Labels

Tuesday, April 12, 2016

සදහම් සරණ යමු


සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවී තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මැනවින් මෙනෙහි කළ සේක. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සසර තනන දුක පිළිබඳ මැනවින් අවබෝධය ලබාගත්හ. දුක දුකට හේතු, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාවබෝධය ලබාගත්හ.
ලෝකයේ හා සත්ත්වයාගේ ඇතිවීම හා නැතිවීම හේතු ප්‍රත්‍ය අනුව සිදුවන බව පටිච්ච සමුප්පාදය මගින් අබෝධ කළහ. මුල සිට අගටත් අග සිට මුලටත් මෙය මෙනෙහි කරමින් ලෝකය හාසත්ත්වයා පිළිබඳ යථාවබෝධය ලබාගත්හ. සංසාරයේ අනන්තවත් කාලයක්‌ දුක්‌ විඳ විඳ ඇවිද සොයාගත් ලෝක සත්‍ය තමන් වහන්සේගේ අවබෝධ ඥනයයි. අවබෝධ ඥනය සද්ධර්මයයි. තමන්ම අවබොධ කරගත් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවඋන්වහන්සේ සිතූහ. එම නිසා උතුම් සද්ධර්මය තමන්ගේම ගුරුවරයා බවට පත්කරගනනේ බුද්ධත්වයට පත්වී පස්‌වැනි සතියේදීය. එසේ නම් අප මේ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේත් ගුරුවරයාය. තුන්ලොවටම අග්‍රවූ බුදුරජාණන් වහන්සේගේ ගුරුවූ සද්ධර්මය මොනතරම් ශ්‍රේෂ්ඨ ද? අං.නි. අග්ගපද සූත්‍රයට අනුව හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම හෙවත් ධර්මයම ශ්‍රේෂ්ඨය. ධර්මයේ පැහැදීම අග්‍රස්‌ථානයේ පැහැදීමකි. අඝ්‍රස්‌ථානයේ පැහැදීමෙන් අග්‍රවිපාක ලැබේ. ධම්මං සරණං ගච්ඡාමි කියා අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය සිදුකරන්නේ බරණැස ඉසිපතනාරාමයේදීය. දම්සක්‌ පැවතුම් සූත්‍රය දේශනාව පවත්වමින් මහණෙනි, අන්ත දෙකට නොපැමිණ ප්‍රඥ ඇස පිරිසිදු කරන්නාවූ නුවණැස ඇතිකරන්නාවූ, කෙලෙසුන් දුරුකරන්නා වූ,සත්‍ය ප්‍රතිවේධයට අවබෝධයට ප්‍රත්‍යක්‍ෂ වූ මධ්‍යම ප්‍රතිපදාව හොඳින් අවබෝධ කරන ලදී. මෙසේ තථාගතයන් වහන්සේ පෙර නොඇසූ ධර්මයක්‌ ලෙස චතුරාර්ය සත්‍යය දේශනාව දක්‌වා එම දැනීමෙන් චක්‌ඛුං උදපාදි දහම් ඇස පහළ විය. ඤාණං උදපාදී ඥනය පහල විය. පඤ්Æ උදපාදී ප්‍රඥව පහළවිය. විඡ්ජා උදපාදී විද්‍යාව පහලවිය. ආලෝකෝ උදපාදී ආලෝකය පහලවිය ආදී ලෙස උදම් ඇනූහ. එසේ ධර්ම දේශනාකොට මහණෙනි, ඒතාක්‌ කල් දෙවියන් සහිත වූ බමුන් සහිතවූ සත්ව ලෝකයෙහිද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාවෙහිද මම අනුත්තරවූ සම්‍යක්‌ සම්බෝධිය පසක්‌ කළෙමි. මට ප්‍රත්‍යක්‍ෂ ඥනය පහල විය ආදී වශයෙන් දැක්‌වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් චතුරාර්ය සත්‍ය දේශනාවයි. උතුම් ධර්මයයි. මේ ධර්ම දේශනාව ඇසු බූමාටු දෙවියො, චාතුම්මහාරාජික දෙවියෝ ආදී කොටැති දේවබ්‍රහ්මාදීන් සාදු සාදු හඬින් තුන් ලෝකය ගිගුම් දුන්හ. අප සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මය බව දැන් සිහිපත් කරගෙන සාදු සාදු කිය කියා හදවතින් ධම්ම රත්නය සරණ යමු.

දැන් ඔබට තේරෙනවා ඇති ධම්මං සරණං ගච්ඡාමි කියල කොයිතරම් කියල ඇත්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවාට වඩා වැඩියෙන් ධර්මරත්නයට ගරු කළ යුතුයි කියල දැන්වත් වැටෙහනවාද?

ධම්මං සරණං ගච්ඡාමි කියල දහම් සරණ යනවිට පිරිසිදු කරගත් දැත් හිස මත තබා හදවත පතුලෙන් නැගෙන මහත්වූ ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්මය සරණ යා යුතුය. ත්‍රිපිටකයේ නොයෙක්‌ සූත්‍රයන්හි දැක්‌වෙන්නේ බොහෝදෙනකු බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා එයින් ප්‍රසාදයට පත්වී සතුටු සිතින් බුදුන් හමුවෙහි සාදු කිය කියා තෙරුවන් සරණ ගිය ආකාරයකි. ජෛනාගමියකු වූ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ අභියස සිට තුන් වරක්‌ම තෙරුවන් සරණ යන්නේ බලවත් ප්‍රසාදය නිසාය. ඇත්තටම අප දහම්සරණ යා යුත්තේ මනාවූ අවබෝධයෙනි. එසේ නොවනු විට මෙය වාක්‍යයක්‌ කීම පමණක්‌ වේ. අත්තදීප සූත්‍රයට අනුව තමාම තමාට පිහිට කොට ගත්හ. උතුම් ධර්මයම පිහිටකොට ගන්න (ධම්මදීපානං ධම්ම සරණානං අනඤ්ඤසරණානං) ධර්මයට වඩා ආලෝකයක්‌ පිහිටක්‌ නොමැති බවම සිහි තබාගෙන කටයුතු කිරීමමයි හොඳ. පුඤ්Æභිසන්ද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශිත (ස්‌වාක්‌ඛාත) තමන් විසින් මෙලොවදීම දැකිය හැකි (සන්දිට්‌ඨික), කල් නොයවා විපාක දෙන (අකාලික), එව බලය යෑයි පෙන්විය හැකි (ඒහි පස්‌සික), එළඹීමටසුදුසු (ඕපනයික), නුවණැසයන් විසින් තම ඥනයෙන් දැනිය යුතු (පච්චත්තං වේදිතබ්බෝ විඤ්­හීති) යන ධර්මය පින් ගඟකි. කුසල ගඟකි. ධර්මය අචල ප්‍රසාදයෙන් යුතුව සරණ යැම සැප පිණිස (සුඛස්‌සහාරා) ස්‌වර්ග සම්පත් දෙන (සොවග්ගිකා) සැප විපාක ඇති (සුඛ විපාකා), ස්‌වර්ගය පිණිස පවත්නා (සග්ගසංවත්තනිකා) ඉෂ්ට බව පිණිස (ඉට්‌ඨා) කාන්තබව පිණිස (කන්තා), මනවඩන පිණිස (මනාපා), හිත සුව පිණිස පවත්නා (හිතාය සුඛාය සංවත්තති) දෙයක්‌ බව පෙන්වා දී ඇත. එබැවින් උතුම් සද්ධර්මය නමැති පින් ගඟට බැස සසරින් එතෙර වෙමියි යන සිතින් සාදු සාදු කියා සදහම් සරණ යමු.

අං.නි. ධම්මරාජ සූත්‍රයේ දැක්‌වෙන පරිදි ධර්ම රාජයාණන් වන තථාගත අර්හත් සම්‍යක්‌ සම්බුදුරජාණන් වහන්සේ ධර්මයට ගරුකරන්නේය. ධර්මයට සත්කාර කරන්නේය. ධර්මයට බුහුමන් කරන්නේය. ධර්මය කොඩියක්‌ කොට ගන්නේය. ධර්ම හේතුවක්‌ කොට ගන්නේය. ධර්මය අධිපත්කොට ගන්නේය. භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසටම ධාර්මික රැකවරණය සලසන්නේය. අයහපත් කාය කර්ම අයහපත් වචී කර්ම අයහපත් මනෝකර්ම නොකරන්නැයි අවවාද කරන්නේය. යහපත් ක්‍රියා යහපත් වචන, යහපත් සිතිවිලි සිදුකරන ලෙස අවවාද දෙන්නේය. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ කෙතරම් ධර්මයට ගරුකරනවාද යන්න සිතන්න. තථාගතයන් වහන්සේගේ ප්‍රධානතම මාර්ඝෝපදේශකයා උතුම් සද්ධර්මය බව අප දැන සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ම.නි. ධම්මදායාද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්මය දායාද කොට ගන්නා ආමිස දායාදකොට නොගන්න යනුවෙනි. ආමිසයට දායාද වෙනවා නම් හෙතෙම ගැරහිය යුත්තෙක්‌ වෙනවා. ගැරහීමට ලක්‌වෙනවා. ධර්මය දායාද කොට ගැනීමෙන් ගැරහීමට ලක්‌නොවන බව පෙන්වා දෙනවා. එමෙන්ම උතුම් ධර්මය දායාද කොට ගැනීමෙන් සිතෙහි ඇති කෙලෙස්‌ සිඳ දමා ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළින් සසර දුක කෙලවර කිරීමටද හැකිවන බව පෙන්වා දුන්නා. තවද ම.නි. කින්ති සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ චීවර සඳහාවත්, පිණ්‌ඩපාතය සඳහාවත්, සේනාසන සඳහාවත්, පින් රැස්‌කිරීම සඳහාවත්, දහම් නොදෙසූ සේක. ලොවට අනුකම්පා පිණිස, හිත සුව පිණිස දහම් දෙසූ බැවින් සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම අනුගමනය කොට නිවන් මඟ සාදාගන්නැයි මහා කරුණාවෙන්ම සිහිපත් කළහ.

බුදුරජාණන් වහන්සේ සං.නි. සුභාසිත කියන සූත්‍රයෙන් දේශනා කළා සුබාසිත කියන්නේ මොකක්‌ද කියල. බුද්ධාදී සත්පුරුෂයෝ උතුම් යහපත් වචනම දෙසති. දැහැමි වචනම කියන්නේය. අදැහැමි වචන නොදෙසන්නේය. ප්‍රියවූ වචනම කියන අතර අප්‍රිය වචන නොදෙසන්නේය. සත්‍ය වචනයම දෙසන්නේය. අසත්‍ය නොදෙසන්නේය. එහිදී වංගිස තෙරුන්ට දේශනාකරන්නේ යම් වචනයක්‌ නිසා තමාත් නොතැවේ නම් අනුනුත් නොතැබේ නම් අන්න ඒ වචන ඒකාන්තයෙන් සුභාසිතයි ඒවා කියන්න කියාය. තවද එහිදී පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීම පිණිසද දුක්‌ කෙළවර කිරීම පිණිසද නිර්භයවූ යම් වචනයක්‌ දේශනා කළේද එම වචනයම උතුම් කියාය. මෙයින් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය සුභාෂිතයක්‌ බවම දැන ඒ උත්තරීතර දහම මැනවින් අවබොධ කරගැනීම සඳහාම උත්සාහ කරමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

සද්ධම්මපතිරූපක සූත්‍රයේදී පෙන්වා දෙන්නේ කාශ්‍යපය මෙලොව යම් තැනෙක සද්ධර්ම නැති වූවක්‌ හටගත්තේද, එකල්හි සද්ධර්මය අතුරුදන් වන බවය. යම් කලෙක සද්ධර්මය වැනි වූවෙක්‌ ලොව නොවන්නේද ඒ තාක්‌ සද්ධර්මය අතුරුදන් නොවේ. යම් තාක්‌ රන් වැනි දෙයක්‌ ලොව නොහට ගන්නේද ඒ තාක්‌ රන් අතුරුදන් නොවේ. රන් වලට සමාන දෙයක්‌ ලොව ඇතිවූ විට රන් අතුරුදන් වේ. එමෙන්ම එහිදී පෙන්වා දෙන්නේ මෙසස්‌නෙහි භික්‌ෂු භික්‌ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිසෙහි ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝරත්නය කෙරෙහි, සීලය කෙරෙහි, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේද යටහත් පැවතුම් නැත්තේද එවිට සද්ධර්මයේ අතුරුදන් වීම, ධර්මයේ විනාශවීම බලාපොරොත්තු විය යුතුය. තවද ඉහත කරුණු පහ කෙරෙහි ගෞරව ඇත්තේද යටහත් පැවතුම් ඇත්තේද එවිට ධර්මය අතුරුදන් නොවේ. විනාශ නොවේ යනුවෙනි. මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව මැනවින් විමසා බලනවිට පෙනෙන්නේ ධර්මයේ අතුරුදන්වීමට සිවුපිරිසම වගකිව යුතු බවය. අනෙක ඉහත කරුණු කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්‌තව යටහත් පැවතුම් සහිතව කටයුතු කළ යුතු බවය.

එසේ කොට උතුම් ධර්මය තව තවත් බබුළුවමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ධමම්වාදී සූත්‍රයට අනුව රාගය ප්‍රහාණය පිණිස ද්වේෂය ප්‍රහාණය පිණිස, මෝහය ප්‍රහාණය පිණිස දහම් දෙසා නම් හෙතෙම ධම්මවාදී වන බවයි. ධම්ම කථික සූත්‍රයේදී පෙන්වා දෙන්නේ ජරා මරණ පිළිබඳව කළකිරීම පිණිස නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස දහම් දෙසනවා නම් ඔහු ධර්ම කථිකයෙක්‌ බවයි. එමෙන්ම ජරා මරණ පිsළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නැතිකිරීම පිණිස කටයුතු කරනවා නම් එය ධර්මානුධම්ම ප්‍රතිපන්නවන බවයි. ඉදින් ජාති, ජරා, ව්‍යාධි වගේම භවය උපාදාන, තණ්‌හා, ෂඩායතන, නාම, රූප, විඤ්Æණ, සංස්‌කාර, අවිද්‍යාව ගැන කළකිරීමෙන් නොඇලීමෙන්, නැතිකිරීමෙන් කිසිදු ධර්මයක්‌ දැඩිව නොගෙන මිදෙන්නට හැකි නම් ඒ නිවන් මඟ සඳහාම වෙහෙසෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධමම් රත්නය සරණ යමු.

අං.නි. සුගතවිනය සූත්‍රයට අනුව සුගතවිනය නම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ මුල, මැද, අග කල්‍යාණ වූ ධර්මයයි. එමෙන්ම ධර්මය පද ව්‍යඤ්ජන වශයෙන් නිවැරැදිව පාඩම් නොකිරීමෙන් වරදවා හැදැරීමෙන් ධර්මය අතුරුන්වීම පිණිස පවතී. එම ධර්මය මනාව හැදැරීමෙන් නිවැරැදිව පද ව්‍යඤ්ජන නිවැරැදි වීමෙන් අර්ථයද පහසුවන අතර ධර්මයේ පැවැත්ම පිණිස , ධර්මයේ අතුරුදන් නොවීම පිණිස පවතී. එමෙන්ම ධර්මය හදාරා ධර්ම ධරව අන්‍යයන්ට පාඩම් කරවීමෙන් ඔවුන්ගේ ඇවෑමෙන් ධර්මයට පිළිසරණක්‌ වේ. එබැවින් තථාගත ශ්‍රාවකයන්ගේ අගනා යුතුකම වන්නේ මෙම උතුම් ධර්මය මනාව හැදැරීම හා එය ඉගෙනීමට සලසාදීම හා මනාව ධර්මය අනාගත පරම්පරාවට පුහුණු කිරීමයි.

කෝධගරු සූත්‍රයට අනුව මිනිසුන් ධර්මයට ගරු නොකරන අතර ක්‍රෝධයට, මක්‌ඛයට (අන්‍යයන්ගේ ගුණ මැකීම), ලාබ සත්කාරවලට ගරු කරයි. එසේ වූ විට ධර්මය අතුරුදන්වීම වැළැක්‌විය නොහැක. මේ කරුණු මැනවින් දැන උතුම් ධර්මයට ලැදියාවෙන් ගරු කිරීමෙන් චිරාත් කාලයක්‌ ධර්මයද ආරක්‌ෂාකොට අපද ධර්මාවබෝධය ලබා දුක්‌ සහිත සසරින් මිදෙන්නට වහ වහා වෙර දරමු යන සිතින් නිරතුරුව ධර්මය දේශනා කරන අවස්‌ථාවන්ට සහභාගිවීම හොඳ ධර්මය තරම් ඇසීමට සුදුසු තවත් යමක්‌ ලොව නැත. හද පිරි මහා ශ්‍රද්ධාවෙන් එම උතුම් ධර්මය ශ්‍රවණයකොට සසරින් මිදෙමියි යන සිතින් සාදු සාදු කිය කියා හදවතින් ධම්මරත්නය සරණ යමු.

ශාස්‌ත්‍රපති ගයිරෑනගම විනීත හිමි.


2016 මැදින් මස 22 අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment