Labels

Saturday, April 9, 2016

මෙත් වැඩුමට පසුබිම


කෙනෙකු සිල්වත් විය හැක. ගුණවත් විය හැක. දැහැමි විය හැක. එහෙත් ඔහු සමාජ චාරිත්‍ර ගැන අවබෝධයෙන් තොර නම් ඔහු සමාජයට එපා වනු ඇත. සමාජයට එපා වීම යනු තමාටද සමාජය එපා වීමකි. සෙස්සන් ඔබ දොස් දකිනවිට ඒ ගැන කථා කරන විට ඔබ එයට නොදෙවෙනි ලෙස ඔවුන්ගේ දොස් දකින්නට පෙලඹීම ස්වභාවයයි. වැරැදි සිදුවීම පුහුදුන් ලොව සාමාන්‍ය දෙයකි. බුදුදහමේ ඉගැන්වීම වරද දිගින් දිගට කරගෙන යාම හෝ ඒ ගැන පසුතැවීම නොව ඉන් ඉදිරියට වරදින් වැළකීමට සිතීමයි.

මැදින් පුර පසළොස්වක පෝය පත්‍රය හා සම්බන්ධයි

ඇස,කන, දිව, නාසය , ශරීරය , මනස භාහිර ලොව සමඟ කටයුතු කිරීමේදී මනස සන්සුන්ව පවත්වා ගැනීමට ඉවහල්වන ලෙස පුරුදු පුහුණු කරගත යුතුයි. ගැටලුවලට මූලිකව සාධක වන සීමාන්තික ඇලීමත්, සීමාන්තික ගැටීමත් අවම කරගත් පමණට ඇතිවන ගැටලු අඩුකර ගත හැක. ඉඳුරන් සංවර කර ගැනීමට රූපාදි අරමුණු නොගෙන සිටීම විසඳුම නොවේ. ඉඳුරන්ගෙන් ගත් අරමුණු දිගින් දිගට සිතීම තුළින් මනසේ සන්සුන් බවට හානියක් නොවන තැනට වගබලා ගත යුතුයි. එවන් සිත මෛත්‍රියට තෝතැන්නයි.
ප්‍රඥාවේ උපරිමය රහත් බවයි. රහත් බව පතා යන ගමනේදී අපට අපගේ කටයුතු නිරවුල්ව කර ගැනීමටත්, සිත සන්සුන්ව පවත්වා ගැනීමටත් ප්‍රඥාව තිබිය යුතුයි. සැබෑ ස්වරූපය විකෘති කර නොගෙන දැක ගැනීමේ හැකියාව ප්‍රඥාවයන්තයා තුළ වෙයි. බොහෝ ගැටලුවල උපත මෙන්ම වර්ධනයත් සිදුවන්නේ සැබෑ තතු දැකීමට තරම් ශක්තියක් අප තුළ නොමැති හෙයිනි. එහෙයින් ඉඳුරන්ගේ දමනය තුළ මෙත් සිතට පැමිණෙන හානි වළකා ගත හැක.
කෙසේ නම් ඔබට මෙවැනි පරිසරයක මෙත් වැඩිය හැකිද
එහෙයින් ආහාරපාන ගන්නා විට තැනක කථා කරන විට පොදු ස්ථානයක හැසිරෙන විට සිත්ගන්නා සුළු හැසිරීම් රටාවක් ඔබට ඇත්නම් ඔබේ සිත්තැවුලට, කණස්සල්ලට හේතුවන සමාජ ප්‍රතික්‍රියාවක් ඔබට නොලැබෙනු ඇත.
ප්‍රමාණය ඉක්මවා සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමද තම නිදහසට, සැනසුමට පීඩා විය හැක. ඍජුවම භික්ෂූන් වහන්සේට බලපාන මේ නීතිය ගිිහි පිනැතියනටද සාධාරණ බව පෙනෙයි. යුග දිවියට එළඹෙන ඇතැම් අයට ගැටලුවක් වනුයේ තම නෑයින්ට ප්‍රමාණය ඉක්මවා සැලකීමයි. ස්වාමිපුරුෂයා තම පාර්ශ්වයට වැඩි සැලකිලි දක්වන විට බිරියද බිරිය තම පාර්ශ්වයට වැඩි සැලකිලි දක්වන විට සැමියාද සතුටු නොවෙයි. සුහද බවට හානි ගෙන දෙන මෙවැනි සබඳතා සීමාවක් තුළ සිදුකිරීමෙන් නිවස තුළ තිබිය යුතු සතුට සොම්නස සුරැකේ.
මෛත්‍රි භාවනා වඩන්නෙකු තමා තුළින් සිදුවන සුළු වරද ගැනත් සැලකිලිමත් විය යුතුයි. විඤ්හූ පුරුෂ නැතිනම් පණ්ඩිත ජනයාගේ ගැරහුමට ලක්වන කිසිවක් නො කිරීමට හැමවිටම වගා බලා ගැනීම මෛත්‍රි වඩන්නෙකුගේ අධිෂ්ඨානය විය යුතුයි. සිල් පද ශික්ෂාපද විනය පැනවීම්වලට කොටු නොවු පොදු නිර්නායකය ගිහි පැවිදි දෙපසටම ගැළපෙන්නකි.
සියලු සත්වයින් නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යි වචන කීපයකට මෙත් සිත සීමා නොකොට පුළුල් පරාසයකට ගෙන යෑමෙන් මෛත්‍රිය වඩාත් ශක්තිමත් කර ගත හැක.
කිසිවෙක් කිසිවෙකු නොරවටත්වා, අන් අය පහත් කොට නොසිතත්වා, කුරිරු සිතකින් පහත් සිතකින් වෛර සිතකින් අනෙකෙකුට දුකක් වේවායි නො සිතත්වා. තමන් පමණක් නොව අන් අයද මෛත්‍රි සහගත සිත් උපදවා ගනිත්වා.

මෙසේ මෙත් සිත් දියුණු කර ගැනීමෙන් සියලුම සතුන් අරමුණු කරගෙන මෛත්‍රිය වැඩිය හැක. එකම පුතෙකු ඇති මවක් යම් සේ එකම පුතුට මෛත්‍රිය කරත්ද එලෙසට අප්‍රමාණ මෛත්‍රිය දියුණු විය යුතුයි. උඩ, යට, හරහා හැම තැන සියල් සත්හට එකසේ මෛත්‍රිය වැඩිය යුතුයි. හැම ඉරියව්වකදීම මෙත් වැඩීම තුළින් ඔහු ආත්ම දෘෂ්ටිය බැහැර කර සිල්වත්ව දර්ශනයෙන් යුතුව කාමයෙහි ඇල්මදුරු කොට යළි උපතකට නො එන්නේය. මෙසේ මෙත් වැඩුමෙන් අනාගාමී බවටද පත් විය හැකිය.







පයාගල නන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 31 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment