුට ඇත්ත ඇති සැටියෙන් එනම් යථාභූතව දැකිය නොහැක.

- අයෝනිසෝමනසිකාරො පරිපූරො අසතා'සම්පජඤ්ඤං පරිපූරෙති - අයෝනිසෝ මනසිකාරය සහිත පුද්ගලයා සෑම මොහොතකදීම මිත්‍යා දෘෂ්ඨිකභාවයත්, දුසිල්භාවයත් එකතු වී අසිහියෙන් හා අසම්පජඤ්ඤයෙන් යුක්‌තව කටයුතු කරයි. අගතිය යනු හටගන්නා සෑම කායික වාචික හා චෛතසික ක්‍රියා තුළ සිහිය පැවැත්වීමට නොහැකිවීමයි. අසම්පජඤ්ඤය යනු හටගන්නා සෑම කායික වාචික හා චෛතසික ක්‍රියා භවයට යන බව නොදැනීමයි.

-අසතා'සම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියා'සංවරං පරිපූරෙති - මෙම අසති අසම්පජඤ්ඤය නිසා ඇස, කණ, නාසය, දිව, කය, මන යනාදී ඉන්ද්‍රියන් සංවර කරගැනීමට නොහැකි වේ. සෑම අරමුණක්‌ සමඟ ම ඇලීම් සහ ගැටීම් තුළින් තෘෂ්ණාව ඇතිකරගනී.

-ඉන්ද්‍රියා'සංවරො පරිපූරො තීණි දුච්චරිතානි පරිපූරෙති - ඉන්ද්‍රිය අසංවරය නිසා ඇස යනාදී ආයතනවලින් අරමුණු නිමිති වශයෙන් ගෙන ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදේ. එනම් කාය දුශ්චරිත එනම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය සිදුකරයි. එමෙන්ම වචී දුශ්චරිතය හෙවත් මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සහ සම්ප්‍රප්පලාප සිදුකරයි. එමෙන්ම මනෝ දුශ්චරිතය හෙවත් අභිඡ්ජා, ව්‍යාපාද සහ මිථ්‍යාදෘෂ්ඨිය ද ඇතිකරයි.

-තීණි දුච්චරිතානි පරිපූරානි පඤ්චනීවරණෙ පරිපූරෙන්ති - ඉන්ද්‍රිය අසංවරය තුළින් පංච නීවරණ ඇති වේ. නිවන ආවරණය කරන ධර්මතා ඇතිවූ අයෙක්‌ ඒවා පහකරන තෙක්‌ අවිද්‍යා අන්ධකාරයේ සිටීමට සිදුවේ. එනම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්ඡා යන නීවරණ ධර්මයන් පහළවූ සිතක යථාර්ථය දැකීමක්‌ නොමැත. නිතරම සිත වසාගෙන සිටී. කාමච්ජන්දය යනු පංච කාමයන්ට ඇති ඇලීමයි. ව්‍යාපාදය යනු අනුන් නැසීමට ඇති කැමැත්තයි. එනම් ද්වේශ සහගත සිතයි. ථීනමිද්ධ යනු චිත්ත සහ චෛතසිකයන්ගේ අකර්මන්‍යතාවයි. උද්ධච්ච යනු සිතේ විසුරුණ ස්‌වභාවයයි. කුක්‌කුච්චය යනු පසුතැවීම හෙවත් කනස්‌සලු වීමයි. විචිකිච්ඡාව යනු සැකයයි.

-පඤ්චනීවරණා පරිපූරා අවිඡ්ජං පරිපූරෙන්ති - මෙම නීවරණ නිසාම ඇත්ත දැකිය නොහැක. අවිද්‍යාව තුළම ජීවත්වීමට සිදුවේ. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි. එනම් දුක්‌ඛය පිළිබඳ අනවබෝධය, දුක්‌ඛය ඇතිවීමට හේතුව තණ්‌හාව බව අනවබෝධය, තණ්‌හාව නැති කිරීමෙන් දුක්‌ඛය නැතිවන බව අනවබෝධය සහ ඒ සඳහා භාවිතා කළ යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය බව අනවබෝධය යි. මෙලෙස අවිද්‍යා අඳුරේ සිටින පුද්ගලයා කිසිම දිනයක නිවීමක්‌ නොලබන්නේය.

සත්පුරුෂ සේවනයෙන් විද්‍යා විමුක්‌තිය ඇතිවේ. එම මාර්ගය පහත පරිදි වේ.

- සප්පුරිසසංසෙවො පරිපූරො සද්ධම්ම සවනං පරිපූරෙති - සත්පුරුෂයා සේවනය කිරීමෙන් අසන්නට ලැබෙන්නේ සද්ධර්මයයි. 'පණ්‌ඩිතානං ච සේවනා' ලෙස මහා මංගල සුත්‍රයේ පෙන්වා දී ඇත්තේ සත්පුරුෂයන් ආශ්‍රය කරන ලෙසයි. සත්පුරුෂයා යනු සේවනය කිරීමෙන් යහපතක්‌, සැනසීමක්‌ ඇතිවන පුද්ගලයායි. සත්පුරුෂයා කිසිවිටෙකත් ලෝක ධර්මයන් වර්ණා නොකරයි. ඔහු ලෝකෝත්තර නිර්වාණය සඳහාම තමනුත් ගමන් කරමින් අන් අයවත් ඊට යොමුකරමින් කටයුතු කරයි. සම්මුතිය තුළ භාවිත කරන හොඳ පුද්ගලයා ආර්ය මාර්ගයේදී සත්පුරුෂයෙක්‌ වශයෙන් නොසැලකේ. සත්පුරුෂයා සංසාරයෙන් එතෙර කිරීමට සද්ධර්මය දේශනා කරයි. යම් ගිහි හෝ පැවිදි හෝ අයෙක්‌ ආර්ය මාර්ගයේ ගමන්කිරීමට වන සද්ධර්මයට යොමුකරනවා නම් හෙතෙම සත්පුරුෂයකි.

- සද්ධම්මසවනං පරිපූරං සද්ධං පරිපූරෙති - සත්පුරුෂයාගෙන් ලැබෙන සද්ධර්මය සේවනය කරන තැනැත්තාගේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම ඇතිවේ. එනම් බුදු පියාණන් වහන්සේ කවුද? උන්වහන්සේ දේශනා කළ ධර්මය කවරක්‌ද? එම ධර්මය අනුගමනය කරන සංඝයා කවුරුන්ද? යන්න පිළිබඳව අචල විස්‌වාසයක්‌ ඇතිවී ආකාරවතී සද්ධාව ඇතිවේ. මීට හේතුව වන්නේ සද්ධර්මය තුළින් බුදුන් දකින බැවිනි.

- සද්ධා පරිපූරා යෝනිසෝමනසිකාරං පරිපූරෙති - තෙරුවන් කෙරෙහි විශ්වාසය හෙවත් පැහැදීම ඇති වූ විට ඔහු ගමන් කරන්නේ යෝනිසෝ මනසිකාරය තුළ වේ. යෝනිසෝ මනසිකාරය සහිත පුද්ගලයා නිරතුරුවම අසුභ දේ අසුභ වශයෙනුත්, දුක්‌ දේ දුක්‌ වශයෙනුත්, තමන්ගේ නොවන දේ තමන්ගේ නොවන වශයෙනුත්, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙනුත් දක්‌නා නිසා සංසාරය තුළ තව තවත් සිරවීමක්‌ සිදුනොවේ. ඔහුට ඇත්ත ඇති සැටියෙන් එනම් යථාභූතව දැකිය හැක.

- යෝනිසෝමනසිකාරො පරිපූරො සතිසම්පජඤ්ඤං පරිපූරෙති - යෝනිසෝ මනසිකාරය සහිත පුද්ගලයා සෑම ක්‍රියාවකදීම සම්මාදිට්‌ඨියත්, සිල්වත්භාවයත් සහිතව සිහියෙන් හා සම්පජඤ්ඤයෙන් යුක්‌තව කටයුතු කරයි. සතිය යනු හටගන්නා සෑම කායික වාචික හා චෛතසික ක්‍රියා තුළ සිහිය පැවැත්වීමට හැකිවීමයි. සම්පජඤ්ඤය යනු හටගන්නා සෑම කායික වාචික හා චෛතසික ක්‍රියා භවයට යා නොදී නැවතූ බවට වන දැනීමයි.

- සතිසම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියසංවරං පරිපූරෙති- මෙම සතිසම්පජඤ්ඤය නිසා ඇස, කණ, නාසය, දිව, කය, මන යනාදී ඉන්ද්‍රියන් සංවර කරගැනීමට හැකි වේ. සෑම අරමුණක්‌ සමඟ ම ඇලීම් ගැටීම් තුළින් තෘෂ්ණාව ඇතිකර නොගනී. එනම් සළායතන තණ්‌හාවෙන් තෙත් නොවේ.

- ඉන්ද්‍රියසංවරො පරිපූරො තීණි සුචරිතානි පරිපූරෙති - සිහියෙන් සිටින විට ඉන්ද්‍රියන් එන අරමුණු නිමිති, අනුනිමිති වශයෙන් නොගන්නා නිසා සිල්වත්භාවය වර්ධනය වේ. එනම් කාය සුචරිතය එනම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම සිදුවේ. එමෙන්ම වචී සුචරිතය හෙවත් මුසාවාදයෙන් වෙන්වීම, පරුසාවාචයෙන් වෙන්වීම, පිසුනාවාචයෙන් වෙන්වීම සහ සම්ප්‍රප්පලාපයෙන් වෙන්වීම සිදුවේ. එමෙන්ම මනෝ සුචරිතය හෙවත් අභිඡ්ජා නොවීම, ව්‍යාපාද නොවීම සහ මිථ්‍යාදෘෂ්ටික නොවීම සිදුවේ.

- තීණි සුචරිතානි පරිපූරානි චත්තාරො සතිපට්‌ඨානෙ පරිපූරෙන්ති - මෙලෙස දස සීලය තුළ හික්‌මීම සතර සතිපට්‌ඨානය වැඩීමට හේතු වේ. සෑම කායික ක්‍රියාවක්‌ ළඟදීමත්, වේදනාවක්‌ ළඟදීමත්, සිතක්‌ ළඟදීමත්, ධර්මයක්‌ ළඟදීමත් සති සම්පජඤ්ඤයෙන් යුක්‌තව ඉන්ද්‍රිය සංවරකරගෙන හැසිරීම සතිපට්‌ඨානය වැඩීමයි.

කායානුපස්‌සනා, වේදනානුපස්‌සනා, චිත්තානුපස්‌සනා සහ ධම්මානුපස්‌සනා යනු සතර සිවටන් හෙවත් සතිපට්‌ඨානයයි.

- චත්තාරො සතිපට්‌ඨානා පරිපූරා සත්තබොඡ්Cධඬගෙ පරිපූරෙන්ති - සතිපට්‌ඨානය යනු සති සම්බොඡ්Cධගයම වේ. මනාව සතිය පිහිටන විට ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය පෙනෙන්නට පටන් ගනී. එය ධම්මවිචය සම්බොඡ්Cධගයයි. මෙම ස්‌වභාව ධර්මයේ ක්‍රියාවලිය තුළ සතෙක්‌ පුද්ගලයෙක්‌ මමෙක්‌ නැති බව අවබෝධ වෙන්න වෙන්න තවදුරටත් සිහිය පැවැත්වීමට වීරිය ඇතිවේ. එය විරිය සම්බොඡ්Cධගයයි. මෙලෙස විරියෙන් සිහිය පවත්වන නිසා ලෝකයෙන් ගැලවීමෙන් ඇතිවන නිරාමිස ප්‍රීතියක්‌ දැනේ. එය ප්‍රීති සම්බොඡ්Cධගයයි. මෙලෙස සිහියෙන් ඉදිරියට යන විට පස්‌සද්ධි සම්බොඡ්Cධංගය හෙවත් සිතෙත් කයෙත් සැහැල්ලුභාවය ඇතිවේ. හරියට අව්වෙ ගිය කෙනෙකු ගස්‌ සෙවනක්‌ හමුවූවා සේය. පසුව මේ තුළ ඒකාග්‍ර වේ. එය සමාධි සම්බොඡ්ධගයයි. ඉන්පසුව සෑම අරමුණක්‌ හමුවේදී ම සිත උපේක්‌ෂක වේ. මෙය උපේක්‌ඛා සම්බොඡ්Cධගයයි.

- සත්තබොඡ්Cධංගා පරිපූරා විඡ්ජාවිමුත්තිං පරිපූරෙන්ති - සත්ත බොඡ්Cධඬගයන් වැඩීයත්ම ඉතිරි බෝධිපාර්ෂික ධර්මයන් පරිපූර්ණ වී විදර්ශනා ඤාණ පහළවේ. එය සම්මා ඤාණ හෙවත් විද්‍යාවයි. පසුව සම්මා විමුක්‌තිය ඇතිවී මාර්ගඵල අවබෝධය ලැබේ.

මේ අනුව සත්පුරුෂයන්ම සේවනය කර සද්ධර්මය අසා වහාම නිවන අවබෝධකර ගැනීමට වීර්ය වඩමු.



පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර, වතුරුගම



2016 මැදින් මස 22 අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment