Labels

Thursday, June 16, 2016

ධර්ම දේශනා ක්‍රමය ආරම්භ වීම හා නිවැරදි අර්ථ කථනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්


පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතීන් බුත්සරණ, අමාවතුර, දහම්සරණ, සඟසරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, ජාතක පොත් වහන්සේ ආදි ගද්‍ය කෘති වගේම සඳකිඳුරුදාවත, ලෝවැඩ සඟරාව, කාව්‍ය ශේඛරය , ගුත්තිලය, කුස ජාතකය ආදී පද්‍ය කෘති ද ලිය වී ඇත්තේ ධර්ම දේශනා සඳහාය. එසේම සන්න ගැට පද ආදී පත පොත ලියවී ඇත්තේ පාලි ත්‍රිපිටකයට අයත් බණපොත් හැදෑරීමට පහසු වනු පිණිසය. ඒ අනුව බැලීමේදී ධර්ම දේශකයකු වශයෙන් නිවැරදිව ධර්මය විස්තර කිරීමට නම් සිංහල පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳවත් ඒ භාෂාවන්ගෙන් ලියැවුණු ග්‍රන්ථ ගැනත් පැතිරුණු දැනුමක් ධර්ම දේශකයන් වහන්සේ නමකට තිබීම අත්‍යවශ්‍ය බව පෙනී යයි.
ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී සිරිලකට ද බුදුදහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක් දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි. “මහ රජ, අපි ධර්ම රාජ වූ බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට මෙරටට පැමිණියෙමු” යි තමන් හඳුන්වා දී, දැන හැඳුනුම්කම් ඇතිකරගෙන , මිහිඳු මහරහතන් වහන්සේ “චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් රජුට දහම් දෙසූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට බෞද්ධ භික්ෂුවක් විසින් මුලින්ම මෙරට දී ධර්ම දේශනා කරනලද ධර්ම දේශනාව එයයි. එසේ ආරම්භ වූ ඒ ධර්ම දේශනා මාලාවේදී විමානවත්ථූ, පේතවත්ථු, සච්චසංයුත්තය, දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය හා ධම්මචක්කප්පවත්තන සූත්‍රයද මාතෘකා කරගෙන මිහින්තලේ හා අනුරාධපුරයේ දී උන්වහන්සේ රජතුමා ඇතුළු ලක්වැසියන්ට දහම් දෙසූහ. ඒ සඳහා තෝරාගෙන ඇති ත්‍රිපිටක සූත්‍ර දේශනා ගැන සලකන විට ඒවා එක් තැන් කොට සුතා, ධනා, වචසා, පරිචිතා, මනසා පෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අනුව හදාරතොත් එයම බුදුදහම පිළිබඳ පුළුල් දැනීමක් ඇති කරගැනීමටත්, ධර්මාවබෝධයටත් ප්‍රමාණවත්ය.
මිහිඳු මහරහතන් වහන්සේගේ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රාන්ත ධර්ම දේශනාවෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ , ධර්ම දේශනා ඉතිහාසය ගැන සොයා බලන්නකුට ත්‍රිපිටක අට්ඨකථා , ටීකා, මහාවංසය ආදි වංස කථා, පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති ඇසුරින් විවිධ තොරතුරු සපයා ගත හැකිය. පුද්ගලයින්ට උපදෙස් දීමේ මූලික අරමුණින් ඇරඹි ධර්ම දේශනාව කාලයාගේ ඇවෑමෙන් විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත. මතක බණ, කඨිනානිශංස බණ, යුගාසන බණ, කවි බණ, ගුණානුස්මරණ බණ, ගුවන් විදුලි බණ, රූපවාහිනී බණ, කාලීන බණ යන වචන හා ඒ හා සම්බන්ධ විශේෂ චාරිත්‍ර විධි ගොඩනඟාගෙන ඇති බවක්ද පෙනේ.

දහම් දෙසීම එතරම් පහසු කාර්යයක් නොවේ. උදායි භික්ෂුව පිරිවරාගෙන දහම් දෙසූ පුවතක් ගැන භික්ෂූන්ගෙන් දැනගත් බුදුරජාණන් වහන්සේ” පරේසං ඛෝ පන ආනන්ද ධම්මදේශනා නසුකරා’ ආනන්දය, අනුන්ට දහම් දෙසීම පහසු කාර්යයක් නොවන්නේ යැ”යි වදාළහ. මේ ප්‍රකාශය වඩාත් තහවුරු කැරෙන නිදසුනක් මහාචාර්ය ජී.පී. මලලසේකර මහතාගේ “ලංකා පාලි සාහිත්‍ය” කෘතියේ මෙසේ සවිස්තරව දැක්වෙයි. “ආගම පැතිරවීමට ගාමිණි කෙරෙහි පැවැති උනන්දුව කෙතරම් දැ’යි කිවහොත් ඔහු අවශේෂ පුද්ගලයන් නොව, ලෝවාමහාපායේ භික්ෂූන්ම ස්වකීය ශ්‍රාවක පිරිස ලෙස ගෙන තෙමේ දේශකයකු ලෙස ක්‍රියා කළේය. ඔහු විශාල ශාලාවේ මැද වූ ධර්මාසනයෙහි හිඳ මංගල සූත්‍රයෙන් කිසියම් ආගමික මාතෘකාවක් ගෙන, සම්භාවනීය පිරිසට දේශනාවක් කිරීමට සැරසුණේය. ත්‍රිපිටක ග්‍රන්ථ ගැන හොඳින් දැන සිටිය ද ඔහුට වැඩිදුර යා නොහැකි විය. බොහෝ ඩාදිය වගුරුවමින් හේ වේදිකාවෙන් බැස්සේය. ධර්මාචාර්යවරයාගේ කටයුත්ත කෙතරම් දුෂ්කරදැයි අවබෝධ කරගත් හේ ඔවුන් කෙරෙහි වඩ වඩා ත්‍යාගශීලි විය. එවක පටන් ඔහු වාසනා ගුණයෙන් යුත් ධර්ම දේශකයන් වහන්සේලාට සහයෝගය දෙමින් ලංකාවේ නොයෙක් ප්‍රදේශයන්හි විහාරාරාමවල ධර්ම දේශනා පැවැත්වීම කරගෙන යන ලෙස නියම කරවීය. එදා පටන් ගමේ පන්සලේ බණ දේශනා කිරීමේ සිරිත අද දක්වා නො කඩවා පවතින ස්ථිර ව්‍යාපාරයක් විය.” (ලංකා පාලි සාහිත්‍ය –21 පි)

සිරිලක ගමක් ගානේ ඇරඹි ඒ ධර්ම දේශනා ව්‍යාපාරය අද දක්වාම අඛණ්ඩව පවතී. එදා අනුරාධපුරයෙහි සිව් මංසලෙහි ධර්මශාලා ගොඩ නඟා තිබිණි, මාසයකට දින හතරක් එම ශාලාවන්හි ධර්ම දේශනා පැවැත්විණි. ඒ බව දේශ සංචාරක පාහියන් භික්ෂුව පැහැදිලි කර ඇත්තේ මෙසේය. “ප්‍රධාන වීථිහතරේ මුදුනේ ධර්මශාලා ඉදිකර ඇත. මාසයේ අට වැනිදාත්, දාහතර වෙනිදාත්, පසළොස්වකදාත් ඔවුහු මේ ශාලාවලට රැස්ව පලස් අතුරා බණ අසුනක් පනවති. භික්ෂූහු ද ගිහියෝද බණ ඇසීමට සිව් දෙසින් පැමිණෙති.” (පාහියන් වාර්තා)
“අරියවංස සූත්‍ර දේශනාව සඳහා පැරණි ලංකාවේ ගම්වල , පන්සල්වල උත්සව පැවැත් වූ බව අටුවා පොත්වල දැක්වේ. එසේම ඒ අවස්ථාවල රජවරුන් පමණක් නොව ගම් වැසියන්ද සසුනට ගම්බිම් පූජා කොට දන්සල් පැවැත්වීමද සිරිතක් කරගෙන තිබිණි. අරියවංස දේශනාව රට පුරා පැවැත් වූ බවත් කියැවෙන මහාවංසයේ එන සටහන මෙහිලා දැක්විය හැකි නිදසුනකි.
පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතීන් බුත්සරණ, අමාවතුර, දහම්සරණ, සඟසරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, ජාතක පොත් වහන්සේ ආදි ගද්‍ය කෘති වගේම සඳකිඳුරුදාවත, ලෝවැඩ සඟරාව, කාව්‍ය ශේඛරය , ගුත්තිලය, කුස ජාතකය ආදී පද්‍ය කෘති ද ලිය වී ඇත්තේ ධර්ම දේශනා සඳහාය. එසේම සන්න ගැට පද ආදී පත පොත ලියවී ඇත්තේ පාලි ත්‍රිපිටකයට අයත් බණපොත් හැදෑරීමට පහසු වනු පිණිසය. ඒ අනුව බැලීමේදී ධර්ම දේශකයකු වශයෙන් නිවැරදිව ධර්මය විස්තර කිරීමට නම් සිංහල පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳවත් ඒ භාෂාවන්ගෙන් ලියැවුණු ග්‍රන්ථ ගැනත් පැතිරුණු දැනුමක් ධර්ම දේශකයන් වහන්සේ නමකට තිබීම අත්‍යවශ්‍ය බව පෙනී යයි. බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව ගැන අනුන්ට පහදා දෙමින් ධර්ම දේශනාවක් කිරීමට සැරියුත් මහ රහතන් වහන්සේ සුදුසු කෙනෙකැ’යි භික්ෂූන්ට හඳුන්වා දුන්නේ මෙසේය. (සච්චවිභංගසුත්ත) “සාරිපුත්තෝ භික්ඛවේ පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරේන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපේතුං, පට්ඨපෙතුං, විවරීතුං විභජිතුං , උත්තානිකාතුං” (සච්චවිභංගසුත්ත)
මෙම පාලි වාක්‍යයේ සිංහල අර්ථය මෙසේය. “භික්ඛවේ මහණෙනි, සාරිපුත්තෝ සාරිපුත්‍රතෙම චත්තාරි අරිය සච්චානි චතුරාර්ය සත්‍ය ධර්මය, විත්ථාරේන විස්තර වශයෙන් ආචික්ඛිතුං කියන්නටද, දෙසතුං දෙසන්නටද, පඤ්ඤපේතුං පනවන්නට ද, පට්ඨපේතුං පිහිටුවන්නට ද, විවරිතුං විවෘත කරන්නටද, විභජිතුං විභජනය කරන්නටද, උත්තානිකාතුං සරල වශයෙන් විස්තර කරන්නටද ,පහෝති හැක්කේය”.
මේ අනුව ධර්මය විස්තර කරන දේශකයන් වහන්සේ නමක් තුළ ආචික්ඛණා, දේසනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උන්තානිකරණ යන භාෂා හැකියාවන් මැනවින් තිබිය යුතු බව මෙහිලා වටහා ගත යුතුය.
පහත දැක්වෙන අට්ඨකථා විවරණය දැන සිටීම ආධුනික ධර්ම දේශකයන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
පරේසං පන ධම්මං දෙසෙන්තේන අත්ථ කුසලේන, ධම්ම කුසලේන, පුබ්බාපර කුසලේන කාලඤ්ඤුතා, පරිසඤ්ඤුතා, ඛ්‍යාඤ්ජනානි, අවිතාසෙත්වා, විකාරං අකත්වා, සමණ සාරුප්පේන, සුවිඤ්ඤය්‍යෙන, විස්සට්ඨෙන, කණ්ණ සුඛේන, පෝරිසේන, පරිමණ්ඩල ,ලක්ඛණේන,නාතිමඤ්ඤෙන, නාතිසිතේන, සමීප වත්තේන, පරිසං ඛෙහෙත්වා, ආකාසගංගං ඔතරන්තේන විය උපමා හේතුදාහරණේහි විත්ථාරෙත්වා සකට මග්ගේ ගච්ඡන්තේන කාය සීස හත්ථපාද චලනරහිතේන බුද්ධ ලීලාය, දෙසෙන්තේන සීසෙ ඨත්වා පඤ්ච ධම්මේ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දෙසෙතබ්බෝ”.
අනුවාදය :– අනුන් හට දහම් දෙසන්නන් විසින් ධර්ම අර්ථ පැහැදිලි කොට දැක්වීමටත්, අවශ්‍ය තැන්වලදී පාලි ධර්ම කොට්ඨාසයන් නිදසුන් කොට දැක්වීමටත්, මූල අග සම්බන්ධ කොට දේශනා කිරීමටත් සමත් විය යුතුය. නියමිත කාලය තුළ මෙපමණක් කිව යුතු යැයි කල් දැන, රැස්ව සිටින පිරිසේ ප්‍රමාණය දැන, බණ දෙසීමට සමත් විය යුතුය.අක්ෂර, පද, වාක්‍ය , විනාශ නොකොට, ඉක්මන් වී ඇතැම් කොටස් ගිලිහෙන්නට නොදී ශ්‍රමණ සාරුප්‍යය රැකගෙන, ශ්‍රාවකයින්ට පහසුවෙන් වටහා ගතහැකි ආකාරයෙන් මිහිරි හඬින් කනට, සුව දනවනුසේ, මිනිස් හඩින් ශිෂ්ට වචනයෙන්, ඉක්මන් බවින් හා පමා බවින් තොරව ,දෙසීමෙන් , ශ්‍රාවක අවධානය තමා වෙත රඳවා ගෙන, ආකාශ ගංගාව ඇදහැලෙන්නා මෙන් උපමා හේතු උදාහරණ ගෙන හැර පාමින්, දහම විස්තර කර දී මහමග නොපැකිළව ගමන් කරන්නෙකු පරිද්දෙන් කය, හිස, අත් පා නොසොල්වා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන විලාසයෙන් මුල සිට නිවන අරමුණු කොට ගෙන අනුන්ට දහම් දෙසිය යුතුය.”
බුදු දහම මුලින්ම ජනතාව අතරට ගෙන ගියේ දේශන මාර්ගයෙනි. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේදී පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙනි. එසේ ඇරඹුණු ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළට සම්බන්ධ කරගත් සැට නමට “මහණෙනි මුල, මැද, අග යහපත් වූ ද අර්ථ සහිත ඛ්‍යඤ්ජන සහිත සුවිසුද්ධ වූ දහම දෙසන්න “යි දෙදෙනෙකු එක මග නොයා තනි – තනි ව ඒ ඒ පෙදෙස්වලට ගමන් කරන්නැයි උපදෙස් දුන්හ.
අපට කියවන්නට ලැබෙන බෞද්ධ ඉතිහාසය අනුව, බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරන විට බුදුරජාණන් වහන්සේ ධර්මදූතයන් වහන්සේලා සැට නමට දේශනා කොට තිබුණේ, ධම්මචක්කප්පවත්තන සූත්‍රයත්, අනත්ත, ලක්ඛණ සූත්‍රයත් පමණි. ඒ දේශනා දෙකෙහි බුදු දහමෙහි සාරාර්ථය සපුරා අන්තර්ගත වී ඇත. රහතන් වහන්සේලා සැට නම එහි සාරය අර්ථ ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන වශයෙන් ඒ වන විට වටහාගත් පිරිසක් වූහ. උන්වහන්සේලා ගමන් කෙළේ තනි තනිවය. එසේ වැඩම කළ ඒ ධර්ම දූත , කණ්ඩායමට අයත් අස්සජි මහරහතන් වහන්සේ දැක්මෙන් පැහැදීමට පත් උපතිස්ස පිරිවැජියා අස්සජි මහ රහතන් වහන්සේගේ ගමන් බිමන් ගැන පමණක් නොව පිඩු සිඟාලද ආහාරය වළඳන ආකාරය ගැන පවා නිරීක්ෂණය කළේය. අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට සතර පද ගාථාවකින්...

“යේ ධම්ම හේතුප්පභවා
තේසං හේතු තථාගතෝ ආහ
තේසඤ්ච යෝ නිරෝධෝ

ඒවං වාදි මහා සමණෝ “ යි කෙටියෙන් පිළිතුරු සැපයූහ. එහි ප්‍රතිඵලය වූයේ උපතිස්ස – කෝලිත දෙදෙනා ඇතුළු පිරිවැජියන් විශාල පිරිසක් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වීමයි. මෙසේ ආදර්ශවත් ඇවතුම් පැවතුම්වලින්ද පූර්ණ ධර්මාවබෝධයකින් යුතුව ධර්ම දේශනා මාර්ගයෙන් ආරම්භ වූ ධර්ම ප්‍රචාරය අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අඛණ්ඩව සිදු කැරිණි. ගමින් ගම නගරයෙන් නගරය පයින් යමින් ඇරඹි ඒ ධර්ම දේශනා ව්‍යාපාරයේ ප්‍රමුඛයාණන් වහන්සේ වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ එවක වයස අවුරුදු තිස් පහ සම්පූර්ණ වූවා පමණි. උන්වහන්සේ වටා එකතු වූ සැට නමේ වැඩි පිරිසක් ද සම වයසේ පිරිසක් වීමද විශේෂයකි.
එසේ සරලව ආරම්භ වූ ධර්ම ප්‍රචාරක කටයුතු පුරා වසර හතළිස් පහක් තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. දේශනා, සාකච්ඡා, සංවාද ආදි වශයෙන් සිදු කැරුණු ඒ ධර්ම දේශනා සුවහස් ගණන් පිරිසට සසරින් එතෙරවීමට පහුරක් විය. ඒ සඳහා සම්බන්ධ වූ ධර්ම දේශකයාණන් වහන්සේලාද,

“පියෝච ගරු භාවනීයෝ
වත්තා ච වචනක්ඛමෝ
ගම්භීරඤ්ච කථං කත්තා

නො චට්ඨානේ පයෝජයේ” යන උදාර ගුණාංගයන්ගෙන් සපිරුණු මහෝත්තමයෝය. (යමෙක් පි‍්‍රය වූයේද, ගුරු වූයේද වඩන ලද ඉඳුරන් ඇත්තේවේද ව්‍යක්තවේද, වචන ක්ෂම වේද ගැඹුරු කථා ඇත්තේ වේද අස්ථානයෙහි නොයොදවන්නේ වේ ද (එබඳු මිත්‍රයන් සේවනය කළ යුතුයි) උන්වහන්සේලා

“මෙකල බොහෝ දෙනා දහම් දෙසීමේදී අටුවා ටීකා ආදිය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තම තමන්ට රිසි පරිදි සූත්‍ර – අභිධර්ම දේශනාවන් විකෘති කරමින් අත්තනෝමතයෙහි පිහිටා සිට දහම් දෙසන බව සුලභව දක්නට ලැබේ. බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා සම්පාදනයේදී අනුගමනය කළ මහා විහාරයෙන් දෙන ලද උපදෙස් පිළිබඳව ද නො දන්නා කමින් දෝ අට්ඨකතා ගැන ඔවුන් දරන්නේද විරෝධි මතයක් බව පෙනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්ම දේශනා මාර්ගය අනුගමනය කිරීමට උත්සාහවත් වෙමු.




ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක ධුරන්දර 
ත්‍රිපිටක විශාරද, 
ශාස්ත්‍රපති මකුලෑවේ විමල නා හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 04 වන  සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment