Labels

Friday, November 17, 2017

නිවන් මග පෙන්වන සීල විසුද්ධිය


" දස අකුසලයන්ගෙන් වැළකී වතාවත්වල යෙදෙන තැනැත්තාගේ සිතේ ඇතිවන්නේ සීලමය කුසල් සිතිවිලි ය. එසේ කායික, වාචසික වශයෙන් තැන්පත් වී, දුස්සීල බවින්, නරක පැවැත්මෙන් ,වැරැදි ආකාරයට දිවි ගෙවීමෙන් වැලකුණු තැනැත්තා තුළ සීල විසුද්ධිය ඇතිවෙයි."

බුදු දහමෙහි සාරාංශය දැක්වෙන දහම් කොටස් අතර සත්ත විසුද්ධිය ඉතා වැදගත් ය. සංසාර ගත සත්වයන්ට විමුක්තිය ලැබිය හැක්කේ මේ සත්ත විසුද්ධි ධර්මයන් වැඩීමෙනි. ඒ නිසා ම ඒවා විසුද්ධි නාමයෙන් හඳුන්වා ඇත. කෙලෙස් කුණු කහට සපුරා ඉවත් කොට විසුද්ධත්වයට පත් වීමට ධනයෙන්, ගෝත්‍රයෙන් , කුල පරම්පරාවෙන් නො හැකි ය. ඒ සඳහා ඇති නිවැරැදි පැහැදිලි මග මේ සත්ත විසුද්ධිය වැඩීම ය.


සත්ත විසුද්ධිය නම් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය, පටිපදා ඤාණ දස්සන විසුද්ධිය, ඤාණ දස්සන විසුද්ධිය යන විසුද්ධි මාර්ග හතයි.
දස අකුසලයන්ගෙන් වැළකී වතාවත්වල යෙදෙන තැනැත්තාගේ සිතේ ඇතිවන්නේ සීලමය කුසල් සිතිවිලි ය. එසේ කායික, වාචසික වශයෙන් තැන්පත් වී, දුස්සීල බවින්, නරක පැවැත්මෙන් ,වැරැදි ආකාරයට දිවි ගෙවීමෙන් වැලකුණු තැනැත්තා තුළ සීල විසුද්ධිය ඇතිවෙයි. එසේ ඇති වන සීල විසුද්ධිය වඩ – වඩාත් ඔප මට්ටම් වී හැඩ වැඩ වනුයේ වත් පිළිවෙත් පිරීම නිසා ය.
පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, පච්චය සන්නිස් සිත සීලය යනුවෙන් එය කොටස් හතරකට බෙදා වෙන් කර දක්වා ඇත. මේ සතර සංවර සීලය නොවඩන තැනැත්තා ධනයෙන්, ගෝත්‍රයෙන් මොන තරම් ඉහළ තැනක ජීවත් වුවත් කෙලෙස් කුණු කහටින් පිරුණු අසුද්ධ ගණයේ 
පුද්ගලයෙකි.

පාතිමොක්ඛ සංවර සීලය


චාරිත්‍ර සීලය, චාරිත්‍ර සීලය යැයි පාතිමොක්ඛ සංවර සීලය දෙයාකාර වෙයි. මෙසේ ක්‍රියා කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂා පද ඒ ආකාරයෙන් ආරක්ෂා කර ගනිමින් ක්‍රියා කිරීම චාරිත්‍ර ශීලයයි. නො කළ යුතු යැයි පනවා වදාළ යම් ශික්ෂාපදයක් වේ නම් එය නො කර සිටීම චාරිත්‍ර ශීලය යි.
තමන් වහන්සේගේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස අරභයා පනවන ලද පන්සිල්, අටසිල්, දසසිල් , සාමණේර සිල්, උපසපන් සිල් ආදි සෑම ශීලයක්ම පාතිමොක්ඛ සංවර ශීලයට අයත් වෙයි. ඒවා ආරක්ෂා කරගෙන ඒ අනුව ක්‍රියා කරන්නෝ කිසිදා අපා දුකකට නො වැටෙති. ඒවා පාතිමොක්ඛ සීලය නමින් හැඳින්වෙන්නේ ද ඒ අනුව හැසිරෙන පුද්ගලයන් සියලු අපා දුකින් මුදවාලන නිසා ය. එමඟින් පුද්ගලයාගේ කයත්, වචනයත් මැනවින් හික්මෙයි. පුද්ගලයාගේ සියලු ම ගුණ ධර්මවලට පදනම මේ පාතිමෝක්ඛ ගණයට වැටෙන සිල් පදයි. එම සිල් පද සුරැකීම තම සන්තානයට සියලු ම බුද්ධානු ශාසනා ඇතුළුවීමට දොර විවෘත කිරීම බඳුය.

ඉන්ද්‍රිය සංවර සීලය


චක්ඛු (ඇස) සෝත (කන) ඝාන (නාසය) ජිව්හා (දිව) කාය ( සිරුර) මන ( සිත) යන මේ හය ඉන්ද්‍රිය නාමයෙන් හැඳින්වෙයි. ඇසට හිතක් නැත. සිතට ඇසක් නැත. ඒ නිසා ඔවුනට වෙන වෙන ම රූප දැකිය නො හැකි ය. රූප දැකිය හැක්කේ ඇසෙහි රූප ආරම්මන ගැටුණු කල මනෝ ද්වාරයෙහි හට ගැනෙන චක්ඛු විඤ්ඤාණය හේතු කොට ගෙන ය.
ඇසට දැකුම්කළු පියකරු රූපයක් ගැටුණු කල ඒ දෙස ආශාවෙන් බැලීම නිසා තණ්හාව (ලෝභය) හටගනී. අපි‍්‍රය ජනක රූපයක් ගැටුණු විට ඒ දෙස ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අසතුටෙන් බැලීම නිසා ද්වේෂය හටගනී. ඒ අනුසාරයෙන් කනට ශබ්දයක් ඇසුණු කල, නැහැයට ගඳ සුවඳ ආඝ්‍රාණය වූ කල දිවට රසයක් දැනුණූ කල, කයට ස්පර්ශයක් දැනුණු කල, මනසට දහමක් වැටහුණු කල සොත, විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ,ජිව්හා විඤ්ඤාණය , කාය විඤ්ඤාණය , මනෝ විඤ්ඤාණය පහළ වන හැටිත්, එමගින් ලෝභය හා ද්වේශය පහළ වන හැටිත් වටහා ගත හැකි ය.
එබැවින් ඇස, කන, නැහැය, දිව, ශරීරය , මනස යන මෙම ඉන්ද්‍රියයන්ට රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධම්ම ගැටුණු විට ඒවා මධ්‍යස්ථ ව සලකා බැලීමෙන් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට හැකි ය. එසේ ඉන්ද්‍රිය සංවර සීලය පුරුදු පුහුණු කරගත් තැනැත්තාගේ සන්තානය සියලු බුද්ධානු ශාසනයන් ඇතුළු වීමට දොර විවෘත කිරීමක් බඳුය. ඔවුහු අපායගාමී නො වෙති.

ආජීව පාරිසුද්ධි සීලය


අධාර්මික ව ජීවත් නොවී, දැහැමි ව ලද දෙයකින් සතුටු ව ජීවත්වීම නිසා ආජීව පාරිශුද්ධිය ඇති වෙයි. එය ගිහි පැවිදි දෙපක්ෂයටම අවශ්‍යය. ඊට අදාළ විනය ශික්ෂා, උපදේශ බුදුදහමෙහි එමට ඇතුළත් වෙයි.
පැවිද්දන්ට තහනම් කළ කරුණු කීපයක් මෙසේ ය.
පච්චය පටිසේධනය ( තමන්ට වැඩියෙන් සිව්පසය අවශ්‍ය බව කීම )
සාමන්ත ජප්පනය (තමන් මාර්ග ඵල ලාභියකු බව අනුන්ට හැඟෙන සේ කථා කිරීම)
ඉරියාපථ ඨපනය (මේ ක්‍රමයෙන් මට අනුන් ගරු කරතැයි සලකා ඒ ඒ ක්‍රමයෙන් ඉරියව් පැවැත්වීම
ලාභාපේක්ෂාවෙන් දායකයන්ගේ ගුණ වර්ණනා කිරීම
දායකයන්ගේ දරුවන් නැලවීම
තමන්ට ලාභ සත්කාර ලබා ගැනීම සඳහා ඊට අදාළ කාය වාග් කර්ම පැවැත්වීම (නිමිත්ත කම්ම)
නිප්පේසිකතාව (ගෙයින් ගෙට ගොස් ඔවුනොවුන්ගේ දොස් කීම, සම්මුඛයෙහි ගුණ කියා නැති තැන අගුණ කීම
ලාභ නිජිගිංසතාව (ඒ ඒ ගෙවල්වලින් ලද දෑ ගැන ඊට වඩා දෙයක් අපේක්ෂාවෙන් වෙනත් ගෙවල්වල දී කීම)
ජංඝපේෂණීය කර්මය (ගිහියන්ගේ පණිවුඩ ගෙයින් ගෙට ගෙන යාම)
කුල දූෂණය ( සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව දූෂණය කිරීම) යනුවෙනි.
ගිහියන්ගේ ආජීව පාරිසුද්ධිය කෙලෙසන කරුණු
සත්ථ වණිජ්ජා – ආයුධ වෙළෙඳාම
සත්ත වණිජ්ජා – සතුන් වෙළෙඳාම
මංස වණිජ්ජා – මස් පිණිස සතුන් විකිණීම / මස් වෙළෙඳාම
මජ්ජ වණිජ්ජා – මත්පැන් විකිණීම
විස වණිජ්ජා – විෂ වර්ග විකිණීම
තුලාකූට – තරාදියෙන් වංචා කිරීම
කංස කූට – රන් රිදී යයි වංචා කොට දීම
මානකූට – කුඹුරු ,ඉඩකඩම් , ධාන්‍ය ආදිය වංචා කර මැන ගැනීම
කුට කහාපණය – මිල මුදල් නො වන දේ මිල මුදල් යැයි වංචා කොට දීම, හොර සල්ලි
අල්ලස් ගැනීම
මංකොල්ලකෑම
ආදි අධාර්මික ක්‍රියාවලින් ධනය උපයා ගෙන ජීවිකාව නො පවත්වා දැහැමින් උපයා ගත් ධනයෙන් දිවි පැවැත්විය යුතු යි. එවැන්නන්ගේ ආජීව පාරිසුද්ධි සීලය ආරක්ෂා වෙයි.

පච්චය සන්නිස්සිත සීලය

මෙම සීලය ද ගිහි – පැවිදි දෙපක්ෂය විසින් රැකිය යුතු ය. චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යන සිව්පසය පරිභෝජනය කිරීමේදී ඒවා පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගෙන පරිභෝග කිරීම පැවිද්දකු විසින් රකිනු ලබන සීලයෙකි. තමන් විසින් දැහැමින් උපයා ගන්නා ලද ධනය ඤාති බලි (නෑයන්ට සංග්‍රහ කිරීම) අතිථිබලි (ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම) පුබ්බපේතබලි (මිය ගිය නෑයන්ට පින් අනුමෝදන් කිරීම) රාජබලි (රජයට ගෙවිය යුතු අයබදු ගෙවීම) දේවතා බලි (දෙවියන්ට පින්දීම) යන ක්‍රියාවන් හි නිරත විය යුතු ය.එසේ ම සිල්වතුනට සිව්පසයෙන් උපස්ථානන කිරීම, මව්පියන්ට උවටැන් කිරීම, අඹුදරුවන් පෝෂණය කිරීම, ආපදා විපත්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සිව්පසය තැන්පත්කොට තැබීම ආදිය ගිහියන්ගේ පච්චය සන්නිස්සිත සීලයට අයත් ය. ඉහත දැක්වූ අයුරින් පාතිමොක්ඛ, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි , පච්චය සන්නිස්සිත යන සීලයන් රැක ගැනීම ගිහි පැවිදි දෙපසේ ම උභයාර්ථ සිද්ධියට මග පෑදෙයි



ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
අධිකරණ නායක 
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති 
ත්‍රිපිටක විශාරද, 
ශාස්ත්‍රපති, 
මකුලෑවේ විමල නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ‍‍නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment