Labels

Thursday, April 14, 2016

යුද්ධයද සාමයද ? ( සංවර ජාතකය)


අප බුදුන් සමයෙහි සැවැත්නුවර වැසි එක්‌තරා කුල පුත්‍රයකු බුදු හිමියන්ගෙන් බණ අසා පැහැදී පැවිදි බව ලබා ගත්තේය' අනතුරුව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් අවසර ලබාගෙන ප්‍රත්‍යන්ත ජනපදයකට ගොස්‌ වාසය කරමින් භාවනා කළේය.
හෙතෙම කොතරම් මහන්සියෙන් භාවනා කළත් කිසිදු මාර්ග ඵලයක්‌ ලබා ගත නොහැකි විය. මෙයින් අධෛර්යයට පත් උන් වහන්සේ මෙතෙක්‌ ගත් උත්සාහය අත්හැර දමා 'මම වෙනත් කටයුතු වලට දක්‌ෂ වෙමි. එහෙයින් කැළෑවට වැද කුමට වෙහෙසෙමිද බුදුන් හමුවට ගොස්‌ උන්වහන්සේගේ රූපශ්‍රීය බලමින්ණී බණ අසමින් දවස ගෙවන්නෙමි' යනුවෙන් සිතා ආපසු දෙව්රම් වෙහෙරටම පැමි,යේය. මෙය දැනගත් ආචාර්යයන් වහන්සේ කුමක්‌ නිසා තොප උත්සාහය අත් හැර ආපසු පැමි,යේද විමසා සියලු තතු දැනගෙන උන් වහන්සේ බුදුන් හමුවට කැඳවාගෙන ගොස්‌ එම කරුණ සැළ කර සිටියහ. එවිට බුදු හිමියන් ඔහු අමතා 'මහණණී තොප කුමක්‌ පි,ස එලෙස පසු බට වීද? කුසීත පුද්ගලයන්ට මාර්ග ඵල නොලැබිය හැකිය. අරඹන ලද වීර්යය ඇති භික්‌ෂුව මේ ශාසනයෙහි මාර්ග ඵල අවබෝධ කරන්නේය. පෙර බරණැස්‌ රජුගේ පුතුන් සියයක්‌ අතුරෙන් බාල පුතනුවන් නුවණැත්තන්ගේ අවවාද පිළිපැද වැඩිමහළු සියල්ලන්ටම පෙර රාජ්‍යත්වයට පත් වූවෙහිය' යනුවෙන් වදාළ විට භික්‌ෂුන් වහන්සේලා විසින් එම අතීත කථාව විමසන ලදුව එය මෙලෙස පැහැදිළි කළ සේක.

බරණැස්‌ රජු මරණ මංචකයෙහි සිට ඇමැති මණ්‌ඩලය කැඳවීය. 'ඇමතිවරු,, මේ මගේ අවසන් මොහොත බව මට හැඟෙනවා. අවසන් අවවාදය දීමටයි ඔබ සියල්ලන් කැඳවූවේ, ඇමැතිවරුනි, මගේ පුතුන් සියයම ඉතාමත් බුද්ධිමත් බව ඔබලා දන්නෙහිය. එසේම ඔවුන් දක්‌ෂයි. හැම දෙනාම රාජ්‍ය පාලනයට සුදුසුයි. එහෙයින් මගෙන් පසු සුදුසු අයෙක්‌ රජකමට පත් කිරීමට ඔබලාට බලය තිබෙනවා. අහවලා සුදුසුයි කියා නම් කිරීම මම නොකරමි' මෙසේ පැවසීමෙන් පසු රජ තෙමේ අවසන් හුස්‌ම හෙලීය. රජුගේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසු ඇමැතිවරු රැස්‌ වූහ. රජෙකු තෝරා ගැනීම ඔවුන්ට ඇති බරපතළ ප්‍රශ්නයකි. මෙහිදී නැගී සිටි පුරෝහිත, 

'ඇමැතිවරුනි, අපේ මහ රජතුමාට දරුවන් එකසිය එක්‌ දෙනෙක්‌ සිටිති. එයින් කුමාරවරු සිය දෙනෙක්‌ම දැනට වාසය කරන්නේ අපේ රාජ්‍යයට හිමි ප්‍රත්‍යන්ත රාජ්‍යවල බව අපි දන්නෙමු. ඔවුන් එම ජනපද සියල්ල ඉතා හොඳින් පාලනය කරනවා. මහ රජතුමා ජීවත්ව සිටිද්දීම කුමාරවරුන් එක්‌ එක්‌ ඇමතිවරුන්ට භාර කළා. ඇමතිවරුන් යටතේ ඔවුන් මනා පුහුණුවක්‌ ලබා ගත්තා. එම පුහුණුව අනුව ඔවුන් සියල්ලන්ටම රාජ්‍ය පාලනය පිළිබඳ මනා හැකියාවක්‌ තිබෙනවා. එයින් බාලම පුත් කුමරා විශේෂ ඇමති වරයකු යටතේ මෙම මාළිගාව තුළ දීම දැණුම ලබා ගත්තා. මෙම සංවර කුමාරයාටත් ප්‍රාදේශීය රාජ්‍යයක්‌ පාලනය කිරීමට පැවරීමට මහ රජු උත්සාහ කළත් ' සංවර ' කුමාරයා එයට කැමති වුණේ නැහැ. මම මාළිගාවෙහි ඔබ සෙවනෙහිම වසන්නෙමි යන අදහසයි, සංවර කුමරු දරන ලද්දේ. එදා සිට මේ දක්‌වාම මෙම කුමාරයා සියලු රටවාසීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කළා. රට වැසියන්ගේ ප්‍රශ්න විසඳා දීමට උත්සාහ කළා.

එපමණක්‌ නොව විදෙස්‌වලින් පැමිණෙන තානාපතියන්, රාජ්‍ය දූතයන් ඉතා ආදරයෙන් සාදරයෙන් පිළිගෙන, ඔවුන්ට නිසි ගෞරව ලබා දෙමින් හොඳ හිත දිනා ගත්තා. වෙළෙඳ දූතයන් පිළිගෙන ඔවුන්ගෙන් රජයට ලැබිය යුතු අය බදු විනිමය නිසි පරිදි ලබාගෙන තියෙනවා. යෞවන වයසෙහි පසු වුණත්, වෙනත් කුමාරයන් මෙන් තම රාජකීයත්වය උපයෝගි කර ගෙන අයථා වැඩ කළෙත් නැහැ. කෙළිලොල් ජීවිතයක්‌ ගත කරන්නෙත් නැහැ. ඔහු තම නමටම ගැළපෙන ලෙස සංවරව කටයුතු කරනවා. මේ නිසා අපගේ මෙම සංවර කුමාරයා මහ රජු වශයෙන් පත් කර ගනිමු.' ඇමතිවරු සියලු දෙනාම එක හඬින් මෙම ප්‍රකාශය අනුමත කළා. ඒ අනුව මහ රජු වශයෙන් සංවර කුමරු අබිසෙස්‌ ලැබුවා. 

මෙම සිදුවීමෙන් අනෙකුත් සහෝදර කුමාරවරු බෙහෙවින් කෝපයට පත් වූහ. මේ කුමන ව්‍යවස්‌ථාවක්‌ද? මෙය කුමන රාජ ධර්මයක්‌ද? වැඩිමහල්ලන් සිටියදී බාලයාට රජකම දීම කිසිදු රාජ ධර්මයකට හෝ නීතියකට එකඟ නොවේ. අපි සියලු දෙනාම එක්‌ව නුවර වටලමු. අපිත් රාජ්‍ය උරුමය ලබා ගනිමු.' 

ඔවුන් නුවර වටලා සංවර රජුට හසුන්පතක්‌ යවති. සංවර ඔබ අසාධාරණ ලෙස ව්‍යවස්‌ථාව උල්ලංගණය කරණී රාජ ධර්මයට පටහැනිව ලබා ගත් රාජ්‍යය වහාම අපට ලබා දෙව. එසේ නොමැති නම් අප සමග යුද්ධයට එවෘ අපි මෙය සාමයෙන් නොහැකි නම් යුද්ධයෙන් විසඳා ගමු.' 

මෙම අභියෝගයෙන් සංවර රජු කලබල නොවු, ඉක්‌මන් නොවු,. තම අමාත්‍ය මණ්‌ඩලය රැස්‌ කරවීය. ඇමති වරුන් සමග සාකච්ඡා කළේය. අනතුරුව යුද්ධය පිළිබඳ තම ස්‌ථාවරත්වය සහෝදර කුමාරවරුන් වෙත දන්වා යෑවීය. 'සහෝදරවරුනි, මම ඔබලා සමඟ සටන් නොවදින්නෙමි. මාගේ අවිය යුද්ධය නොවේ. මාගේ අවිය සාමයයි. යුද්ධ කිරීමෙන් ජය ලබන්නෙක්‌ නැත. පරාජය වන්නෙක්‌ද නැත. සිදුවන එකම දෙය විනාශය පමණයි. යුද්ධය නිසා වෛරයණී ක්‍රෝධය ඊර්ෂ්‍යාව වර්ධනය වෙයි. රුධිර ගංගා මතින් ලබන ජය කුමක්‌ද? එබැවින් මම යුද්ධ නොකරන්නෙමි. මව් පිය උරුමයෙන් ඔබට ලබා ගැනීමට යමක්‌ ඇත්නම් මෙහි පැමිණ ඒවා ලබා ගන්න. මම කිසිදු පැකිලීමක්‌ නොමැතිව ඒ සියල්ල ඔබලාට ලබා දෙන්නෙමි.'

සංවර රජුගේ මෙම තීරණය ගැන ඇසීමෙන් සහෝදර කුමාරවරු අතිශයින් කම්පාවට පත් වූහ. අවි ආයුධ පහත හෙලූ ඔවුහු සිව්රඟ සේනාව ආපසු සිය ප්‍රාන්ත රාජ්‍ය වලට පිටත් කර යවා දෙටු සොහොයුරා පෙරමුණෙහි තබාගෙන රාජ මාළිගාව වෙත පිය මැන්නාහ. සුදුසු පරිදි අසුන් ගත් ඔවුන් දෙස දෙටු සොහොයුරා විස්‌මයෙන් බලා සිටියේය. සියයක්‌ සොහොයුරන් සමග ඇමතිවරුන් පිරිවරා සිටින තම බාල සොහොයුරා දෙස නෙතු පිය නොසලා බලා සිටියේය. ඔහුට සිය පිය මහ රජු ඇමතිවරුන් පිරිවරා සිටි තේජාන්විත බව මැවී පෙනෙන්නට විය. දෙටු සොහොයුරු ' උනේසථ ' කුමරුගේ සිතට මහත් අභිමානයක්‌ ඇති විය. හෙතෙම සියලු සොහොයුරන්ට ආමන්ත්‍රණය කළේය. 

'සංවර අපේ මහ රජතුමනි, මෙම ඇමති වරුන් පමණක්‌ නොව, රටෙහි සමස්‌ත ජනතාවම ඔබ තුමා ප්‍රිය කරන බව අපි දන්නෙමු. රට වැසියන්, මැති ඇමතිවරුන් ප්‍රිය කරන ඔබ තුමා සමග අනෙකුත් සොහොයුරන් සියයක්‌ දෙනාද ඔබගේ රාජ්‍යත්වය එකහෙළාම පිළිගන්නෙමු. අපෙන් ඔබට කිසිදු අභියෝගයක්‌ නැත. මහ රජ තුමනි. මෙය කුමන ආශ්චර්යයක්‌ද? ඔබගේ මෙම ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කළ ප්‍රතිපත්තිය කුමක්‌ද? ඔබ විශාල වශයෙන් මිනිසුන්ට අල්ලස්‌ දුන්නෙහිද? ඔබ බොහෝ දෙනාට නොයෙක්‌ වරප්‍රසාද වරදාන දුන්නෙහිද? මවාගත් ආටෝපයෙන් කටයුතු කළෙහිද? මේ සියලු කරුණු දැනගැනීමට අපි හැම දෙනාම අදහස්‌ කරන්නෙමු. එසේ හෙයින් එය නොවලහා පවසනු මැනවි.'

'එසේනම් අසනු මැන මගේ ආදරනීය සොහොයුරනි, මගේ මෙම ජනප්‍රියත්වය උදෙසා මම කිසිදු නීති විරෝධී ක්‍රියාවක්‌ අනුගමනය නොකළෙමි. වත්මන් සමාජයේ බොහෝ දෙනා ජනප්‍රියත්වය ලබා ගැනීමට නොයෙක්‌ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව මම දන්නෙමි. ඔවුන් ඒ සඳහා විශාල වශයෙන් මුඳල් වැය කරති. රාජ්‍ය දේපල, පොදු දේපල අයථා ලෙස පරිහරණය කරති. එහෙත් මම එවැනි කිසිදු වැරදි පිළිවෙතක්‌ අනුගමනය නොකළෙමි. 

සහෝදර වැරනි, සාවධානව අසනු මැන. මගේ ජනප්‍රියත්වයේ රහස මගේ ජයග්‍රහණයේ රහස මගේ ධාර්මික ප්‍රතිපත්තියයි. මගේ සාමකාමී බවයි. එපමණක්‌ නොව, මම අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකරන්නෙමි. අනුන්ගේ දියුණුවට අකුල් නොහෙලන්නෙමි. මම රටෙහි මහණ බමුණන්ට, සෙසු පූජකයන්ට පමණක්‌ නොව සීලයෙන් ගුණයෙන්, වයසෙන් වැඩිහිටියන්ට නිසි ගෞරවය ලබා දෙන්නෙමි. ඔවුන්ගේ අවශ්‍යතා කුමක්‌ද යන්න සොයා බලා එම අවශ්‍යතා නිසි ලෙස ඉටු කර දෙනවා. ඔවුන් බොරුවෙන්, ඉච්ඡා බස්‌ වලින් රවටන්නෙත් නැහැ. එසේම ඔවුන් දෙන අවවාද පිළිගන්නවා. මගේ සිත නිරන්තරයෙන්ම කුසල් පැත්තට නැඹුරු කර ගන්ට උත්සාහ කරනවා. එපමණක්‌ නොව ඇත් අස්‌ රථ පාබල කියන චතුරංගිනී සේනාවට අවශ්‍ය දෙය විමසා ඒ සියල්ල ඉටු කර දෙනවා. එසේම සුදුස්‌සාට සුදුසු තැන ලබා දෙනවා. ඥාති මින්ත්‍රයන්ට විශේෂ සැළකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. ඇතැම් කාලවල උගතාට දක්‌ෂයාට තැනක්‌ ලැබෙන්නෙ නැහැ. පාලකයන්, මැති ඇමතිවරුන් තම තමන්ගේ පෞද්ගලික හිතවතුන්ට තැන දෙති. 

මම එසේ නොකරමි. උගත්, බුද්ධිමත්, දක්‌ෂ ඇමතිවරු මෙන්ම නිලධාරීන් ද පත් කරනවා. මාගේ මෙම ධාර්මික බව දසදෙස පැතිර යාම නිසා විදේශ ව්‍යාපාරිකයන් ආයෝජකයන් මෙහි පැමිණ ව්‍යාපාරික කටයුතු අරඹනවා. රට සරුසාර නිසා රටෙහි අපරාධ සිදුවන්නෙත් නැහැ. ඒ නිසා රන් මි, මුතු කහවණු රැගෙන එන ව්‍යාපාරිකයන් කිසිදු බියක්‌ සැකයක්‌ නැතිව හොඳින් ව්‍යාපාර කරනවා. 

සොයුරනි, මා මෙම සියලු ජයග්‍රහණයන් ලබා ගත්තේ ධර්මයෙන් මිස අධර්මයෙන් නොවේ. අවිහිංසාවෙන් මිස හිංසාවෙන් හෝ ආයුධ බලයෙන් නොවේ. අල්ලස්‌ හෝ වරදාන දීමෙන් නොවේ. මෙම කරුණු තමයි මාගේ ජනප්‍රියත්වයට හේතුවී ඇත්තේ. මේ නිසා තමයි ජනතාව මට ආදරය දක්‌වන්නේ.' 

'මලනුවනි, අපේ මහ රජතුමනි, ඔබ වයසින් අපට බාල වුවත් රාජ්‍ය පාලනයේදී අප සියල්ලන්ම අභිබවා ඇත. ඔබ තුමන් අනුගමනය කරන ධර්ම මාර්ගය තුළින් රට වැසියන් පමණක්‌ නොව, සියයක්‌ පමණ වැඩිමල් සොහොයුරන් ද ජය ගෙන ඇත. ඔබ අපට පෙන්වා දුන් රාජ ධර්මයෙන්ම දිවි ඇතිතෙක්‌ රට පාලනය කරනු මැනව. ඔබතුමන්ගේ ආරක්‌ෂාවට අප සොහොයුරන් සියයක්‌ම සිටින බව ද අමතක නොකරනු මැනව. අපි සියයම එක්‌වර නැඟී සිට ඔබට අපේ උත්තමාචාරය පුදන්නෙමු. මහරජ තුමනි ඔබ දිගු කල් දිනේවා.'

මෙසේ සියලු සොහොයුරන් එක්‌ව නැගී සිට ආචාර කර තම බාල සොහොයුරාටත්, ඔහු අනුගමනය කළ දැහැමි රාජ ධර්මයටත් ආශීර්වාද කළහ. එදවස සංවර රඡ්ජුරුවෝ නම් දැන් මෙම භික්‌ෂුව වන්නේය. එසමයෙහි 'උපෝසථ' කුමාරයෝ නම් සාරිපුත්ත ස්‌ථවිරයෝය. අවශේෂ අට අනූවක්‌ කුමාරවරු නම් අසූ මහා සව්වන් සහ අනුරුද්ධ ස්‌ථවිරයෝය. එසමයෙහි රජ පිරිස නම් දැන් මෙම බුදු පිරිස වන්නාහ. සංවර කුමාරයන්ට අවවාද දුන් අමාත්‍යයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැ'යි තමන් වහන්සේ දක්‌වා වදාළ සේක.


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති, ධර්මවේදී 
නාලන්දේ විමලවංශ නාහිමි 


2016 මැදින් මස 22 අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment