ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං
විස්වාසා පරමා ඤාති – නිබ්බාණං පරමං සුඛං
ධම්ම පදයේ සුඛ වග්ගයේ අටවෙනි ගාථා ධර්මයෙහි එන සන්තුට්ඨී පරමං ධනං යන ධර්ම පාඨය පිළිබඳ විස්තරයක් ඔබට ඉදිරිපත් කිරීමයි මාගේ බලාපොරොත්තුව. ඉහත සඳහන් ගාථා ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කෙළේ සැවැත් නුවර ජේතවනාරාමයේ දී පසේනදී කොසොල් මහරජතුමා අරමුණු කරගෙනයි. මේ ගාථාවෙන් පෙන්වා දී තිබෙන්නේ ලාභයන් අතුරෙන් නිරෝගී බව උතුම් ම ලාභයක් බවත්, ධනයන් අතුරෙන් ලද දෙයින් සතුටුවීම ලොකු ම ධනය බවත්, විශ්වාස බව, හිතවත් බව උතුම්ම නෑයා බවත්, සැපතක් හැටියට සලකා බලනවා නම් උතුම් ම සැපත නිර්වාණය බවත් ය.
පරම ධනය
මේ කරුණු අතුරෙන් සතුට පරම ධනය වන්නේ කෙසේදැයි අපි කල්පනා කර බලමු. ලෝකයේ වාසය කරන පෘථග්ජන කවුරුත් ධනය රැස්කිරීමට දක්වන්නේ මහත් උනන්දුවකි. එසේම ලාභ, යස ඉසුරු ලැබීමට රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් ආඪ්‍යවීමට බලවත් උනන්දුවක් දක්වති. ධනය ඉපැයීමට ආසා ඇති තැනැත්තා කෙතරම් ලැබුණත් සෑහීමකට පත් නො වේ. වඩ වඩා ධනය රැස්කරමින් ඇතැම් විට තමාගේ ශරීර සෞඛ්‍ය ගැන, දූ දරුවන් ඥාතීන් ගැන සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙය ගැන ආගමික සද්්ක්‍රියා ගැන කල්පනා නො කොට ධනය ඉපැයීමට ම වෙහෙසෙන අය සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. එහෙත් ඒ උපයන ධනය නිසා ඔහුට සැනසිල්ලක් ලැබේ දැ’යි ජන සමාජය දෙස බැලීමෙන් ඔබට වටහා ගත හැකි ය.
බුදුදහමේ ධනය ඉපයීමට කිසි ම බාධාවක් පනවා නැත. එහෙත් එම ධනය උපයන ආකාරය ධාර්මික විය යුතු ය. සමාජයට බරක් නොවිය යුතු ය. උට්ඨාන වීර්යයෙන් යුතු ව, ධාර්මික ව, ධනය ඉපයීම තමන්ටත් සමාජයටත් ලෞකික වශයෙන් දියුණුවකට හේතු වේ. කෙටි කාලයකට ඇතැම් විට යම් සතුටක් ලැබුණත් පසු ව තමන් ධනය ඉපයූ ආකාරය ආදිය සිහිපත් වන විට, මහත් දුකක් ඇති වේ. එම නිසයි බුදුරජාණන් වහන්සේ කෙතරම් ධනය තිබුණත් සිතේ සතුටක් නැත්නම් සැනසීමක් නැත්නම් එම ධනය නිසා ම දුක් ඇති වන බව දේශනා කෙළේ. විශේෂයෙන් වර්තමාන සමාජය දෙස බලන විට තම තමන්ගේ අසල්වාසීන් පාවිච්චි කරන, පරිහරණය කරන විවිධ උපකරණ, භාණ්ඩ දෙස බලා වත් පොහොසත්කම් මැන, තමන්ටත් එවැනි දේ අත්කර ගැනීමට නොයෙක් දේ වෙත යොමු වී තම මුළු ජීවිතය ම අවාසනාවන්ත කරගන්නවුන් සමාජයේ සිටින බව පෙනේ. දුක්ඛිත, අසරණ ජීවිත ගත කිරීමට කිසිවෙක් කැමති නො වේ. සැප සේ පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමට සියලු දෙනා ම කැමැති වෙති. එසේ නම් අප නිතර සිතා බැලිය යුත්තේ යහපත්, පී‍්‍රතිමත් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේ ද? යන්න පිළිබඳවයි. එම නිසා “ධම්ම පීති සුඛං සෙති” යන බුදුවදන අනුව කල්පනා කරමින්, ප්‍රථමකොට සිත සතුටෙන් තබාගත හැකි පිළිවෙතක් අනුගමනය කිරීමයි. ධර්මය තුළින් හොඳ, නරක තේරුම්ගත හැකි වෙයි. නරක ලෙස හැසිරීමෙන්, වැරදි ලෙස ධනය ඉපයීමෙන් නරක විපාක ලැබෙන අයුරුත්, යහපත් ලෙස, ධාර්මික ලෙස ධනය ඉපයීම තුළින් සැප විපාක ලැබෙන අයුරුත් ධර්මානුකූල ව සිතන පුද්ගලයා උත්සාහවන්ත ව, ධාර්මික ව තම ධනෝපායන කටයුතු සිදු කරයි. ලද දෙයින් සතුටු ව, තමන්ගේ තරම තේරුම් ගෙන, සමාජයේ යම් යම් අය කරන කියන අයුරෙන් කටයුතු කිරීමට නො ගොස් තමන්ට ජීවත්වීමට හැකි ආකාරය පිළිබඳ සිතයි. ඒ තුළින් ඔහු යම් සතුටක් ලබයි. අනුන්ගේ වස්තුව කෙරෙහි ආශා කරමින් තැවීමට පත් නොවෙයි.
සතුට
බොහෝ සූත්‍ර ධර්මවල ''සන්තුට්ඨියෙහි'' ඇති වැදගත්කම පහදා දී අත. මංගල සූත්‍රයේ දී සන්තුට්ඨිච කතඤ්ඤුතා යනාදී දේශනයෙන් ද, කරණීය සූත්‍රයෙහි දී සන්තුස්සකෝච සුභරෝච යන දේශනයෙන් ද ලද දෙයින් සතුටුවීමේ ඇති වැදගත්කම පැහැදිලි කර ඇත. ලද දෙයින් සතුටු විය යුතු ය යන ගුණයෙන් යුතුව යම් තත්ත්වයකට පැමිණ, උත්සාහ නො වඩා එයින් නැවතිය යුතු ය, යන අදහසක් මෙයින් දේ යැ’යි වරදවා නො සිතිය යුතු ය. එසේ ම කර්මය තිබේ නම් ලැබේ යැ’යි සිතා වීර්ය නො කොට සිටිය යුතුය, යන අදහසක් දෙතැයි ද, නො සිතුව මැනවි. උත්සාහ වඩා අපට ලැබෙන තරමකින් සතුටු වී ජීවත්වීමයි මෙහිදී සන්තුට්ඨි පරමං ධනං යන්නෙන් පෙන්වා දී වදාළේ. වුවමනාවට වඩා බලාපොරොත්තු සිත තුළ තබාගෙන ජීවත්වන පුද්ගලයා අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන ක්ලේශවලින් යුතු පුද්ගලයෙක් වේ. අත්‍රිච්ඡතා යනු ලද දෙයින් සතුටු නොවන තමා වෙත ඇති දෙයට වඩා අනුන් ළඟ ඇති දෙය හොඳ යැයි සිතමින් අනුන් සතු දෙයට ඇලුම් කරන ස්වභාවයයි. අත්‍රිච්ඡතාවෙන් යුත් පුද්ගලයා නිතර ම තමන්ගේ දේ, තමන් කරනා රැකියාව හොඳ නෑ යි නිතර ම සිතමින් ශෝක වෙයි. ඇතැමුන් තමන් කරන රස්සාව හොඳ නැත, පඩි මදි යැයි සිතා එය අත්හැර අන් රැකියා සොයන්නට ගොස් අන්තිමේ කිසිවක් නැති ව තැවෙන්නේ මේ අත්‍රිච්ඡතාව නිසයි. ලද දෙයින් සතුටුවීමේ ගුණය නැති නිසයි. දුවන මුවන් දැක නො දමව් නෙළු පලා යි පැරැණි ආප්තෝපදේශයක් ඇත. එයින් පෙන්වන්නේ තමන් ළඟ ඇති සුළු දේ වූවත් ලොකු බලාපොරොත්තු ඇතිකරගෙන විනාශ කර නො ගන්නා ලෙසයි.
සන්තුට්ඨිය නැති කරන තවත් අගුණයකි මහිච්ඡතාව කොතෙක් තිබුණත් සෑහීමකට පත් නොවී, තව තවත් සොයමින් සැපක් නො විඳිනා බලවත් ලෝභය මහිච්ඡතාවයි. මෙය ගිහි පැවිදි කා හටත් උපදින ක්ලේශයකි. මහිච්ඡතාවයෙන් යුතු පුද්ගලයා මැරෙන තුරු රැස් කරමින් සිට කිසි පිනක් නො කර, මරණාසන්නයේ දී බලවත් චිත්ත පීඩාවට පත් ව, කළුරිය කොට ප්‍රේත, තිරිසන් බවට හෝ නරකයට පැමිණේ. පරිභෝගය පිළිබඳ මහිච්ඡතාව ඇති සමහරු පමණ ඉක්මවා කා බී රෝගීහු වෙති. එම නිසා සතුට පහ ව යන මේ අත්‍රිච්ඡතා හා මහිච්ඡතා යන දුර්ගුණයන්ගෙන් වැළකීමට යත්න දැරිය යුතු යි. මේ අත්‍රිච්ඡතා - මහිච්ඡතා, පාපිච්ඡතා යන පුද්ගලයන්ගේ ස්වරූපය ධර්මයෙහි විස්තර කොට ඇත්තේ මෙසේ ය.
“කොපමණ දර දැමුවත් ගින්නට සෑහීමක් නැත. කොපමණ ජලය ලැබුණත් මහා සාගරයට සෑහීමක් නැත. එමෙන්ම මහිච්ඡතාවෙන් යුක්ත පුද්ගලයා ද සෑහීමට පත්වන්නේ නැත.” යනුවෙන් දක්වා ඇත්තේ ද ලද දෙයින් සතුටුවීමට නොහැකි පුද්ගලයාගේ ස්වභාවයයි. කොතරම් ලැබුණත් මදි යන අදහසින් යුක්ත පුද්ගලයාට අන්‍යයෝ අපි‍්‍රය කරති. තමන් ආශ්‍රය, නිශ්‍රය කරන අය නිතර ම ඔහු ගැන සලකන්නේ මහා ලෝභියෙක්ය. කෙතරම් ලැබුණත් සතුටු නො වන පුද්ගලයෙක්ය යනාදි අපි‍්‍රය අමනාප අදහස්වලිනි. පාපිච්ඡතා පුද්ගලයා තමා තුළ මදකුදු නැති ගුණ තමා තුළ ඇති බව පෙන්වමින් බොරුවෙන් ලෝකය රවටමින් ලාභ, සත්කාර, සම්මාන ලබාගැනීමට උත්සාහ දරයි. එබඳු පුද්ගලයන් ද තමා තුළ නැති ගුණ ධර්ම පෙන්වා ප්‍රමාණය ඉක්මවා ප්‍රත්‍ය ලබා ගැනීමට උත්සාහ දැරීම තුළින් ලද දෙයින් යැපීමේ ගුණය ජීවිතයෙන් ඈත් කර ගනී. මෙලෙස බලන විට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන ත්‍රිවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත පුද්ගලයන් කිසිවෙකුටත් සතුටු කළ නොහැකි පුද්ගලයන් බව වැටහේ. ලද පමණින් සතුටු වන පුද්ගලයා සන්තුට්ඨි ගුණයෙන් සැපසේ වාසය කරයි. ඔහු සන්තුට්ඨිතා ගුණයෙහි පිහිටි බැවින් තමාට තිබෙන පමණින් යැපිය හැකි පමණින් තෘප්තියට පැමිණ වාසය කරයි. වස්තුව ධනය සපයා කවදාවත් තෘප්තියට පත්විය නො හැකි බව දන්නා ඔහු ධර්මානුකූල ව සිතමින් සතුට පරම ධනය කරගනී.
එහෙත් අද බොහෝ දෙනා සිතෙන් දුක් විඳිමින් අන් අයගේ ඇති සම්පත් ගැන සිතමින්, තමන්ට නො ලැබෙන දේ අත්පත් කරගැනීමට නිතර ම කල්පනා කරමින් බලවත් සේ දුකට පත් වී සිටිති. සන්තුට්ඨිතා ගුණයෙහි පිහිටි පුද්ගලයා තමාට තිබෙන පමණින් යැපිය හැකි පමණින් තෘප්තියට පැමිණෙන නිසා, අනුන්ගේ තේ වතු, රබර් වතු, කුඹුරු, යානවාහන ආදිය ගැන සිතමින් ඇතිකරගන්නා ආශාව නමැති දැල්වෙන්නා වූ ගිනි කඳුවලින් බේරී සිතට සැනසිල්ලක්, පී‍්‍රතියක්, නිදහසක් ඇති ව ජීවත් වෙයි.
ලද පමණින් සතුටුවන ස්වභාවය වූ අලෝභය ඇති කර ගැනීමෙන් සියලු සම්පත් ලැබෙන බව පැරණියන් විසින් දක්වා ඇත්තේ මෙසේ ය.
ස්වල්පයෙහි දූ සතුටු සිත් ඇත්තා හට සියලු සම්පත් ඇත්තාහ. ස්වකීය පාදය පාවහනින් වසා ගත් කල්හි මුළු පොළොව ම සම් අතුරන ලද්දක් වැනි නොවේ ද? සම්වලින් මුළු පොළොව ම වැස්ම නො කළ හැකි වැඩකි. පාදය ආරක්ෂා කර ගැනීමට පාවහන් පැළඳ ගත් කල්හි මුළු පොළොව ම ඔහුට සමෙන් වැසුවාක් මෙන් වේ. ගිය ගිය හැම තැනක ම සම පිට ම සිටින බව වැටහෙන බැවිනි. ආශා සිතෙන සිතෙන වස්තු සපයා කිසි කලෙක කිසිවකුට සම්පූර්ණ කළ නො හැකි ය. තිබෙන හැටියට, ලැබෙන හැටියට සතුටු වූ කල සියල්ල ම ලැබුවා වැනි වේ.
ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට ලැබෙන සම්පත පවා නැතිව දුකට පත්වීමට සිදු වන බව පැහැදිලි කරන කදිම නිදර්ශනයකි ස්වර්ණහංස ජාතක කතා ප්‍රවෘත්තිය. ස්වර්ණහංසයා ඒ ඒ දිනවල දිළිඳු ස්ත්‍රියකට යැපීමට යම් යම් විසිතුරු භාණ්ඩ සාදා ගැනීමට තම පියාපත් හෙළා ආ ආකාරය ඒ ජාතක කතාවේ දැක්වේ. ලෝභී වූ ඒ ස්ත්‍රිය පසුව එක් දිනකින් සියලු ම පියාපත් සිඳ ගත්තා ය. එයින් සිදු වූයේ පසුව කිසි කලෙක ඒ ස්ත්‍රියට පියාපත් නොලැබී යාමයි. ලද දෙයින් සතුටුවීමේ ගුණය තිබුණේ නම් ඒ ස්වර්ණ හංසයා ජීවත් ව සිටින තුරු ඇයට පියාපත් ලබාගැනීමට තිබිණි.
ලද දෙයින් සතුටුවීම යම් අයෙකුට තිබේ නම් ඔහුට නීරෝගී සිතක් ඇති ව ජීවත්වීමට හැකියාව ලැබේ. බොහෝ ප්‍රාර්ථනා, බොහෝ ආශා, පසුතැවිල්ලට, අසහනයට හේතු වේ. එයින් සිත රෝගී වේ. පසු ව එය ම ජීවිත විනාශයට පවා හේතු වේ.
තේමිය ජාතක කතාව ද ලද දෙයින් සතුටුවීම නිසා වර්ණවත් ව නිරෝගී සිතක් ඇති ව ජීවත්වීමට හැකි බව පෙන්නුම් කරයි. ලුණුත් නොමැති ව කැලේ කොළ වර්ග ආහාරය සඳහා ගෙන තපස්චර්යාවෙහි යෙදුණු තේමිය කුමාරයා රන්රුවක් වැනි ශරීරයක් ඇති ව, ඉන්ද්‍රීය ප්‍රසන්න ව සිටින බව දැක ඔහුගේ පිය රජතුමා පුදුමයට පත් ව ඒ ගැන විමසන විට
''මම අතීතයේ මෙබඳු දේ, නොලැබුණේ යැයි කියා හෝ අනාගතයෙහි මෙබඳු සම්පත්ති ලබමියි කියා හෝ අධික ප්‍රාර්ථනා තබා නො ගෙන වර්තමානයෙහි ලැබුණු'' දෙයින් තෘප්තියට පැමිණ වාසය කරමියි දක්වමින් තම ශරීර වර්ණය ද ඇති ව සිතේ සතුටෙන් ජීවත්වන බව ප්‍රකාශ කළේ ය. බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරනා කාලයන්හි ද මෙසෙ ලද දෙයින් සතුටුවීමේ ගුණය අවබෝධ කරගෙන තිබිණි. බුද්ධත්වයට පත් වූ පසු ව වඩාත් එහි ඇති වැදගත්කම දැනගෙනයි “සන්තුට්ඨී පරමං ධනං” යයි දේශනා කොට වදාළේ.
මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ නායක ධුරන්ධර ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
දෙසැම්බර් 06 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment