Labels

Monday, April 11, 2016

ජීවිතය සමඟ බැඳී ඇති සැබෑ බර හඳුනාගන්න


බර දෙන කෙනා තෘෂ්ණාව නිසා බර වැඩිවෙන විට අප දුකට පත්වෙනවා. තෘෂ්ණාව ආකාර තුනකින් බර ගෙන දෙනවා. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස. තිබෙන බරට දැඩි ඇලීම නිසා අප තවත් බර එකතු කර ගන්නවා. දුක වැඩිවෙන විට මේ බර භාර නොගෙන ශාන්තිය කරා යන්න ඇත්නම් කියා සිතෙනවා. එනම් පරම සුවය වන “නිවන” සාක්ෂාත් කරන්න ලැබෙන්නේ මේ බර බිම තැබූ විටයි.

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨම උත්තමයාණන් වහන්සේ ලොවුතුරා බුදුරාණන් වහන්සේයි. උන්වහන්සේ අපට නිවෙන සැනහෙන පිවිතුරු මාර්ගයක් දේශනාකොට වදාළ අතර, ඒ මාර්ගයේ ගමන් කරන්නන් ඒකාන්තයෙන්ම සසර දුකෙන් මිදෙන බවද වදාළා.
උන්වහන්සේ දිනක් ස්වාමින්වහන්සේ පිරිසක් සමඟ ධර්ම චාරිකාවේ වැඩම කළ සේක. මේ චාරිකාව වනය මැදින් ගම්මානයක් වෙත වැඩම කළ අතර, මේ ගම්මානයේ තිබූ එක්තරා පුංචි ගෙයක් අසළ ගල් තලාවක උන්වහන්සේ වැඩ සිටි සේක. ඒ නිවසේ එළියේ මැස්සක් උඩ කළයක සිහිල් වතුර පුරවා තිබුණා. යම් ආවරණයකින් මේ කළය වසා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, අප පා ගමනින් බොහෝ දුර වැඩම කළ නිසා මහන්සිය දැනෙනවා නේද එසේය ස්වාමිනි, මහන්සියක් දැනේ. මහණෙනි, අර මැස්ස උඩ තිබෙන කළය ගැන ඔබලාට මොකද හිතන්නේ ස්වාමිනි ඒ කළය දුටුවිට පැන් පානය කරන්න හිතෙනවා. මහණෙනි ඒ කළයේ වතුර පිරී තිබෙනවාද එසේය ස්වාමිනි, කළයේ පුරාවටම දිය සිහිරාව තිබෙන නිසා කළයේ පැන් ඇති බව සිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ කළයේ ජලය පිරී සිසිල් වී තිබෙන අතර හොඳින් වසා තිබෙන නිසා එහි වටිනාකමද වැඩියි. මහණෙනි, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ද අවස්ථා හතරක් අනුව වර්ග කළ හැකියි. මිනිසුන්ගේ චරණය දෙස බැලුවිට ක්‍රියාත්මක වීම දෙස බැලූවිට මේ කළයේ භාවිතය අනුව අපද වර්ග හතරට සමානයි.
තුච්චෝ පිහිතෝ කුම්භෝ - යම් කළයක ඇතුළත හිස්. නමුත් එළියෙන් වසා තිබෙනවා. එළියෙන් ආටෝප සාටෝප කර තිබෙනවා. සමහර අයගේ ජීවිතයත් ඒ වගේ. අයෙක් නිතර නිතර සුදු ඇඳුම් ඇන්දාට නිතර නිතර වෙහෙර විහාර වැන්දාට ධර්ම ග්‍රන්ථ පරිශීලනය කළාට ඔහුගේ ඇතුළත ක්ලේශ ධර්මයන් පිරී තිබෙන්න පුළුවන්. නපුරු නරක සර්පයන් වැනි හිත නරක් කරන ක්ලේශ ධර්මය පිරී තිබෙන්න පුළුවන්. ඔහුට අදහස් වලින් චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීමක් නැහැ. පංචඋපාදානස්කන්ධය පිළිබඳව නිසි නියම දැක්මක් නැහැ. මේ අය ධර්මයෙන් පිට පැන්න නමුත් බැලූ බැල්මට ධර්මයේ හැසිරෙනවා වගේ පෙනෙනවා.
පූර්වෝ විවිටෝ කුම්භෝ - යම් කළයක වතුර හොඳින් පිරී තිබුණත්, ඒ කළය වසා නැහැ. විවෘත නිසා ඒ වතුරේ පිරිසුදුභාවය ගැන සැකයක් ඇත්තේ. ඒ කියන්නේ ධර්මය දන්නවා. එහි ගැඹුරට හදාරා තිබෙනවා. ඇතුළතින් ධර්මය ගැන දැන සිටියාට අන් අය සමඟ ධර්මය බෙදාගැනීමක් නැහැ. තමන් තනියම ගමනක් යනවා වෙන්නත් පුළුවන්.
තුච්චෝ විවිටෝ කුම්භෝ - මේ කළයේ ඇතුළත් වතුර නැහැ. හිස්. ඒ වගේම ආවරණයක් නොමැතිව විවෘතවයි තිබෙන්නේ. පාපි සිත ඇති අයෙකුට ඒ කළයෙන් ප්‍රයෝජනයක් නැහැ. අද සමාජයේ වැඩි පිරිසක් මේ වගේ. ඇතුළත හිස්. ඒ වගේම ක්‍රියාවෙනුත් ඒ හිස් බවම පෙන්නුම් කරනවා. චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, නිවන ගැන කිසිදු වැටහීමක් නැහැ. ඒ වගේම මේ පිරිස එවැනි වැටහීමක් තිබෙන බව බොරුවට ඇඟවීමක් කරන්නෙත් නැහැ.
පූර්වෝ පිහිතෝ කුම්භෝ - මේ කළය නම් හොඳට සිහිල් පිරිසුදු ජලය පුරවා ඒ ජලය හොඳින් වසා තිබෙනවා. ඒ කළයේ ජලය පානය කළ හැකියි. එළිය වගේම ඇතුළතත් පිරිසුදුයි. මේ පංචඋපාධානස්කන්ධය පිළිබඳව නිසි නියම දැනීම ඇති පුද්ගලයා භයානක සසරෙන් නිදහස් වීමට කැමැති පුද්ගලයා ආධ්‍යාත්මික ගමනකට බැසගත් පුද්ගලයා හරියට දිය පිරුණු එළියෙනුත් හොඳින් වසා තිබෙන කළය වගේ. එළියෙන් වැසී තිබෙනවා කියන්නේ ඉන්ද්‍රිය සංවරය සහිතයි. ඇස, කන, නාසය, දිව,කය, මනස සංවර සිත ශක්ති සම්පන්නයි. බලවත්. පංචඋපාධානස්කන්ධයේ බර අඩු කරන්න කැමැති කෙනෙක් ඇතුළතත් පිරිසුදු කරගත්ත බාහිර ඉන්ද්‍රිය ධර්මයනුත් හොඳින් සංවර කර ගත් පිරිසක් වෙන්න ඕන. එවිට අපට බර අඩු කර ගන්නට පුළුවන්.
ඒ අනුව අද අප කථාකරන සූත්‍ර දේශනාවේ නම “භාර සූත්‍රය” භාර යනු බරයි. ඔබට කෙතරම් මේ ජීවිතයේදී බර දැනී තිබෙනවාද ශරීරයේ බර, ජීවන බර, දරුවන්ගේ බර, ණය බර, ඥාති කරදර බර ආදී ලෙස අප කෙතරම් බරක් ඔසවාගෙන යනවාද කිසිම සැහැල්ලුවක් නැහැ. මේ සියලු බරයන්ට වඩා වැඩියෙන්ම බර කුමක්ද කියා මේ භාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා.
භාරාහවේ පංචක්ඛන්ධා
භාරහාරෝ ච පුග්ගලෝ
භාරහාරං දුක්ඛං ලෝකේ
භාර නික්ඛේපනං සුඛං
බරනම් විවිධයි. ඒ සියලුම බරවලට වඩා වැඩිම බර තිබෙන්නේ පංචඋපාධානස්කන්ධයේ බර. ඒ මොනවාද රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ උපාධානස්කන්ධයන් ය. ඔබ සිතන්නේ සත්ත්වයාගේ මනස ද භෞතික කයද වැඩියෙන් බර මේ මනසයි බර. ඇයි මේ භෞතික කය අපට ලැබුණේ මේ භවයේදී. නමුත් මනසේ තිබෙන බර සංසාරයේ කර ගසාගෙන යනවා. මෙසේ හිස තබාගෙන යන බර වැඩිවන්නේ උපාධානස්කන්ධයන් නිසාම යි. අප කියනවා මේ ජීවිතය හරි බරක්. මට තවත් මේ බර ගිනියන්න බැහැ කියනවා. නමුත් සියලු බැරි බර කරේ තබාගෙන දෙපයින් වාරු ගෙන යන්න තිබෙන්නේ පංචඋපාධානස්කන්ධය ගැන නිසි නියම දැක්මක් නැති නිසායි. එනිසා කායිකව වඩා මානසික බර වැඩියි. ඔබ ධර්මානුකූලව පංච උපාධානස්කන්ධය හඳුනාගෙන ඒ උපාධානස්කන්ධය බිඳ දැමූවිට සියලුම බර බිම තැබුවා වෙනවා. සිත දියුණු කරනවිට කයේ බර ඉබේම අඩුවෙනවා. සිත සැහැල්ලු අයගේ කයත් සැහැල්ලුයි. එනිසා උපාධානස්කන්ධය මෙන්ම ජීවිතයේ බර කඩාගත් උපාධානස්කන්ධයේ බර හඳුනාගත් අයට අධ්‍යාත්මික ගමන බලවත් කරන්න පුළුවන්.
ඒ වගේම අප දැනගත යුතුයි බර ගෙනයන කෙනෙකුත් ඉන්නවා. ඒ තම තමායි. පුද්ගලයා විසින් බැරි බර කරේ තබාගෙන යන්නේ. පෞද්ගලිකව හැම හැමෝම විශාල බරක් කර තබාගෙන මේ සියල්ල කරන්නේ. බර ගෙන යන්නේ සත්ත්වයා නමැති අපයි. උපාධානස්කන්ධයක් අපට උරුමවීම මහා බරක්.
බර දෙන කෙනා තෘෂ්ණාව නිසා බර වැඩිවෙන විට අප දුකට පත්වෙනවා. තෘෂ්ණාව ආකාර තුනකින් බර ගෙන දෙනවා. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස. තිබෙන බරට දැඩි ඇලීම නිසා අප තවත් බර එකතු කර ගන්නවා. දුක වැඩිවෙන විට මේ බර භාර නොගෙන ශාන්තිය කරා යන්න ඇත්නම් කියා සිතෙනවා. පරම සුවය වන නිවන සාක්ෂාත් කරන්න ලැබෙන්නේ මේ බර බිම තැබූ විටයි.
එනිසා මේ භාර සූත්‍රයේදී කියා දෙන බර උපාධානස්කන්ධයේ බරයි. මේ ලෝකයට ඇලෙන, රැඳෙන, ගැටෙන, බැඳෙන මේ තද ගම් එක ඉවත්කර ගන්නට පුළුවන්නම් බර අයින් කර ගන්නට පුළුවන්. එනිසා බරක් තිබුණට, බර දුන්නට, ඒ බර නොගෙන බිම තබා ගත්තානම් සැහැල්ලුවක් ඇතිවෙනවා.
එනිසා මේ සංසාරයේ අප ඔසවාගෙන එන බර බිම තබා සැනහෙන්න පුළුවන්කම තිබෙන්නේ උපාධානය කඩා සුණු විසුනු කර දැමුවොත් පමණයි. ඒ උපාධානය කඩා ගැනීමට මේ ධර්මයට පැමිණෙන්නට ඕන. ඒ ධර්මය මනසිකාරය තුළින් මතුවන ප්‍රඥාවත් අවශ්‍යයි. ප්‍රඥාව තරම් වටිනා එළියක් තවත් නැහැ. ඒ සඳහා සීලයෙන් සුවපත් වෙනවා. ඒ වගේම නිර්වාණ පාර හඳුනාගෙන සිත පිරිසුදු කරමින් හොඳ සිසිල් ජලය ඇතුළත පුරවා හොඳින් වසා ඇති කළය වගේ ජීවිතය ඇතුළත වූ සිත හදාගෙන පිටතින් ඇති ඉන්ද්‍රිය සංවර කරගත් විට බැරි බර අඩුකර ගත හැකියි.

එනිසා බර ගැන දැනගෙන, බර ගෙනියන පුද්ගලයා සහ බර දෙන පුද්ගලයා හඳුනාගෙන අලුත් බර කරට නොගෙන තෘෂ්ණාව නමැති ක්ලේෂය ක්‍රමක්‍රමයෙන් අඩුකරගෙන නිවෙන සැනසෙන මඟ සොයා ගැනීමට උත්සුක වීමට අපට ශක්තිය ලැබේවා.




මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය දර්ශනපති, 
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 අපේ‍්‍රල් 07 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment