Labels

Thursday, September 3, 2015

සදහම් දෙසුම කෙසේ කළ යුතු ද?



අවවාද, අනුශාසනා, ධර්ම දේශනා යන වචන සිංහල බෞද්ධයන් අතර නිතර කතා බහට ලක්වන, ගරු සැලකිලි ලබන සංස්කෘතික හා අධ්‍යාපනික අගයකින් යුතු අරුත්බර වචන තුනකි. අවවාද කරන්නවුන් බුදු දහමේ හඳුන්වන්නේ ‘නිග්ගය්හවාදි’ යන වචනයෙනි.

අනුශාසනා යන්නෙන් අදහස් වන්නේ වැරැදි ක්‍රියාවන්හි දුර්විපාක පෙන්වා දී එයින් වැළකීමේ යහපත් ප්‍රතිඵල පැහැදිලි කොට සුමග ගමන් කිරීමට උපදෙස් දීමයි. පහත දැක්වෙන ගාථාවේ අනුශාසනා ශබ්දය යොදා ඇති අයුරු සැලකිල්ලට ගන්න.

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං -ඒතං බුද්ධානුසාසනං


අනුශාසනාව හොඳ – නරක දැනුවත් කිරීම සඳහා යොදා ගන්නා වාචසික ක්‍රියාවලියකි. ධර්මානුශාසනාව යනු දහම ඇසුරින් දිවි මඟට එළිය දෙන උපදේශන ක්‍රියාවලියකි. අනුශාසනාවත්, ධර්මානුශාසනාවත් පෞද්ගලික ව මෙන් ම පොදුවේ කළ හැකි ය.
එහෙත් ධර්ම දේශනය සම්මත චාරිත්‍ර - වාරිත්‍ර විධි සහිතව මහජනතාව මධ්‍යයේ කරනු ලබන්නකි.
සත්වයා සතර අපායට වැටෙන්නට නො දී රැක ගන්නා නිසා ධම්ම යැයි කියනු ලැබේ. (චතුසු අපායෙසු අපතතං කත්වා සත්තේ ධරතීති ධම්මෝ) යි සඳහන් වේ. එහෙයින් සත්වග දුගතියෙන් මුදාගෙන සුගති මගේ ගමන් කරවමි යන කාරුණික වූත්, මෛත්‍රී සහගත වූත් සිතින් කරනු ලබන දේශනය ධර්ම දේශනය වශයෙන් අරුත් ගැන්විය හැකිය.
ධර්ම දේශනයත්, ධර්ම ශ්‍රවණයත්(දෙසනා - සුති) දස පුණ්‍ය ක්‍රියාවන්ට අයත් පින්කම් දෙකකි. මංගල සූත්‍රයෙහි සුදුසු අවස්ථාවන්හි ධර්මය ගැන සාකච්ඡා කිරීම ද, සුදුසු කල්හි දහමට සවන් දීම ද පව් දුරු කරනමංගල කරුණු වශයෙන් දැක්වෙයි. එහෙයින් ධර්ම දේශකයාත්, ධර්ම ශ්‍රවණය කරන්නාත් යන දෙදෙනාම කරන්නේ පව් දුරු කරන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.

බුදුදහමෙහි දැක්වන පරිදි තමාගේත්, අන්‍යයන්ගේත් පව් දුරු කරන මේ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයෙහි යෙදෙන ධර්ම දේශකයන් වහන්සේ නමක් ප්‍රතිපත්ති පහක් තුළ පිහිටා ධර්ම දේශනා කළ යුතු ය.

1. අනුපිළිවෙළ කථාව, අතරමඟදී කඩ නො කර අන්‍යයන්ට ධර්මය දේශනා කරන්නෙමි’යි සිතේ තබා ගෙන දහම් දෙසිය යුතු ය. (අනුපිළිවෙළ කතාව නමින් සැලකෙන්නේ දාන කථා, සීල කථා, සග්ග කථා, කාමාදීනව කථා, නෙක්‍ඛම්මානිසංස කථා යන අනුපිළිවෙළ කථා ය.)

2. පර්යාය වචන, වාක්‍යය දක්වමින් අනුන්ට දහම් දෙසමියි සිතේ තබාගෙන අනුනට දහම් දෙසිය යුතු ය. (පරියාය කථා නමින් සැලකෙන්නේ සමානාර්ථ වචන හා වාක්‍යයි. නිද- පට්ඨපනා, විවරණ, විභජනා, උත්ථානිකරණං)

3. දුකට පත්වූවන්ට එයින් නිදහස් වීමට මඟ පෙන්වමි’යි සිතේ තබාගෙන කරුණා මෛත්‍රියෙන් යුතුව දහම් දෙසිය යුතු ය.

4. ආමිස පුද පූජා බලාපොරොත්තුවක් නැතිව අනුන්ට දහම් දෙසමි’යි සිතේ තබාගෙන දහම් දෙසිය යුතු ය.

5. තමන් උසස් කොට සලකා ගෙන (අත්තුක්කංසන) අනුන් පහත් කොට සලකාගෙන (පරවම්භන) අනුන්නට දහම් නො දෙසිය යුතු ය.

ඉහත කී පඤ්චවිධ ප්‍රතිපත්තියෙහි පිහිටා ගෙන දහම් දෙසන භික්‍ෂුව ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයෙහි ආනිසංස ලබන්නෙක් වෙයි.
අනුන්ට දහම් දෙසන භික්‍ෂුවක් විසින් විශේෂ අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කරුණ වන්නේ ධර්ම පාඨ උච්චාරණයේ දී නිවැරැදි ව ශබ්දෝච්චාරණය කිරීමයි. පෙර වැඩ සිටි ධර්ම දේශකයාණන් වහන්සේලා මේ ගැන විශේෂ අවධානය යොමු කළහ. මෑතකාලයේ වැඩ විසූ පැළෑණේ් වජිරඤාණ මහ නා හිමි, කළුකොදයාවේ පඤ්ඤාශේඛර මහ නා හිමි, හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි යනා දී නා හිමිවරුන් විසින් පවත්වන ලද ධර්ම දේශනා පටි සපයාගෙන සවන් දීමෙන් ශබ්දෝච්චාරණය සම්බන්ධ ව බොහෝ ආදර්ශ ලබා ගත හැකි ය.
බුදුරජාණන් වහන්සේ ‘න භික්ඛවේ ගීතස්සරේන ධම්මෝ දෙසේතබ්බෝ’ මහණෙනි, ගීත ස්වරයෙන් ධර්මය නො දෙසිය යුතු යැයි ධර්ම දේශක භික්‍ෂූන් අරභයා විනය ප්‍රඥප්තියක් ද පනවා ඇත. බුද්ධ වචන භාවිතයේ දී ඒවා දසවිධ ව්‍යඤ්ජන සම්පත්තිය රැකෙන සේ උච්චාරණය කිරීම අවශ්‍ය බව අවධානයට ගත යුතු කරුණකි. එනම් බුද්ධ වචන උච්චාරණයේ දී සිථිල (අල්පප්‍රාණාක්ෂර) ගරුක, ලහුක, නිග්ගහීත යන අකුරු නිවැරැදි ව ශබ්ද කිරීම අවශ්‍යයි. මෙය තවත් සරලව කියතොත් ධර්ම දේශකයාණන් වහන්සේ ශබ්දෝච්චාරණයෙහි මනා පුහුණුවක් ලද කෙනෙක් විය යුතු ය. සුතා (අසා දැන ගැනීම) ධතා (අසා දැන ගත් වචන වාක්‍යය සිතේ දරා ගැනීම) වචසා පරිචිතා (අසා - දැන උගෙන සිතේ දරාගෙන ඇති වචන වාක්‍ය මැනවින් උච්චාරණය කිරීමට පුහුණුවීම) මනසා පෙක්ඛිතා (ඒ අසා දැන ගෙන, සිතේ දරා ගෙන සිටි මැනවින් උච්චාරණය කිරීමට පුහුණු වූ වචන හා වාක්‍යවල අර්ථය සිතින් විමසීම) දිට්ඨියා සුප්පටිවිද්ධා (වැරැදි වැටහීම් ඇති වී තිබේ නම් එවැනි වැරැදි වැටහීම් ඉවත් කරගෙන මැනවින් අවබෝධ කරගැනීම) යන බෞද්ධ ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශබ්දෝච්චාරණ පුහුණුවට දී ඇති විශේෂත්වය ධර්ම කථිකයන්ගේ අවධානයට ගැනීම ඉතා වැදගත් ය.
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට අංග අටකින් යුත් උතුම් හඬක් (අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයක්) නිකුත් වූ බව කියනු ලැබේ. 1. මැනවින් ශබ්ද නිකුත් වීම (විස්සට්ඨ) 2. මිහිරි බව (මඤ්ජු) 3. සවන් දෙන්නාට වහා අවබෝධ වීම (විඤ්ඤෙය්‍ය) /4. සවන් දීමේ රුචිය වර්ධනය වීම (සවනීය) 5. පැතිර යන හඬක් ඇතිවීම (විසාරිණී) 6. බින්දුව සහ අනුනාසික අකුරු මැනවින් භාවිත වීම (බින්දු) 7. ගැඹුරු හඬක් ඇතිවීම (ගම්භීර) 8. අවසානයේ සිහින් සිනිඳු හඬක් පැතිරයාම (නින්නාද)යනු ඒ අෂ්ටාංග සමන්විත බ්‍රහ්ම ස්වරයයි. මේ කරුණු අට පහසුවෙන් මතක තබා ගැනීමට පුරාණාචාර්යවරුන් ගාථාවකට නඟා ඇත්තේ මෙසේ ය.

විස්සට්ඨ – මඤ්ජු - විඤ්ඤෙය්‍යා
සවනීයා විසාරිණෝ
බින්දු – ගම්භීර – නින්නාදි
ත්වෙචමට්ඨඩ්ගිකෝ සරෝ


බුදුරදුන් බඳුශ්‍රේෂ්ඨ උත්තමයකුගේ සිරිමුවින් නිකුත් වූ අර්ථ රසයෙන් ද ශබ්ද රසයෙන් ද යුත් වචන – වාක්‍ය උන්වහන්සේගේ අනුගාමික පිරිස උච්චාරණය කිරීමේ දී ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමේ දී මනා පරිචයකින් – මහා සැලකිල්ලකින් කළ යුතු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු සිසුන් අමතා පවත්වන ශාස්ත්‍රීය දේශනයකත් දේශපාලකයකු දේශපාලන වේදිකාවකට නැඟී ඡන්ද දායකයන් අමතා කරන දේශපාලන කතාවකත් භික්‍ෂුවක් ධර්මාසනාරූඪ ව පවත්වන ධර්ම දේශනාවකත් අතර ඇත්තේ මහත් වෙනසකි. ධර්ම දේශනයකත්, ශාස්ත්‍රීය දේශනයකත්, දේශපාලන කතාවකත් අතර ඇති වෙනස නො සලකා ධර්ම දේශනා ශෛලිය බැහැරලා දහම් දෙසුමක් පවත්වතොත් එය ධර්ම දේශනා ගණයට නො වැටේ. ධර්ම දේශනාව සඳහා සම්මත ආකෘතියක් ඇත. එය සැකෙවින් මෙසේ ය.

1. ධර්ම දේශකයන් වහන්සේ ගරු සරු සහිත ව ධර්මශාලාවට වැඩමවා ගෙන ඒම.

2. පා සේදීම සහ සැදැහැවතුන් නැගිට සාධුකාර පවත්වා පිළිගැනීම.

3. දේශකයන් වහන්සේ අසුන් ගත් පසු පිරිස බද්ධ පර්යාංකය බැඳගෙන බිම වාඩිවීම.

4. දායකයා විසින් දැහැත් වට්ටියක් පිරිනමා ධර්ම දේශනාව පැවැත්වීමට ආරාධනා කිරීම.

5. ගිහි පිරිස තිසරණ සහිත පඤ්ච සීලයෙහි පිහිටුවීම.

6. දේවතාරාධනය වරක් කීම.

7 . කාලාඝෝෂණය තෙවරක් කීම.

8. තෙවරක් නමස්කාරය කීම.

9. බුද්ධ වචනයක් මාතෘකාව වශයෙන් ප්‍රකාශ කිරීම.

10. පිරිස ඇමතීම.

11. අරමුණ සැකෙවින් ප්‍රකාශයට පත් කිරීම.

12. ධර්මශ්‍රවණානිශංස සැකෙවින් ප්‍රකාශ කිරීම.

13. මාතෘකාව හඳුන්වා දීම.

14. මාතෘකාව වශයෙන් ප්‍රකාශ කළ පාලි පාඨයේ අර්ථය සරල සිංහලයෙන් කීම.

15. නිදාන කතාව ඉදිරිපත් කිරීම.

16. මාතෘකා පාඨයට අදාළ කරුණු - අටුවා - ටිකා - බණ කතා ඇසුරෙන් විස්තර කිරීම.

17. මාතෘකාවට අදාළ ධර්මෝපදේශ ජීවිතයට සම්බන්ධ කිරීම හා දේශනයෙහි සාරාංශය ප්‍රකාශ කිරීම, පුණ්‍යානුමෝදනාව, දෙවියන්ට පින් පැමිණ වීම.

ඉහත දැක් වූ ආකෘතිය යටතේ ධර්ම දේශනයක් පවත්වන්නට මනා පුහුණුවක් තිබිය යුතු ය. එසේම / ධම්ම කුසලතාව, (ත්‍රිපිටක ධර්මය පිළිබඳ ම මනා දැනීම) අත්ථ කුසලතාව (තමා උගත් ධර්මය පිළිබඳ ව පදාර්ථ, සම්බන්ධාර්ථ, අන්වයාර්ථ, භාවාර්ථ දැනීම) 3. කාය සංවරය (තැන්පත්, සංවර, ප්‍රසන්න ඉරියව් පැවැත්ම) ආදිය ධර්ම දේශකයා තුළ තිබීම අවශ්‍ය ය.

ධර්ම දේශකයකු තම ධර්ම දේශනයේ දී අනවශ්‍ය අන්දමින් පුද්ගලයන් වර්ණනා කිරීම, විරුද්ධවාදින්ට පහර ගැසීම ආදිය සඳහා කාලය කැප කරත් නම් ඒ ධර්මයට කරන නිග්‍රහයෙකි. එසේ ම එය ශ්‍රාවකයින්ගේ සිත් සතන් කෙළෙසන්නකි. සාර්ථක ධර්ම දේශනයක් බවට පත්වන්නේ ‘දෙසෙථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං, සබ්‍යඤ්ජනං සුවිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ’ යන බුද්ධාවවාදය මත පිහිටා ගෙන ලාභ, කීර්ති, ප්‍රශංසාවත් අපේක්‍ෂාවකින් තොරව කරුණා මෛත්‍රියෙන් යුතු ව කරනු ලබන ධර්ම දේශනාවකි

ක්‍රි.පූ. 3 වන සියවසේ දී මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කර දෙවන පෑතිස් රජුට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ආරම්භ කළ ධර්ම දේශනා වැඩපිළිවෙළ සිංහල බෞද්ධ හදවත් තුළ පරිපුරින් පරපුරට ලේ උරුමයක් බවට පත් ව ඇත. උගත් නූගත් කොයි කවුරුන් වුවත් දහම් දෙසුමකට සවන් දීමෙන් අපේක්‍ෂා කරන්නේ බුද්ධ භාෂිතයක්, ශ්‍රාවක භාෂිතයක්, දේව භාෂිතයක්, නැතහොත් ජාතක කථාවක් සවිස්තර ව අසා දැන ගැනීමට ය. ඒවා අටුවා ටිකා සහිත ව සරල බසින් විස්තර කරන ධර්ම දේශනා ඇසීමෙන් ජනතාව ලබන්නේ බුද්ධාලම්බන පී‍්‍රතියෙකි. එම පී‍්‍රතිය ලබමින් ජනතාව සගමොක් මඟෙහි යොදවාලිය හැක්කේ ත්‍රිපිටකය මැනවින් හදාළ භික්‍ෂුවකට පමණි. එමඟින් භික්‍ෂුව ලබන්නේ නිරාමිස පී‍්‍රතියකි. ඉහත දැක් වූ කරුණු සැකෙවින් සටහන් කළේ ධර්ම දේශනා පුහුණුව ලබන නවක – තරුණ භික්‍ෂූන්ට ප්‍රයෝජන වෙතැයි සලකා ගෙනය. දහම් දෙසීම සම්බන්ධ ව ලියැවුණු උපදෙස් ඇතුළත් අගනා ග්‍රන්ථ කිහිපයක් දැනට මුද්‍රණයෙන් නිකුත් වී ඇත. රාජකීය පණ්ඩිත වරකාගොඩ සීලරතන නා හිමියන්ගේ “සදහම් දෙසීම හෙවත් බුදුබණ කියන හැටි” ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත අත්තුඩාවේ රාහුල මහ නා හිමියන්ගේ පොහෝ දා වත, හා පොහෝ දා ධර්ම දේශනා පණ්ඩිත කුඹල්වෙල පියතිස්ස නා හිමියන්ගේ ධර්ම දේශනා පුහුූණුව හා හිතට දැනෙන බණ යන පොත් නවක තරුණ ධර්ම දේශකයන් වහන්සේලාටත්, සැදැහැති ගිහි පැවිදි හැම දෙනාටමත් ඉතා ප්‍රයෝජනවත් ය.

 මීරිගම මිණිඔලුව,
විද්‍යාවාස පරිවෙණාධ්‍යක්‍ෂ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ පෙබරවාරි 14 වන සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment